සිංහල කෙටිකතාව – මෘතශීලියා
රාත්‍රියේ නිසලතාව බිද දමමින් මෝචරි වත්තට ඇතුළුවූ වාහනය නිසා මුරකරු තමන්ගේ මනෝ ලෝකයේ සිට පියවි ලොවට පැමිණියේය. වාහනය පොලිස් ගිලන් රථයක් බැවින් ඔහු කඩිමුඩියේම නැගිට ගිලන් රථය වෙත ගියේය. එක අතකින් සරමේ ගැටයද අනෙක් අතින් විදුලි පන්දමද ග්‍රහණය කරගෙන සිටි මුරකරු රථයේ ඉදිරි අසුනේ සිටි පොලිස් නිලධාරියා දෙස බලා යටහත් පහත්ව හිස නවා සිනාසුනේය.
“අයිසේ මේ බොඩි එක ෆ්‍රීසර් එකට දානවා හෙට පෝස්මෝටම් එකට..” නිලධාරියා පැවසුවේ දුම්වැටියක් දල්වගනිමිනි. ඔහු පපුවට ඇද මුවින් පිටකළ දුමාරය මුරකරුවා ආශාවෙන් ආග්‍රහණය කළේය.
කඩිමුඩියේම වාහනයෙන් බට කම්කරුවන් දෙදෙනෙක් ඇලුමීනියම් ස්ටේචර් එකක දමා තිබු මල මිනියක් ගිලන් රථයේ පසුපස දොර ඇර ඉවතට ගත්තේ ශබ්ද නගමිනි. මළකඳ වසා තිබුනේ සුදු පාට එහෙත් කිලිටි ඉටි කොලයකිනි.
එහි තැනින් තැන කුඩා ලේ පැල්ලම් තිබේ. සමහර පැල්ලම් කළු පාටය. බොහෝ මෘතශරීර ආවරණය කිරීමට ගත් නිසාදෝ එයින් මළකුණු ගඳක් වහනය වෙයි. මෙවැනි ගන්ධයන්ට නාසය හුරුව තිබු මුරකරු ඊට කිසිත් ප්රරතිචාරයක් නොදැක්වීය.
මුරකරු මෝචරියේ දොර ඇරියේ කිහිප වතාවක් දොර අගුලට අතින් පහර දෙමිනි. අවසන් පහරත් සමගම මලකඩ අගුල පරාජය භාරගෙන යතුරට අවනත විය. මෝචරියේ දොර පියන් ඇරීමත් සමගම එලියට පිටවූ ෆෝමලීන් උෂ්ණය දරාගත නොහැකි වූ නිසාදෝ පොලිස් නිලධාරියා තම දහඩිය සහ පොල්තෙල් ගඳින් යුක්ත වූ හිස් වැසුම නාසයට ලං කර ගත්තේය. ප්‍රේත විමානයකට පැමිණි ආගන්තුකයෙකු සේ ඔහු සිමෙන්ති මේස මත තබා තිබු මලකදන් දෙස බැලුවේය.
දොරට ආසන්නයේ තිබු සිමෙන්ති මේසය උඩ බාවා තිබු මළකඳ ලේ වලින්නැහැවී තිබුණි. රේස් බුකියක පලහිලව්වක් නිසා කඩු වලින් කපා කොටා තිබු මිනිය තවමත් ඇස් ඇරගත් ගමන්ය. කම්මුල හරහා වැදී තිබු කඩු පහර නිසා එක් ඇසක් පෙනුනේ කුඩාවටය. එබැවින් සිමෙන්ති මේසය උඩ සිටි මිනිසා ඉඟි කරන්නාක් මෙන් පෙනුණේය.
“මේක අතන දාන්ඩ ..” මුරකරු කම්කරුවන් දෙදෙනාට ශාලාව කොනේ පිහිටි හිස් සිමෙන්ති මේසයක් පෙන්වීය.
මිනියට ගරුසරුවක් නොපෙන්වූ කම්කරුවන් දෙදෙනා ලී කොටයක් අත අරින සේ ඇලුමීනියම් ස්ටේචර් එකේ දමා තිබු මළ මිනිය සිමෙන්ති මේසයට ඇල කළේය. මිනිය ඇලුමීනියම් ස්ටේචර් එකෙන් රූටා විත් සිමෙන්තිය මතට වැටුණේ බොල් හඬක් නගමිනි.
