ප්‍රියමනාප සන්නිවේදනයක යෙදෙන ගී ගයන ගුරුවරිය මංජුලා

ටොරොන්ටෝව කේන්ද්‍ර කර ගනිමින් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විවිධ මාධ්‍යයන් හරහා සන්නිවේදන කටයුතුවල නිරත වන වැඩිපුර කතා බහට ලක් නොවන පිරිසක් ඉන්නවා . සමහර වෙලාවට සංවිධායක භවතුන්ට ඔවුන් මතක් වෙන්නේ ඔවුන්ගේ වචනවලින් කියන විදිහට ” වැඩේ ඇදගෙන යන්නයි ” . අඩුම තරමින් ඔවුන්ට කන්න බොන්න යමක් ලැබුණාද කියා හොයා ,  බලන්නටවත් ,  ස්තූතියි කියා කියන්නට වචන ගලපා ගන්නටවත් ඔවුනට වැඩසටහන  අවසානයේදී ඉස්පාසුවක් නැහැ . අප මේ ලිපි පෙල හරහා ඔවුන් ගැන ඔබ නොදත් තොරතුරු බෙදාගන්නට හිතුවා. අපේ වැඩේ සාර්ථක වෙන්නෙ ඔවුන්ගේ මහන්සියට ඔබේ පුංචි හිනාවකුත් එක්ක ඔබට දැනුනු අඩුපාඩු පෙන්නා දෙන එකින්. වෘත්තීය සන්නිවේදකයින් නොවන නමුත්  ඔවුන් ඒ ප්‍රතිචාර වලින් ඔබට කරන මෙහෙවර වැඩි දියුණු කරගන්නවාට කිසිම සැකයක් නැහැ.  ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්න අපි හැමවිටම උත්සාහ කරනවා. 

ඇය වෘත්තීයෙන් ගුරුවරියක්. ඊට අමතරව ඇය දක්ෂ ගායන ශිල්පිණියක්. ටොරොන්ටෝවේ ඉන්නා අයට නම් අදහා ගන්නටත් බැරි තරමේ වැඩ කන්දරාවක් කරන දිරිය කාන්තාවක්. ඒ වෙන කවුරුත් නොවේ අප ලඟම සිටින ඇය නමින් මංජුලා වික්‍රමරත්න. ඇගේ ළගින් ආශ්‍රය නොකරන කෙනෙකුට වුවත් ඇය , කාගේවත් හිත් නොරිද්දන, අනුන්ගේ ඕපාදුප කතාවලට කාලය නාස්ති නොකරන සිනහපිරි මුහුණෙන් කා එක්කත් කතා බහ කරන ආඩම්බරයක් නැති දයාබර සොහොයුරියක් . ඇය සමඟ කල කෙටි සංවාදයකින් මේ සටහන ලියැවෙනවා.

උප්පැන්නයේ හැටියට ඇයගේ සම්පූර්ණ නම මංජුලා හයිසින්ත් වික්‍රමරත්න. ඇය ඉපදුනේ පුර පසළොස්වක පොහොය දිනයක. ශ්‍රී ලංකාවට එදින හරි විශේෂ දවසක්. එනම් කිඹුල්වත් නුවර සිට කතරගමට ධාතුන් වහන්සේලා වැඩම කරවීම සිදුවී තිබුනේ ඇය ඉපදුන දවසේ. ඇගේ ගම තිස්සමහාරාමයේ දෙබරවැව. එය අදත් ලංකාවේ දුෂ්කර ගමක් . ඇය පවුලේ තනි දරුවා. ඇයගේ මව මතුගම සහ පියා මාතර වුවත් ඇයගේ මව දන්ත හෙදියක වීම හේතුවෙන් ඇයගේ මුල්ම පත්වීම ලැබී තිබුනේ දෙබරවැව ප්‍රදේශයට. ඒ නිසා ඇයගේ දෙමව්පියන් තීරණය කර තිබුනේ දෙබරවැව නගරයේ ඔවුන්ගේ කැදැල්ල හදා ගන්නයි . ඒ නිසාවෙන්ම ඇයගේ පියා ද එම ප්‍රදේශයටම මාරුවීමක් රැගෙන ඒම ඇයගේ මවට විශාල අස්වැසිල්ලක් වෙන්න ඇති. ඔහු එවකට සේවය කළේ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ දෙබරවැව ශාඛාවේ කලමණාකාර වරයා විදිහටයි.

මංජුලා ප්‍රාථමික අධ්‍යාපනය හදාරා තිබුණේ දෙබරවැව ජනාධිපති විද්‍යාලයෙන් . පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැලේ ප්‍රථමයා වශයෙනුත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුන්වැනියා වශයෙන් ඉහළින්ම සමත්වූ වු ඇයට කොලඹ ජනප්‍රිය පාසල් තුනකට අයදුම් කිරීමට අවස්ථාව ලැබී තිබුණා. වර්තමානයේ මෙන්ම එදාත් ඇයගේ මව ඉන්ද්‍රකීලයක් මෙන් ඇය ලඟ සිටීම ඇය ලැබූ මහත් භාග්‍යයක්. අද මෙන්ම ඒ දවස්වලත් කොලඹ පාසල්වලට ලමුන් තෝරාගැනීම හරිම තරඟකාරයි. ඒ ගැන පුලුල් අවබෝධයක් සහ ශිෂ්‍යත්ව විභාගයේ ස්වභාවය ගැන දන්නා නිසා ඇයගේ මව ඇය වෙනුවෙන් අයදුම්පත්‍ර යවා තිබුණා. ශිෂ්‍යත්වය විභාගය කියලා කියන්නේ හරිම වටින අවස්ථාවක්. ඒ අනුව ඇය අයදුම් කල පාසැල් අතුරින් විශාඛා විද්‍යාලය, දේවි බාලිකා සහ සිරිමාවෝ බාලිකා විද්‍යාලය යන තුනින් ඇයව තෝරාගෙන තිබුණු. පවුලේ තනි දරුවා වීම නිසා ඇයව නේවාසිකාගාර වල නතරකරන්නට ඇයගේ දෙමව්පියන්ට දුක හිතෙන්න ඇති. ඇය එයිනුත් විශාඛා විද්‍යාලය තෝරාගත් අතර දැන් සිදුවන්නේ ඇයව කොළඹ පාසැල් නේවාසිකාගාරයේ හෝ වෙනත් ගෙදරක හෝ නවතින්නටයි. ඒ නිසා ඇයගේ මව කළුතර බාලිකාවේ දන්ත සායනයට මාරුවීමකට අවස්ථාවක් ලබා ගන්නට හැකියාව ලැබීම ඇයට අස්වැසිල්ලක්. එවක අලෙවිකරණ දෙපාර්තමේන්තු ශාඛාවන් වැසී යාම හේතුවෙන් ඇයගේ පියා නියමිත කාලයට පෙර විශ්‍රාම ගනිමින් ඇයගේ මවත් සමඟ කළුතර පදිංචියට ඒමට තීරණය කර තිබුණා.

ඇයගේ පියාගේ ගම දෙබරවැව, තිස්සමහාරමය. ඇයගේ මිත්තණිය සහ මුත්තණුවන් ද දෙබරවැව රෝහලේ සාත්තු සේවයේ නිරත වු නිසා ඔවුන්ගේ සියලු දේපල ගොඩ නැගී තිබුණේ ද දෙබරවැව ප්‍රදේශයේ. ඒ සියල්ල කැප කරමින් තම එකම දියණියගේ අනාගත අභිවෘද්ධිය පිණිස ඔහුද, මවද වෙනත් ප්‍රදේශක පදිංචියට ඒම ඉතාමත්ම කාරුණික අවස්ථාවක්. ඔවුන්ගේ බිය සාධාරණයි, නියතයි. තම එකම දුව තනිවම තම දෘෂ්ඨියෙන් ටිකකට හෝ ඈත් කිරීම ඔවුන් කොහොම දරා ගන්නට ඇත්ද?

කොහොම නමුත් ඇයගේ වාසනාවට ඇය පැතූ පරිදි, ඇයගේ මව් පැතූ පරිදි ඇයට විශාඛා විද්‍යාලයීය නේවාසිකාගාරය ඇයට ලැබී තිබුණා. ඉතින් 10 වසර තෙක් ඇයගේ අලුත් නිවහන වූයේ ඒ නේවාසිකාගාරයයි. ඒ කාලෙදී අමතර පන්තිවලට (tuition) යෑමට අවසරයක් තිබුණේ නැහැ. ඒ නිසා. ඇයගේ දෙමව්පියන් විසූ කළුතර, නාගොඩ පිහිටි නිවසට එන්න සිද්ධ වී තිබුණා. නේවාසිකාගාරයෙන් පස්සේ වෙනත් නිවසක ඇයව නවත්වන්නට ඇයගේ දෙමව්පියන් කැමති වී තිබුණේ නැහැ.
ඒ නිසා, ඇයගේ පියාණන් අරුණැල්ලට පෙර කළුතරින් බස් එකට ගොඩකරණ ඇයව හවසට කළුතර බෝධිය ළඟින් බසයෙන් රැගෙන යෑම තමයි ඔහුගේ අලුත්ම දින චර්යාව වුණේ. අමතර පන්තිවලට ගියාම ඇය එනතෙක් දොරටුව අසල රැඳී සිටීම ඔහූගේ දිනයේ තවත් කොටසක්. ඒ ඇයගේ පුර්ව තරැණ අවධිය.

ඇය සිහිපත් කලේ පස්වන වසර තෙක් ජනාධිපති විද්‍යාලයේ ඇය ගතකල, ඒ සුන්දර ළමා කාලය. ඒ පැසැලේ පුංචි තූර්ය වාදක කණ්ඩායමට නායකත්වය දෙමින්, එවකට අධ්‍යාපන ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පිලිගැනීමේ උත්සවය ද ඇයගේ සුන්දර මතක අතර තිබුනා . වර්තමානයේ ඒ පාසැල දියුණු තත්ත්වයක දැකීම ඇයට විශාල සතුටක්.
විශාඛා විද්‍යාලයේ සිටින කාලයේ ඇය අන්තර් පාසැල් නාට්‍ය කණ්ඩායම් වල සාමාජිකත්වය දැරූ අතර නේවාසිකාගාර භාර නායිකාවකව සිටි බවත් ඇය සඳහන් කලා. 10 වසරේ ළමුන් අතුරින් නේවාසිකාගාර කණ්ඩායමට ශිෂ්‍ය නායකයෙක් තෝරා පත්කර ගැනීමේදී ඒ නායකයා වෙන්නත් ඇයට අවස්ථාව ලැබී තිබුණා. නේවාසිකාගාර ළමුන් සියල්ලන් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඒ නායිකාවම තමයි. පාඩම් කාමර (study rooms) පාඩම් කණ්ඩායම් වැනි අංශවල කටයුතු සොයා බැලීමටත් ඇයගේ කාර්යයන් වලට අයත්. ඒ කාලයේදී තනියම දේවල් කරගෙන තනියම දේවල් හිතලා ඉදිරියට ආපු ඇය අදටත් හිතනවා එහෙම ශක්තිමත් වෙලා ඉන්නෙ කොහොමද කියලා. එය ඇගේ වාසනාව සහ සංසාර පුරුදු කියලයි මට හිතෙන්නේ. ඒ නිසාම ඔයා පවුලේ තනි දරුවා කියලා හිතන්න අමාරුයි නිකං හරියට පවුලේ වැඩිමලා වගේ කියලා මිනිස්සු කතා වෙන බව ඇය පැවසුවේ අහිංසක ආඩම්බරයකින්.

නේවාසිකාගාරයේ සිටින තාක්කල් ටියුෂන් පන්තිවලට සහභාගිවීමට අවස්ථාවක් නැහැ. එහෙම යන සිසුන් ඔවුන් භාර ගෙන තිබුනේද නැහැ. ඒ නිසාම සාමාන්‍ය පෙල විභාගයට ඇය පෙනී සිට තිබුණේ අමතර පන්තිවලට සහභාගී නොවී. එවැනි ක්‍රියා පටිපාටියක් මැද්දෙ ඇය හැදී වැඩුනේ. නේවාසිකාගාරයේ නීතිරීතිවලට අනුව දවසට පැය තුනක් සිංහලෙන් කතා කරන්න බැහැ සහ එහෙම කතා කලොත් දඩයක් අය කිරීම තමයි එහි නීතීය වී තිබුණේ. ඒ දවස්වල දඩය වී තිබුණේ සත පනහක් හෝ රුපියල් දෙකක්. ඒ දඩ සල්ලි එකතු කරලා නේවාසිකාගාරයේ පුස්තකාලයට පොත් ගැනීමයි එහි අරමූණ.

නේවාසිකාගාරයේ සිටිම ඇයගේ ජීවිතයට බෙහෝ පුදුම දේවල් සහ අවශ්‍ය දේවල් රැසක් ඉගෙන ගන්න ඇයට අවස්ථාව ලැබී තිබුණා. තම දරුවන් දැකබලාගැනීමට දෙමව්පියන්ට අවසර තිබූණේ සති අන්තයට විතරයි. නේවාසිකාගාර නීති රීති අතර, යන එන ලියුම් ප්‍රධාන පාලිකාව විසින් විවෘත කර කියවා බැලීමෙන් පසුව සිසුන් අතට පත් කිරීම සහ තැපැල් කිරීම ප්‍රධාන වෙනවා. දුරකථන ඇමතුමක් වුවද ස්පීකර් ෆෝන් මත පාලිකාව අහගෙන සිටිද්දී තමයි ඇමතුම්වලට උත්තර දෙන්න වුන බව ඇය සඳහන් කලේ. එවැනි පාලනයක් තුල තමන්ගෙ දේවල් තමන්ම කරගන්න පුරුදු පුහුණු වුණා. ඒ කාලයේ වොෂින් මැෂින් තිබුණෙ නැහැ. තමන්ම රෙදි ටික හෝදගන්න ඕනි තනියම. පාඩම් කරන්න ඕන තනියම. සියලු දේම තනියම කරගෙන තම දෙපයින් නැගිටින්න දෙවැනි පන්නරය ඇය පාසැලෙන් ලබාගෙන තිබුණා.

ඇය තනි දරුවෙක් උනාට හරිම ශක්තිමත්. ඒ ශක්තිමත් බව ඇයටත් ඇගේ දෙමාපියන්ටත් ලොකු හයියක් වෙලා තිබුණා. කිසිම උපකාරක පන්තියක උදව්වක් නොමැතිව ඇය සාමාන්‍ය පෙල හොඳන් සමත්ව තිබුණා. ඇය පාසලේදී ක්‍රීඩාවක් වශයෙන් කර තිබුනේ දැල් පන්දු (Net Ball) ක්‍රීඩාව. ඇය අන් සිසුන්ට වඩා උසින් වැඩි නිසා නිතරම පන්දු විදින්නා (shooter) ලෙස තමයි තෝරා ගැනුණේ. පාසැල් විවාද කණ්ඩායමේ ඇය නැතුවම බැරි සාමාජිකාවක් සහ අන්තර් විද්‍යාල නාට්‍ය කණ්ඩායමේ ද බැබැලුන තරුවක්. එම නාට්‍යයේ නම “වැද්දන්ට ලාම්පුවක් හමුවෙලා” නාට්‍ය පුහුණු කර තිබුනේ සංගිතාචාර්ය කුමාරි මුණසිංහයන්. අන්තර් විද්‍යාල නාට්‍ය තරඟවලින් පළවෙනි ස්ථානය එම නාට්‍යයට ලබාගැනීමට හැකි වු බව ඇය පැවසූවේ ආඩම්බරයකින්. ඊට අමතරව ඇය නේවාසිකාගාර ගායන කණ්ඩායමේද සාමාජිකාවක්. කුඩා කල සිට ඇයට ගායන හැකියාවක් ඇති බව ඇය දැන සිටියාය. ඇයගේ සංගීත ගුරුවරිය නීලා වික්‍රමසිංහ මහත්මිය. ඇයගෙන් වැඩි කාලයක් සංගීතය ඉගෙන ගන්න ලැබුණේ නැති බව පැවසූවාය. වසරක පමණ කාලයක් ඇයගෙන් සංගීතය හැදෑරීමෙන් පසු ඇය පාසැලේ වාද්‍ය කණ්ඩායමට අනුයුක්ත කර ඇයට වයලීනය වාදනය කරන්න දීම ඇයගේ සංගීත ගමන අවසන් කරන්නට හේතුවක් වු බව ඇය සඳහන් කලා. ඉන් පසුව ඇය යොමුවී තිබුණේ චිත්‍ර කලාවටයි. ඒ අනුව එවකට කලාභවනේ තිබුණ චිත්‍ර තරඟයකින් තුන්වෙනි තැන ලබා ගැනීමට ඇයට හැකිවී තිබුණා. එවැනි අහිංසක මතකයන් අතර ඇය උසස් පෙළ හදාරලා තිබුණේ විද්‍යා විෂයන් වලින්. පළමුවන අවස්ථාවෙන් ඇයව රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට තේරී පත්වී තිබුණා.

නමුත් ඇය දෙවැනි වරටත් උසස් පෙල විභාගයට සූදානම් වන කාලයේ නෑදෑයින් බලන්නට කතරගමට චාරිකාවක් ලෙස යන්න පිටත්ව දුම්රියෙන් ගමන ආරම්භ කලා . එහෙම යනකොට ඇයගේ පියා ලඟ කඩවසම් කොල්ලෙකු ඉඳගෙන සිටි බව එතරම් ගණන් ගත්තේ නැති වුවත් ඔවුන් මඟදී කන්නට සකස්කර ගත් පාන් (sandwich) කන්නට සැරසෙද්දී ළඟ හිටපු ඒ කොල්ලා කුරු කුරු ගාමින් අසා තිබුණේ “මට පාන් නැද්ද” කියලයි. අඳුරන්නැති නිසා ඇය අහක බලාගෙන ඉඳලා තියෙනවා. ගමනාන්තයෙන් පසුව මාතර බස් නැවතුම් පොළේදී ඇය දෙස ටික වේලාවක් බලා සිට ඔහු පිටත්ව ගොස් තිබුණා. දෛවෝපගතව හමුවු ඔහු, මංජුලාගේ හොඳම යෙහෙළිය, නදීෂාගේ නෑදෑයකු වීම ඊටත් වඩා පුදුමයක් . ඒ තමා ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා, පුබුදු හමුවීමේ කතාව. ඉන් පසුව නදීෂාගේ මාර්ගයෙන් ඔහු, මංජුලා ගැන සොයා බලා ගෙදරට එන්න අවස්ථාව හදාගෙන තිබුණා. පුබුදු ගෙදරට ඇවිත් කෙලින්ම ඇය ගැන විමසීම ඇයගේ පියා අගය කලේ මහත් සෙනෙහසින්. ඒ කාලේ තාත්තලා හරිම කැමතියි කෙලින් කතා කරන අයට. අනතුරුව දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව 2000 වර්ෂයේදී ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගනිමින් ලියාපදිංචි කලා. එවකට ඇය වයස අවුරුදු 19 ක ඉතා සුන්දර යුවතියක්. 2001 වර්ෂයේදී ඔවුන් දෙදෙනා විවාහ වී කැනඩාවට සංක්‍රමණය වීම සඳහා අයදුම් කර තිබුනා . ඒ අනුව තමයි ඔවුන් දෙපල 2003 දී කැනඩාව බලා එන්න පිටත් වී තිබුනේ . ඒ වන විට ඇයගේ පියාගේ කැමැත්ත පරදි විද්‍යා පීඨයට තේරී පත්වු කාලෙම MLT(medical laboratory technician) විභාගය සහ සාත්තු සේවය (nursing) විභාග වලට පෙනී සිටියත් ඔවුන් මව් බිම අතැර කැනඩාව බලා පියාසර කල නිසා ඒවා මග හැරී තිබුණා. ඉන් අනතුරුව ඔවුන්ගේ ආදරණීය කැදැල්ල මෙහි සැදෙමින් දරුවන් තිදෙනකුගේ මව වෙමින් ජීවිතය ඉදිරියට ඇදුනා. සුපුරුදු ලෙසින්ම පොදු සංක්‍රමණික විදෙස්ගත පවුල් වලට වගේම ඔවුන්ටත් අභියෝග ද නොආවාම නොවේ. ඒත් මා මුලින්ම කියු පරිදි ඇය තවමත් ශක්තිමත් කාන්තාවක් වීම නිසා ඒ සියල්ලට නොසැලී මුහුන දුන්නා .

සංවාද සටහන – කුමුදු රත්නවීර

ඇයගේ කථා වපසරිය පුළුල් නිසාවෙන්ම අපට මේ සටහන එක කලාපයකට සීමා කරන්නට බැහැ.මංජුලා වික්‍රමරත්න මහත්මිය ගේ කැනඩාවේ ජීවිතය සහ මාධ්‍ය සම්මාදම ගැන විස්තර ලබන කලාපයෙන් ඔබට කියවන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *