ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඇමෙරිකාවේදී අමිහිරි අත්දැකීම්

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට අමරිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලු රැසකට මුහුණ දී තිබේ.

ඒ, ගුවන් යානා ප්‍රමාදවීම්, නවාතැන් ගන්නා හෝටල් සහ ක්‍රීඩාංගන අතර පවතින දුර මෙන්ම ක්‍රීඩාංගන තණතීරු සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා පිල පළමු අත්දැකීමට මුහුණදුන්නේ, අයර්ලන්තය සමග පැවැති පුහුණු තරගයෙන් පසුව ෆ්ලොරිඩා සිට නිව්යෝර්ක් දක්වා පැමිණීමේදී සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයයි. 

එහිදී ශ්‍රී ලංකා, අයර්ලන්තය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පැය හතක කාලයක් ෆ්ලොරිඩා ගුවන් තොටුපොළ තුළ රැඳීසිටීමට සිදුවුණි. 

ඒ එම කණ්ඩායම් ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානය පැය හතක් ප්‍රමාදවීම හේතුවෙනි. 

ඒ අනුව මැයි 31 වැනි සිකුරාදා රාත්‍රී 8ට නිව්යෝර්ක් වෙත ළඟාවීමට නියමිතව සිටි ක්‍රීඩකයින් නිව්යෝර්ක් වෙත ළඟාවී තිබුණේ ජුනි 1 වැනි සෙනසුරාදා අලුයම 5ටයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගයට පෙර නිව්යෝර්ක් හිදී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පුහුණු සැසි දෙකක් අවලංගු කිරීමට ද සිදුවුණි. 

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුහුණු දී ඇති අනෙක් ගැටලුව වන්නේ, නවාතැන්ගෙන සිටින හෝටලයේ සිට තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය දක්වා බසයෙන් යාමේදී සිදුවන ප්‍රමාදයන්. 

20යි 20 ලෝක කුසලානයේදී අමෙරිකාවේදී මුහුණදීමට සිදුව ඇති මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

මෙවැනි පසුබිමක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, 20යි 20 ලෝක කුසලානයේ මුලික තරග පැවැත්වෙන අමෙරිකාවේ නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවති තරග දෙක සඳහා භාවිතා කර ඇති තණතීරු දෙක ප්‍රමිතියෙන් තොර බවය.

එම ගැටලු සහගත තත්ත්වයට පිළියමක් යෙදීම සඳහා මේ වන විට ක්‍රියාකරමින් සිටින බව ජගත් ක්‍රිකට් කවුන්සිලය පවසයි.ශ්‍රී ලංකා කණ්ඩායම අමෙරිකාවේදී මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද අවදානය යොමුවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *