
එඡාප – සඡබ එකතුවට බාධා
මෙවර මැයි රැලිය මුල් කොටගෙන සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මාස ගණනාවක් තිස්සේ තමන්ගේ සිතේ තිබූ සැලැස්මක් ක්‍රියාවට නගමින් පක්ෂ දෙක අතර දේශපාලන එකමුතුව සහතික කිරීම සඳහා සජබයේ මැයි රැලියට එජාපයටද ආරාධනා කිරීමට පියවර ගත්තේය. නමුත් සජිත් මෙවැනි ආරාධනාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බවත්, එසේ මැයි දිනයේදී පක්ෂ දෙකම එකම වේදිකාවකට ගොඩවුවහොත් තමන්ගේ පැවැත්මට සහ තමන්ගේ අරමුණුවලට බාධා වන බවත් වටහාගත් මෙම සූත්තර භූතයන් දෙදෙනා සුපුරුදු පරිදි නැවතත් මෙම එකමුතුව කඩාබිඳ දැමීම සඳහා විවිධ නූල් සූත්තර යෙදීමට පියවර ගත්හ.
සජිත් මේ පක්ෂ දෙක එකතු කිරීමේ කටයුත්ත සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහාම තමන් අතට ගත්තේ පියවරෙන් පියවර මෙම පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමේ දිගුකාලීන සැලැස්මක් ඔළුවේ තබාගෙනය. ඒ අනුව පළමු අදියරේදී සජිත් එජාපයේ දෙවැනි පෙළ ජ්‍යෙෂ්ඨයන් වූ රුවන් විජයවර්ධන, නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ටාජ් සමුද්‍රා හෝටලයේදී හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් අනතුරුව සජිත් සාගල රත්නායකවද එහිදීම හමුවී ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් හුවමාරු කරගැනීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාවෙන් පසු සජිත් සහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එජාපයේ මහලේකම්වරිය වූ තලතා අතුකෝරාල මහත්මියවද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්හ. මේ සාකච්ඡා තුනම සජිත් අවසන් කොට තිබුණේ පක්ෂ දෙක එකතු කිරීම සම්බන්ධයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වූ සජබ – එජාප සාමාජිකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.
කෙසේ වෙතත් සජබයෙන් ලැබුණු මෙම නිල ආරාධනාවත් සමග පක්ෂ දෙක මැයි දිනයේදී එකතු වුවහොත් තමන්ගේ සියලු සැලසුම් අසාර්ථක වන බව වටහා ගත් එජාපයේ සිටින මේ භූතයන් දෙදෙනා මෙවර කළේ තලතාව ඒ සඳහා ඉත්තෙක් ලෙස යොදාගනිමින් මෙම එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා එජාපය ඇතුළේ මෙහෙයුමක් දියත් කිරීමටය. ඒ අනුව ඔවුන් පළමුව රනිල් හමුවට ගොස් කියා සිටියේ පොහෝ දිනයේ එජාපය දේශපාලන කටයුතුවල නිරත නොවන බැවින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ යුතු යැයි කියාය. ඒ අනුව සජිත් කළ නිල ආරාධනාවෙන් පසු පක්ෂ දෙක මැයි දිනයේදී නිල වශයෙන් එකතු වනු ඇතැයි සිතා සිටි සජබ – එජාප පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු සහ ඔවුන් තුළ තිබූ පිබිදීම සුනුවිසුණු
රුවන් හරීන් සටනට
කෙසේ වෙතත් මේ ආකාරයට තලතා නිවේදනයක් නිකුත්කොට සජබ මැයි රැලියට සහභාගි නොවන බව ප්‍රකාශ කළද එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨයන් නම් එය පිළිගැනීමට සූදානම් වූයේ නැත. විශේෂයෙන්ම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනත්, එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දුත්, තලතා ඇතුළු කණ්ඩායම විසින් නිකුත් කළ එම නිවේදනය එක් වරම පිළිගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත. ඒ අනුව බදාදා රාත්‍රියේ රුවන් සහ හරීන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී රුවනුත් හරීනුත් දෙදෙනාම රනිල්ට දැඩිව පෙන්වා දුන්නේ සජබ මැයි රැළියට ආරාධනා කොට තිබියදීත් ඊට එක්වීම ප්‍රතික්ෂේප කරමින් පක්ෂය විසින් ප්‍රකාශයට පත්කළ මෙම තීන්දුව හේතුකොට ගෙන පාක්ෂිකයන් දැඩි කැලඹීමකටත්, කෝපයටත් පත්ව සිටින බවකි.
කෙසේවෙතත් අවසානයේදී රුවන් වෙනත් දුරකතනයක් හරහා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කතා කොට පක්ෂයේ ඇතැමුන්ගෙන් සජබ මැයි රැළියට සහභාගී නොවන ලෙසට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් මද්දුමබණ්ඩාරව දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී තමන්ට බලපෑම් කළ පිරිසේ නම් පවා රුවන් මද්දුමබණ්ඩාරට අනාවරණ කිරීම විශේෂ සිදුවීමක් විය. එල්ල වූ මේ බලපෑම් හේතුකොටගෙන අවසානයේදී රුවන්ද ඊට සහභාගී වෙමින් වැළකී සිටියේය.
සජිත්-ඉරාන් හමුව හෝටලයක
ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ පසුබෑම්වලින් යම් තරමකට හෝ ගැලවීම සඳහා ජනාධිපතිවරයා තීන්දු කොට තිබුණේ ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ශම්මි සිල්වා මහතා ඉවත් කොට එය සජබ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම වර්තමානයේදීද සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයකු මෙන්ම කළමනාකරණ කමිටුවේ සාමාජිකයකුද වන ඉරාන් වික්‍රමරත්න මහතා යටතට පත්කිරීමටය.
මේ ආකාරයට ශම්මි ඉවත් කොට ඉරාන්ව පත්කිරීමට යෝජනා වීමත් සමග ඉරාන් සජබ නායක සජිත්ටද පණිවුඩයක් එවමින් තමන්ට මේ සම්බන්ධයෙන් සජිත් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්, ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් හමුවීමට තමන් බලාපොරොත්තු වන බවත් දැනුම් දී සිටියේය. ඒ වනවිටත් ඉරාන් ජනධිපතිවරයා හමුවී යම් එකඟතාවක් ඇතිකොටගෙන ඇති බවට වූ තොරතුරු විවිධ පාර්ශ්වවලින් සජිත්ටද වාර්තා වී තිබිණි. ඒ අනුව සජිත් කළේ එම හමුව විපක්ෂ නායක කාර්යාලයෙහි නොව කොළඹ පිහිටි තරු පහේ හෝටලයක පැවැත්වීමට හැකි බව ඉරාන්ට දැනුම් දීමය. එම දැනුම්දීමට අනුව සජිත් හා ඉරාන් අතර පැවැති සාකච්ඡාවේදී තමන්ට ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ඉරාන් සජිත්ට දැනුම්දී සිටියේය.
යනවා නම් යන්න
නමුත් ඒ වනවිටත් ඉරාන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය භාරගැනීමට ජනාධිපතිවරයා වෙත එකඟතාව පළකොට තිබීම නිසා සජිත්ට දැනුම්දී සිටියේ ඒ වෙනුවෙන් තමන් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ සජබ කළමනාකරණ කමිටුවෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බවය. නමුත් තවදුරටත් සජබ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනයේ නිලතලවලින් ඉවත් වූ දිනෙක යළිත් සජබය සමග දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තමන් සූදානම් බවත් එහිදී ඉරාන් සජිත්ට කියා සිටියේය.
ඉරාන්ගේ එම ප්‍රකාශයට නම් සජිත් ඒ මොහොතේ කෙළින් උත්තරයක් දුන්නේ නැත. ඒ වෙනුවට සජිත් කියා සිටියේ දේශපාලන පසුබිමක් පිටුපස තබාගෙන ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට සම්බන්ධ වීම තමන්ට කිසිසේත්ම පිළිගත නොහැකි යැයි කියාය.
‘ඉරාන් ඔයා ඔය ගන්නේ ජනාධිපතිතුමාගේ පත්වීමක්. එතකොට ඔයාට තවදුරටත් සජබය එක්ක කටයුතු කරන්න බෑ. කොටින්ම කියනවා නම් සජබ සාමාජිකත්වය තියාගෙන ජනාධිපතිවරයාගේ තනතුරක් භාරගන්න ඔයාට බෑ. මොකද ඔයා ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිහිල්ලා ගන්න තීන්දු තීරණ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒවා හොඳ වෙන්නත් පුළුවන්. නරක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කිසිම දේක වගකීම සජබයට ගන්න බෑ. ඒ හින්දා ඔයා ජනාධිපතිතුමා දෙන තනතුරක් භාරගන්නවා නම් සජබයෙන් අයින් වෙලා ඒ තනතුර භාරගන්න. ඔයා ඒ රාජකාරිය ඉවර කරලා ආපහු සජබයට එනවා නම් එදාට අපි ඒ ගැන තවදුරටත් කතා කරමු….’ යනුවෙන් එහිදී කබීරුත්, මද්දුමබණ්ඩාරත් ඉරාන්ට දැනුම් දුන් බවක්ද ආරංචිය.
ෂම්මි අනුර හමුවේ
ජනාධිපතිවරයා සහ ශම්මි සිල්වා අතරද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැත්විණි. මෙම හමුවට ශම්මි ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික වූ සුජීව ගොඩලියද්ද ද සහභාගි කරගැනීමට කටයුතු කොට තිබිණි. ශම්මි සහ ජනාධිපතිවරයා අතර අතීතයේ සිටම අතිශය සමීප හිතවත්කමක් පවතින බව බොහෝ දෙනකුට රහසක් නොවේ. රනිල් ජනාධිපතිවරයාව සිටියදී රනිල් යටතේ ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ රොෂාන් රණසිංහ එදා ශම්මිව ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා විශාල සටනක් දියත් කළේය. පාර්ලිමේන්තුවේ ශම්මිට එරෙහිව යෝජනාවක්ද ඉදිරිපත් කළේය. එහිදී ශම්මිට එරෙහිව පාර්ලිමේන්තු විවාදයේදී අනුර වචනයක් හෝ කතා කළේ නැත. අඩුම තරමෙන් මාලිමාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් දෙදෙනා වූ හරිනි සහ විජිත හෝ ශම්මිට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට එදින පාර්ලිමේන්තුවේ සිටියේද නැත. එමෙන්ම 2024 ජනාධිපතිවරණයෙන් පසු අනුර ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුවද පසුගිය වසර එකහමාරක කාලය තුළ ශම්මිට එරෙහිව අතවත් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත.
කෙසේ වෙතත් සිකුරාදා රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ශම්මිට කෙළින්ම දැනුම්දී සිටියේ තමන්ට ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නිසා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන්නැයි කියාය. ඒ අනුව සඳුදා දිනයේදී සියලු දෙනාම ක්‍රිකට් තනතුරුවලින් ඉවත් විය යුතු බවද ජනාධිපතිවරයා ශම්මිට දැනුම්දී සිටියේය. ඊට පිළිතුරු වශයෙන් ශම්මි කියා සිටියේ සඳුදා දිනයේ එය කළ නොහැකි බවත්, තමන් ඉල්ලා අස්වීමට සූදානම් නමුත් ඊට පෙර ක්‍රිකට් ආයතනයේ තනතුරු දරන අනෙකුත් සාමාජිකයන් සමග සහ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත්ය. නමුත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මුලින් ශම්මිට ඉවත් වන ලෙසත්, ඉන් අනතුරුව තමන් විසින් අනෙක් සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කරන බවත්ය. නමුත් නැවතත් ශම්මි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ කිසිදු ගැටුමක් ඇතිකරගත යුතු නැති බවත්, බදාද දිනය වනවිට තමන් ඇතුළු සියලු දෙනාම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් සහ විධායක කමිටුව සමග සාකච්ඡා කිරීම සඳහා තමන්ට බදාදා දිනය දක්වා පමණක් කාලය ලබාදෙන ලෙසත්ය.
ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ද දෙදෙනා අතර දීර්ඝව තවදුරටත් තොරතුරු හුවමාරු විය. එහිදී ශම්මි කියා සිටියේ ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් තරගාවලි අඩුවීම හේතුකොට ගෙන ක්‍රිකට් ආයතනය මේ වනවිට මූල්‍යමය වශයෙන් යම් පසුබෑමකට මුහුණ දී සිටින බවය. මේ වසර මැදදී ඉන්දියාව සමග ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද තවමත් ඉන්දියාව ඊට අවශ්‍ය අනුමැතිය ලබාදී නොමැති බවද ශම්මි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා ශම්මිට දැනුම් දී සිටියේ තමන් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කොට තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නම් යැයි කියාය..
ආණ්ඩුව බෑ කියයි
පසුගිය සතියේ දේශපාලනය උණුසුම් කළ ප්‍රධාන මාතෘකාව වූයේ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ පුවතය. ඒ සම්බන්ධයෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න රටට අනාවරණ කිරීමත් සමග විපක්ෂයද එය අතට ගෙන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් රට ඇතුළේ ගොඩනැගීමට කටයුතු කළේය. පසුව ඒ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කිරීමේදී තවත් අනාවරණයක් කරමින් ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කොට සිටියේ මෙරට තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඇමෙරිකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවූ බව කියන ඩොලර් ලක්ෂ 6ක මුදලක්ද මේ ආකාරයටම අතුරුදන් වී ඇති බවකි. ඒ අනුව එයද පසුගිය සතියේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ගෙන ගිය විරෝධතා රැල්ලට එක්වූ තවත් මාතෘකාවක් බවට පත්ව තිබිණි.
අනුව විපක්ෂයේ පක්ෂ නායකයන් භාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් එක් දින විවාදයක් ඉල්ලද්දී සියල්ලන්ම පුදුමයට පත්කරමින් ආණ්ඩුව එය ලබාදිය නොහැකි බව කියා සිටියේය. එහිදී ඔවුන්ගේ තර්කය වී තිබුණේ එම පාර්ලිමේන්තු සතියේදී වියට්නාම් ජනාධිපතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට සූදානමින් සිටින බැවින් විවාදයක් සඳහා අවස්ථාවක් ලබාදිය නොහැකි යැයි කියාය. ඒ අනුව එම පක්ෂ නායක රැස්වීම ඉතා උණුසුම් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ජවිපෙන් බළකායක්
පසුගිය සතියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කරද්දී ගොම සහ බිත්තර ප්‍රහාරයකට ලක්වූ අයුරු දැකගන්නට ලැබිණි. එහිදී ඔවුන් පසුව තලංගම පොලිසියේ පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ජවිපෙට සම්බන්ධ මැර කණ්ඩායම් එම ප්‍රහාරය පසුපස සිටියා යැයි කියාය. ඒ අනුව පසුගිය සතියේ එම සිදුවීම රට ඇතුළේ විශාල මාතෘකාවක් බවට පත්වෙද්දී ඇතැමුන් ප්‍රශ්න කොට තිබුණේ ආණ්ඩුවේ ප්‍රධානීන් පසුගිය සමයේ ඇතැම් ස්ථානවල කළ ප්‍රකාශයන් ක්‍රියාවට නැංවීම සිදුව ඇති බවක් මෙම සිදුවීම හරහා දැකගන්නට ඇතැයි කියාය. එහිදී ඔවුන් පළමුවෙන්ම පෙන්වා දී තිබුණේ විහාරමහා දේවි උද්‍යානයේ පැවැති විරු සමරුවකදී වරක් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටි කතාවකි. ඒ, ආණ්ඩුවට එරෙහිව දාහක් පාරට බසින්නේ නම් ආණ්ඩුව රැකගැනීම සඳහා ලක්ෂයක පිරිසක් පාරට බැසීමට සූදානම් බවට ටිල්වින් කළ ප්‍රකාශයය. ටිල්වින් එසේ කියා සිටියේ ඊට දින කීපයකට ඉහතදී සජබය විසින් ආණ්ඩු විරෝධී රැලියක් පැවැත්වීම මුල්කොට ගෙනය.
ඒ අනුව පැලවත්තේදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කණ්ඩායමට ගොම ප්‍රහාරයක් එල්ල වීම හරහා මාලිමාවේ ප්‍රධානීන් පෙන්වා දී තිබූ පරිදි ආණ්ඩුවට එරෙහි විරෝධතා මර්දනය කිරීම සඳහා විවිධ කල්ලි කණ්ඩායම් නිර්මාණය කොට ඇද්ද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ. පැලවත්තේදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ගොම ප්‍රහාරය පසුපසද එවැනි අරමුණක් ඇති නම් එහි අවසානය ඉතා භයානක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ ආණ්ඩුව මුලින් මැයි රැලි 3ක පමණක් පැවැත්වීමට තීරණය කොට පසුව දිස්ත්‍රික්ක 21ම ආවරණය වන පරිදි මැයි රැලි පැවැත්වීමට තීරණය කළේ මේ ආකාරයට ගොඩනගන බළකායන් දිස්ත්‍රික් මට්ටමින් සවිමත් කිරීමටදැයි කියාය.
බැසිල් එනවා
ආණ්ඩුව මේ ආකාරයට සිය දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරද්දී පසුගිය සතියේ විපක්ෂය පැත්තෙන් තවත් අරුම පුදුම ආකාරයේ සිදුවීමක් වාර්තා විය. ඒ, මේ වනවිට වසර ගණනක් තිස්සේ විදේශගතව සිටින පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මුල්කොට ගෙනය. පොහොට්ටුවේ ඉකුත් ජනාධිපතිවරණ සහ මහමැතිවරණ පරාජයත් සමග බොහෝ දෙනා සිතා සිටියේ බැසිල් දේශපාලන වශයෙන් සදහටම නිහඬව සිටිනු ඇතැයි කියාය. පරාජයට පෙර ඇමෙරිකාවට යෑම හරහා බැසිල් විසින්ම එය තහවුරු කළ ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් පසුගිය සතියේ සිදුවූ එක්තරා විශේෂ සිදුවීමක් හේතුකොට ගෙන බැසිල් යම් දේශපාලන කුරුමානමක් ඇල්ලීමට සූදානමින් සිටින බවට සැකයක් බොහෝ දෙනකුට මතුවී තිබිණ. ඒ, පොහොට්ටුව පැත්තෙන් සමාජ මාධ්‍යයට නිකුත් කරනු ලැබූ විශේෂ වීඩියෝවක් හේතුකොට ගෙනය.
දීර්ඝ වීඩියෝවක් වූ මෙහි දක්නට ලැබුණේ සම්පූර්ණයෙන්ම බැසිල් සම්බන්ධයෙන් වූ තොරතුරුය. බැසිල් දේශපාලනය ආරම්භ කළ ආකාරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ආකාරය, මැතිනිය සමග දේශපාලනය කළ ආකාරය, අනුර බණ්ඩාරනායක සමග ඉතා සමීප සගයකු ලෙස සිටි ආකාරය, 2005දී එජාප අපේක්ෂකයා පරාජයට පත්කොට මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළ ආකාරය, යුද සමයේදී බැසිල් එය ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිය ලබාදුන් ආකාරය, මග නැගුම, දිවි නැගුම ආදී වැඩසටහන් හරහා රට සංවර්ධනය කළ ආකාරය මෙම වීඩියෝවෙන් ඉතා වෘත්තීය මට්ටමින් පෙන්වා දී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව බැසිල්ගේ උපදෙස් අනුව එම වීඩියෝව කිසියම් ආයතනයක් මගින් සකස් කළ එකක් බව එය දුටු සියල්ලන්ටම වටහාගත හැකි විය.
මෙම වීඩියෝව මුලින්ම සමාජ මාධ්‍යයේ පළවුවද ඊට විශාල වශයෙන් ප්‍රචාරයක් නොලැබීම නිසා පසුගිය සතියේදී බැසිල් කළේ එය පෞද්ගලිකවම ලංකාවේ සිටින තමන්ගේ හිතවතුන් වෙත වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකිරීමය.. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ පෙරහැරේ කරඬුව වැඩමවීමට පෙර කසකාරයන් පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරනවා යැයි කියාය. බැසිල්ද එවැනි පන්නයේ දේශපාලකයෙකි. එනම් ඔහු ද පළමුවෙන්ම කරන්නේ යම් කිසි කාර්යයක් සිදුකිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව නිල ඇල්ලීමය. ඒ අනුව බැසිල් මේ සූදානම් වන්නේ යළිත් දේශපාලන නිලයක් ඇල්ලීමටදැයි කියන්න තවම කල් වැඩිය.


