ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබාදෙන තුරු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කළේ ය.
2019 දී මේ කරුණ මත පදනම්ව රීට් පෙත්සමක් ගොනු වී තිබෙන බව අවධාරණය කල විනිසුරු මඬුල්ල ඒ කරුණු මතම පදනම්ව මෙම පෙත්සමද ගොනු කර ඇති බව අවධාරණය කළ අතර පෙත්සම පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නැති බව පවසමින් නියෝගය ප්‍රකාශ කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහ බව පැහැදිලව දක්වා ඇති බව අවධාරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම නියෝගය සිදු කළේ ය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම නියෝගය ලබාදුන්නේ ය.
නඩුව කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතා දක්වමින් පැවසූවේ, ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එය පැහැදිලිව සඳහන් වී ඇති බවයි.
ඒ අනුව ඇය දන්වා සිටියේ පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇති පරිදි ඔහුගේ මූලික අයිතිවාසිකම් කිසිවක් කඩ වීමක් සිදු වී නොමැති බවත් එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළ යුතු බවයි.
අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, නයිජල් හැජ්, උපුල් කුමරප්පෙරුම, ෆර්මාන් කාසීම්, එම්. ඒ සුමන්තිරම්, සාලිය පීරිස්, කනගඊශ්වරන් මහතා ඇතුළු නීතීඥවරු පවසා සිටියේ, ජනාධිපතියවරයාගේ ධූර කාලය සම්බන්ධව ගැටලු සහගත් තත්ත්වයක් නොමැති බවත් ජනාධිපති ධූර කාලය වසර 5 ක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලව සඳහන් බවයි.
පෙත්සම්කරු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති ගැටලු සහගත තත්ත්වයක් මතුකරමින් අධිකරණය නොමඟ යවමින් මෙම පෙත්සම ගොනුකර තිබෙන බව ද ජනාධිපති නිතීඥවරුන් කරුණු දක්වමින් අවධාරණය කළේ ය.
එම ක්‍රියාවෙන් පෙත්සම්කරු අධිකරණ බලය අවභාවිතා කර ඇති බව ද ජනාධිපති නිතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ය.
එබැවින් පෙත්සම්කරු පෙත්සමෙන් දක්වා ඇති පරිදි ඔහුගේ කිසිඳු මූලික අයිතිවාසිකමක් කඩ වීමක් සිදු වී නොමැති බව අවධාරණය කල නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළ යුතු බවයි.