මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 28 ක් වෙයි.බන්ධනාගාර ඇමති වගකීම බාරගනී.

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බව හෙළි වී ඇත.

පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.ඒ අනුව, මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති බවත්, තවත් මරණ 9ක් පහරදීම් හේතුවෙන් සිදුව ඇති බවත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නියාමකවරයාගේ මරණය සම්බන්ධයෙන් ද පසුගිය (09)වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, එම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම ද අවසන් කර ඇත.මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහ 28 අතරින් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන් කර මෘතදේහ ඔවුන්ගේ ඥාතීන්ට භාරදී ඇති අතර, ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. එම පිරිස අතර ඉන්දීය ජාතිකයකු ද සිටින බව වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ. එම කණ්ඩායමට වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, වෛද්‍ය සමන්ත විජේරත්න, වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ වෛද්‍ය රමේෂ් අග්ගියාවන්න යන වෛද්‍යවරුන් ඇතුළත් වෙති.

මේ අතර, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය ඉකුත් 7 වැනිදා මියගිය බන්ධනාගාර නිලධාරීන් අට දෙනා සහ රැඳවියන් 21 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණි.එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට ද නියෝග කර ඇත.

අනෙක් අතට, සිද්ධියෙන් අනතුරුව මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස සැලකෙන බැවින් එහි රැඳවියන් තවදුරටත් රඳවා තැබීම සුදුසු නොවන බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් මඟින් සඳහන් කළේය.ප්‍රචණ්ඩ සිද්ධියෙන් බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, එම හානිය පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙතෙක් සකස් කර නොමැති බව බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

මේ අතර මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.ටුමට සම්බන්ධ රැඳවියන් ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැර දමා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන ඇත්තේ ඉරිදා පෙරවරු 11ට පමණය.එහිදී බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පිරිසක් ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදෙන පිරිසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව එම ගැටුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තායි.එම අවස්ථාවේදී අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.ඔවුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු සපයා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වුණේ, 29 හැවිරිදි වර්ණකුලසූරිය නිලංක දුල්ෂාන් හා 31 හැවිරිදි ගනේගොඩ ආරච්චිලාගේ ගයාන් සම්පත් නම් රැඳවියාය.පසුව ආරක්ෂක අංශ මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව රැඳවියන් සියලුදෙනා සාමකාමීව ඔවුන්ගේ සිරිමැදිරිවලට ඇතුළත් කර තිබේ.ඒ අතරතුරදී ඔවුන් බන්ධනාගාර රෝහල කඩා මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සියල්ල රැගෙන ගොස් තිබූ බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට පසුදින එනම් පසුගිය 06 වැනිදා උදෑසන රැඳවියන්ට ආහාරපාන ලබාදීමට කටයුතු කර තිබේ.එම අවස්ථාවේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාගේ පාර්ශ්වයේ අයෙක් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු ලබාදුන් පාර්ශ්වයේ අයෙකුට කම්මුලට පහරදී ඇති බව වාර්තාවෙයි.අනතුරුව තවත් රැඳවියන් සියයක පමණ පිරිසක් අදාළ රැඳවියාට අමානුෂික ලෙස වටකර පහරදී තිබේ.එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු එතැනට ගොස් අදාළ රැඳවියා රැගෙන බන්ධනාගාරයේ විහාරස්ථානය පිහිටි ස්ථානයට දිවගොස් ඇතිබව වාර්තා වෙයිඑවිට ප්‍රහාරය දියත් කළ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල්මුල්වලින් පහරදී තිබේ.

ඒ අතරතුරදී පහරකෑමට ලක්වූ රැඳවියාගේ හිතවත් පිරිස හා ප්‍රහාරය ආරම්භ කළ පිරිස දරුණු ලෙස ගුටිබැට හුවමාරු කරගත් බව සඳහන්ය.එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයට නව පත්වීමක් ලැබ පැමිණි ප්‍රධාන ජේලර්වරයාද තත්ත්වය පාලනයට එහි පැමිණ සිට ඇති අතර ඔහුටද රැඳවියන් පහරදීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.පසුව පළමුව පහරකෑමට ලක්වූ රැඳවියා රැගෙන ගිය නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණ අදාළ නිලධාරීයාව බේරාගෙන තිබුණි.ඔහුව පිටවීමේ දොරටුවෙන් පිටතට ඇද දමනවාත් සමගම අදාළ නිලධාරීන් දෙදෙනාගෙන් අයෙකුට රැඳවියෙකු පැමිණ කඩුවක් වැනි දෙයකින් පහරදීමට උත්සහා දැරූවත් එය ව්‍යාර්ථ වී තිබේ.එය සිදුවී තිබුණේ බන්ධනාගාර භූමියේදීය.”සර්, ඔයගොල්ලේ එන්න එපා. යන්න. ” යනුවෙන් බන්ධනාගාර නිලධාරීන්ට හිතවත් රැඳවියන් පවසා ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද තවත් රැඳවියන් පිරිසක් ඔවුන්ට ද පහරදී තිබේ.

ඒ අතරතුරදී බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ නිලධාරීන් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතුළු වී තිබුණි.එහිදී තත්ත්වය පාලනය කරගැනීමට උත්සහ කිරීමත් සමග මෙම ස්ථානයෙන් පැමිණි වෙනත් රැඳවියන් පිරිසක් අදාළ නිලධාරීන් මැදිකරගෙන දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර දමා ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.අනතුරුව පිරිස බන්ධනාගාරයෙහි වූ ආරක්ෂිත කුටියකට නැග එහි වූ ගිනිඅවියක් හා ගිනිඅවි මාරුකිරීමට ඇති කාමරයෙහි තිබී තවත් ගිනිඅවියක් ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.රීපීටර් වර්ගයේ ගිනිඅවියක් හා ටී – 56 වර්ගයේ ගිනිඅවියක් එලෙස ඔවුන් ලබාගෙන ඇති බව සඳහන්ය.රැඳවියන් අදාළ ගිනිඅවිවලින් ඇතැම් නිලධාරීන්ට වෙඩිතබා ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.පසුව ඔවුනොවුන්ද තම විරුද්ධ පර්ශ්ව සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.

ඔවුන් එලෙස ලබාගත් ගිනිඅවියක් ආරක්ෂක අංශ නිලධාරින් බන්ධනාගාරයට ඇතුළුවන අවස්ථාවේදී රැඳවියෙකු අතෙහි තිබෙණ ආකාරය දැක ගන්නට හැකිවූ බව වාර්තා වෙයි.පසුව ආරක්ෂක අංශ නිලධාරීන් අදාළ ගිනිඅවි දෙක බන්ධනාගාරය තුළ තිබී සොයාගෙන තිබේ.එමෙන්ම බන්ධනාගාරයෙහි වූ සියලු දේ රැඳවියන් විනාශ කර ඇති අතර අධිකාරීවරයාගේ නිල කාමරයෙහි වූ වැසිකිළිය පවා ඔවුන් විනශකර ඇති බව වාර්තාවෙයි.ඔවුන් බන්ධනාගාරයට සිදුකළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියකු පසුගිය 07 වැනිදා උදෑසන මියයාමත් සමඟ එහි ගැටුමෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අතර එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1033 දෙනකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කළේය. මෙවන් වාතාවරනයක මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.  

එම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඒ අතරින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17දෙනෙකු මියගොස් සිටියේය. එසේම, තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණි. මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය 07 වැනිදා දිනයේදී වරින්වර පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, හමුදා සාමාජිකයින් කැඳවනු ලැබීය. 

කෙසේ වෙතත්, මීගමුව බන්ධනාගාරයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය 06 වැනිදා රාත්‍රිය වනවිට පාලනය කර තිබුණත්, ඒ අසලට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් රාත්‍රියේත් එහි රැඳී සිටියේය. 

කෙසේ වෙතත්, පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මීගමුව බන්ධනාගාරයට සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තු සහ අධිකරණ නිලධාරීන් මේ දක්වා පැමිණ නොමැති බව වාර්තා වෙයි. මේ අතර මීගමුව පොලිසිය පසුගිය 07 වැනිදා මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මූලික කරුණු වාර්තා කිරීමක් පස්වරුවේ සිදුකළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට එහිදී බාර දී ඇති අතර පසුගිය 07 වැනිදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තමන් මෙම විමර්ශනය භාරගත් බවට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ මූලික කරුණු දැක්වීමක් සිදුකර තිබේ. 


මීගමුව බන්ධනාගාරයේ පසුගිය (06) ඇතිවූ සිදුවීම සමග ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීම ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පසුගිය (07) වැනිදා කරුණු පැහැදිළි කළේය.ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීන් යොමු කළ ගැටලුවකට පිළිතුරු ලබා දෙමිනි.එහිදී කොමසාරින් ජනරාල්වරයා පැවසුවේ බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරය තුළ පළමුව තිබූ යකඩ දොර කඩා බිඳ දමමින් ලෑලි දොර අසලට පිවිස තිබූ බවත් ලෑලි දොර කඩා එළියට පැමිණියහොත් ඇතිවිය හැකි තත්ත්වය පාලනය කළ නොහැකි බවය.

එමෙන්ම යකඩ දොර කඩා ඔවුන් පැමිණි පසු ඒ අසල සිටි බන්ධනාගාර නිලධාරීන්ට පහරදීම සිදුකර ඇති බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ රැඳවියන් එළියට පැමිණ පළා යාම වැළැක්වීම සඳහා ගත හැකිව තිබූ එකම පියවර ලෙස ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම සිදුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසීය.

මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි දෙයක් හට ගැනීම නිසා එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවය.කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සමතයකට පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේ දී මෙැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.

“එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා. මියගිය අයගේ පවුල්වල අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. අපි එතැනට ගිහින් වෙලා තියෙනව දේ හොයලා ඉදිරියේ දී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *