කැනඩාවේ නීතිවිරෝධී දුම්කොළ ජාවාරම ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි.

කැනඩාව තුළ දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වුවද, නීතිවිරෝධී සහ ව්‍යාජ දුම්වැටි අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නවතම වාර්තා හෙළි කරයි. මෑතකදී මැනිටෝබා (Manitoba) ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමේදී නීතිවිරෝධී දුම්වැටි මිලියන 1.35ක් සමඟ මෙතම්පෙටමින් (methamphetamine) සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය බලපෑම කැනඩාවේ නීතිවිරෝධී දුම්කොළ වෙළඳාම යනු ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් වන අතර, එය ඉහළම මට්ටමේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් පාලනය කරනු ලබයි. මෙහි ඇති ප්‍රධානතම ආකර්ෂණය වන්නේ අධික ලාභයයි. නීත්‍යානුකූල දුම්වැටි කාටනයක් (carton) ඩොලර් 150-160 පමණ වන විට, නීතිවිරෝධී දුම්වැටි කාටනයක් ඩොලර් 40ක් වැනි අඩු මුදලකට ලබාගත හැක. KPMG ආයතනය සිදුකළ අධ්‍යයනයකට අනුව, මෙම ජාවාරම නිසා රජයට අහිමි වන බදු ආදායම ඩොලර් බිලියන 2.1ක් පමණ වේ.

රෝහල් සහ පොදු සේවා සඳහා යෙදවිය යුතු මෙම බදු මුදල්, සංවිධානාත්මක අපරාධකරුවන් අතට පත්වන අතර ඔවුන් එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී කටයුතු සඳහා යොදා ගනී. 2025 වසරේ දත්ත අනුව, දුම්පානය කරන්නන්ගෙන් 38.3%ක්ම තෝරාගෙන ඇත්තේ මෙවැනි නීතිවිරෝධී නිෂ්පාදනයන්ය.

ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය මෙම නීතිවිරෝධී නිෂ්පාදන නිෂ්පාදනය සහ බෙදා හැරීම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ඔන්ටේරියෝ පොලිසිය (OPP) අවධාරණය කරයි. 2026 වසරේ මේ දක්වා පමණක් ඔන්ටේරියෝ ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 15.6ක නීතිවිරෝධී දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය වසරේ එම අගය ඩොලර් මිලියන 54.7කි.

මැනිටෝබා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව චෝදනා 174ක් ගොනු කර ඇත. මින් වරදකරුවන් වූ සමහර පුද්ගලයන්ට වසර 3 සිට 16 දක්වා සිරදඬුවම් නියම වී ඇත.

විසඳුම් සහ නිර්දේශ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්විබෙක් (Quebec) ප්‍රාන්තය 2009 වසරේ සිට ක්‍රියාත්මක කරන ‘ACCES Tabac’ වැනි සාර්ථක මාදිලි අනුගමනය කිරීම වැදගත් බව විශේෂඥයෝ පෙන්වා දෙති. නීතිවිරෝධී වෙළඳාමේ යෙදෙන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සහ අහිමි වූ බදු මුදල් අය කර ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දේශසීමා හරහා මෙම ජාවාරම සිදුවන බැවින්, අන්තර්-ප්‍රාන්ත සහ ජාත්‍යන්තර සහයෝගීතාවය මෙහිදී තීරණාත්මක සාධකයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *