බලශක්ති පරි‌භෝජනය සීමාකරන ලෙස රඡයෙන් ඉල්ලීමක්.


ශ්‍රී ලංකාවේ දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6 සිට 10 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඔවුන්ගේද දායකත්වය ඇතිව රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම මුහුණදී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය හමුවේ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට උපරිම දායකත්වය ලබා දීම ආයතනික සහ පුද්ගලයන් වශයෙන්ද මේ වන විට සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය සති කිහිපය තුළ බලශක්තිය කළමණාකරණය පිළිබඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින් විශේෂයෙන් රාජ්‍ය සේවාවට ලබා දිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. 

එමෙන්ම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කළමණාකරණයකට ලක් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

නාගරික වශයෙන් පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කර ගැනීම සහ බලශක්තිය කළමණාකරණය වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි. 

ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අතර විදුලිය ඇතුළු බලශක්ති අර්බුදයක් රට තුළ ඇති වීම වළක්වාලීමේ අරමුණින් බලශක්ති පරි‌භෝජනය සීමා සහිතව පරිහරණය කරන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලීමක් කරනවා.ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පසුගියදා එක්වෙමින් ඔහු පැවසුවේ බලශක්ති පරිභෝජනය අවම කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම ප්‍රධාන නගරවල සහ අනෙකුත් නගරවල විදුලි පහන් නිවා දමා නිවසක එක් විදුලි බුබුලක් දැල්වීමට කටයුතු කරන ලෙසයි, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ මාතර පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වී‌මට එක්වෙමින් කියා සිටියේ.මේ අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඔත්තේ ඉලක්කම් සඳහා ඉන්ධන නිකුත් කිරීම අද සිදු කෙරෙනවා.

ඒ අනුව දිවයිනේ ඉන්ධන පිරවුම්හල් රැසක් අසළ දිගු පෝලිම් තත්වය සමනය වී ඇතත් කෘෂිකර්මාන්තය සඳහා ඉන්ධන කෝටාව ලබා ගැනීමේදී ප්‍රදේශ රැසක ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *