ඉදිරි ජනාධිපතිවරණය සඳහා ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන්නේ බලය ලැබීමට තවත් ඉතිරිව ඇත්තේ මාස එකහමාරකටත් අඩු කාලයකි.මේ නිසාම මැතිවරණ උණුසුම දැන් වෙනදාට වඩා දැනෙන්නට පටන් ගෙන ඇත. නව දේශපාලන සන්ධාන බිහිවීම් සහ දේශපාලන පිල් මාරු ගැන කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන ඇත. සන්ධාන හතු පිපෙන්නා වගේ බිහිවෙමින් ඇතත් බොහොමයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරන ඒවා වන අතර තවත් ඒවා සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන ඒවා විය. මේ අතර ජාතික ජන බලවේගය ද ඉදිරී ජනාධිපතිවරණය වෙනුවෙන් සිය කඳවුරු ශක්තිමත් කරමින් ඇත. සන්ධාන සඳහා ප්‍රසිද්ධියේ එක් නොවුනත් යටි බිම් ගත දේශපාලනය ශක්තිමත් කරමින් විවිධ දේශපාලන රැස්වීම් සහ සමුළු පවත්වන්නට ජාතික ජන බලවේගයද කටයුතු කරමින් ඇත. මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයත් වතුකරයේ දෙමළ ජනතාවත් නැගෙනහිර මුස්ලිම් ජනතාවත් ගන්නා වූ තීරණය ප්‍රතිඵලයට ඉතා සංවේදී වනු ඇත.
අපේෂකයන් තිදෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් කිසිදු අපේක්ෂකයෙකුට සියයට පනස් එක ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකිවේදයි යන්න සැක සහිතය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්ය.සමගි ජන බලවේගයෙන් ද සජිත් ප්‍රේමදාස මහතා තරග කරන බව ප්‍රකාශ කොට අවසන්ය. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ ද යන්න ඔහු විසින් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහලේකම් රංග බණ්ඩාර ආශු මාරසිංහ වැනි පක්ෂයේ ක්‍රියාකාරී නායකයන් ප්‍රකාශ කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත් වන බවකි.මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ කොළඹ මල් පාරේ දී සිය මැතිවරණ මෙහෙයුම් කාරයාලයක් ආරම්භ කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ඡනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් නොකළද බොහෝ දෙනා කියන්නේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමත් සමඟ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි. ජනාධිපතිවරණයේදී කුමක් කරන්නේදැයි පොහොට්ටුව තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැත. එහෙත් ආණ්ඩුවට එක්ව සිටින පොහොට්ටුවේ සියලු දෙනාම රනිල්ගේ පැත්තේ බව පැහැදිලිය. පොහොට්ටුවේ ඉතිරි පිරිස ද අවසානයේ රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
මහින්දානන්ද -රාජපක්ෂ වලිය
පසුගිය සතියේ ආණ්ඩු පක්ෂ රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රැස්වීම අතරතුර මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අතර වාග් සංග්‍රාමයක් ඇති වී තිබිණි. රැස්වීම නිමවී එළියට එද්දීද මහින්දානන්ද හා ගුණතිලක රාජපක්ෂ අතර වචන හුවමාරුවක් ඇති වී තිබිණි. එහිදී දෙදෙනා අතර පොර බැඳීමක් සිදුවූ අතර අවසානයේ ගුණතිලක රාජපක්ෂ පඩිපෙළෙන් ඇද වැටී තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කෙරිණි.එහිදී ගුණතිලක රාජපක්ෂ ගේ පාදයේ අස්ථියක් බිඳී තිබූ අතර ඔහුට පැය තුනහමාරක සැත්කමක් ද සිදු කෙරිණි.මේ සම්බන්ධයෙන් මහින්දානන්ද කීවේ දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වුණත් ගුටිබැටහුව මාරුවක් සිදු නොවූ බවකි.සිද්ධිය ගැන පොලීසියට පැමිණිලි කළ ගුණතිලක රාජපක්ෂත් ඔහුගේ පුතුත් කියා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමන්ට හොඳ හැටි පහර දුන් බවකි.ගුණතිලක රාජපක්ෂ මාධ්‍යයට ද ඒ බව ප්‍රකාශ කර තිබුණේ රෝහලේ ඇද මත සිටය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පසුගිය දා කොටුව පොලිසියේ කණ්ඩායමක් කථානායකවරයාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවටද පැමිණ තිබිණි.එහිදී සිද්ධිය දුටු බවට ප්‍රකාශ වුණු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කෙරිණි. එහෙත් මේ දක්වා සිද්ධියට අදාළව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර පොලිසිය කියන්නේ අධිකරණ නියෝග අනුව ඉදිරියට කටයුතු කරන බවකි .
මෛත්‍රීගේ අපලය
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට මේ දවස්වල තරමක අපල කාලයකි.එක පැත්තකින් නඩු හබය. අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය. පාස්කු නඩුවේ වින්දිතයන්ට වන්දි ගෙවන්නට සිදුවූ මෛත්‍රී ට රෝයල් පාර්ක් නඩුව සම්බන්ධයෙන්ද දැන් වන්දි ගෙවන්නට සිදුව ඇත.එපමණක් නොව රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට දුන් ජනාධිපති සමාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ තීන්දු කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ වන විට අයිතිකාරයකු නැති ගානට වැටී ඇත. මෛත්‍රීපාල කණ්ඩායම සහ නිමල් සිරිපාල කණ්ඩායම වශයෙන් නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකක් ඇති අතර සිරිපාලගේ කණ්ඩායම මේ වන විට සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන ස්ථාවරයකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වන දුමින්ද දිසානායක යා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඔහුට ලැබෙන බවකි. ඊට පසුබිම හැදීම සඳහා එම කණ්ඩායම පසුගිය සතියේ අම්බලන්තොට දී විශාල රැස්වීමක්ද සංවිධානය කර තිබිණි. ඊට පොහොට්ටුව හා ආණ්ඩුව පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20දෙනකු පමණ සහභාගි වී තිබිණි. නිමල් ලංසාගේ නව සන්ධානයේ මන්ත්‍රීවරු බොහොමයක් එහි සිටින ආකාරයද දක්නට ලැබිණි.
අයහපත් කාළගුණයෙන් පීඩා -ගම්පහ යටවෙයි.කොලොන්නාව උස් තැනකට.
නිරතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයින් පසුගිය සතියේ පුද්ගල මරන විසි හයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර දෙලක්ෂය පනස්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්විය. මෑත ඉතිහාසයේ වාර්තා වූ අධිකම වර්ෂාපතනය වූ මිලිමීටර හාරසියෙක් වූ වර්ෂාපතනයක් එහිදී හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. මේ සමගම අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක හදිසි ජලගැලීම් තත්ත්වයක් ඇති වූ අතර ජීවිත හා දේපල හානී රැසක් ද වාර්තා විය. කැලණි කළු ගිං නිල්වලා අත්තනගලු ඔය ඇතුළු ගංගා රැසක් පිටාර ගැලීමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක දහතුනකට ගංවතුරෙන් බලපෑම් ඇති විය. මේ හේතුව නිසාම මැති ඇමැතිවරුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳවය.
ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විපක්ෂ නායකතුමාත් ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ගේ සුව දුක් සොයා බැලීම සඳහා කොළඹ ගම්පහ සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල සංචාරය කර තිබිණි. ජනාධිපතිවරයාද ගුවනින් ආපදා තත්ත්වය නිරීක්ෂණය කළ බව ජනාධිපති මාධ්යාඅංශය වාර්තා කළේය. කොළොන්නාවට ගිය ජනාධිපතිවරයා කීවේ යළි කොළොන්නව ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති නොවන ආකාරයෙන් ඉදිරියේදී කටයුතු කරන බවකි . ඒ අනුව කොලොන්නාව නගරය වෙනත් උස් ස්ථානයක ස්ථාපිත කිරීමට ආණ්ඩුව සැර සසෙති. විපක්ෂය කියන්නේ අවතැන් වූ පුද්ගලයකුට ලබා දෙන රැපියල් තුන්සියයක දෛනික ආහාර මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවකි. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව පෙන්වා දෙමින් කීවේ ඊට අදාළ චක්‍රලේඛය වහා යාවත්කාලීන කළ යුතු බවකි. අනුර දිසානායක මහතා ද කුරුණෑගල පැවතී රැස්වීමකදී ප්‍රකාශ කළේ වැස්ස ස්වභාවික වුවත් ඉන් ඇතිවන අනතුරු අයහපත් සංවර්ධනය ප්‍රතිඵල නිසා ඇති වූවක් බවකි.
අනුර සහ සජිත් අතර විවාදය
ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම් අතර මෙන්ම එහි නායකයන් අතර විවාදයක් සඳහා පසුගිය කාලයේ පක්ෂ දෙකේ නියෝජිතයින් අතර බරපතළ විවාදයක් පැවතිණි. ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය වැඩි කැමැත්තක් තිබුනද ඊට ජාතික ජනබලවේගයෙන් ප්‍රසාදයක් නොතිබිණි. ඔවුන් කියා සිටියේ පක්ෂ දෙකේ නායකයන් අතර විවාදයකට තමන් කැමති බවකි . ඒ අනුව පක්ෂ දෙකෙන් විටින් විට අවස්ථා දෙකකදී විවාදයන් සඳහා දින ලබා දී තිබුනද අවසානයේ සමගි ජන බලවේගය විසින් ආර්ථික කමිටු දෙක අතර විවාදයට සහ නායකයන් දෙදෙනා අතර විවාදයට දින වෙන් වෙන් වශයෙන් ලබා දී තිබිණි. එහිදී ඔවුන් නියෝජනා කර තිබුණේ මෙම විවාද දෙකම එකවර පැවැත්විය යුතු බවටය. කෙසේ වෙතත් නායකයන් දෙදෙනා අතර පැවැත්වෙන විවාදයේ දිනකට අනුර දිසානායකගේ කැමැත්ත පළ වී තිබූ අතර ඒ අනුව සජිත් හා අනුර අතර විවාදය පසුගිය හයවෙනිදාට පැවැත්වෙනු ඇති බවට බොහෝ දෙනා මත පල කර තිබිණි. ආර්ථික කමිටු අතර විවාදය සඳහා ජාතික ජනබලවේගයෙන් දින නොලැබුණු තැන නායකයන් දෙදෙනා අතර විවාදයට සමගි ජන බලවේගය පැත්තෙන් එතරම් උනන්දුවක් නොතිබිණි. මේ අතර ස්වාධීන රූපවාහිනී සේවය නායකයන් දෙදෙනා අතර විවාදය සඳහා පහසුකම් සැපයීමට ඉදිරිපත් වූ අතර ඒ අනුව හයවෙනිදා තුලාව සංවාද වැඩසටහනෙන් අනුර සහ සජිත් අතර විවාදය පැවැත්වීමට අයි ටී එන් එක කටයුතු කර තිබිණි.එදින අනුර විවාදයට ආවත් සජිත් එදින විවාදයට ආවේ නැත. ඔහු කීවේ ආර්ථික කමිටු අතර විවාදයට ජාතික ජන බලවේගය දින ලබා නොදුන් නිසා නායකයන් අතර විවාදය පැවැත්වීම ඵල රහිත ක්‍රියාවක් බවයි කියාය. කෙසේ වෙතත් පාලුගේයි වලන් බිඳින්නට අනුරට හැකියාව ලැබිණි. විවාදයෙන් පසු සජබය චෝදනා කළේ ජනාධිපතිවරයා සමඟ රතු අලි පැටවුන් දමාගත් ඩීල් එකක් මත itn එකේ පාළු ගෙයි වලං බිඳින්නට අනුර දිසානායකට පහසුකම් ලැබුණු බවකි.
විදුලිබල පනත සම්මතයි.
මැතිවරණයක් ආසන්නව තිබියදී ආණ්ඩුව අධිවේගයෙන් පනත් සම්මත කර ගනිමින් ඇත. අයි එම් එෆ් වැඩපිළිවෙළට සමගාමීව ඔවුන් විසින් ලබා දී ඇති කාල රාමුවලට අනුව අදාළ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත. විදුලි බල පනත ද එවැනි පනතකි. එයද පසුගියදා ආණ්ඩුව විසින් සම්මත කරගත්තේ විපක්ෂයේ දැඩි විරෝධය මතය. පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ පෙත්සම්වල නිගමනය පසුගියදා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දන්වනු ලැබිණි. එහිදී පනතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවටත් එක් වගන්තියක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ තමන් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් එම සංශෝධන සරල බහුතරයකින් සම්මත කර ගත හැකි බවකි .
ඒ අනුව ආණ්ඩුවද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟ වීම මත එය සරළ බහුතරයකින් සම්මත කරගැනීමට කටයුතු කෙරිණි. විපක්ෂය කීවේ පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශය අධ්‍යනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බැවින් විදුලිබල පනත විවාදකොට සම්මත කරගැනීම කල් දමන ලෙසටය. එහෙත් ආණ්ඩුව ඊට කැමැත්තක් නොදැක්වූ අතර සැලසුම් කල පරිදි එය නියමිත දිනට සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කෙරිණි. ඒ අනුව පනත තුන්වන වර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ වැඩි ඡන්ද හතළිස් හතරකිනි. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතරන් විපක්ෂව ලැබුණේ ඡන්ද 59ක් පමණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඇතුළු ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂ පනතට පක්ෂව ඡන්දය ලබා තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට ජාතික සම්පත් විකිණීම සඳහා ජනවරමක් ලබාදී නොමැති බවකි. ඔහු ගෙවමින් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ දූරකාලයේ ඉතිරි කොටස බැවින් ඔහුට ඒ සඳහා ජනවරමක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදී තිබිණි.පුදුම සහගත කරුණ වන්නේ විදුලිබල පනත සඳහා ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයේ මන්ත්‍රිවරැ බොහොමයක් ඡන්දය ලබා දී තිබීමය.
ලබන වසරට අයවැයක් නෑ..
ලබන වසර සඳහා අයවැයක් මේ වසර අග දී ඉදිරිපත් නොවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වසර අවසානයේ ජාතික මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඉදිරියේදී බිහිවන ආණ්ඩුවට තම සැලසුම් අනුව අයවැයක් සම්පාදනය කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.ඒ අනුව වසරේ ඉදිරි මාස කිහිපය වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ. ආකර්ශනීය පොරොන්දු ලබා දෙමින් අයවැය යෝජනාවලියක් හරහා මැතිවරණයට තරග වැදීමට තමන්ට හැකියාව තිබුණද එවැනි පියවරක් අනුගමනය නොකරන අතර නව රජයට තම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් ලබන වසර සඳහා අයවැය ලේඛනයක් මේ වසර අවසානයේ ඉදිරිපත් නොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.