ගෝලීය එල්-නිනෝ අවදානමට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්: ජල කළමනාකරණයට සහ ආහාර සුරක්ෂිතතාවට විශේෂ සැලසුම්.

ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි ‘එල්-නිනෝ’ (El Niño) දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි අහිතකර බලපෑම් කළමනාකරණය කර ගැනීම සහ ඒ සඳහා පූර්ව සූදානම විධිමත් කිරීම වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ප්‍රධානත්වයෙන් පසුගිය(08)වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී එල්-නිනෝ තත්ත්වය මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇති කළ හැකි බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. විශේෂයෙන්ම ඉදිරි යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල කල්තියා ගබඩා කර ගැනීම සහ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර මෙහිදී ප්‍රමුඛව සාකච්ඡා කෙරිණි.

ඒ පිළිබඳව අදාළ ආයතනවල නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා කඩිනමින් ලබා දෙන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම දේශගුණික විපර්යාසය පිළිබඳව ශ්‍රී ලංකික කාලගුණ විද්‍යාඥවරියක වන නදීකා රණවීර සහ ජපානයේ සුකුබා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යොයිචි කමාඒ විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව, එල්-නිනෝ තත්ත්වය ඇතිවන වසරට පසු වසරේ පළමු අන්තර් මෝසමේ වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් සිදුවන බව සොයාගෙන ඇත.

සාමාන්‍යයෙන් එල්-නිනෝ තත්ත්වයක් ඇතිවීමේදී පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය දෙසැම්බර් මාසයේදී උපරිමයකට ළඟා වී පසුව අඩු වී ගියද, ඉන්දියානු සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව වැනි රටවලට ඉන් පසුවත් බලපෑම් එල්ල විය හැකි බව විද්‍යාඥ නදීකා රණවීර පෙන්වා දෙයි. මේ දිනවල අත්විඳින අධික උණුසුම් කාලගුණය

ස්වභාවික ආපදා පුරෝකථනය කිරීම අපහසු බැවින්, ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා කල්තියා සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය. මීට පෙර ඇති වූ දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර අභියෝග සාර්ථකව කළමනාකරණය කළ ආකාරයටම, මෙම ගෝලීය දේශගුණික තත්ත්වයද පාලනය කිරීමට රජය සූදානම් බව අමාත්‍යවරු මෙහිදී ප්‍රකාශ කළහ.

එල්-නිනෝ අවදානමට මුහුණ දීම සඳහා වන නිශ්චිත සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවලට උපදෙස් ලබා දී ඇත. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඉදිරියේදී නැවත කැඳවීමට නියමිතය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ කාලගුණ විද්‍යා හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *