
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන මස 11දා අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවලදී ආරම්භ වීමට නියමිත අතර, එම තරගවලදී කෘත්‍රිම බුද්ධිය (AI) ගැඹුරින් භාවිත කිරීමට කටයුතු යොදා ඇත. තරගවල උපායමාර්ගයේ සිට සිදුවීම් කළමනාකරණය දක්වා කාලීන දත්ත ආකෘති සහ ත්‍රිමාණ භාවිත කරන අතර, සෑම කණ්ඩායමකටම තමන්ගේම AI ආකෘතියක් ලබාදීමට ද නියමිතය.
එම ආකෘතිය මඟින් වීඩියෝ පට සහ ත්‍රිමාන හරහා ප්‍රතිවාදියාගේ ක්‍රීඩා විලාසය උපායශීලීව විශ්ලේෂණය කිරීමට හැකිවීම විශේෂත්වයකි. කල් ඇතිව සකසන සැලැස්මක් පිටියේදී කොතරම් ඵලදායි විය හැකිදැයි පුහුණුකරුවන්ට තේරුම් ගැනීමට හැකි වන අතර, ක්‍රීඩකයන්ට තනිවම තමන්ගේ කාර්ය සාධනය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ලබා ගැනීමට ද හැකියාව ඇත.
‘පාපන්දු AI Pro’ ලෙස හැඳින්වෙන මේ තාක්ෂණයට, දත්ත කට්ටල මිලියන සිය ගණනක් යොදාගෙන ඇති අතර, එයින් දර්ශක 2,000කට වඩා විශ්ලේෂණය කළ හැකිය. ක්‍රීඩකයන්ගේ චලනය, උපක්‍රම, ප්‍රහාර සහ පිටියේ ආරක්ෂක කලාප පිළිබඳ තොරතුරු ප්‍රස්තාර සහ කෙටි වීඩියෝ දර්ශන මඟින් ලබාගත හැකිය. මේ තාක්ෂණය ලෝක කුසලානයේ තාක්ෂණික හවුල්කරුවන් වන ලෙනොවෝ විසින් සංවර්ධනය කර ඇති අතර, අමෙරිකානු බැංකුව විසින් කරන ලද පර්යේෂණයකින් කියැවෙන්නේ කලින් ධනවත් පාපන්දු කණ්ඩායම්වලට තාක්ෂණික වාසියක් තිබූණද, දැන් එම පරතරය අඩුකර සෑම කණ්ඩායමකටම සමාන පදනමක් ලබාදී ඇති බවය.
ලෝක කුසලාන තරගවලදී, ක්‍රීඩකයන්ගේ සිරුරු තත්පරයක් ඇතුළත ඩිජිටල් ආකාරයෙන් ස්කෑන් කර පරිපූර්ණ ත්‍රිමාන අනුරුවක් නිර්මාණය කරනු ලබන අතර, එමඟින් ‘ඕෆ් සයිඩ්’ තීරණ වඩාත් නිවැරදිව තේරුම්ගත හැකි වේ.
ක්‍රීඩාංගණයෙන් පිටත ඇති තවත් තාක්ෂණික ආශ්චර්යයක් වන්නේ රොබෝටැක්සියයි. සමාගම් හතක ස්වයංක්‍රිය වාහන නගර 10ක ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත අතර, සුක්කානමක්, රෝදයක් හෝ මිනිස් අත් අවශ්‍ය නොවන ගමනකින් ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණ වෙත යෑමේ හැකියාව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ලැබෙනු ඇත.
මෑතකදී, ඕක්ලන්ඩ් කණ්ඩායම වෘත්තීය බේස්බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩා කළමනාකරණ තීරණ බොහොමයක් ගැනීමට AI භාවිත කළ පළමු කණ්ඩායම බවට පත්විය. කණ්ඩායම් තේරීම, පිතිකරණ පෙළගැස්ම සහ තරගයක් අතරතුර ආදේශන පවා මෙහෙයවීම කෘත්‍රිම බුද්ධිය මඟින් සිදු කෙරිණි.
පාපන්දු ලෝක කුසලානය අෙමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල නගර 16කදී පැවැත්වෙන අතර, කණ්ඩායම් 48ක මුළු තරග ගණන 104කි.


