
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු කැනේඩියානු ආර්ථිකයට අඛණ්ඩව බලපෑම් එල්ල කරමින් පවතින පසුබිමක, කැනඩාව තුළ ආහාර දැරිය හැකි මට්ටම පහත වැටෙමින් පවතින බව වාර්ෂික ජාතික දරිද්‍රතා සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම තත්ත්වය විශේෂයෙන්ම තරුණ පරපුරට දැඩි ලෙස බලපා ඇත.
සැල්වේෂන් ආමි (The Salvation Army) සංවිධානය වෙනුවෙන් Edelman Data and Intelligence ආයතනය විසින් පවත්වන ලද 2026 දරිද්‍රතාව සහ සමාජ ආර්ථික විශ්ලේෂණයට (Poverty and Socioeconomic Analysis) අනුව, කැනේඩියානුවන් 1,500 කට අධික පිරිසක් සහභාගී කරවා ගනිමින් මෙම තොරතුරු රැස් කර ඇත.
බඩු මිල දැරිය නොහැකි වීම නිසා කැනේඩියානුවන්ගෙන් සියයට 31 ක් ආහාර වේල් මඟහැරීම හෝ ආහාර ප්‍රමාණය අඩු කර ඇති අතර, එය පසුගිය වසරේ පැවති සියයට 27 ට වඩා ඉහළ යාමකි. එමෙන්ම ආහාර බැංකු (food banks) වැනි ප්‍රජා ආධාර ලබාගත් පිරිස පසුගිය වසරේ පැවති සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 18 ත් 34 ත් අතර පසුවන තරුණයින්ගෙන් සියයට 41 ක් ආහාර වේල් මඟහරින බව පවසා ඇති අතර, එය සාමාන්‍ය අගයට වඩා සියයට 10 ක වැඩිවීමකි. මීට අමතරව එම වයස් කාණ්ඩයේ සියයට 23 ක් ආහාර ආධාර ලබාගෙන ඇත.
ඩේලි බ්‍රෙඩ් ෆුඩ් බෑන්ක් (Daily Bread Food Bank) ආයතනයේ වෙනම වාර්තාවකට අනුව, ටොරොන්ටෝ හි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ආහාර බැංකු වෙත පැමිණීම් අඛණ්ඩව දෙවන වසරටත් මිලියන 4.1 ඉක්මවා එකම මට්ටමක පවතී.
වෙළඳ යුද්ධය හේතුවෙන් එදිනෙදා භාණ්ඩවල මිල ඉහළ යනු ඇතැයි සමීක්ෂණයට ලක් වූවන්ගෙන් දස දෙනෙකුගෙන් නව දෙනෙකු පමණ (9/10) කනස්සල්ල පළ කර ඇත. සහභාගී වූවන්ගෙන් පස් දෙනෙකුගෙන් තිදෙනෙකුම (3/5) දැනටමත් තම නිවෙස්වලට මෙම තීරුබදු නිසා ආර්ථික පීඩනයක් දැනෙන බව ප්‍රකාශ කර තිබේ.
සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩක් (50%) තමන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන දැරිය හැකි නිවසක් ප්‍රදේශයෙන් සොයාගත හැකි බවට විශ්වාසයක් නොමැති බව පවසා ඇති අතර, සියයට 24 ක් බදු ගෙවීමෙන් පසු ආදායමෙන් අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිවාස වියදම් වෙනුවෙන් වැය කරති. එසේම මූලික අවශ්‍යතා පියවා ගැනීම සඳහා සියයට 50 ක් තම ඉතිරිකිරීම් යොදාගෙන ඇති අතර, සියයට 40 ක් ණය ලබාගැනීමට හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මත යැපීමට පෙළඹී ඇත.
සැල්වේෂන් ආමි සංවිධානයේ උපායමාර්ගික සම්බන්ධීකරණ අධ්යක්ෂ ග්ලෙන් වැන් ගුලික් (Glenn van Gulik) මෙම ප්‍රතිඵල “ඉතා කනගාටුදායක” බව පෙන්වා දෙයි. බොහෝ පවුල් සඳහා ජීවන වියදම් පියවා ගැනීම තවදුරටත් අමතර වියදම් කපා හැරීමක් පමණක් නොව, ආහාර, නිවාස සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ අතර දුෂ්කර තේරීම් කිරීමට සිදුවීමක් බව ඔහු අවධාරණය කළේය.
මෙම සමීක්ෂණය සැප්තැම්බර් මාසයේදී ඔන්ලයින් ඇන්ගස් රීඩ් සංසදයේ (Angus Reid Forum) සාමාජිකයන් වූ කැනේඩියානුවන් නියෝජනය වන පරිදි පවත්වා ඇති අතර, කැනඩාවේ ටෙරිටරි (Territories) ප්‍රදේශ ඊට ඇතුළත් කර නොමැත.


