ලෝක පාපන්දු ශූරතාව සිව් වතාවක් දිනූ ඉතාලිය තුන්වන වරටත් ලෝක කුසලානයෙන් ඉවතට.

සිව් වතාවක් ලෝක පාපන්දු ශූරතාව දිනාගත් ඉතාලියට අඛණ්ඩව තුන්වන වරටත් ෆිෆා ලෝක කුසලාන තරගාවලිය අහිමි වී‍මෙන් මුළු ඉතාලියම කම්පාවට පත්ව සිටී. සුදුසුකම් ලැබීමේ ප්ලේ-ඕෆ් අවසන් වටයේදී බොස්නියාව හමුවේ දරුණු පරාජයක් ලැබීමෙන් පසු, මේ තත්ත්වය ඉතාලි පාපන්දු කණ්ඩායමට උදා විය.

ඉතාලි – බොස්නියා තරගය ගෝල් 1-1ක් සම තත්ත්වයකට පත්වීමෙන් පසු දඬුවම් පහර පිරිනැමූ අතර, එහිදී ගෝල් 4-1ක ජයක් බොස්නියා පිල හිමි කර ගත්හ. බොස්නියාව ලැබූ මේ ජයග්‍රහණයත් සමඟ ඔවුන් 2014 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.

මෑත කාලයේ දී, ඉතාලිය යුරෝ 2020 තරගාවලි‍යේදී එංගලන්තය පරාජය කොට කුසලානය දිනාගත් අතර, එයින් පසු පාපන්දු මට්ටම පහත වැටී ඇත. ඉතාලිය 1934, 1938, 1982 හා 2006දී ලෝක පාපන්දු ශූරතාව දිනා ගත්තේය.

බ්‍රසීලය 5 වතාවක්, ජර්මනිය සිව් වතාවක්, ආර්ජන්ටිනාව තුන් වතාවක් හා ප්‍රංසය, උරුගුවේ දෙවතාව බැගින් ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය හිමිකර ගෙන ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලිය අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල මේ වසරේ ජූනි මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *