ඉතිහාසයේ අන් කවරදාටත් වඩා උණුසුමත් සහිත ප්‍රතිඵලයක් ගැන තවමත් අනාවැකි පළ කළ නොහැකි හා දේශපාලන පක්ෂ අතරද අවිනිශ්චිතතාවයක් මතුව ඇති මැතිවරණයක් ලෙස 2024 ජනාධිපතිවරණය පෙන්වාදියහැක. ප්‍රධාන දේශපාලන පක්ෂ සෑම එකක්ම පාහේ කොටස්වලට කැඩී ගොස් ඇති අතර ඒවායේ මහජන නියෝජිතයන් විවිධ කරුණු දක්වමින් තමන් සහය දෙන අපේක්ෂකයාගේ ගුණ වයමින් දෑත් ශක්තිමත් කරමින් ඇත.
ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර තිබූ 36දෙනාගෙන් බහුතරයක් දැන් ජනාධිපතිවරණ සටනට නාමයෝජනාදී අවසන්ය. දැන් සටන විවෘතය. ජනාධිපති සටනේ ගෙවුණු දින කීපයේ උච්චතම අවස්ථා කිහිපයක් වාර්තා විය. ඒ අතරින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ධම්මිකගෙන් නාමල්ට මාරුවීම හා සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය දේශපාලන පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම පෙන්වාදිය හැක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස භෞතිස්ම ලබා සිටි ව්‍යවසායක ධම්මික පෙරේරා ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමත් ඒවෙනුවට රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරා ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස පත්කිරීමත් දේශපාලන පිටිය උණුසුම් කළ සිදුවීමක් විය.බලාපොරොත්තු නිසි පරිදි ඉටු නොවීම හා අවශ්‍ය සහයෝගය පක්ෂයක් ලෙස තමන් වෙත නොලැබීම යන කාරණා මත තමන්ගේ කීර්තිමත් ව්‍යාපාරික පසුබිම විනාශ කර ගැනීම වළක්වා ගැනීමේ අරමුණු ඇතිවත් අවසන් මොහොතේ ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්විය. පක්ෂ මහලේකම් සාගරට ලිපියක් ලියා ධම්මික කීවේ තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකෙරෙන බවකි.තමන්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කිරීම පිළිබඳව පක්ෂ නායකත්වයටත් සෙසු සියලු දෙනාටත් ස්තුතිය පළ කරන බව ඔහු සිය ලිපියෙන් ප්‍රකාශ කර තිබිණි.
ධම්මිකගේ තීරණය ලැබෙන විට නාමල් සිටියේ අනුරාධපුරයෙයි. චන්ද්‍රසේනලා, සේමසිංහලා පක්ෂය හැර ගිය පසු දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පවරා තිබුණේ පක්ෂයේ ජාතික සංවිධායක වූ නාමල්ටයි. හදිසියේ රැස්වූ පොහොට්ටුවේ නායකයන් තම ජනාධිපති අපේක්ෂකත්වයට අගමැති දිනේෂ්ට ආරාධනා කළ අතර, දිනේෂ් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුණේ තමන් දැනටමත් වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කර ඇති බව පවසමිනි.ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ පත් කළ යුතු බවට කල යෝජනාවත් සමග නාමල්ගෙන් ඒ සඳහා ඇති කැමැත්ත විමසන ලෙස හිටපු ජනාධිපති මහින්දගෙන් උපදෙස් ලැබිණි.ඒ අනුව අනුරාධපුරයේ සිටි නාමල්ගෙන් ඒ ගැන විමසූ විට නාමල් කියා තිබුණේ පක්ෂය තීන්දු කරනවා නම් තමන් සූදානම් බවකි. ඒ අනුව වහාම කොළඹට කැඳවූ නාමල්ව හත්වැනි දා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ නෙළුම් මාවත පක්ෂකාර්යාලයේ පැවති උත්සවයකදීය.ඊට හිටපු ජනාධිපති, පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණට සහය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව තිබිණි. එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදීන් නාමල්ගෙන් ඉදිරි සැලසුම් ගැන විමසූ විට නාමල් කීවේ තරුණයකු ලෙස අභියෝග ය භාර ගැනීමට සූදානම් බවකි.හිටපු ජනාධිපති මහින්ද වෙත මාධ්‍යවේදීන් ප්‍රශ්න යොමු කළ අතර එහිදී විමසා සිටියේ ජනාධිපති රනිල්, නාමල්ට අභියෝගයක් ද යන්නයි. ඊට ලිස්සා යන පිළිතුරක් දුන් මහින්ද කීවේ අරගලයද ඉල්ලා සිටියේ තරුණ නායකයෙකු නිසා තමන් තරුණ නායකයයෙකු ඉදිරිපත් කර ඇති බවකි. පක්ෂය හැරගිය අයට නැවත එක්වන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කිරීමට එහිදී අමතක කළේ ද නැත.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විවිධ දේශපාලන පක්ෂවලින් පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම මත බොහොමයක් දේශපාලන පක්ෂ කැඩීමකට ලක් විය. ඒ කාලයේ බොහෝ ප්‍රසිද්ධ කියමනක් වූයේ දෑත ශක්තිමත් කිරීම සඳහා සැළුලුන් දොර විවෘතවීමක් ගැනය. දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර දෙපැත්තට ඇරෙනවා වෙනුවට එක පැත්තකට පමණක් ඇරෙන ඇරෙන්නට පටන්ගෙන ඇත. ඒ පිටවීමේ පැත්තටය. මේ අතර පසුගියදා ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව සිටි රත්නපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යළි නාමල් රාජපක්ෂ මහතාට සහාය දීමට පැමිණ තිබිණි.
ජනපති රනිල්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණ සටන් බිමට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරයා කරවීමේ සටනට සහාය පළ කර ඇත. මේ හේතුවෙන් පොහොට්ටුව බරපතල දෙදරීමකට ලක්ව තිබිණි. හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් රැසක් ද වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට ඉදිරිපත්ව ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දක්වන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල එකතුවෙන් නව දේශපාලන සන්ධානයක් පිහිටවීමත් එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයට ලබාදීමටත් යෝජනා වී ඇත. ලංකා පොදුජන පෙරමුණෙන් කැඩී ආ කණ්ඩායම මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය, සමගි ජන බලවේගයෙන් කැඩී එන කණ්ඩායම්, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ගණනාවක් සහය දැක්වීමට දැනටමත් ඉදිරිපත්ව ඇත.
නාම යෝජනා බාර දීමෙන් පසු ජනාධිපතිවරයා සිය ප්රචාරක කටයුතු රට පුරා සිදුකිරීමට මේ වන විටත් සැලසුම් කර ඇත.ආණ්ඩුවට තදින් බලපාන තවත් සිදුවීමක් පසුගිය සතියේ වාර්තා විය. ඒ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුවන හරින් ඉ ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාරගේ අමාත්‍ය ධූර අහිමිවී යාමයි. අරගලයෙන් පසු හරීන් හා මනුෂ, පක්ෂ තීරණයට පිටින් යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර ලබා ගැනීම මගින් පක්ෂ විනය කඩ කර ඇති බව පවසමින් ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගැනිණි. තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් හා මනුෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර, වසර දෙකකට ආසන්න කාලයක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව හරින් හා මනුෂට එරෙහිව සමගි ජන බලවේගය ගෙන තිබූ තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙරිණි. ඒ අනුව හරීන් සහ මනුෂගේ මන්ත්‍රී ධුරයත්, පක්ෂ සාමාජිකත්වයත් අහිමි විය. අධිකරණ තීන්දුව ලැබීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් හරීන් හා මනුෂ තමන් කළ කී දෑ ගැන කරුණු කියන්නට විය. කෙසේ වෙතත් ආණ්ඩුවට එම සිදුවීම යම් තිගැස්මක් ඇති වුව ද ජනාධිපතිවරයා කියා තිබුණේ තමන්ට සහාය පළ කිරීමට එක්වන පිරිසගේ දේශපාලන සුරක්ෂිතභාවය තහවුරු කරන බවකි.
මේ අතර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ විජයදාස රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වූ අධිකරණ ඇමැති ධූරයට වත්මන් ආණ්ඩුවේ විදේශය ඇමති හා හිටපු අධිකරණ ඇමතිවරයෙකු වූ අලි සබ්රි මහතාට ලබාදීමට ඡනාධිපතිවරයා කටයුතු කර තිබිණි.මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඒ මහතා මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදෙනු ලැබිණි. මේ අතර ෆොන්සේකාගෙන් හිස් වූ පක්ෂ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත් කිරීමට යෝජනා වී ඇත.
සජිත් ගේ සමගි ජන සන්ධානය එළි දකී
සමගි ජන බලවේගය අපේක්ෂකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් පසුගියදා එක් විය. ඒ අනුව සමගිය ජන බලවේගය ප්රමුඛ සන්ධානය හෙවත් සමගී ජන සන්ධානය ගිවිසුම් ගතවීම උත්සවශ්‍රීයෙන් පසුගියදා පැවැත්වුණේ සුගතදාසය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය. එහිදී දැනට සමගී ජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලි සන්ධානය, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය එක්ව තිබිණි. ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ද එක්ව සිටි අතර මෙතෙක් සමගි ජන සන්ධානයේ නියෝජනය කළ රිෂාඩ් බදුයුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය එම අවස්ථාවට සහභාගි වී තිබුණේ නැත.ඹවුන් ප්‍රකාශ කළේ තම තීරණය පසුවට දැනුම් දෙන බවකි . එම උත්සව සභාව ඇමතූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ඉතිහාසයේ මෙතෙක් බිහි වූ පුළුල් ම සන්ධානය බිහි කරමින් අනාගතයේදී රට දියුණුව කරා රැගෙන යන බවකි. මේ අතර ජනාධිපතිවරණයට අදාලව මෑතකදී සිදුකර ඇති සමීක්ෂණවලට අනුව සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය ඉදිරියෙන් පසුවන බවට වාර්තාවේ.මේ අනුව සමගි ජන බලවේගය තම මැතිවරණ ව්‍යාපාරය වේගවත් කර ඇති අතර රට වටා රැස්වීම් සංවිධානය කර තිබිණි. ඒවාට අතිවිශාල පිරිසක්ද එක්ව සිටිනු දක්නට ලැබිණි.
පසුගියදා විපක්ෂ නායකවරයාට සහාය පළකරමින් විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිණී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්වීය. මීට අමතරව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්වූ අතර පාඨලී චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්විය. මේ අතර මනුෂගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීධූරය සඳහා බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් කර තිබූ අතර හරීන්ගෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,සුජීව සේනසිංහ හා අජිත් පී පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී තිබිණි. කෙසේ වෙතත් ඡාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ජනාධිපතිවරණයෙන් පසු පිරවීමට කටයුතු කරන බවට සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ජාතික ජන බලවේගය
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකෙරිණි.එහිදී ඔහු ප්‍රකාශ කළේ තම අත්සන රටත් සමග කළ අත්සනක් බවයි. තවද තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනය ලබන විසිහය වැනි දා එළි දක්වන බවද අනුර දිසානායක මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. ගෙවුණු සතියේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා ගොවී, තරුණ හා රණවිරු සමුළු සංවිධානය කර තිබිණි. පසුගියදා අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය නියත බවයි.
මේ අතර ලාල් කාන්ත මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දේශපාලන වේදිකාව යළිත් වරක් උණුසුම් විය. කවදත් ආන්දෝලනාත්මක හා මතබේදාත්මක ප්‍රකාශ සිදු කරන ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය හේතුවෙන් දේශපාලන වේදිකාවට අලුත් මාතෘකා නිර්මාණය විය. අධිකරණ බලය ගමට ගෙන යා යුතු බවට ඔහු පසුගියදා කල ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩු දුනී. ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් යළි සංවාදයකට ලක්විය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ගාලුමුවදොර අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමේදී අරගල නායකයන් ඊට අකමැත්ත දැක්වීම මත එය අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමකින් තොරව අවසන් වූ බවකි. එම ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමේ ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහයක් පැවැති බවට අනාවරණය වන බවයි ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් චෝදනා කළේ. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම ප්‍රකාශය පදනම්ව ලාල්කාන්ත මහතා අත්අඩංගුවට ගත යුතු බවකි. අනුර -රනිල් ඩීල් එකක් නැත්නම් එය සිදුවිය යුතු බවද ගම්මන්පිල කියා තිබිණි. මේ අතර ලාල්කාන්තට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කර තිබිණි. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ ලාල්කාන්ත වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කරන ලෙසටයි.
අද තුනට කැඩෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට කොටස් තුනකට බෙදී වෙන් වී අවසන්ය. එක් කොටසක් නිමල් සිරිපාල සිල්වා ඇතුළු කණ්ඩායමක් පක්ෂ මූලස්ථානය ද අත්පත් කර ගනිමින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව පවසමින් ඇත. තවත් කොටසක් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන හා විජයදාස රාජපක්ෂය යටතේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රමුඛ නිදහස් පක්ෂය තමන් සතු බව කියන්නේ දයාසිරි, තිලංග ඇතුළු පිරිසකි. මේ තුන් ගොල්ලෝ හැසිරෙන්නේ තුන් ආකාරයකටය. පිරිසක් රනිල්ට සහය දෙද්දී තවත් පිරිසක් සජිත් හා විජයදාසට සහාය දෙමින් ඇත. කෙසේ වෙතත් මැතිවරණයේ ප්රචාරක කටයුතු පහළොස්වෙනිදායින් පසුව ආරම්භ වීමත් සමගෙජනාධිපතිවරණ වේදිකාවේ උණුසුම තවදුරටත් දැක ගත හැකිවනු ඇත.