ඉන්ධන අර්බුදය ඔඩු දුවයි. රජයේ සේවකයින්ට බදාදා නිවාඩු දෙයි.

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට පසුගිය බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම වැඩ කරන අනෙකුත් සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.පාසල් සහ විශ්වවිද්‍යාල එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබේ.කෙසේ නමුත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවේ.

මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව ඒ මහතා පැවසයි.මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර තිබේ.එමෙන්ම අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී ඇත.

ඉන්ධන හිඟයක් රට තුළ නොමැති නමුත් QR ක්‍රමවේදයේ යම් ගැටලු තත්ත්වයක් පවතින බැවින් එය ඉතාමත් ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ඒ මහතා පවසයි.තවද මේ වන විට රට තුළ මාසෙකට සරිලන ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් තවත් ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණෙන බව තහවුරු කර ඇති බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම රටේ පවතින තත්ත්වය අධ්‍යනය කර ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළ පරිදි ප්‍රධාන වශයෙන් කමිටු 4ක් පත් කර ඇත. 

එහිදී,

*රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

*අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති කමිටුව පත් කර ඇත.

*අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධික්ෂණය කිරීම සඳහා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.

*විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාදන සැලසීම් සඳහා කමිටුව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.

ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු සහ අත්‍යාවශ්‍ය නිලධාරීන් ද පත් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය යොමු කර ඇත.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට සෑම සතියකම බදාදා දිනයේ දී ලබාදුන් නිවාඩුව හේතුවෙන් එම රාජකාරී කටයුතු සතියේ අඟහරුවාදා දිනට යොදාගත යුතුයි. 

එසේ වුවද යම් නිලධාරියෙකු බදාදා දින සේවයේ යෙදවිය යුතු යැයි ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන්නේ නම්, අදාළ නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොවිය යුතු බවත් ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබානොදිය යුතු බවට අවධාරණය කර ඇත.

මේ අතර, බදාදා දින වසා තබන කාර්යාලවල නිලධරයන් එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී අතිකාල ගෙවීමේ පදනමින්, නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් හෝ හිලව් නිවාඩු ලබාදීමේ පදනමින් හෝ සේවයේ නොයෙදවිය යුතුයි.

එසේ වුවද සේවයේ හදිසි අවශ්‍යතාවය මත සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී හෝ ස්වකීය ආයතනයේ නිලධරයන් සේවයට කැඳවීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් අදළා අමාත්‍යාංශ ලේකම් / පළාත් ප්‍රධාන ලේකම් / දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව අදාළ ආයතන ප්‍රධානියා එම නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොමැති බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

එසේ සේවයට කැඳවනු ලබන නිලධරයන් සඳහා අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ හිලව් නිවාඩු ලබාදීමට බාධාවක් නොමැති බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් ය.

තවද, රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට මෙයින් බාධාවක් නොවිය යුතු අතර, එම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුයෙකු / පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු / රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානියෙකු විසින් බදාදා දිනයේ දී විවෘතව තැබිය යුතු බවට තීරණය කරනු ලබන ආයතන සඳහා මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ කර නොගත යුතුයි. එම ආයතන මෙම දිනය සාමාන්‍ය රාජකාරී දිනයක් සේ සලකා කටයුතු කළ යුතුය. එමෙන්ම මේ වනවිට සේවා මුර ක්‍රමය යටතේ නිලධරයන් සේවයේ යොදවන ලැබූ රාජ්‍ය ආයතන සඳහා මෙම චක්‍රලේඛ විධි විධාන අදාළ කර නොගත යුතු බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලෙකම්, ආලෝක බණ්ඩාර මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *