ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිට කැනඩාවෙන් අතහිත.

ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) ප්‍රතිපත්ති සහ පාලන රාමුව ශක්තිමත් කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පසුගියදා  (21)  වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාර්ටින් (H.E. Ms. Isabelle Martin) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, වත්මන් රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රමුඛතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු පැහැදිලි කළේය. මෙරට බුද්ධි ගලනය වැළැක්වීම, නව ව්‍යවසායකයින් (Startups) රැකගැනීම සහ ශ්‍රම බලකාය නව තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම හරහා අපනයන ආදායම ඉහළ නැංවීම රජයේ අරමුණ බව ඔහු අවධාරණය කළේය.

මෙහිදී කැනඩාවේ AI නියාමන අත්දැකීම් පෙන්වා දුන් ඇඩම් බල්වන්ට් මහතා, පුරවැසි දත්ත ආරක්ෂා කරමින් සදාචාරාත්මක ලෙස තාක්ෂණය භාවිත කරන ආකාරය සහ සයිබර් ආරක්ෂණයේ වැදගත්කම පෙන්වා දුන්නේය. AI සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම මගින් තිරසාර අනාගතයක් ගොඩනැඟිය හැකි බව ඔහු සඳහන් කළේය.

ජනවාරි 22 සහ 23 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිත වැඩමුළුව පිළිබඳව අදහස් දැක්වූ ප්‍රතිෂ්ඨා අරෝරා මහත්මිය, දකුණු ආසියානු කලාපයේ AI පාලන රාමුවල පවතින හිඩැස් පිරවීම සහ සමාජ මාධ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ දත්ත මධ්‍යස්ථාන (Data Centers) පිහිටුවීම සහ විදේශීය ආයෝජන සඳහා පවතින හිතකර වටපිටාව පිළිබඳව ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කළ අතර  ‘Train the Trainer’ (පුහුණුකරුවන් පුහුණු කිරීමේ) වැඩසටහන්, මාර්ගගත සුරක්ෂිතතාව (Online Safety), සහ කාන්තා හා ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

රජයේ ඩිජිටල් දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය අමාත්‍යවරයා යළිත් අවධාරණය කළ අතර කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ඇති වූ මෙම සහයෝගීතාව, මෙරට ඩිජිටල් ආර්ථිකය වඩාත් විනිවිදභාවයකින් සහ ආරක්ෂිතව ඉදිරියට ගෙන යාමට උපකාරීවනු ඇතැයි දෙපාර්ශවයම විශ්වාසය පළ කළහ.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය; ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා; කැනේඩියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ග්වෙන් ටෙමෙල් (Ms. Gwen Temmel) මහත්මිය; හම්බර් පොලිටෙක්නික් ආයතනයේ AI පාලනය පිළිබඳ විශේෂඥ ඇඩම් බල්වන්ට් (Mr. Adam Balwant) මහතා; ‘Social & Media Matters’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ප්‍රතිෂ්ඨා අරෝරා (Ms. Pratishtha Arora) මහත්මිය; තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නිලධාරීන් ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *