අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ පුජක වරයෙක් එක්ක . අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු ආගමික චරිතය ඔහුයි . ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිත මේ වෙනුවෙන් එක් කරගන්නටයි අපි හැමවිටම උත්සාහ කරන්නේ.
“අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ, පොලොව කොටන තැන පාර තනන තැන ගිණියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ “, 70 දශකයේ ටී.එම් ජයරත්නයන් ගැයූ මේ ආන්දෝලනාත්මක ගීතයට තම මුළු ජීවිතයෙන්ම පෙම් බැඳ ඒ පිටුපස ඇති ධර්මතාවය හදවතින්ම ඇදහූ කෙනෙක් වෙනුවෙනුයි මා අද පන්හිඳට පන පොවන්නේ. මුලින් මද අකමැත්තක් තිබුනද, පසුව මගේ ඇරයුම පිළිගෙන අප විද්‍යුත් ප්‍රවෘත්ති පතේ සම්මුඛ සාකච්චාවට එතුමා එකග උනේ ඉතාමත් කල්පනාකාරීව පුජකයෙකුට සරිලන නිවුණු කටහඩ අවදිකරමින්.
නයගරා ප්‍රදේශයේ Holy Trinity Fonthill සහ All Saints Dain City Welland පල්ලි දෙකේ පුජකවරයෙක් ලෙසට සේවය කරනා එතුමා නමින් නිර්මාල් මෙන්ඩිස්. ඔහු තම බිරිඳ අනුෂා සහ නාමලී, නිම්න දරුවන් දෙදෙනා සමග දැනට නයගරා ප්‍රදේශයේ ජීවත් වෙනවා.
ඔහුගේ දෙමාපියන් මොරටු ප්‍රදේශයේ මුල් බිම් කරුවන් උනාට, 1959 ජනවාරියේ ඔහු උත්පත්තිය ලැබුවෙ අම්පාර රජයේ රෝහලේ. එයට හේතුව තමයි ඔහුගේ පියා ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ගබඩා පාලකයෙක් ලෙස එවකට සේවය කිරීම. අම්පාරට ආශ්‍රිත ප්‍රදේශයක් වන කොහොම්බාන රජයේ නිවාසවල තමයි මෙන්ඩිස් පවුල ජීවත්වුයේ. අක්කා කෙනෙක්, අය්යලා දෙන්නෙක්, මල්ලියෙක් සහ නංගිලා දෙන්නෙක් සිටිය පවුලේ මැද දරුවා තමයි නිර්මාල්. ඔහු සෙමින් කතාව පටන් ගත්තා, “මගේ මුල්ම පාසල උනේ අද ඉස්කෝල හන්දිය කියන ප්‍රදේශයේ පොල් අතු සෙවිලි කල ගොඩනැගිල්ලක තිබු අම්පාර දමන විදුහල. මමත් මගේ අය්යලා දෙන්නෙකුයි ගියේ ඒ පාසලට”. ඒ පාසැලේ දරිද්‍රතාවය පිලිබදව ඔහුගේ කටහඩේ කිසිම පසුතැවිල්ලක් තිබුනේ නැහැ.
ඔහුගේ පියා හෘදයාබාධයකින් මිය යනවිට සියලුම දරුවන් පාසල් සිසුන්. නිර්මාල් දරුවාට අවුරුදු 9 යි. මවටත් රැකියාවක් නොතිබුනු ඔවුනට තිබු එකම අස්වැසිල්ල වුයේ පියාගෙන් උරුම වූ මොරටුවේ මහගෙදර පමණයි. තාත්තාගේ මරනයටත් පෙරම, ඔහුගේ අසනීපය හේතුවෙන් මෙන්ඩිස් පවුල මොරටුවේ පදිංචියට පැමිනයි සිටියෙ. ඔහුගේ මව විවාහයට පෙර සේවය කලේ Ceylon Telegraph Office-CTO එකේ. ඒ කාලෙ තිබු “කාන්තාවක් විවාහ වීමේදී රැකියාවෙන් අයින් විය යුතුයි” කියනා අපබ්‍රංස නීතිය හේතුවෙන් අවාසනාවකට ඇයට රැකියාව අහිමි උනා. එවකට ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ(පෙර ගල්ඔය සංවර්ධන මණ්ඩලය) තාවකාලික දුරකථන ක්‍රියාකාරිනියක් ලෙස මවට රැකියාවක් ලැබුනේ ඔවුන්ගේ අසරණ තත්වය සහ මවගේ CTO පළපුරුද්දත් සලකා බැලීමෙන් පසුව. දමන පාසලින් පැමිණියාට පසුව නිර්මාල් දරුවාට මොරටු ප්‍රදේශයේ පාසල් 6 කට යාමට සිදු උනා.
පුජකවරුන්ගේ සේවය සහ පෞරුෂය ගැන ඉතා භක්තියකින් සිටි නිර්මාල් තරුණයාට, 1979 දී පාසැල් අධ්‍යාපනය අවසාන වෙනවාත් සමගම පුජක වෘත්තියේ පුහුණුවකට පිලිමතලාව දේවධර්ම ශාස්ත්‍රාලයට ප්‍රවිෂ්ඨවීමේ වාසනාව ලැබුනා.
ඔහුගෙන්ම ඒ අධ්‍යාපනය ගැන විමසුවොත්, “BTH හෙවත් දේවධර්ම ශාස්ත්‍රවේදී උපාධිය සදහා මේ ශාස්ත්‍රාලයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි විවිධ නිකායවල සිසුන්ගේ ඇසුර ලැබීම මට විශේෂත්වයක් උනා. අපේ අධ්‍යාපන කාල සීමාවේ, අනිත් ආගම් ගැන අධ්‍යාපනයක් ලබා ගැනීමටද මහගු අවස්තාවක් ලැබෙනවා. පිළිමතලාවේ බුළුමුල්ලේ ශ්‍රී සුදර්ශනාරාමයේ නායක ස්වාමීන් වහන්සේ තමයි ශාස්ත්‍රාලයේදී අපිට බුදු දහම ඉගැන්නුවේ. ශාස්ත්‍රාරාලයට ඉතාම ආසන්නව තිබූ ඒ පන්සලට ඔහු නිතර යාම්ඊම් කිරීමේදී ලැබුණු නායක ස්වාමීන්ගේ කාරුණික ඇසුර ඔහුට බුදු දහම ගැඹුරට ඉගෙන ගැනීමට ප්‍රබල ආශාවක් ඇතිකළා.
1983 ශාස්ත්‍රවේදී උපාධිය අවසානයේ, නිර්මාල් පිළිමතලාවේ සිටම ඊට උසස් වූ BD(Bachelor Of Divinity) කියන බාහිර උපාධියට ලියාපදිංචි උනා. එය ප්‍රදානය කරනු ලැබුවේ ඉන්දියාවේ Serampore College එකෙන්. BD උපාධියට ලියාපදිංචිවීමත් සමගම බුදු දහම හැදෑරීමේ පරම අභිලාෂය සපුරා ගැනීමේ අරමුණින් බිෂොප් තුමාගේ අනුමැතියත් ඇතිව කැලණිය විශ්ව විද්‍යාලයේ, පශ්චාත් උපාධි බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමාවටත් නිර්මාල් ලියාපදිංචි උනා.
Bachelor Of Divinity අවසානයේ තරුණ නිර්මාල් වැඩ ආරම්භ කලේ ගල්කිස්ස පල්ලියේ. දෙවනුව ගාල්ල උණවටුනේ රූමස්සල කන්දේ තිබු පල්ලියේ සේවා කාලයේදී තමයි සෑම සතියකම කොළඹට පැමිණ බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධව පාශ්වාත් උපාධි බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමාව සම්පුර්ණ කලේ.
Fieldwork කියලා ඔවුන්ගේ අධ්‍යාපනයේ ප්‍රායෝගික කොටසක් තිබුනා. එහිදී ශිෂ්‍යයින් තම දැනුම වැඩි දියුණු කරගැනීම සදහා සති අන්තයේ තෝරා ගත් පල්ලියක හෝ වෙනයම් ස්ථානයක තමන් කැමති සේවාවක් කල යුතුයි. නමුත් මේ අවස්තාව පීඩිත පන්තිය වෙනුවෙන් යමක් කිරීමේ ගැඹුරු අරමුණක් නිර්මාල්ට තිබුනා.
ඒ පෙරළිකාර ආරම්භය ඔහුගේ වචනයෙන්ම, “මගේ වාසනාවකට මට සොයාගන්න ලැබුනා කඩුගන්නාව හේනවල ප්‍රදේශයේ රොඩී ගම්මානයක්. ඉතිං මම සුදු ලෝගුවත් ඇදගෙන රබානකුත් අරගෙන ඒ ගමට ගියේ තවත් දේවධර්මය ඉගෙන ගත් මගේ හිතවතෙක් එක්ක. අරමුණ පැහැදිලි කිරීමෙන් අනතුරුව, ගම්වාසීන් ඔවුන්ව සාදරයෙන් පිළිගත්තා වගේම ඒ දරුවන්ට ගී ගායනා වැනිදේ ඉගැන්වීමටත් අවසර දුන්නා. නමුත් ඔවුන්ගේ කිදා බැසගත් බියක් තිබීමේ හේතුවෙන්දෝ කොහෙද තිබහට කුරුම්බා ගෙඩියක් ඇරුනහම වතුර උගුරක්වත් මේ දෙදෙනාට ගෙදරවල් වලින් ලැබුනේ නැහැ. ඔවුනට ඉතා සමීපවූ නිර්මාල් සහ මිතුරා දිනක ගැමියන් ශාස්ත්‍රාලයට දිවා ආහාර වේලක් සදහා ගෙන්වා ගැනීමට හැකිවීම එදා නිර්මාල්ට විශාල සතුටක් සහ ජයග්‍රහණයක්ද වුවා. ඔවුනට පන්සලකට යාමට අවසර නොමැති බව දැන දැනත් නිර්මාල් ගමේ වැඩිහිටියා වූ සෙවුන්දරාගෙන් විමසුවා “ඇයි මේ දරුවන්ව පන්සලකට දහම් පාසලකට යවන්නෙ නැත්තෙ” කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුනේ නැති උනත් ඔහුගේ නිහඩතාවය, අසරණවූ ආත්මයන් ගැන වචන ලක්ෂයකටත් වඩා ශබ්දකාරීව නිර්මාල්ගේ හදවතට ඇහුනා.
ඔහු ඒ හැගීම මා සමග බෙදා ගත්තා, “මම මේ කාලේ බුදුදහම අධ්‍යනය කරනා ශිෂ්‍යයෙක් උනත් බෞද්ධ දර්ශනය ගැන එවකටත් මට පුළුල් අවබෝධයක් තිබුනා. ඇත්තටම මම ඉගෙනගත් බුදුන් වහන්සේගේ ධර්මයත් මහපොළොවේ බුදු දහමත් කෙතරම් පරස්පර විරෝධීද කියලා මට ඇති උනේ කලකිරීමක් සහ ප්‍රශ්න වැලක්. එදා මම අධිෂ්ඨාන කරගත් විලසටම, මමත් මගේ මිත්‍රයාත් අනික් පල්ලිවල ආධාරත් ඇතිව, මේ දරුවන් වැඩිහිටියන් දෙදෙනෙකුත් සමග දළදා මාලිගාව වැදීමට ගෙන ගිය ඒ සංසිද්ධිය අදටත් අමතක කල නොහැකිව මගේ හදවත තෙත් කරනවා. ඒ කර්තව්‍යයේ නිරවද්‍යතාවය සම්බන්ධව එදා මට පුර්ණ අවබෝධයක් නොතිබුනත්, මම අදටත් දන්නවා මා ඉගෙනගත් බෞද්ධ දර්ශනයට අනුව එය බුදුන්වහන්සේ කැමැත්ත බව” ඔහු කීවේ හැගීම් බරව. අසරණයින්ට උපකාර කරනවා යැයි ලොවට හඬගා කියා තම ආගමට මිනිසුන් හරවා ගන්නා සමාජයකට නිර්මාල් පියතුමා දෙනු ලැබුවේ උදාරතර ආදර්ශයක්.
1983 මැයි මාසෙ 28 වෙනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන විමුක්තිදායක ක්‍රිස්තු දෙව් මැදුරේදී තමයි ඔහු පැවිදි වරයෙක් හැටියට දියාකොන් පදවිය ලබන්නෙ. ඉන් පස්සෙ ගල්කිස්සේ අසීසේ ශාන්ත ෆ්‍රැන්සිස්තුමාගේ දෙවාස්ථානයේ සහාය දේවගැතිවරයෙක් හැටියට ඔහුව පත්කලා. 1984 ජුනි 13 දා නිර්මාල්ගේ පුජක පැවිදි කිරීම සිදු වුයේ ගාල්ල කොටුවේ සියළු ශුද්ධවරයන්ගේ දෙව් මැදුරේදී. ඒත් එක්කම ඔහුට එතැනම සහාය දේව ගැතිවරයෙක් හැටියට පත්වීම ලැබුනා.
“පැවිද්ද ගැන නිර්මාල් මා සමඟ විග්‍රහයක් කළා. සම්ප්‍රදායික කිතුණු සභාවල පැවිදි අවස්ථා තුනක් තියෙනවා. මුල්ම පැවිදි අවස්ථාව සේවා මෙහෙවරකට කැප වන දියාකොන් පදවියයි. දෙවැනි පැවිදි අවස්ථාව පූජකවරයයි. එය හරියට බුදු සසුනේ උපසම්පදාව වගේ. නමස්කාර මෙහෙයකදී ශුද්ධ සත්කර්මය නමැති පූජාව පැවැත්විය හැකි වන්නේ පූජකවරය ලද අයෙකුට පමණයි. තුන් වැනි පැවිදි අවස්ථාව තමයි බිෂොප් පදවිය.”
සියළු ශුද්ධවරයන්ගේ දෙව් මැදුරට අමතරව, ඔහු ඊට අනුබද්ධ ගාල්ල උණවටුනේ රූමස්සල ගල තිබු සුදර්ශන මධ්‍යස්ථානයේ වැඩ බැලීමටද පත් කළා. මධ්‍යස්ථානය තිබු ඉතා විශාල මනරම් ඉඩමෙන් ප්‍රයෝජන ගැනීමට සිතු නිර්මාල් එහි විවිධ සතුන් ඇති කිරීමෙන් ලැබූ ආත්ම තෘප්තිය වචනයෙන් කිව නොහැකි තරම් උනා. එය පාසල් සිසුන් අතරද ජනප්‍රිය තැනක් වුවා
ඒ සේවා කාලයෙන් පසුව 1987, නිර්මාල්ට දෙමාපියන්ගේ ගම් ප්‍රදේශය වූ ඉතා පැරණි සම්ප්‍රදයික කිතුනු සභාවක් වූ මොරටුවේ ශුද්ධ එමානුවෙල් දේවස්ථානයට සේවය සදහා යාමට සිදු උනා. එහි සිටි වසරක වැනි කෙටි කාලයේ ඔහුට දැනුන ඒකාකාරී, යාන්ත්‍රික, අතෘප්තිමත් හැගීම මෙහෙමයි මා සමග බෙදා ගත්තෙ, “මට හිතුනා පුජකවරයෙක් ලෙසට මාව දෙවියන් වහන්සේ තෝරා ගත්තේ පීඩිත ජනතාව වෙනුවෙන් මීට වඩා සේවාවක් කිරීමටයි කියලා. මම දැන සිටියා මෙවැනි අධ්‍යායත්මික තත්වයන්ට පත්වූ වෙනත් නව පුජකවරුන් ගැනත්. ඒ සම්බන්ධව බිෂොප්තුමා සමග කතා කිරීමෙන් අනතුරුව, මගේ ඉතාමත් ව්‍යාකුල සහ අවිනිශ්චිත ආධ්‍යාත්මය තේරුම් ගත් ඔහු මට යෝජනා කළා, තාවකාලිකව පල්ලියේ සේවාවන්ගෙන් දුරස්ථව අනාගතය ගැන ගැඹුරට සිතා බලා තීරණයක් ගන්නා ලෙසට”.
ගලහ ප්‍රදේශයේ සිටි නිර්මාල්ගේ සමීපතම මිතුරෙක් සමග ගතකල කෙටි විරාමයෙන් මනස මදක් තැන්පත් කරගත් ඔහු තීරණය කළා දේව ධර්මය මෙන්ම දර්ශනවාදය පිළිබඳවත් ආචාර්ය උපාධීන් ලබාගත් අම්පිටිය ශාස්ත්‍රාලයේ කථිකාචාර්යවරයෙකුව සිටි මයිකල් රොඩ්රිගෝ පියතුමා මුණ ගැසීමට. මේ පියතුමා නිර්මාල් සැමදා අගය කල උත්තමයෙක්. ඔහු සම්ප්‍රදායික දේවගැති සේවයෙන් බැහැරව දක්ෂිණ ලංකාවේ පීඩිත අසහනකාරී තරුණ ප්‍රජාවේ ගැටලුවලට පිළියම් සදහා ඉතා කර්කෂ ප්‍රදේශයක් වූ බුත්තල ප්‍රදේශයේ අලුකලවිට ගමේ ඉතා කුඩා කටු මැටියෙන් නිම කල “සුභසෙත ගෙදර” නම්වූ පැලකින් සේවාව ආරම්භ කල ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඊට යාබද කුඩා ගොඩ නැගිල්ලක කන්‍යා සොහොයුරියන් දෙදෙනෙක්ද පදිංචිව හිටියා.
ගැමියන්ට ආවේනික ඇදුම් පැලදුම්වලින් සැරසුණු මොවුන් දරුවන්ට නොමිලේ අධ්‍යාපනයකුත්, ගැබිණි මව්වරුන්ට සෞඛ්‍ය උපදෙස් සහ විධිමත් අධ්‍යාපනයක් නොලැබු වැඩිහිටියන්ට අකුරු කියවීමත් කළා. 1987 මැදභාගය වෙනකොට මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් දකුණේ පැවති රාජ්‍ය විරෝධතාවය නිසා කැළෑ වැදිලයි හිටියෙ. මර්ධනකාරී රජයේ ආරක්‍ෂිත සේවා මේ මධ්‍යස්ථානය දුටුවේ රාජ්‍ය විරෝධී කටයුතු වල යෙදෙන පවුල්වලට ශක්තිය දෙන තර්ජනාත්මක ස්ථානයක් ලෙසට. ඒ වගේම අවුරුදු 60ක මේ පියතුමාත් ඒ ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක් ලෙසටයි රජය සැකකලේ. නිර්මාල් ඔහුගේ බිෂොප්තුමාගේත් අවසරය ඇතිව සුභසෙත ගෙදර මෙහෙයන්ට උපකාර කලේ ඉතා තෘප්තියකින්. ඊට අමතරව වැඩිහිටි මයිකල් පියතුමාගෙන් ලැබූ දාර්ශනික උපදෙස් ගැන ඔහු මා සමග සදහන් කලේ ගෞරවාන්විත භක්තියකින්. විශාල අභියෝග මැද උවත් මයිකල් පියතුමා සෑම ඉරිදාවකම යේසුස් තුමාගේ මරණය සිහිපත් කල සත්ප්‍රසාද මෙහෙයත් අතපසු කලේ නැහැ.
1987 නොවැම්බර් දිනක හදිසි කටයුත්තකට නිර්මාල්ට මොරටුවට යාමට සිදුවූ නිසා, මයිකල් පියතුමා එළිවෙන පාන්දර ඔහුව බසයට නංවන්න ආවිට “නිර්මාල් නැවත පැමිණෙනවාදැයි” විමසා, වෙන්වීම පිළිබඳව දාර්ශනිකයෙකුගේ උදාර වාක්‍යයක් කිව්වා. පසුව නිර්මාල්ගේ ඉල්ලීම පිට, ඒ වැකිය පියතුමා ඔහුගේ අත් අකුරින්ම නිර්මාල්ට ලියා දුන්නා.
“Absence is to Love what wind is to fire. It extinguishes the small, it inflames the great” – Pierre-Jean de Beranger.
එතැන් පටන් සිදුවූ දේ ඔහුගේම බිදුණු කටහඩින්, “මට ඊට පස්සෙන්දා දුරකථන ඇමතුමක් ලැබුනා, මයිකල් පියතුමාට ඉරිදා දේව මෙහෙය අවසන් වෙනවාත් සමගම නාදුනන වෙඩික්කරුවෙක් ඔළුවේ කෑලි බිත්ති පුරාම විසිරී යනසේ වෙඩි තබා ඇති බවට”. කන්‍යා සොහොයුරියකුත් තුවාල වෙලා, ඒත් එක්කම මගේ බිෂොප්තුමා බුත්තලට නොයන ලෙසට මට තරයේ අවවාද කළා ”.
1987 නොවැම්බර් 10 සිදුවූ ඒ ඒ ඛේදවාචකය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සහ අභියෝගයක් ලෙසටයි නිර්මාල් භාරගත්තේ. මාසයක් ඇතුලත, ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ 06 ඔහු තීරණය කළා අරන්තලාව බික්ෂු ඝාතනය හේතුවෙන් භීෂණයට පත්ව පුරප්පාඩු වූ අම්පාර ප්‍රදේශයේ පල්ලියක සේවයට යාමට. කුඩා කල හැදුනු වැඩුණු පරිසරයේ ආදරණීය මතකයන්ට සමීපවීමට අමතරව බැතිමතුන් ඉතාමත් අඩු ප්‍රමාණයක් සිටිනා මේ ප්‍රදේශයේ බොහෝ අමතර සේවාවන් කල හැකි බව ඔහු සක්සුදක් සේ දැනගෙන හිටියා.
1987 දෙසැම්බර් 6 වෙනිදා සිට 2001 අප්‍රේල් කැනඩාවට පැමිණෙන තෙක් ඔහු ගතකල කාල සීමාවේ, ජනතාව ඉතාම පීඩනයට පත්ව තිබූ අම්පාර ප්‍රදේශයේ පාලන බලය රජයේ STF , LTTE, ඉන්දියානු හමුදා පාලනයන්ට නතුවයි තිබුනෙ.
අම්පාරේදී ඔහු විශේෂයෙන්ම දේවස්ථාන දෙකකයි වැඩ කලේ. පල්ලිවල ඉරිදා දේව මෙහෙයන් සහ සතියේ පෙර පාසැල් පරිපාලන කටයුතු ඉටු කල අනතුරුව ශේෂ වූ කාලය පියවා ගැනීමට මගක් සොයමින් සිටි ඔහුට වාසනාවකට මෙන් රජයේ පාසැලක ගුරු පත්වීමක් ලබා ගැනීමට හැකි උනා. එය කවදත් ඔහු ප්‍රියකළ වෘත්තියක්. ඔහු සේවය කල පාසල්වල සිදුවූ අකටයුතුවලදී පෙරළිකාර නිර්මාල්ගේ ආවේගයන් ඔහුටත් නොදැනීම එලියට ආවා. නිර්මාල් එකල පැවති ගුරු වෘත්තීය සංගම්වලට බැදී දරුවන්ට, ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් වන අසාධාරණයන්ට එරෙහිව වෘත්තීය සමග විරෝධතාවයන් කලේ ඉතාමත් කැමැත්තෙන්. පුජක මෙහෙයට අමතරව ගුරු වෘත්තියෙන් ලැබූ අත්දැකීම් ඔහුගේ ජීවිතයට ගෙන දුන්නේ විශාල දැනුම් සම්භාරයක්.
අම්පාර සේවා කාලයේ ඔහුගේ තවත් ප්‍රධාන කාර්ය්‍යයක් උනේ ජනවාර්ගික අර්බුදය හේතුවෙන් ඒ ප්‍රදේශයේ අවතැන්වූ අහිංසක දෙමළ සිංහල මුස්ලිම් ජනතා පවුල්වලට ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ සහය ඇතිව සහන සැලසීම. එය කිරීමට සිදු වුයේ අහිංසක දරුවන්ගේ, මිනිසුන්ගේ මළ සිරුරු අතරින්. මෙය ඉතාමත් ශෝකජනක සහ අසීරු කටයුත්තක් උනත් ඒ අයට සහනයක් ලබාදීමෙන් ඔහු ලැබූ තෘප්තිය අදටත් සිහි කරන්නේ ඉතාමත් සංවේදීව. ඔහුව දරුනුවටම කම්පනය කල සංසිද්ධියක් තමයි බණ්ඩාරදුව ගමට LTTE මගින් කරන ලද ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු 59 දෙදෙනෙක් මිය යාමේ සිද්ධිය. ඉන් දරුවන් තුන් දෙනෙක් නිර්මාල් පවත්වාගෙන් ගිය ළදරු පාසලේ කුඩා දරුවන්. ඉතා අපහසුවෙන් ඒ අවමගුලට එවකට ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න ගෙන්වා ගත්තත්, මිනිසුන්ගේ දුක් ගැනවිලි සම්බන්ධව සැලසුම් කල කතාවක් අවමගුල් කමිටුව අවලංගු කිරීමෙන් උදහසට පත්වූ නිර්මාල් ඔහුගේ ආගමික කතාව ගැමියන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට යොදාගත්තේ ඔහුගේ දැඩි විරෝධය විදහා දැක්වීමටයි. ඒ කතාව ඇමතිතුමාගේ උදහසට ලක්වුවත් නිර්මාල් එය තඹ සතේකට මායිම් කලේ නැහැ.
එවකට ගැමියන්ට වගා සදහා හේන්වලට යාමේ බරපතල ප්‍රශ්නයක් තිබුනා. ඔහු ජාතික ක්‍රිස්තියානු මණ්ඩලය මගින් සපයා දුන් කැනේඩියානු ආධාර යොදාගෙන අසරණ පවුල් 30කට, සමුහ ගොවිපොළක් ලබාදීමට කටයුතු කළා. එය බණ්ඩාරදුවට වී වගාව හදුන්වා දුන් ඓතිහාසික සිද්ධියක්ද වුවා.
1990 ප්‍රේමදාස රජය සහ LTTE අතර තිබුණු අවබෝධතා ගිවිසුම ඉතාමත් අසාර්ථක ප්‍රයත්නයක් බව සනාත කරමින් 600ක් වූ පොලිස් නිලධාරීන් ඝාතනය සිදුවුයේ මේ වකවානුවේ. විශාල ආරක්ෂා මැද පුජකයින්ද සහභාගී කරගෙන කල ඒ අවමංගල්‍යට නිර්මාල්ද සහභාගි කරවා ගත්තේ දේව මෙහෙයට. පිලිස්සී ගිය සිරුරු හේතුවෙන් ඉතාමත් තද උෂ්ණත්වක්, දුර්ගන්ධයක් තිබු ඒ පරිසරය කළුගලක් මෙන් හදවතක් තිබුණු කෙනෙක් වුවද හඩවන දර්ශනයක් බව ඔහු කීවේ ඉතාමත් වේදනාත්මක හඩින්.
ආපසු එන ගමනේදී තිරුක්කෝවිල්වල ඔවුනගේ වාහන ඉතා දීර්ඝ කාලයක් නවතා තැබීමේ හේතුව ඔවුන්ට කුතුහලයක් ගෙන දුන්නත් ආරක්ෂක හමුදාවන්ගෙන් කල විමසුමට ඔවුනට පිළිතුරක් ලැබුනේ නැහැ. ඊට පසුදා නිර්මාල්ට මිත්‍රයෙකුගෙන් දැනගන්න ලැබුනේ, ඔවුන්ව නවතා සමහරක් ආරක්ෂක හමුදාවන් ගොස් තිබුනේ පලිගැනීමක් ලෙස කරත්තකරුවන් කිහිප දෙනෙක් මරා පිච්චීමේ දඩයමකට බව. ජාතිවාදී ප්‍රශ්නය ඔඩු දිව්වේ මේ පලිගැනීම් හේතුවෙන් බවත්,දෙපැත්තම විසින් ඉත්තන් ලෙස යොදාගත් අහිංසක ජීවිත මේ කෘරතම යුද්ධයේ ගොදුරු වූ බවත් ඉතා දිග සුසුමක් සමග ඔහු මට පැවසුවා.
ඔහු නැවතත් කට හඬ අවදි කළා, “මමත් සිංහලයෙක්, ඒත් ඇත්තටම සිංහල පාර්ශවය කතා කලේ මියගිය පොලිස් නිලධාරීන් 600 ගැන පමණයි. මේ සිද්ධියෙන් පසු, ආරක්ෂාව සොයා අම්පාර මෙතෝදිස්ත පල්ලියට පැමිණි කාන්තාවන් සහ දරුවන්ද ඇතුළු දෙමල ජනතාව පිරිසක් පොලීසිය විසින් කඳවුරුවලට ගෙනයන බව පවසා රැගෙන ගියත්, සිදු වුයේ ඒ පිරිස් අතුරුදහන්වීමක්. එවැනි පලිගැනීම් ඉතාමත් සුලභව සිදුඋනා. මම දන්නා තරමින් අහිංසක දෙමල ජනතාව LTTE සහ සිංහල ජනතාවගෙන් වගේම රාජ්‍ය මර්ධනයටද බරපතල ලෙස ගොදුරු උනා”.
ඔහුට රිදවූ ප්‍රබලම කාරනාව තමයි, සිංහල අය සංවේදී වුයේ සිංහල අය මුහුණ දුන් ප්‍රශ්නවලට පමණක් සහ අනික් අතට දෙමල අය සංවේදී වුයේ දෙමල අයගේ ප්‍රශ්නවලට පමණක් වීම. ඇත්තටම සිදුවිය යුත්තේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් වෙනසක් නැතිව මනුස්සකමට සංවේදීවීමක් නොවේදැයි ඔහු පැවසුවේ තරමක් ආවේගශීලීව. ඉතිහාසය පුරාම, මේ ජාතික ප්‍රශ්නයට විසදීමක් දීමට බලයේ පැවති කිසිම දේශපාලන පක්ෂයකට උවමනාවක් තිබුනේ නැහැ. අදටත් ලංකාවේ ජාතික ප්‍රශ්නයට කිසිම විසදීමක් නැති බව ඔහු මට පැවසුවේ ඉතාමත් කනස්සල්ලෙන්. එදා සැබෑවටම සිදුවූ කිසිවක් ප්‍රවෘත්ති පත්‍රයක පල නොවුණු බව, එවකට ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයෙක් ලෙස නිර්මාල් මට සඵත කළා.
1997 වර්ෂයේදී, දිනක් පියතුමා වාසය කල නුගේලන්ද ප්‍රදේශයේ ජේමිස් බාස් උන්නැහේ ඔහු හමුවට පැමිණියේ ඔවුනගේ වගා කටයුතු කිරීම සදහා අවශ්‍ය ආරක්ෂක සේවාවන් ලබා ගැනීම සදහා යම් උදව්වක් ඉල්ලා ගැනීමට. ඔහු ජේමිස් බාස් උන්නැහේගෙන් ප්‍රශ්න කළා, “එතකොට ඔය ගොල්ලන්ගේ කුඹුරුවලට යාබද කුඹුරු යායන්හි සිටිනා දෙමල ජනතාවටත් කුඹුරු වැඩ කරගන්න බැහැ නේද, ඒ ගැන ඔබ මොකද හිතන්නෙ?”. ඉතාමත් සංවේදී වූ බාස් උන්නැහේ, දෙමල ජනතාව සමග ගතකල සමීපතා ජීවිත ගැන දීර්ඝව කතා කරේ ඉතාමත් වේදනාවෙන්. පසුව පොදුවේ යමක් කිරීමට බාස් උන්නැහේ කැමැත්ත පලකලා. ඉන් ධෛර්යමත් වූ නිර්මාල් “කෙත්බිමට සාමය” නම්වූ සිංහල දෙමල ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කළේ අස්වද්දා ගත හැකි නම් රටටම සම්පතක් වූ ඒකාබද්ධ මුළු කුඹුරු යායම අක්කර 1600ක් බව වටහා ගත් හේතුවෙන්. එතැනින් නොනැවතුණු ඔහු මේ කුඹුරු යායන් අතහැර ගිය දෙමල ජනතාව සොයා යාමට තීරණය කළා. ඉතා අහඹු ලෙස පාලමුණේ ප්‍රදේශයේ අනාත කඳවුරකදී කිහිප දෙනෙක් මුණ ගැසුණත්, ඒ අයගෙන් අහන්න ලැබුනේ බොහෝ අය මුහුණ දුන් මරණය පිළිබඳවයි. මේ ගවේෂනයේදී, තවත් ප්‍රදේශය අතහැර ගොස් ජීවමානව සිටි අය බොහොමයක් එකතු කරගැනීමට හැකි උනා. පෙර නුගේලන්ද ගමේ ජීවත් වූ සිංහල භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබු Tiruchelvam මුණ ගැසීම නිර්මාල්ට ඉතා සතුටුදායක අහම්බයක්.
නිර්මාල් පියතුමා සිංහල දෙමල ඒකාබද්ධ ගොවි වැඩ සටහනක් ආරම්භ කිරීමේ සිහිනය ඇතිව අම්පාර මඩකලපු සීමාවේ සමාජ ආගමික නායකයින් වන මඩකලපු අතිගරු කිංස්ලි ස්වාමිපිල්ලේ, උහන තිස්සපුර පුජ්‍ය හෙට්ටිමුල්ලේ රාහුල ස්වාමීන්වහන්සේ, පරිසරවේදී කිරන්තිඩියේ පඥඥාසේකර ස්වාමීන්වහන්සේ සහ ඉතා පැරණි නුගේලන්ද රජගල තැන්න සුභසාධක සංගමයේ නායකයින්ද මේ සමාජ සත්කාරයට හවුල් කරගත්තා. එය ඉතා පැරණි සුභසාධක සංගමයක් වන අතර එහි පුරෝගාමීන් වුයේ 1971 සිරගතව සිට නිදහස් වූ සමාජ පරිවර්තනයට කැපවූ JVP නායකයින් කිහිප දෙනෙක්.
1999 නොවැම්බර් මස කල්මුණේ ප්‍රදේශයේදී පවත්වන ලද සිංහල දෙමල ගොවිජනතා හමු කිහිපයකින් පසුව ඔවුන් ගත එඩිතර තීරණයක් වුයේ මීලග හමුව ඔවුන් බෙදා වෙන්කළ No-Mans ලන්ද ප්‍රදේශ පසුකර විත් තම තමන්ගේ කුඹුරු යාය වලදීම සිදුවිය යුතු බවට. සැලසුම් කරගත් පරිදිම, 500 කට අධික පිරිසක් එකතුව අක්කර 500ක පමණ ප්‍රදේශයක් අවි ආයුධ තහනම් ප්‍රදේශයක් හැටියට සලකුණු කලේ දෙමල සහ සිංහලින් ලියවුනු “කෙත්බිමට සාමය” බැනර් සහ කොඩි යොදාගෙන. යම් යම් ප්‍රශ්න උද්ගත වුවත්, දෙමල සහ සිංහල ගොවීන් මේ ආරක්‍ෂිත අක්කර 500 ගොවිතැන අපුරුවට කරගෙන ගියා.
මේ උදාර කර්තව්‍ය නිතර අධීක්ෂණය කල නිර්මාල්ට දිනක මුහුණ දීමට සිදු වුයේ මරණයේ සේයාවක් ඇති ඉතාමත් ත්‍රාසජනක අත්දැකීමකට. බයිසිකලයකින් ගමන් කරමින් සිටි ඔහුව ත්‍රස්තවාදීන් දෙදෙනෙකු පාළු ප්‍රදේශයකට ගෙන ගොස් ප්‍රශ්න කර පැවසුවේ මේ ගොවිතැන කිසිදා ආරක්ෂක අංශවලට පලිහක් කරගැනීමට ඉඩ දුන්නොත් ඔවුන්ගේ සාමයේ පොරොන්දුව කඩවිය හැකි බවයි. මීට පෙරද මෙවැනිම වැඩ සටහනක් කල චන්ද්‍රා ප්‍රනාන්දු නමැති පියතුමෙක් LTTE මගින් මරා දැමු බව ඔහු දැන සිටියා. කතාකළ එක් පුද්ගලයෙක් වම් අතින් අතටදීම ඉතා අමුත්තක් ලෙස දැනුනත්, පසුව කලිසම් සාක්කුවේ සඟවා තබාගෙන සිටි ඇගිලිවලින් තොර ඒ අත ඔහුට පෙන්වූ විට නිර්මාල්ට දැනුනු හැගීම ප්‍රකාශ කිරීමට හෝඩියේ අකුරු මදි බව ඔහු මට කීවේ ඉතා සංවේගයෙන්.
ඔහු ආපසු පැමිණෙන විට කොළඹ බිෂොප්වරුන්ද ප්‍රදේශයට පැමිණ දෙමල සිංහල ඇතුළු මුළු ප්‍රදේශයම මේ ආරංචියෙන් භීතියට පත්ව තිබුනා.
මේ “කෙත්බිමට සාමය” නම්වූ වැඩසටහන නිර්මාල් මෙන්ඩිස් නම්වූ සමාජ පරිවර්තකයාගේ අවුරුදු 40 ක පුජක ජීවිතයේ මුදුන් මල්කඩ වුවා. 2003 වර්ෂයේ Maryknoll නම්වූ පර්යේෂණ ආයතනය කල “බිම් මට්ටමේ සිවිල් සාම උත්සාහයන්” සමීක්ෂණයේදී ලෝකයේ රටවල්වල සාමාන්‍ය මිනිසුන් කල සාම ප්‍රයත්නයන් 5 ක් තෝරා ගෙන තිබුනා. මීගමුවේ ධීවර ජනතාව වෙනුවෙන් කල වැඩ සටහනක් සහ “කෙත්බිමට සාමය” ඒ පහෙන් දෙකක් වූ බව ඔහු මා සමග පැවසුවේ ඉතාමත් නිහතමානී ආඩම්බරයකින්. ඔහු සතුව ඇති කතෘවරුන් දෙදෙනා අත්සන් කල ඒ ”Artisans of Peace” නම්වූ පොතේ කොපිය අදටත් ඔහුට නිධානයක්.
මෙම ලිපියේ ඉතිරි කොටස 2024 සැප්තැම්බර් කලාපයෙන් බලාපොරොත්තු වන්න .