චීන විදුලි කාර් කැනඩාවටත්

චීන විද්‍යුත් වාහන සඳහා කැනඩා වෙළඳපල විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.චීන විද්‍යුත් වාහන 49,000ක් දක්වා ආනයනය කිරීමට කැනඩාව පියවර ගනු ඇති බවටයි පැවසෙන්නේ.කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ චීන සංචාරය අතරතුර, විද්‍යුත් වාහන සහ කැනෝලා (Canola) සඳහා පනවා තිබූ තීරුබදු අඩු කිරීමටත්, වෙළඳ බාධක ඉවත් කිරීමටත් දෙරට අතර මූලික එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා.2017 වසරෙන් පසු කැනේඩියානු අගමැතිවරයෙකු චීනයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.ඇමරිකාවට පසුව සිය දෙවන විශාලතම වෙළඳ හවුල්කරු සමඟ සබඳතා යළි ගොඩනැගීම මෙහි අරමුණයි.නව ගිවිසුම යටතේ, කැනඩාව මුලින් චීන විද්‍යුත් වාහන 49,000ක් දක්වා 6.1% ක තීරුබද්දක් යටතේ ආනයනය කිරීමට අවසර දීමට අපේක්ෂිතයි.මෙය 2024 වසරේදී හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් පැනවූ 100% ක තීරුබද්දට වඩා විශාල අඩුවීමක්.සංසන්දනාත්මකව බැලීමේදී, 2023 වසරේදී චීනය කැනඩාවට විද්‍යුත් වාහන 41,678ක් අපනයනය කර තිබුණා.ඉදිරි වසර පහ තුළ මෙම වාහන ප්‍රමාණය 70,000ක් දක්වා ක්‍රමයෙන් වැඩි කිරීමටද සැලසුම් කර තිබෙනවා.

අගමැති කාර්නි පවසන්නේ, කැනඩාවේම තරඟකාරී විද්‍යුත් වාහන ක්ෂේත්‍රයක් ගොඩනැගීමට නම් චීනය වැනි නව්‍ය හවුල්කරුවන්ගෙන් ඉගෙන ගත යුතු බවයි.මෙම එකඟතා හරහා කැනේඩියානු ගොවීන්ට සහ ධීවරයින්ට ඩොලර් බිලියන 3කට ආසන්න අපනයන ඇණවුම් ලැබෙනු ඇති බව අගමැතිවරයා පැවසීය.චීන වාහන කැනඩා වෙළෙඳපොළට ඇතුළුවීම හේතුවෙන් උතුරු ඇමරිකානු මෝටර් රථ වෙළඳපල තුළ චීන මෝටර් රථ සඳහා ශක්තිමත් පදනමක් ලැබීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

මෙම පියවර මගින් රැකියා දහස් ගණනක් අනතුරේ වැටෙන අතර, වසර සියයකට අධික කාලයක් පැවති උතුරු අමෙරිකාවේ ඒකාබද්ධ මෝටර් රථ කර්මාන්තයේ නායකත්වය පළුදු වීමටද ඉඩ ඇති බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.චීන රජයේ සහනාධාර මත ක්‍රියාත්මක වන අතිරික්ත නිෂ්පාදන ධාරිතාව දැනටමත් යුරෝපයේ මෝටර් රථ කර්මාන්තය ආක්‍රමණය කර අවසන්.මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් ඊළඟට බලපෑම එල්ල වන්නේ උතුරු ඇමරිකාවටයි.

USMCA වෙළඳ ගිවිසුම අලුත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡා පවතින මෙවැනි මොහොතක, කැනඩාව සිය තීරණය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවත්, උතුරු ඇමරිකානු කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් පෙන්වා දී තිබෙනවා.

ඔහියෝහි ෆෝඩ් (Ford) කර්මාන්තශාලාවක පැවැති උත්සවයකදී ඇමරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි පැවසුවේ, චීන මෝටර් රථ සිය වෙළඳපලට ගෙන ඒමේ තීරණය ගැන කැනඩාව නිසැකවම කනගාටු වනු ඇති බවයි. එම වාහනවලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවද ඔහු පෙන්වා දෙනවා.

ඇමරිකාව ගත් ක්‍රියාමාර්ගවලට අනුකූලව කැනඩාවද 2024 වසරේදී චීන විද්‍යුත් වාහන සඳහා 100% ක තීරුබදු පැනවූවා.කෙසේ වෙතත්, වොෂින්ටනය කැනේඩියානු වාහන සහ කොටස් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගනිමින් සිටින පසුබිමක, කැනඩාවේ මෙම නවතම පියවර මගින් චීනයට උතුරු ඇමරිකාව තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ඇමරිකාව තුළ බියක් හටගෙන තිබෙනවා.

ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමියන් ග්‍රියර් පවසා සිටියේ, මෙම සීමිත වාහන සංඛ්‍යාව නිසා කැනඩාව වෙත ඇමරිකානු මෝටර් රථ අපනයනය කිරීමට බාධාවක් නොවනු ඇති බවයි.

“එම මෝටර් රථ යන්නේ කැනඩාවටයි, ඒවා මෙහි පැමිණෙන්නේ නැහැ,” යැයි ඔහු පැවසුවා. මේ සම්බන්ධයෙන් වොෂින්ටනයේ පිහිටි කැනේඩියානු තානාපති කාර්යාලය මෙතෙක් කිසිදු අදහසක් පළ කර නැහැ.චීන විදුලි කාර් කැනඩාවටත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *