මැරලින් මොන්රෝ, ජුරාසික් පාර්ක් සිට එලන් ගේ වැඩසටහන තැනෙන බයිස්කෝප් ලෝකයට……, අවුරුදු මිලියන තුන්සියයක් පැරණි පොසිල පිරුණු Joggins Fossil site එක බලමුද ?

ඇමෙරිකානු සංචාරයක මතකය

නෝමා ජීන් මොටෙන්සෙන් ( Norma Jeane Mortenson ) නම කිව්වොත් ඔබ ඇයව දන්නේ නැහැ . ඒත් මැරලින් මොන්රෝ ( Marylyn Monroe) කියන නම නොදන්නා කෙනෙක් නැහැ.. බටහිර රටවල හොලිවුඩ් සිනමාව ඒ තරමටම ජනප්‍රියයි . සමස්ථ ලෝක චලන චිත්‍රපට කලාවේ මහගෙදර ලෙස සැලකෙන්නේ කැලිපෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි හොලිවුඩ් ප්‍රදේශයයි . ජුරාසික් පාක්( Jurasik Park ) , කිංග් කොං ( king Kong) ඩිස්නි ( Disney) චිත්‍රපට තැනුණු බයිස්කෝප් ලෝකයට ඔබව ගෙනයන්නට හිතුවෙ ඒ නිසයි. ලොව පුරා දස අතින් ජන ගග ගලන සිනමා කර්මාන්තයේ නිරත බොහෝ දෙනා
වෙසෙන ලොස්‌ ඇන්ජලීස් නගරය ඉතා කාර්යබහුල නගරයක් .

යුනිවර්සල් චිත්‍රාගාරය ( Universal Studios)

මිලියන 9 කට අධික පිරිසක් 2017 දී සංචාරය කල යුනිවර්සල් චිත්‍රාගාරය ශත 5 කට බලන්නට අවස්ථාව තිබුනේ එය ආරම්භ කල 1915 දී . ඔබ දැක ඇති බොහෝ චිත්‍රපට සදහා යොදා ගැනුණු පසුතල වූ ගම්මාන , නගර ඇතුළු ලෝකයේ තැන තැන නගර මේ පරිශ්‍රයේදී ඔබට දකින්නට පුළුවන් . ගැල් කිහිපයකින් යුත් ට්‍රෑම් රථයකට ගොඩවී අප කල චිත්‍රාගාර සංචාරයේදී අප
යුරෝපීය නගර වල ගොඩනැගිලි , නිව්යෝර්ක් සහ තවත් ඇමෙරිකානු නගරවල විථි පුනරුපණය කල ඉදිකිරීම් දුටුවා . හැබවින්ම ඒවායේ ඇත්තේ පිටත පෙනුම නිරුපණය කෙරෙන පසුතල . චිත්රපටයට අවශ්‍ය පරිදි නාම පුවරු එල්ලන බවයි නියාමක වරිය කීවේ . වරෙක අප රථය නැවත් වුවේ මෙක්සිකෝවේ ගම්මානයක් ප්‍රතිනිර්මාණය කල තැනක . හදිසියේම ගංවතුරක් ආවා . ගම්මානය ඉන් සුණු විසුණු වී ගියා . ගොපළු ගම්මානයක කඩ මණ්ඩියක් රූපගත කිරීමකට සුදානම් වෙනවා .

අපි මුහුදු වෙරළබඩගම්මානයක පසුතලයක් අද්දරින් ගියා . එකපාරටම ධීවර බෝට්ටු වලට තෙල් සපයන මධ්‍යස්ථානය ගිනි ගත්තා . ගිනි දැල්ලේ රස්නය දැනි දැනී අපි වෙරළබඩ ගම්මානයෙන් ඉවතට යන්නට සුදානම් වෙද්දී විශාල මෝරෙකු මතුවී
මුහුදේ පීනමින් සිටි අයෙකු ගිල දැම්මා . අපි ඊළගට ගියේ සිව්මාන (4D ) කුටියකට . ඇතුළුවීමේ දොරටුව අද්දර ප්‍රහාරයකින් අබලන් වූ අප ගමන් කල අන්දමේ රථයක් තිබුණා . අප ගිය කුටිය අදුරු එකක් එකපාරටම එය නිවර්තන වනාන්තරයකට පරිවර්තනය වුණා . සිංහරාජයේ ගද සුවද තෙතමනය දැනෙන්නට වුණා .දිය සීරාව ඇගට දැනෙන මොහොතේ කිං කොන්ග්
එහෙ මෙහෙ ගියේ අපේ රථය පද්දමින් . අන්තිමේදී කිං කොන්ග් ළගට ආවා අපට සිහිවුණේ දොරටුව ළග තිබු විනාශ වූ ට්‍රෑම් රථය . මොහොතකින් අපට දැනුණේ අපේ ට්‍රෑම් රථය කිං කොන් විසිකරනවා වගේ . මම ඇස් දෙක පියාගත්තා . තවත් විස්තර
ලියන්නට පුළුවන් .ඒත් ඉතිරිය ඔබට විදින්නට තබා තව එක් සිදුවීමක් පමණක් කියන්නම්. අපි තවත් කුටියකට ගියා . අපට දැනුනේ අපි ටොරොන්ටෝවේ ඊටන් මධ්‍යස්ථානයේ පහතින් යන උමං දුම්රිය නැවතුමට ගියා වාගේ . එකපාරටම
භූමිකම්පාවකින් වගේ වටපිට හෙලවෙන්නට පටන් ගත්තා . වේදිකාවට පැමිණි දුම්රිය පීලි පැන්නා . අපේ ට්‍රෑම් රථයේ වැදී නොවැදී නතර වුණා . ජල නල පුපුරා වතුර විසිවෙන්න ගත්තා . විදුලිය විසන්ධි වුණා . තාම ඒ දර්ශන ඇත්තටම චිත්‍රපට වල
වගේ වෙන සිදුවීම් වගේ ඇගට දැනුණා .

මීට පෙර සංචාරයකදී ඔබව කැදවා ගෙන ගිය ඩිස්නි ලෝකයේ සංචාරයේදී දුටු චිත්‍රපට දර්ශන ප්‍රතිනිර්මාණය සිහියට ආවේ වෝටර් වර්ල්ඩ් ( Water World) දර්ශන තලයේදී . එහි ත්‍රාසජනක අත්දැකීම් වචනයෙන් විස්තර කරනවාට වඩා ගිහිල්ලම
බලන එක හොදයි . කැමති නම් ඒ රංගනය අවසානයේ ඔබට රග පෑ නළු නිලියන් සමග සේයාරුවට පෙනී ඉන්නත් පුළුවන් .
හැරී පොටර් ( Harry Potter) කලාපයේදී “බටර් බියර් “(Butter Bear) බොන්නත් , මැජික් යෂ්ටියක් (Wands) ගන්නත් පොරකන සෙනග මැද්දේ අප ගියේ හැරී පොටර් මාලිගාවේ අත්භූත ගමනකට. පැයකට කිට්ටු කාලයක් පෝලිමේ හිද විනාඩි 5 ක ඒ අත්දැකීම විදගත් අප රාත්‍රියේදී අපහු එතනට ආවේ අදුරු මන්දිරය වර්ණවත් විදුලි රටා මගින් කල වියමන බලන්නයි .ඉතා ඉහළ මිලකට මිල නියම වන දිනක ප්‍රවේශ පත්‍රයක් ගන්නට වන මේ පරිශ්‍රයේ කරන්නට බොහෝ දේ තිබෙනවා . උදැසනින්ම යාමත් , රාත්‍රියේ සංදර්ශනයත් දක්වා කාලය නිසි ලෙස කළමනාකරණය කරගැනීමත් තුලින් ඔබටත් පහසුවෙන් දිනකින් මේ පරිශ්‍රය ආවරණය කරන්නට පුළුවන් .

හොලිවුඩ් මාවත ( Hollywood Boulvard)

හොලිවුඩ් වලට යන හැමෝම අමතක නොකර යන තැනක් තිබෙනවා . ඒ හොලිවුඩ් මාවතට . ජනප්‍රිය කලාවේ නම් දැරූ පුද්ගලයන්ගේ නම් කෙටූ තරු ඇතිරූ පදික වේදිකාවක් ඇති මේ මාර්ගය සිනමා රසික රසිකාවියන්ගෙන් කොයි වෙලාවෙත් පිරිලා තියෙනවා . 1910 දී හොලිවුඩ් නගරය බිහිවෙද්දී අළුතින් නම් කෙරුනු මේ පාරේ මුල් නම Prospect Avenue ඒත් මේ පාර මේ තරමට ජනප්‍රිය වුනේ 1920 දී මේ පාර දෙපැත්තේ ඉදිකිරීම් කල හොලිවුඩයේ පියා ලෙස සැලකෙන චාල්ස් ටොබර්මන් ( Charles Toberman) නිසා .මුලින්ම ඔහු Egyptian, Capitan සහ Chinese නමින් චිත්‍රපට ශාලා 3 ක් සහ හෝටල් 3 ක්
ඉදිකලේ ජනප්‍රිය සිනමා සංස්කෘතියකට පාර කපමින් . ඈත හොලිවුඩ් කදු මුදුනේ ඇති හොලිවුඩ් සලකුණ බලමින් රැයක් , දවාලක් නොමැතිව විනෝද වන පිරිස් මෙහිදී දකින්නට පුළුවන් .

මේ පාර Hollywood Christmas Parade එකේදී මාධ්‍ය වල විශේෂ අවධානයට යොමුවෙනවා . අප වොෂින්ටන් වලදී ඔබව ගෙනගිය මැඩම් ටුසාඩ් ඉටි කෞතුකාගාරයේ ( Madame Tussauds Wax museum) ශාඛාවක් සහ නිව්යෝර්ක්
සංචාරයේදී ගෙන ගිය රිප්ලීස් පුදුම එකතුවේ ( Ripleys Believe it or not) ශාඛාවක් මෙහි ඇති නිසා ඔබට මේ ගමනේදී ඒවා විදින්නත් පුළුවන්

ඔබේ සංචාරයට එක් කර ගත හැකි තවත් තැන් .

 Angels flight Railway
 Kodak Theatre
 Rodeo Drive
 Sunset boulevard
 Museum of Jurasic technology
 California Science Centre

කැනේඩියානු සංචාරයක මතකය

අවුරුදු මිලියන තුන්සියයක් පැරණි පොසිල පිරුණු Joggins Fossil site එක බලමුද ?

ලෝකයේ  දස දෙසින් පොසිල අධ්‍යයන කටයුතු සඳහා ඇදෙන පර්යේෂකයන් වගේම අවුරුද්දේ මැයි සිට ඔක්තෝබර් ගිම්හාන  කාලයේදී සංචාරකයන්ගෙන් පිරී යන  ප්‍රදේශයක් කැනඩාවේ නෝවා ස්කොෂියා පළාතේ තියෙනවා. ඒ  ප්‍රදේශයට කියන්නේ  Joggins Fossil site කියලයි.

මීට පෙර ලිපියක මම නිව් බ්රුන්ස්වික් පළාතේ Hopewell Rocks ගැන කතා කළා ඔබට මතක ඇති. වරකට ජලගැලුම් බිලියන 160 ක් පිරවෙන හිස්වෙන ෆන්ඩි බොක්කේ අනිත් පැත්තේ  තමයි මේ යුනිස්කෝ ලෝක උරුමය තියෙන්නේ.  ඒ හන්දා මේ පරිශ්‍රය බලන්න යනකොටත් ඔබ දවසේ වඩදිය බාදිය කාලසටහන ගැන බලන්න වෙනවා. එහෙම වුනොත් ඔබට හොඳින් මුහුදු පත්ල දිගේ ඇවිදගෙන ගිහිල්ලා මේ ස්ථානයේ තිබෙන පොසිල බලන්න පුළුවන්.

ඒ ලිපියේ දිගුව 

වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.

https://ahasgawwenehalokaya.blogspot.com/2025/04/160-hopewell-rocks.html

සම්පූර්ණ  Joggins Fossil site පරිශ්‍රය කිලෝමීටර් 14.7  සිට පහළොවක් දක්වා දිගට වෙරළ තීරය දිගේ විහිද යනවා.  ඔබට කැමති නම් වඩදිය බාදිය  වෙලාව සහ කාලගුණය අන්තර් ජාලයෙන්  බලලා මුහුදු පතුල හිස් වෙලා නම් එහි සම්පූර්ණ කොටසම ඇවිද යන්න පුළුවන්. ඒත් ඒවා ආරක්ෂිතව බලන්න වඩා සුදුසු වන්නේ Joggins Fossil Centre ආයතනය පිහිටුවා තිබෙන විශේෂ මධ්‍යස්ථානය( )  අසලින් සකස් කර තිබෙන ප්‍රදේශය ආරක්ෂිතව මුහුදු වෙරළට බැසිය හැකි පඩිපෙළ සහ ආබාධිත අය වෙනුවෙන් සකස් කල Ramp  එකකිනුත් සමන්විතයි.

වසර මිලියන ගණනක් පැරණි පර්වත ඉවුරු කුමන වෙලාවක වුවත් කඩා වැටෙන්නට පුළුවන් . ඒ වගේම ජලය පිරෙන හිස්වන සජීවී මුහුදු පතුලක් නිසා ගල් කැබලිති, අපද්‍රව්‍ය, හිරිගල් කොටස් තිබෙන්නත්  පුළුවන්. තෙතමනය සහ මඩ සහිත පරිසරයක් නිසා ඊට සුදුසු ක්‍රීඩා පාවහන් දාගෙන යන එක සුදුසුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ ජංගම දුරකථන ආවරණය අවම නිසා ගොඩබිම ඉන්නා කෙනෙකු දැනුවත් කර තිබෙන එකත් සුදුසුයි.      

https://jogginsfossilcliffs.net/tours/weather

අවුරුදු මිලියන 300 ක් පැරණි ගල්අඟුරු යුගයේ ( Coal age) සතුන් සහ ශාක හිරවී තද වී තිබෙන පොසිල රැසක් ඔබට මේ වෙරළ ඉවුරේදි බලන්න පුළුවන්. එහෙත් මේ හමුවෙන පොසිල ගෙනියන්නට නම් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ අවසරයක් ගන්නට වෙනවා.

ඒ ප්‍රදේශයේ  හමුවන හැම ගල් කැබැල්ලක්ම,  පර්වත කොටසක්ම අපට ගිලිහුණු ඒ අතීතයේ කතා පුවත් ගොඩක් දරාගෙන  අජීවී වස්තූන්. ඔබට කැමති නම් මෙතැන තිබෙන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා ඉන්න නියාමකවරුන් මෙහෙයවන පැය එක හමාරක සංචාරයක් කලින් වෙන් කරවා ගන්න ඔබට පුළුවන්. ඔබ කැමති නම් ඔබේ බලු සුරතලාවත් මේ චාරිකාවට එක් කරගන්නට අවස්ථාව තිබෙනවා.

එහෙත් ඔබට නියාමකවරුන් රහිතව වෙරළ  තීරයේ ඇවිදින්නට නම්  සඳහා ගෙවීමක් කරන්න අවශ්‍ය නෑ, එහෙම ඔබ වෙරළට බහින්න මෙතන තිබුණු අංක හත( 7) දරන ගල් අඟුරු තල් පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයෙන් පිවිසුම් මගක් සකස් කර තිබෙනවා.

Joggins Fossil Centre එකට ප්‍රවේශපත්‍රයක් අරගෙන ගියොත් මේ පොසිල ගැන වැඩි විද්‍යාත්මක දැනුමක් වගේම ගල් අඟුරු යුගයේ ඉතිහාසයත් මේ ප්‍රදේශයේ ගල් අඟුරු පතල් කර්මාන්තය ගැනත් වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ  මධ්‍යස්ථානය නිදර්ශක,  ප්‍රදර්ශන අනුරූ  රැසකින් සමන්විත ඉතාම වැදගත් සම්පත් මධ්‍යස්ථානයක්.

අනුරුද්ධ වැලිගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *