මියුරු නදින් ගී ගයන රසායන විද්‍යා මහාචාර්යවරිය, බුද්ධිමතී 

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ කාන්තාවක් එක්ක . අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු කාන්තාව ඇයයි. ඒ වගේම කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන,  විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසි පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිත මේ වෙනුවෙන් එක් කරගන්නටයි අපි හැමවිටම උත්සාහ කරන්නේ.  

මුලින් කිව්වා වගේ  අද මම වං හුං සොයන්නෙ කාන්තාවකගෙන්. ඇය නිකම්ම නිකම් සුන්දර ලදක් විතරක් නෙවෙයි. නමින් බුද්ධිමතී ජයසේකර වූ ඇය නමටම සරිලන බුද්ධියකින් පිරිපුන් විශාල පරාසයක දස්කම් දක්වන ගැහැනියක්. ඇය රසායන විද්‍යාව පිළිබඳව  ආචාර්ය උපාධිධාරිනියක්(PhD). මේ වනවිට  ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මිසිසාගා මණ්ඩපයේ   රසායන විද්‍යා කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. සැමියා සහ දරුවන් දෙදෙනා සමග මිසිසාගා නගරයේ ජීවත්වන බුද්ධිමතී මහත්මිය මෑතක සිට ඇයගේ ගීත ඇතුලත් යූ ටියුබ්  නාලිකාවක් පවත්වාගෙන යනු ලබනවා.

https://www.youtube.com/channel/UC7ydoOUQbXaxqFf8L2OmEyQ  .

 සමාජය තුල ඉතාමත් ආදරණීය ලෙස ඇයව හඳුන්වනු ලබන්නේ “බුද්ධි” නමින් නිසා මේ සටහනේ ඉදිරියේදී  පහසුව තකා ඒ නම යොදා ගනු ලැබුවා.  

ඇය ඉපදුනේ ගාලු දිස්ත්‍රික්කයේ හීන්පැන්දල කියන පුංචි ගමේ. ගාල්ලේ මෝදර රෝහලට ඉතාමත් ආසන්නයේ තියෙන මේ සුන්දර කුඩා ගම්මානය ආසන්නයෙන් තමයි ගිං ගඟ මුදට වැටෙන්නේ. පුංච් දැරියක ලෙස ඒ මෝදර අසල තිබු මනස්කාන්ත කිරල, කඩොලාන පරිසරය මැද්දෙන් අම්මාට හොරා ගිං ගගේ ඔරු පැද්ද හැටි, ගමේ වෙල්යායේ නියරවල වාඩිවී අය්යලා සහ මල්ලිත් සමග කතා කර කර හිටපු හැටි ඒ වගේම සුලං තියෙන කාලෙට සරුංගල් ඇරපු හැටි කියලා ගම ගැන අතීත මිහිරි මතකයන් ඇය අවදි කලේ හරිම සතුටින්. නමුත් පසු කාලයේ උසස් පෙළ ජීව විද්‍යාව විෂයට ඒ ශාක සම්බන්ධව ඉගෙන ගනිද්දී ඒ කඩොලාන ශාක දිහා ඇයට බලන්න සිදු උනේ විද්‍යාත්මක ඇසකින්. ඒ ශාක ජීවන පැවැත්ම සදහා අනුවර්තන වී ඇති ආකාරය ගැන ඇයගේ හිතට දැනුන අපුර්ව අත්දැකීම ඇය මා සමග බෙදාගත්තෙ හරිම උනන්දුවෙන්. මේ හීන්පැන්දල සුන්දර  ගම්මානය විදේශිකයින් සදහා කළුවර ලීයෙන් නිමවන අලි කැටයම් නිෂ්පාදනයටත් සුප්‍රසිද්ධයි. 

මධ්‍යම පාන්තික සිංහල පවුලක   දෙමාපියන් දෙදෙනා, පවුලේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකු සහ බාල සොහොයුරෙක් මධ්‍යයේ එකම දියණියවූ ඇයට ලැබුණු අසීමිත අවධානය සහ වරප්‍රසාද සියල්ල විවාදයකින් තොරව ඇය ඉතා සතුටින් භුක්ති වින්දා. ගුරු මවකට දාව උපදින ලාංකික දරුවන්ට විදීමට සිදුවන අතුරු ආබාධයක් වන විනයානුකුල පරිසරය ඇයටත් ඇයගේ සොහොයුරන්ටත් උරුමවීම අරුමයක් නෙවෙයි.

ඇය හෝඩියේ සිට අපොස උසස් පෙළ දක්වාම ගියේ ගාල්ලේ ශ්‍රී හෘද කන්‍යාරාමයට. ඒ පිටුපස තියෙන්නෙ ලස්සන පුංචි ඉතිහාසයක්. ඇයගේ මවත් පාසැල් ගිහින් තියෙන්නෙත්, ඒ වගේම මව ගුරු වෘත්තියේ ආරම්භයේ සිටම විශ්‍රාම යන තෙක්ම සේවය කරලා තියෙන්නෙත් ඒ පාසලේමයි. විනයානුකුල ගුරු මවගෙන් පෝෂණය ලැබුනත් සම්මත ලාංකික දෙමාපියන්ගේ “ඉතා උසස් අධ්‍යාපනයක් ලබා ගත යුතුයි” කියනා බලපෑම ඇයට තිබුනේ නැහැ. තම පණ හා සම එකම දියණිය නිසා අනවශ්‍ය ලෙස අධ්‍යාපනය වෙනුවෙන්වත් බුද්ධිමතී දුක් ගැහැට විදිනවා දකින්න ඇයගේ මවට උවමනා උනේ නැහැ. ඉතා බැරෑරුම් විද්‍යා විෂයන් හැදෑරීම වෙනුවට කළා විෂයන් හදාරන්නැයි ඇයගේ මව ඉල්ලා සිටීමේ රහස එයයි. නමුත් නිවස සාදා ගැනීමට ගත්  බැංකු ණය ගෙවා ගැනීමත් දරු සතර දෙනාගේ අධ්‍යාපනික වියදම් දැරීමත් අසීරුවෙන් කල දෙමාපියන්ගේ ජීවන අරගලය දුටු ඇයට තමා වෙනුවෙන් තමා යමක් කර ගන්නවා මිසක්, වෙනෙකෙක්  තමාව අල්ලා නැගිටුවීමට නැති බව පසක් කරගත්තෙ ඉතා කුඩා අවධියේ සිටමයි.  

ඉතාමත් දක්ෂ සිසුවියක් වූ ඇය පාසැල් දිවිය ගැන කතා කරද්දී, ඉතා විශේෂයෙන්ම සදහන් කලේ පාසලේ අමතර කර්තව්‍යක් වූ බාල දක්ෂිකා දිවිය ගැන. තුන්වැනි වසරෙන් Browny ශිෂ්‍යාවක් ලෙස ආරම්භ කල ඒ දිවිය අවසන් වූයේ ලගා කර ගැනීමට ඉතාමත් අසීරු ජනාධිපති බාල දක්ෂිකාවක් වීමෙන්.  ජනාධිපති බාල දක්ෂිකාවක් (President’s Guide) වීම ඇය සලකන්නෙ ජීවිතයේ සඵල කරගත් ඉතා වටිනා  ජයග්‍රහණයක් හැටියට. බුද්ධි තරයේ විශ්වාස කරනවා Girl Guide කෙනෙක් ලෙස ඒ ලද විනය සහ පුහුණුව අදටත්  ඇයගේ එදිනෙදා ජීවිතයට නොසෑහෙන ලෙස උපකාරී වන බව. නිර්භීතව ස්වශක්තියෙන් නැගිටීම වගේම සැලසුම් කිරීම්, සංවිධානාත්මක ශක්තිය ඒ පුහුණුවෙන් ලබාගත් විශේෂිතම ගුණාංග ලෙස ඇය දකිනවා. බොහෝ විට පාසලේදී ඉගෙන ගන්නා විෂයන් අපිට කිසිදා අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් Girl guiding වලින් ලබා දෙන්නෙ ජීවිත පුහුණුව. උදාහරණයක් ලෙස අද මවක්, බිරිදක් වගේම ගුරුවරියක් ලෙස එදිනෙදා දිවිය සකසුරුව සංවිධාන කරගැනීමට, ගෙවතු වගාවේදී ප්‍රායෝගිකව අවශ්‍ය වන විවිධ වර්ගයේ ගැට වර්ග වන කොස්පට්ටා, පිරිමි ගැටය අද ඇයට උපකාරී වෙන හැටි ඇය සදහන් කලේ වික්ෂිප්තව. 

Girl Guiding වලට අමතරව, හෝඩිය පංතියේ සිටම බුද්ධි ආසාවෙන් සම්බන්ධ නොවුණු වේදිකා නාට්‍යයක්, කවි ගී ගායනයක්, නැටුම් සංදර්ශනයක්, තුර්ය වාදක කණ්ඩායමක්, කියවීම් තරගයක් එම පාසලේ නොතිබුණු තරම්. ජනාධිපති බාල දක්ෂිකාවකගෙන් ඇයගේ බාල දක්ෂ ගමන අවසන් වුයේ නැහැ. බාල දක්ෂිකා දිවියේ දිගුවක් ලෙසට Duke of  Edinburgh සම්මානය ලබා ගත් බුද්ධිට 1988 උසස් පෙළ විභාගයෙන් පසුව අන්තර්ජාතික තරුණ සම්මේලනයකට සහභාගීවීමට තවත් සිසුවකු සමග හොංකො බලා යාමට ලැබීම ඉතා කලාතුරෙකින් පාසැල් සිසුවෙකුට ලැබෙන භාග්‍යයක්. 

රඟපෑමට ඇයට තිබුනේ විශේෂ හැකියාවක්. අතුල පීරිස් නම්වූ ප්‍රසිද්ධ නාට්‍යකරුවා කන්‍යාරාමයේ සිසුන් යොදවා කල නාට්‍යයේ චරිතයක් ලැබීම බුද්ධිගේ රඟපෑම් ජීවිතයේ විශේෂිත අවස්තාවක් වුවා පමණක් නෙවෙයි, ඇයට නාට්‍ය කලාව සම්බන්ධව අත්දැකීමක් ලබා ගැනීමටත් ඉන් ඉඩ ප්‍රස්තාලැබුනා. ඊට පසුව පාසැලේ තිබූ නාට්‍ය තරඟයකට බුද්ධි විසින්ම ලියා අධ්‍යක්ෂණය කල නාට්‍යයකට මුල් තැන ලැබීම ඇයගේ  රඟපෑම් ජීවිතයට විශාල රුකුලක් උනා වගේම ඇය අතුල පීරිස් ඇසුරෙන් ලබූ නාට්‍ය කලාව පිළිබඳ අත්දැකීම උරගා බැලීමටත් ඇයගේ නාට්‍යය තෝතැන්නක් උනා. වර්තමානයේ යූ ටියුබ් හරහා ගී ගායනා කිරීමේ හුරුව ඇයට ලැබුනේ ඉතා කුඩා කාලයේ සිටම පාසලේදී මේ කල කී දැයි. 

උසස් පෙළ ඉහලින් සමත්ව ඇය ඇතුල් වූයේ රුහුණු විශ්ව විද්‍යාලයට. තරුණ හදවත් සලිත කරන දගකාර මුහුදට මුහුණලා ආකර්ශනීය පරිසරයක ඉදිකර තිබු රුහුණු විශ්ව විද්‍යාලයට ඇය පෙම් බැන්දා පමණක් නෙවයි එම විද්වත් පරිසරය ඇයට අවශ්‍ය පරිදි ඇය නතු කරගත්තා. දෙවන වසරේ හොඳම ශිෂ්‍යාව හැටියට ඉහලින්ම ලකුණු ලබා ගැනීමත් රසායන විද්‍යාවට A සාමාර්ථයක් තිබීමත් හේතුවෙන් රසායන විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් ලබා ගැනීමට ඇයට වරම් ලැබුනේ ඇයගේ දක්ෂතාවයන්ට සහ දහිරියට ජයග්‍රහණයක් ලබාදීමක් ලෙස. ගෞරව උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් කල යුතුව තිබූ නිසා ඇයගේ කන්‍යාරාම ජීවිතයේ ලබූ මනා ඉංග්‍රීසි දැනුමද එයට ඉවහල් වූ බව බුද්ධිමතී විශ්වාස කරනවා. 

විශේෂ උපාධිය නිසා අවුරුදු හතරක් සරසවියේ ගත කර රසායන විද්‍යා විශේෂවේදී උපාධිය සමත්වූ විගසින්ම එහිම සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබීම බුද්ධිට ඉතා සතුටුදායක හැගීමක් වූයේ ගුරු වෘත්තියට ඇය දක්වන විශේෂ ඇල්ම වගේම තම හදවතට ඉතා සමීප සරසවියට කළගුණ සැලකීමට ලැබීම ඉතා භාගයක් ලෙස ඇය සැලකු නිසාවෙන්. නමුත් 6 මාසයක් වැනි සුළු කලකදී දෛවය ඇයව වෙනත් මගකට යොමු කලේ ජීවිත විපර්යාසයකුත් සමග. රැකියාව ලැබුණු විගසම අම්මා ඇයගේ විවාහය ගැන දැක්වූ තද උනන්දුවේ  ප්‍රතිපලයක් හැටියට තමයි ඇය දමිත් ජයසේකර තරුණයා සමග විවාහ ගිවිසා ගත්තේ. දමිත් රැකියාව කලේ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නිසා  බුද්ධි තීරණය කළා විවෘත විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යන අංශයට  සම්බන්ධ වෙන්නයි

විවාහය සිදුවී වසරක් යාමටත් පෙර ඔවුන් දෙදෙනාට ඇමෙරිකාවේ Detroit නගරය බලා යාමට සිදු උනේ බුද්ධිමතීගේ PhD එකට ඇය සුදුසුකම් ලැබීම නිසා. ඔවුන්ගේ කුළුදුල් පුතා ලැබුනෙත් ඇමෙරිකාවේදී. ඇයගේ PhD Thesis එක උනේ “අකාබනික රසායනය පිළිබඳ පර්යේෂණ”. බුද්ධි අධ්‍යාපනික කටයුතුවල යෙදෙන අතරේ ඇයගේ ස්වාමියා ඉතා කැපවීමෙන් අවුරුදු 2 ක් තිස්සේ පුතා බලාගැනීම හේතුවෙන් ඇයට අධ්‍යාපන කටයුතු කරගැනීම පහසු උනා. කැනඩාවේ Permanent Residence සදහා අයැදුම් කල ඔවුනට පුදුමයකට මෙන් ඉතා පහසුවෙන් කැනේඩියානු PR ලැබුනා. 

PhD ලබා ගැනීමෙන් අනතුරුව, දමිත් බුද්ධි යුවල 2004 අගෝස්තු මාසයේ කැනඩාවට පැමිණියේ ස්ථීර පදිංචිය සදහා. අප කතාව අතරතුර, බුද්ධිමතී හැගුම්බරව කටහඩ අවදි කලේ මට විශේෂ යමක් කියන්න ඕන කියලා,”ඇත්තටම මම PhD එක දක්වා අධ්‍යාපනයක් ලබා ගත්තෙ දෙමාපියන් වෙනුවෙන් කෘතගුණ සැලකීමක් ලෙසට සහ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අනෙක් දෙමාපියන් මෙන් ඔවුන් කිසිදා මගෙන් උසස්  අධ්‍යාපනයක් බලාපොරොත්තු වුයේ වත්, මගෙන් ඉල්ලා සිටියේවත් නැහැ. ඒ වගේම මතුයම් දිනක උසස් රැකියාවක් කිරීමේ අරමුණින් මා එය සඵල කරගත්තෙත් නැහැ”. ඇත්තටම ඇයගේ මේ ප්‍රකාශය මා මවිතයට පත් කළා. 

මේ මුළු සංවාදය පුරාම මගේ හිතේ කැකෑරුණු ප්‍රශ්නය අහන්න මම මාන බලමින් සිටි අවස්ථාව ලැබුණු විගස මම ක්‍රියාත්මක උනා. “ඔයා, හික්මුණු, කලාකාමී, විනය ගරුක දියණියක්, දක්ෂ ශිෂ්‍යාවක්, ඉතා වටිනා ගුරුවරියක්, දැන් මට කියන්න ඔයාගේ අද අපි දකින ගායන හැකියාවටට පාදක වූ කරුණු මොනවද කියලා, එහෙම නැත්නම්, කාගෙන්ද ඔයාට මේ හැකියාව උරුම උනේ කියලා”. ඇය ඉතාම පහසුවෙන් පිළිතුරක් මට දුන්නා, “මට හිතෙන්නෙ සෞන්දර්යාත්මක බව මගේ අම්මගෙ සෑම හුස්මකම තිබුනා කියලා.  ඇය හැම දෙයක් දිහාවම බැලුවෙ වෙනස් ලතාවකට. අපේ අම්මට ඉතාමත් ලස්සන කට හඬක් තිබුනත් ඇය අධ්‍යාපනය ලැබු කන්‍යාරාමයේ එවකට තිබුනේ ඉංග්‍රීසි භාෂාව පමණක් නිසා  නිසා ඇයට ඉංග්‍රීසි භාෂාවෙන් ගී ගැයීමට පමණයි අවස්තාව ලැබුනේ. සිංහල කවි, ගී, සින්දු ඇය යන කාලයේ පාසලේ තිබුනේ නැහැ” කියලා බුද්ධි කිව්වෙ තරමක් කලකිරීමකින්. අම්මගෙ තාත්තාත් වටිනා කලාකාරයෙක්. ඒ කියන්නෙ මගේ සීයා. එයයි, එයාගේ හොද යාළුවෙකුයි තමයි ලංකාවේ මුල්ම සුදු ජාතිකයන් නොවන ෆොටෝ ස්ටුඩියෝ දෙක පටන් අරන් තියෙන්න. සීයාගේ ස්ටුඩියෝ එක තිබුනේ ගාල්ලෙ, එයාගේ යාලුවගෙ ස්ටුඩියෝ එක තිබුනෙ පානදුර. එයාලා සුදු ජාතිකයින්ගෙන් මේ ෆොටෝ තාක්ෂනය ගත්තු හැටිත් හරිම රසවත් කතාවක්” ඇය එහෙම කිව්වේ ඉතාමත් ගාම්භීරත්වයකින්. ඉතිං ඇයට කලාව උරුම වුවක්. ඇය දිගටම කියාගෙන ගියා. “අම්මගෙ පැත්ත විතරක් නෙවෙයි, අපේ තත්තගේ දෙමාපියන්ටත් ඉතා විශේෂිත කළා හැකියාවන් තිබුනා. කලාව ඇගේ තියෙන අය ප්‍රශ්නවලදී මානසික ආතතියන්ට ගොදුරු වෙනවා අඩුයි කියන කතාව සත්‍යයක් කියලා මට දැනෙන්නේ මම ලෙහෙසියෙන් මානසික ආතතිය  පත් නොවන නිසා. ඉතිං මම හිතනවා, මම හරිම වාසනාවන්තයි කියලා”. 

බුද්ධිමතීගේ මව ඉංග්‍රීසි සහ චිත්‍ර කළා ගුරුවරියක්. ඇයගේ මව ඉතා සුවිශේෂ චරිතයක්. ලෝ දහම ඉදිරියේ සමබරව සිටි ඇයගේ මව බොහෝ සමාජ සත්කාරයන් කල කුල කාන්තාවක්. විශ්‍රාම යාමෙන් පසුව ආබාධිත දරුවන්ට ජීවත්වීමේ මාර්ග හැටියට ස්වයං රැකියා සදහා ඔවුනට අත්වැඩ, ඉංග්‍රීසි භාෂාව, චිත්‍ර කලාව, මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්  කියා දීලා තියෙන්නේ ඇයගේ පෞද්ගලික මුදල් වියදම් කරගෙන. කලාවේ සංවේදීත්වය තුලින් මනුෂ්‍යත්වය හදුනා ගැනීමේ ආභාෂය ඇයට මවගෙන්  නිතැතින්ම ලැබුනා. 

දෙමව්පියන් සතුටු කිරීම සදහා ඉතා උසස් අධ්‍යාපනයක් ලැබීමට අමතරව ඇයගේ අධ්‍යාපනය අවසන් වෙන තුරු ඔවුන් ජීවත් විය යුතුයි කියනා ප්‍රාර්ථනාව ඇයගේ හදවතේ මුල් බැස තිබුනා. ඇයගේ මව ඉතා කුඩා කාලයේ සිටම ඇයගේ දරුවන්ට කියා තිබූ මරණය පිළිබඳ ධර්මතාවය වගේම බුද්ධි නිවාඩුවකට ලංකාවට ගොස් ආපසු පැමිණෙන මොහොතක අම්මා අතින් අල්ලාගෙන ඇයට කී “පුතේ, අපි කවදාවත් ආයෙ හමුනොවන්න පුළුවන්, ඒත් ඔයා ඒ ගැන කනගාටු නොවී ජීවිතයට මුහුණ දෙන්න ඕන” කීමත් දෙමාපියන් පිළිබද අස්තීරත්වයට හේතුන් උනා. අරුම පුදුම සංසිද්ධිය මෙය නෙවෙයි. PhD උපාධි උත්සවය යෙදී තිබුනේ 2004 දෙසැම්බර් 16, ඔවුන් සුනාමිය හේතුවෙන් මෙලොව හැර ගියේ දෙසැම්බර් 26. මේ සංසිද්ධිය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය උනා. 

කතාව වෙනතකට හැරවීම සදහා මම ආයෙ දොඩමලු  උනා. නිහඩව සිටි ඇයට හදිසියේම යූ ටියුබ්  හරහා ගී ගායනා කිරීමට අදහසක් පහල උනේ ඇයි කියලා දැනගන්න මට විශාල කුතුහලයක් ඇති උනා . බුද්ධිගේ පිළිතුර උනේ    කොවිඩ් වසංගතය  කාලේ ගෙදරට කොටුවෙලා ඉද්දි මගේ මහත්තයා දමිත්  ගෙදරට පටිගත කිරීමේ යන්ත්‍රයක්   ගෙනාවා. ඉතිං ඒ කාලේ කරන්න දෙයක් නැති කමට නිකං ඉන්න වෙලාවට සින්දු කියලා පටිගත කරන්න පුරුදු වෙලා හිටියා”. ඒ කාලයේ තමයි ඇයගේ  ගායනා වල  පුනරාගමනය සිදුවුනේ. යූ ටියුබ් , මුහුණු පොත  වැනි සමාජ මාධ්‍ය අවකාශයන්ට වලට අමුත්තෙක් වූ ඇයට, ගීතය යූ ටියුබ් එකට දැමීමට හිත එකඟ කරගන්න ඉතා අපහසු උනත්,ඒවා සාමාන්‍යකරණය වී ඒ පුංච් අඩිය ඉතා විශාල පියවරක් වුයේ ඇයටවත් අදහාගත නොහැකි ලෙසට. ඒ ආරම්භයෙන් පස්සෙ ඇයට ගායනය ගැන උනන්දුවක් ඇති උනා. කුලරත්න ආරියවංශ සහ රත්න ශ්‍රී විජේසිංහ ශුරීන් වැනි ශ්‍රේෂ්ට පද රචකයින්ගේ පද පේලිවලට සහ අග්‍රගන්‍ය සංගීතවේදී රෝහණ වීරසිංහයන් සහ ආචාර්ය නන්දා මාලිනියගේ ගේ සංගීතයට ගී ගැයීමේ අවස්තාව ලැබීම ඉතාමත් කලාතුරකින් ආධුනිකයෙකුට ලැබෙන දෛවෝපගත භාග්‍යයක් ලෙසයි බුද්ධිට හැගෙන්නෙ. ඒ සම්බන්ධව ඇය අදටත් ඉතාමත් සතුටට පත්වෙනවා. 

මේ සියල්ලට අමතරව, සමාජය වෙනුවෙන් ඇය සහභාගී වන භක්ති ගීත වැඩ සටහන්වලිනුත්, කැනඩාවේ අන්තර්ජාල රූපවාහිනිය රූපණ සහ සවන ගුවන් විදුලියට ගයන නිසදැස් වැනි කලා වැඩවලිනුත් බුද්ධි මහත් තෘප්තියක් ලබනවා. කළා නිර්මාණ ලෙස කලාතුරකින් සිදුවන යූ ටියුබ් ගී ගැයීමටත් වඩා බුද්ධි එදිනෙදා ජීවිතයේ පුර්ණ තෘප්තියක් ලබන්නෙ මැහුම් ගෙතුම් නිර්මාණයෙන්, ගේ දොර සැරසිලි කිරීමෙන් සහ ගෙවතු වගාවෙන්. ඉතා කුඩා කාලයේ සිටම ඒ සම්බන්ධව හුරුවක් ඇයට ලැබුනෙ ඇයගේ ආදරණීය මවගෙන්. ඇත්තටම, ඇයගේ ජීවිතයට ආදර්ශය දුන්නේ ඇයගේ මව කියා අප පහසු නිගමනයකට ආවොත්, එය වැරදි නැහැ නේද?

ඉතාමත් පරිපූර්න දිවියකට හිමිකම්  ලැබූ බුද්ධිගෙන් මම මේ ප්‍රශ්නය ඇහුවා, “හිතට සිහින් දුකක් දැනෙන ඉටුකර ගැනීමට නොහැකිව මග හැරුනු  යම් දෙයක් ඔබගේ ජීවිතයේ තියෙනවද” කියලා. ඇය තරමක නිහඩතාවයකින් පසුව කටහඩ අවදි කලේ මෙහෙමයි, “කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබීම හේතුවෙන් මට අහිමි වූ දෙයක් තමයි පෙරදිග සංගීතය. ඒ ගැන මට සුළු හෝ අධ්‍යාපනයක් ලබන්න අවස්තාවක් තිබුනා නම් හරිම වටිනවා කියලා අද මට හිතෙනවා, නමුත් ඒ නොලැබීම ගැන එතරම්  පසුතැවිල්ලක් නැහැ”. 

මවක්, බිරිදක්, ගුරුවරියක් වගේම කලාකාරියක් ලෙස පුළුල් පරාසයක නිරත වන ඇය මේ සැම දෙයක්ම සමබරව පවත්වා ගෙන යන්නේ කෙලෙසදැයි මම ඇසු ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ මේ විදියට, “මගේ ජීවිතයේ ප්‍රමුඛත්වය හිමිවන්නෙ මගේ පවුලට. ඉතිරි සියල්ලට මගේ අවධානය යොමුවන්නේ ඒ ප්‍රධාන කාර්‍යය ඉටු වුවාට පසුව. අනික මම උදේ නැගිටින්නෙම දවස ඔලුවෙන් සැලසුම් කරගෙන. කලා කටයුතු කරන්නෙත් මට ඉඩ කඩ තියෙන වෙලාවට. ඒකනිසා මට කිසිම දෙයක බරක් දැනෙන්නේ නැහැ”

මගේ අවසාන ප්‍රශ්නය මම ඇයට යොමු කළා “ඔබගේ අනාගත සිහින මොනවද?”. ඇය ඉතාමත් තැන්පත් ස්වරයකින් මට පිළිතුරු දුන්නා, “මම හිතනවා මගේ අපේක්ෂාවන් සියල්ල සාක්ෂාත් කර ගැනීමට මට වාසනාවක් ලැබුන නිසා මම මගේ ජීවිතය සම්බන්ධව තෘප්තිමත් කියලා. ඒ නිසා මේ දුර්ලභ කෙටි මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ඵල නෙලාගෙන හැකි පමණින් අනෙකාටත් උදව්වක් කර මෙලොවින් යාමට හැකිවීම මගේ සිහිනය කියලා මට කියන්න පුළුවන්”. 

තවමත් මැදිවියේ සිටියත්, දෙමාපියන් දෙදෙනාම එකවර අහිමි වීම හේතුවෙන් අටලෝ දහමේ පාඩම මනාවට ඉගෙන ගත් ඇය බුදු දහමට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ දරන්නියක්. ඒත් එක්කම, ආචාර්ය උපාධියක් ලබා අධ්‍යාපනයෙන් ඉතාමත් ඉහලම ස්ථානයක සිටියත්, තම පවුල වෙනුවෙන් ඇප කැපවූ ඇය කාන්තා සමාජයට ආදර්ශයක්. බුද්ධිමතීගේ මනාපය පරිදිම ධර්මය මුල් කරගත් ජීවිතයට මගේ ආශීර්වාදයත් පල කරමින් ඉතාමත් සුහදශීලීව ගෙවුණු පැය කිහිපය නිමාකර අපේ දුරකථන සංවාදය නිමකළා.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *