
සෑම වසර හතරකට වරක් මුළු ලොවම පාපන්දුවෙන් උණුසුම් කරවන අන්තර්ජාතික පාපන්දු සම්මේලන ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට දැන් ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. හරියටම ජූනි මස 11 වැනිදා ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් ආරම්භ වන මෙම 23 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජූලි මස 19 වැනිදා දක්වා පුරා මාසයකට වැඩි කාලයක් පැවැත්වීමට නියමිතය. උතුරු ඇමෙරිකානු මහාද්වීපයේදී වඩාත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම මහා ක්‍රීඩා සංග්‍රාමය සඳහා ලොව පුරා ප්‍රේක්ෂක අවධානය මේ වන විටත් යොමු වී තිබේ.
මෙවර තරගාවලියේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ පළමුවරට රටවල් ත්‍රිත්වයක් එක්ව සත්කාරකත්වය ලබාදීමයි. යුරෝපා පාපන්දු සංගම් සම්මේලනය, දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනය, උතුරු, මධ්‍යම අමෙරිකානු සහ කැරීබියන් පාපන්දු සම්මේලනය, ආසියානු පාපන්දු සම්මේලනය, අප්‍රිකානු පාපන්දු සම්මේලනය සහ ඕෂනියා පාපන්දු සම්මේලනය යන කලාප 6 නියෝජනය කරමින් රටවල් 48ක් තරගාවලියට එක්ව සිටී. සත්කාරකත්වය ලබාදීම හේතුවෙන්ම අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව තරගාවලියට සෘජුවම ඇතුළත් වී ඇති අතර, මුළු තරගාවලිය පුරා තරග 104ක් පැවැත්වීමට නියමිතය.
සත්කාරක රටවල් පිළිබඳ සලකා බැලීමේදී මෙක්සිකෝව ඓතිහාසික වාර්තාවක් පිහිටුවා ඇත. ඒ අනුව 1970 (බ්‍රසීලය කුසලානය දිනූ) සහ 1986 (ආර්ජන්ටිනාව ජයගත්) තරගාවලිවලින් පසුව මෙවරද සත්කාරකත්වය දැරීමත් සමඟ අවස්ථා තුනකදී පාපන්දු ලෝක කුසලානයකට සත්කාරකත්වය සපයන ලොව පළමු රට බවට මෙක්සිකෝව පත්වෙයි. අමෙරිකාව 1994න් පසුව දෙවැනි වරටත් සත්කාරකත්වය දරන අතර, කැනඩාව ලෝක කුසලාන සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වේ. තවද අප්‍රිකානු කලාපයේ කේප් වර්ඩ් රාජ්‍යය, කැරීබියන් දූපත් සමූහයේ කුරකාවෝ, ජෝර්දානය සහ උස්බෙකිස්තානය යන රටවල් මෙවර තරගාවලියට එක්වන්නේ කෝඩුකාර කණ්ඩායම් ලෙසිනි.
රටවල් තුනක සත්කාරකත්වය නිසාවෙන් මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවද තුනක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත. ජූනි 11 වැනිදා මෙක්සිකෝවේදී පළමු සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර, ජූනි 12 වැනිදා කැනඩාවේ සහ ඇමෙරිකාවේදී තවත් සමාරම්භක උත්සව දෙකක් පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් පෙළගැස්ම අනුව රටවල් 4 බැගින් කාණ්ඩ 12ක් යටතේ තරග පැවැත්වේ. තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග ජූලි 14 සහ 15 යන දිනවල පැවැත්වෙන අතර, ලොවම බලා සිටින අවසන් මහ තරගය ජූලි 19 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙවර ලෝක කුසලානය සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල් ප්‍රමාණයද ඉතා ඉහළ මට්ටමක පවතී. පාපන්දු ලෝක ශූරයන් බවට පත්වන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 50කි. අනුශූරයන්ට ඩොලර් මිලියන 33ක් හිමිවන අතර, තෙවැනි ස්ථානයේ සිට අවසන් ස්ථානය දක්වාම මුදල් ත්‍යාග පිරිනැමේ. විශේෂත්වයක් ලෙස තරගාවලියට සුදුසුකම් ලැබූ සෑම කණ්ඩායමකටම ඩොලර් මිලියන 10 බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙවර බෙදා දෙන මුළු වාර්තාගත මුදල ඩොලර් මිලියන 871ක් වන අතර, එය පසුගිය තරගාවලියට වඩා ඩොලර් මිලියන 431ක දැවැන්ත වැඩිවීමකි.
ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ සුපිරි තරු රැසකගේ අවසන් ලෝක කුසලාන අත්දැකීම මෙය වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. විශේෂයෙන්ම ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ අවසන් තරගාවලිය මෙය වීමට වැඩි ඉඩක් ඇත. බ්‍රසීලයේ සුපිරි තරුව නේමර්ගේ අනාගතයද අවිනිශ්චිත මට්ටමක පවතින අතර, ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික්, උරුගුවේහි ලුයිස් සුවාරිස් සහ එංගලන්තයේ හැරී කේන් වැනි ක්‍රීඩකයන් ද මෙය සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය බව ප්‍රකාශ කර තිබේ. මේ නිසාම සිය මවුබිමට කුසලානය හිමි කර දෙමින් ක්‍රීඩාවෙන් සමුගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වී ඇති බැවින් තරගාවලියේ සටන්කාමීත්වය තවත් තීව්‍ර වනු ඇත.
1930 වසරේදී උරුගුවේ රාජ්‍යයෙන් ආරම්භ වූ ලෝක කුසලාන ඉතිහාසය විවිධ රටවල ජයග්‍රහණයන්ගෙන් පිරී පවතී. පසුගිය වසරවල ශූරයන් මෙසේය:
- 1930 – උරුගුවේ
- 1934 – ඉතාලිය
- 1938 – ඉතාලිය
- 1950 – උරුගුවේ
- 1954 – බටහිර ජර්මනිය
- 1958 – බ්‍රසීලය
- 1962 – බ්‍රසීලය
- 1966 – එංගලන්තය
- 1970 – බ්‍රසීලය
- 1974 – බටහිර ජර්මනිය
- 1978 – ආර්ජන්ටිනාව
- 1982 – ඉතාලිය
- 1986 – ආර්ජන්ටිනාව
- 1990 – බටහිර ජර්මනිය
- 1994 – බ්‍රසීලය
- 1998 – ප්‍රංශය
- 2002 – බ්‍රසීලය
- 2006 – ඉතාලිය
- 2010 – ස්පාඤ්ඤය
- 2014 – ජර්මනිය
- 2018 – ප්‍රංශය
- 2022 – ආර්ජන්ටිනාව
ඉතිහාසයේ දැවැන්තම පාපන්දු මංගල්‍යය ලෙස සැලකෙන මෙම 23 වැනි ලෝක කුසලානය, උතුරු ඇමෙරිකානු මහාද්වීපය පුරා විසිරුණු ක්‍රීඩාංගණ රැසකදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිනවීමට සූදානම්ය.