අනතුරුව එක කම්කරුවෙක් මිනිය වසා තිබු ඉටි කොළය ඉවතට ගත්තේ වටිනා සේද සළුවක් අමතක නොකර යලි ගෙන යන ගැහැනියක් මෙනි. ඔහු ඉටි කොලය ප්‍රවේසමට නැමීය. ඒ අතරවාරයේ අනෙක් කම්කරුවා ඇලුමිනියම් ස්ටේචර් එක අතට ගත්තේය.
මුරකරු අලුත ගෙනා මමළ මිනිය දෙස බැලීය. එය කාන්තා මළ සිරුරකි. නිල් පැහැති සාරියක් ඇඳ සිටි ඇය උඩුකුරුව සිමෙන්ති මේසය මත නිදන්නීය. ඇය තවමත් තරුණ වයස පසු කොට නැත.
මරුවා වයසක් තරාතිරමක් ගණන් නොගන්න බව හොඳින් දැන සිටි මුරකරු යාබද සිමෙන්ති මේසය මත හොවා තිබෙන ළදරුවාගේ මළකඳ දෙස බැලුවේ ජීවිතය ගැන වටහා ගන්නට මෙනි. ඩෙංගු උණ සෑදීමෙන් මරණයට පත්වූ මෙම තුන් හැවිරිදි ළදරුවා ගෙන ආවේ අද සවස් වරුවේය. ළදරුවාගේ මවගේ විලාපය නිසා මෝචරිය පමණක් නොව අවට ගොඩනැගිලි වල උළු පවා සෙලවෙන්නට ඇත.
පොලිස් නිලධාරියා අදාල කොළ පුරවන අතර ඔහු යලිත් වරක් සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස බැලුවේය. අනෙකුත් මළ මිනී අතරින් ඔහු දුටුවේ ඇගේ උස්වූ ලයමඩලයි. ගැහැණිය තද නිල් පැහැති හැට්ටයක් ඇඳ සිටි නිසා මොචරියේ දැල්වී තිබෙන විදුලි බුබුළු වල ආලෝකය වැටී ඉන් දිස්නය හමන්නට වුයේය. මුසල දසුන් වලින් පිරී තිබු මෘතශරීරාගාරයේ එකම මනස්කාන්ත දර්ශනය ලෙස මුරකරු දුටුවේ එම දසුන පමණි.
“මොනා වෙලාද සර් ?” ඔහු කොළ පුරවන පොලිස් නිලධාරියාගෙන් ඇසුවේය.
“ඇක්සිඩන්ට් එකක් ” පොලිස් නිලධාරියා කීවේ වියලි ලෙස හැගීමකින් තොරවය.
“අපරාදේ මොන වයසක්ද?” මුරකරු පැවසුවේ මෝචරියක මළවුන් සමග රැකියාව කලද තවමත් තමුන්ට මිනිස් හැගීම් ඇති බව පෙන්වීමට මෙනි.
මොනවා කරන්ඩද අයිසේ ඩෝප් දාල කාර් එළවනකොට , මිනිහා කුණුවෙන්ඩ බීල , ඇනලා තියෙන්නේ කන්ටේනරයක. හැප්පෙනකොට ඌ තමන්ගේ පැත්ත බේරලා වයිෆ් හිටපු පැත්ත වද්දලා. ඌ බේරුනා ගෑනි මළා. හෙට පෙරේරා මහත්තය වැඩද ?
“ඔව් සර් හෙට පෙරේරා මහත්තයා මිනිය කපයි.”
“ඇති යන්තං , නැත්තං බොඩිය රිලීස් වෙන්න පරක්කු උනොත් අපිට එකසිය ගානට කෝල් එයි.
අවසන් කොළයද පිරවූ පොලිස් නිලධාරියා පිටත් වීම සඳහා මේසය මත තිබු තම හිස් වැසුම් අතට ගත්තේය. ඔහු වාහනය වෙතට ගියේ පොලිස් පෙරෙට්ටුවේ ඇවිදින මහලු පොලිස්කාරයෙකු සිහිගන්වමිනි. පිටත්ව යන වාහනයේ හඬ කෙමෙන් කෙමෙන් අඩුවී යත්ම රාත්‍රියේ නිසලතාවය , නිශාචරයන්ගේ හඬ, බල්ලන්ගේ මුසල උඩුබුරන හඬ යලි පරිසරය වෙලා ගත්තේය.
පොලිස් ගිලන් රථය පිටත් වූ පසු මුරකරු මෝචරියේ දොර වැසීම සඳහා යලිත් අගුල සමග ඔට්ටු වීමට සුදානම් විය. දොර වැසීමට පෙර යලිත් වරක් සිමෙන්ති මේසය මත නිදන ගැහැණිය දෙස බැලීමට ආශාවක් ඔහුට උපන්නේය. මෝචරියේ දොර අඩවල් කෙරූ මුරකරු ෆෝමලීන් සුවඳ පිරුණු ශාලාව තුල නිදන්නන්ගේ නින්දට බාදා නොකරනුවස් පයේ ඇගිලි තුඩු වලින් ගමන් කළේය.
සිමෙන්ති මේස මත නානා ප්‍රකාරයේ මළ මිනි තිබේ. එක මේසයක බඩ කපා අතුනුබහන් එලියට ගත් තරුණයෙකුගේ මළ සිරුරකි. වස පානය කොට දිවිනසාගත් ඔහුගේ අභ්‍යන්තර කොටස් හෙට රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය. එම මේසය අසල බිම මහේත්‍රාත් නියෝග මත ගොඩගත් මළසිරුරකි. මළසිරුර දිස්නයකින් තොර වූ දුඹුරු පැහැති ලී මිනීපෙට්ටිය තුල වැතිර සිටියේ පුස් ගන්ධය පතුරවමිනි. මළ මිනියේ මුහුණ හඳුනාගත නොහැක , එහි සුදු පැහැති පුස් වර්ගයක් බැඳී ඇත. මිය ගිය පුද්ගලයා ඇඳ සිටින්නේ අලුත් කෝට් එකකි. එහි රන් පැහැති බොත්තම් දිළිසුණේය. අත දෙකට දමා තිබෙන අත්වැසුම් සුදුම සුදු පාටය. මෘතශරීරාගාරයේ ශීතකරණ අක්‍රීය නිසා මෙම මිනිය කුණුවී යාමට පටන්ගෙන තිබේ. එහෙත් පුස් ගඳ නිසා මිනීමස් කුණු වෙන ගඳ යටපත් වී තිබෙන හැඩකි.
අප්රරසන්න වූ ජවනිකා මැද එකම ප්රරසන්න දර්ශනය වූ ඈත සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස ඔහු බැලුවේය. නිල් පැහැති දිලිසෙන ලැම ඔහුගේ දෙනෙතට අසු විය. ඔහු හඬ නොනැගෙන සේ ඇය වෙතට ගියේය. මුරකරු ඇවිදින විට අතේ තිබු යතුරු කැරැල්ලේ හඬ මතු නොවුයේ නම් සොහොන් ගෙයක් සේ මෝචරිය නිහඩය. යතුරු කැරැල්ලේ හඬ මතු නොවීම සඳහා ඔහු යතුරු කැරැල්ල තදින් ග්රහහණය කර ගත්තේය.
ඇය සිමෙන්ති මේසය මත සදාකාලික නින්දේ සිටියාය. ඇයගේ හිසකෙස් අලංකාරය. කළු පැහැති ලස්සන බූල් බල්ලෙකුගේ ලෝම මෙන් කෙස් දිස්නය ගෙන ආවේය. තරුණ කාන්තාව ඇඳ සිටියේ වටිනා සාරියකි. ඇය කෙරෙන් තවමත් සෙන්ට් සුවඳ හමයි. ෆෝමලීන් ගඳ පිරි මෝචරියේ එකම සුවදවත් ශරීරය තිබුනේ මෙම මියගිය කාන්තාවට පමණි. ඇයගේ මුහුණ රන් පාටය. මියගොස් තිබුනද රත් පැහැති දෙතොල් වල අහිංසක සිනහවකි. ඇය මියගොස්ද නැතොත් තවමත් පණ පිටින්ද යන කුකුස ඔහුගේ සිතන නැගිණි.
මුරකරුවා තම මුහුණ මියගිය ගැහැනියගේ මුහුණ අසලට ලං කොට ඇය වෙතින් එන සුවඳ ආග්‍රහණය කළේය. ඔහුගේ දෙනෙත් වැසුණි. ඉතාම සුන්දරජනක වූ හැඟීමක් ඔහු තුල පහල විය. එය වින්දනය කිරීමට මිසක් ඒ පිලිබඳ පැවසීමට වචන ඔහු සතු නොවීය. යතුරු කැරැල්ල හඬ නගමින් සිමෙන්ති පොලව මත වැටුණි. ඒ හඬින් ඔහුගේ දෙනෙත් විවර විය. ඔහු දුටුවේ මිය ගිය ගැහැනියගේ අලංකාර මුහුණයි. මුරකරුවා තම ගොරහැඩි අපිරිසිදු අතින් ඇයගේ මුහුණ අතගෑවේය. මියගොස් සිටියද ඇයගේ ශරීර උණුසුම තවමත් පහව ගොස් නැත. ඇයගේ මුහුණ අතගාන විට ඉතා සිනිදු මුදු පහසක් ඔහුට දැනුණි.
මුරකරුවාට උදුලාවතීව මතකයට නැගුණි.
කරකාර බැඳගෙන ආවත් උදුලාවතී ඔහු සමග සිටියේ මාස හයක් පමණි. පමණ ඉක්මවා කසිප්පු බොන නිසා උදුලාවතී සිටියේ සිත අමනාපයෙනි.
“උඹට තේරෙන්නේ නැහැ උදුලෝ මෝචරියේ රස්සාව කරනකොට සිහියෙන් කටින් කරන්ඩ බැරි බව.. අපි මිනී කපන්නේ කුදාර් වෙන්ඩ ගහලා.”
ඔහු සැම විටම උදුලාවතීට කීවේය. එහෙත් ඇයට ඔහුව නොරිස්සිය. රෑ වැඩ නැති දවස්වලට ඔහු උදුලාවතී ළඟට ගිය විට ඇය ඔහුගේ ග්රහණයෙන් මිදුනේ පිළිකුල පාමිනි.
“කසිප්පු හුමාලය උගුරෙන් එකකොට මට ඔක්කාරේ” උදුලාවතී ඇඳෙන් නැගිට කුස්සිය පැත්තට යන්නීය. ඉන් උරණ වන ඔහු බෝතලයේ පතුල පේන තෙක් පානය කොට මෝචරියේ සිමෙන්ති මේස උඩ නිදන මළවුන් මෙන් ඇඳ උඩ නිදා ගනී. උදුලාවතී වැඩි කල් නොඉවසුවාය . ඇය ඔහු රාතී‍්‍ර මුරය කල දිනක නිහාල් සමග පැන ගියාය. ඔවුන් දැන් වේවැල්දෙනිය පැත්තේ සිටින බව කඩේ කබ්රාල් මුදලාලිගේ හාමිනේ වරක් ඔහුට කීවාය. එහෙත් උදුලාවතී ගිය පසු ඔහු ඇය ගැන සොයා බැලුවේ නැත. වඩ වඩාත් බෝතලයට කිට්ටු වුවා පමණි.
සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණිය සහ උදුලාවතී පිලිබඳ මතකය නිසා ඔහුගේ හැගීම් උද්දීපනය වුයේ හිරු එළිය නිසා විකසිත වෙන මහනෙල් මලක් මෙනි. උද්දීපනය වූ හැගීම් නිසා ඔහුට බෝතලයේ අවශ්‍යතාව දැනුණි. ශාලාවේ කුණු වතුර බහින කාණුව අසල ඇති කොට බිත්තිය අද්දරට වෙන්නට සගවා තිබු බෝතලය සොයා ගිය ඔහු එය අතට ගත්තේය. බෝතලයෙන් කාලක් පමණ උගුරට හලාගත් පසු ඔහුගේ සිතට යළි ආවේ සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණියයි. ඔහු ඇය වෙත ගියේ උදුලාවතී වෙත යන්නක් මෙන්ය.
ගැහැණිය නිහඬව සිමෙන්ති මේසය මත වැතිර සිටියාය. ඔහු ඇයගේ හිසකෙස් , මුහුණ අතගෑවේය. ඔහුට දැනුණේ ඇය පන පිටින් ඉන්නාක් මෙනි. ඔහුගේ අත මියගිය ගැහැණියගේ ලැම කරා ගියේය. ඔහුගේ සිතට අමුතු වින්දනයක් දැනුනි. බෝතලයෙන් තවත් උගුරු කීපයක් පානය කල මුරකරු අපිරිසිදු සිමෙන්ති මේසය මතට නැග කාන්තාව අසලින් වැතිරුණේය. ඇයගේඋදරයෙන් ගැලු ලේ ඔහුගේ සරම තෙත් කළේය. එහෙත් එය ඔහුට දැනුනේ නැත.
මළමිනී රැසක් හොවා තිබූනු ලෙයින් , මිනිස් පටක වලින් අපිරිසිදු වී කුණු ස්ථර මත ස්ථර බැදී තිබු සීතල සිමෙන්ති මේසය ඔහුට දැනුනේ සුවබර යහනාවක් මෙනි. සුවඳ විලවුන් වලින් නැහැවුණ කාන්තා ශරීරය බදාගත් මුරකරු ඇයගේ පහසින් ලැබුවේ ආත්මීය වින්දනයකි. කොතෙක් වෙලා ඔහු ඇයගේ සිරුර බදාගෙන සිටියේද යන්න ඔහුට කල්පනාවක් නොවීය. ඔහු ඇය සමග අනන්තය දක්වා ගියේය. කාලය සහ අවකාශය පිළිබඳව හැගීමක් ඔහුට නොවීය.
මුරකරුවා අවදි වන විට හොඳටම ඵළිය වැටී තිබුණි. මෝචරියේ සිමෙන්ති මේස මත වැතිරී සිටි මළකඳන් වලට පණවිත් ඔහු සහ ඇය සිටි සිමෙන්ති යහන වටා සිටිනු ඔහුට පෙනුණි. ඉන් තැතිගත් ඔහු හිස් බෝතලයද පෙරලගෙන නැගිට්ටේය. මේසය මත සිට බිමට වැටුණු බෝතලය කුඩු වී ගියේ වීදුරු කටු දසත විහිදුවමිනි. ඔහු අසල වැතිර සිටි ගැහැණිය කිසිදු කලබලයකින් තොරව දෙනෙත් පියාගෙන සිටියාය.
මුරකරු හොඳින් දෑස ඇර වටපිට බැලීය. සිමෙන්ති මේස මත හොවා තිබුණු මළකඳන් කිසිදු හැල හොල්මනක් නැතිව එලෙසම වැතිරී සිතති. එහෙත් පෙරේරා මහත්තයා ඇතුළු තවත් දොස්තර මහත්තුරු දෙදෙනෙක්ද, කන්තෝරුවේ විමලේද, වෛද්‍ය සිසුන් කිහිප දෙනෙක්ද විමතියෙන් යුතුව ඔහු දෙස බලා සිටිති.
පසු සටහන – මෙම කෙටි කතාවට පාදක වූ වස්තු බීජය මගේ සිතේ තැන්පත් වන්නේ 1994 වසරේ අධිකරණ වෛද්‍ය පුහුණුව ලැබීමට ෆ්‍රැන්සිස් මාවතේ පිහිටි මෘතශරීරාගාරයට ගිය අවස්ථාවේදීය. අපගේ පුහුණුව පවත්වන ලද්දේ සුප්රකටට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වූ වෛද්‍ය L B L අල්විස් මහතා විසිනි. මෙම මෘත ශරීරාගාරයේ දී අව්‍යක්ත කතා කියමින් මිනී කැපු සුළු සේවකයෙකු මගේ අවධානයට ලක් විය. කෙටි කතාවේ රාත්‍රී මුරකරුගේ චරිතය ගොඩ නැගෙන්නේ මෙම පුද්ගලයා ඇසුරෙනි. එහෙත් මෙම කතාව මනෝකල්පිත එකකි. එවැනි සිදුවීමක් සත්‍ය ලෙසින් සිදුවී නොමැත.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග – Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර – 23 ශ්‍රී පාන් බාගේ
මීට දශක දෙකකට ඉතර ඉස්සර අපි ඉන්දියානු චිත්‍රපට උළෙලක් බැලුවා. ඒකෙ පෙන්නාපු චිත්‍රපට
අතරින් මගේ හිතට අල්ලාපු හොඳම එක තමයි පිරවී. ඒක මලයාලම් චිත්‍රපටියක්.
සරසවි සිසුවෙක් වෙච්ච තමන්ගේ පුතා එයිද බලන්න හැමදාම ගමේ අන්තිම බස් එක එනකන් බලා හිටි
තාත්තා කෙනෙක් ගැන හිත උණු වෙලා යන ෆිල්ම් එකක්. කතාවේ හැටියට ඒ පුතත් අතුරුදන් වෙලා.
ඇල්දෙනි, කඳු, කෙත්යායවල් පහු කරගෙන ආපු පුංච් බස් එකේ එක ගමනාන්තයක් තිබුනේ ගමේ පුංචි
කඩ කෑල්ලක් ළඟ. අන්තිම බස් එක එනකොට හතර අතින් කළුවර වැටිලා. කඩවල ලාම්පු එලියෙනුයි
වාහනේ ලාම්පු එලියෙනුයි තමයි එලිය උනේ.
අපේ ගමේ බස් එක ඊටත් පුංචිද මන්දා. බස් එක ඇවිත් රැට නතර කරන්නේ අපේ ආච්චිලා මිදුල අද්දර.
එතනත් පුචිම පුංචි තේ කඩයක් තිබ්බා. තාමත් තියෙනවද කොහෙද. මේ බස් එකේ හැඩය හරියට පාන්
බාගයක් වගේ. කවුරුත් කිව්වේ පාන් බාගේ බස් එක කියලා.
1975 අවුරුද්ද විතර වෙනකන් අපේ ගමට බස් එකක් ආවේ නෑ . පළවෙනියට බස් දාපු දවසේ 23 ශ්‍රී නොම්මර
තියෙන පාන් බාගේ බස් දෙකක්ම ගමට ආවේ පොල්මල් එහෙම ගහල සරසවාගෙන.
එදා අපි උදේ හිට හවස් වෙනකම්ම ගමේ ඉඳන් කිට්ටුම නගරෙට වාර හතරක් විතර බස් එකේ ගියා ආවා .
එක පැත්තකට බාගේ ටිකට් එකක් ශත දහයයි. මම එදා ගමන් බිමන් ගියේ කකුල් දෙකට දිග මේස් දෙකක්
දාලා සපත්තු නෙවෙයි සෙරෙප්පු දෙකක් දාලා. වෙනද වගේ නිකම්ම රබර් සෙරෙප්පු දෙක දාගෙන යන එක
හරි මදි වගේ හිතුනා.
පළවෙනි දවසෙම හැන්දෑවේ එක බස් එකක් ලොරියක හැප්පිලා පැත්තක් කුඩුපට්ටම් උනා. ඊට පස්සේ දිගටම
ආවේ තනි බස් එකක්. රියදුරු දාවිත් මාමා , කොන්දොස්තර හුදුමාමා. අපේ ගමේ ඉඳන් දෙපැත්තේ ගම් දෙකේ හිටියේ.
කොළඹ නගරේ වාහනයක් පදවන එක කොයි තරම් මානසික පීඩනයක් දෙන දෙයක්ද. බස් එකකනම් කවුරුත්
බහිනකන් පරක්කු උනොත් බස් පලුවන්ට වගේම අනිත් කට්ටියටත් නහුතෙට තද වෙනවා.
ඒ කාලේ හොඳයි දැන් නරකයි කියන්ට යනවා නෙවෙයි හැමදාම. ඒත් ඔය කියන තදියමක්නම් අපේ ගමේ පාන් බාගේ
බස් එකට තිබ්බෙම නෑ.
උදේ පාන්දර ට්‍රිප් එක වෙලාව වරද්දන්නෙ නැතිව හරියට ගියේ ඉස්කෝලේ ළමයිනුයි රස්සාවලට යන කිහිප
දෙනෙකුයි පරක්කු කරන්න හොඳ නැති හින්දා.
අනිත් ඒවා බොහොම නිවී සැනසිල්ලේ හෙමින් සැරේ ගිය ගමන්. ගමේ දානේ ගෙදරක් හරි උත්සවයක් හරි
තිබ්බොත් එතැනට දාවිත් මාමයි හුදු මාමයි එක්කරගෙන ගිහිල්ල කෑම වේලක් දෙනවා. එතකන් බස් එක නතර
කරගෙන හිටියට කවුරුත් දොස් කියන්න ආවේ නෑ. පෙළක් වෙලාවට බස් එකේ කට්ටියටම රස කැවිලි පාර්සලයක්
හම්බ වෙනවා.
බස්එකේ පිටිපස්සේ වහලෙට නගින්න ඉණිමගක් තිබ්බා. වහලේ තිබ්බ යකඩ රාක්කෙට එළවලු ගෝනි පටවනකන්,
බානකන් කවුරුත් ඉවසාගෙන හිටියා.
අපේ ගෙදරට නිතරම වගේ පත්තරයක් දෙකක් ගන්නවා. සඳුදාට මිහිර පත්තරේ, මාසෙකට දෙපාරක් ආපු
( 12 වැනිදායි 26 වනිදයිද කොහෙද) නවයුගය පත්තරෙයි ඉරිද සිළුමිණයි, රිවිරැසයි ලංකාදීපෙයි. ගොඩක් වෙලාවට
පත්තර ගෙන්නගන්නේ දාවිත් මාමාට සල්ලි දීලා.ටව්මේ කඩෙන් අරන් අපේ ගෙදර ළඟදී හීන් හෝන් පාරක් ගහලා
පත්තර ටික මිදුලට විසි කරලා යනවා.
උදේ පාන්දර නැගිටලා, හදිසියෙන් ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගම අපේ ගෙදර එකෙකුට හරි
මොකක් හරි අමතක වෙලා . ගොඩක් වෙලාවකට බස් සීසන් එක. ඉතින් ‘අනේ මාමේ පොඩ්ඩක් නතර කරන්න’
කියන්නේ හෝල්ට් දෙකක් විතර ගියාම. ඊට පස්සේ ආපහු අරගෙන එනකන් බස් එක විනාඩි පහක් දහයක් නවත්තගෙන
ඉන්දැද්දී කිසි කෙනෙක් මුණ රොස්පරොස් කර ගන්නවානම් මම දැකලා නෑ .
හවසට අපේ ආච්චිලා ගෙදර ඉස්සරහ රතු පස් ගොඩේ බස් එක නවත්තලා රෝද හතරට තඩි ගල් ගෙඩි හතරක් තියලා
ඊට පස්සේ බස් එකේ ගියර් ලිවර් එක ගලෝල ආච්චිලා ගෙදරින් තියනවා . ඊළඟට හුදු මාමයි දාවිත් මාමයි බස් පාර දිගේ
ආපහු කන්ද නැගගෙන යන ගමන් හම්බවෙන පළවෙනි අතුරු පාරෙන් හැරිලා සිරි මාමලා ගේ පිටිපස්සේ ඉඳන් කිතුල් රා
වීදුරු දෙකක් බොනවා. රාජලා පෙට්ටි කඩෙන් රතුළුණු ගෙඩි දෙකයි උම්බලකඩ කෑලි දෙකයි අරගෙන හප හපා සිංදුවකුත්
කියා කියා කුරුල්ලෝ දෙන්න වගේ ගෙවල්වලට යන්නේ ඊට පස්සේ.
ඔන්න ඕක දැකලා මටත් පුරුද්දක් තිබ්බ උම්බලකඩයි රතුලුනුයි එකට කන්න. රා වීදුරුවක් බොන්නනම් වාසනාව ලැබුනේ
ඊටත් සැහෙන කාලෙකට පස්සෙයි.
දවසක් අපි ඒ හැටි කලබලයක් නැති සෙනසුරාදා දවසක බස් එකේ කොහේදෝ යනවා. අතරමගින් බස් එකට ගොඩ වෙච්ච
මැණිකා ආච්චි බස් එක පිටත් වෙලා ටිකක් දුර යද්දී එක පාරටම කෑ ගහන්න පටන් ගත්තා.
‘අනේ පුතේ ඩිංගකට නවත්තපල්ලා .මට රත්තිව දිගේලි කරලා එන්න බැරි උනා. දැන් ඔය කාගේ හරි කුඹුරකට පැනලා
කෝටුපාර කයිද දන්නේ නෑ දෙයියනේ’
දාවිත් මාමා හිනාවෙවී බස් එක නතර කළා. ‘ ලොකු අම්මා එහෙනම් ගිහින් වැස්සිව ගැට ගහලා එන්න.
විනාඩි හත අටකට පස්සේ මැණිකා ආච්චි ලහි ලහියේ ආපහු ආව හරක දිගේලි කරලා. එහෙන් මෙහෙන් හීනි මඩ
පැල්ලම් දෙක තුනක් සාරියේ තැවරිලත් තිබ්බා.. ඒ එනකොට පාතින් තිබ්බ අත්තකින් කහ වෙච්ච හින්නාරන්
ගෙඩි පොකුරක් කඩා ගෙන ඇවිත් දාවිත් මාමා අතේ තිබ්බා.
එදා ගමනාන්තයට යනකන් දාවිත් මාමාගෙයි බස් එකේ හිටි හැමෝගෙමයි මුණු පුරා හිනා පොකුරක් රැඳිලා තිබ්බා.
හරියට අර ඉදිච්ච හින්නාරන් ගෙඩි පොකුර වගේ.
තිලකසිරි ඒකනායක – තිලකසිත බ්ලොග් අඩවියෙන් http://thilakasitha.blogspot.com/ *අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව – දන්ත වෛද්‍යවරයා
සඳුදා දවස උදාවූයේ උණුසුම්ව සහ වැස්සෙන් තොරවය. උපාධියක් නැති දන්ත වෛද්‍යවරයකු මෙන්ම පාන්දරින්ම අවදිවන්නකු වූ අවුරේලියෝ එස්කොබාර් උදෑසන හයට සිය සාප්පුව විවෘත කළේය. වීදුරු කැබිනෙට්ටුව හැර එතුළින් බොරු දත් ඇන්දක් ගත් හෙතෙම උපකරණ කට්ටලයක් ගෙන ඒවායේ ප්‍රමාණය අනුව මේසය මත පිළිවෙළින් තැබුවේ හරියට ප්‍රදර්ශනයකට මෙනි. රත්රන් බොත්තමකින් කර පියැවුණු කොලරය නැති ඉරි වැටුණු කමිසයකින්ද උරැහිස් පටිවලින් එල්ලුණු කලිසමකින්ද ඔහු සැරසී සිටියේය. ඔහු ඍජු සිහින් මිනිසෙකු වූ අතර තමන් ජීවත් වන වටපිටාවට කෙසේත්ම නොගැලපෙන, ශ්‍රවණාබාධිත මිනිසුන් කෙරෙහි වන පෙනුමක් ඔහු සතු විය.
මේසය මත උපකරණ පිළිවෙළට තැබීම අවසන් කළ හෙතෙම විදින කටුව ආසනය ළඟට ගෙන බොරු දත් ඇන්ද ඔප දැමීමට පටන් ගත්තේය. ඔහු තමන් කරන කාර්යය සිතා බලා නොකරන බවක් පළ කළද, විදින කටුවට බලය දෙන පැඩලය අවශ්‍යතාවකින් තොරව වුව පාගමින් හෙතෙම නොනැවතී වැඩ කළේය.
ජනේලයෙන් අහස බැලීම පිණිස උදෑසන අටට ඔහු සිය කාර්යය මඳකට නතර කළේය. යාබද නිවෙසේ වහළය මත කල්පනාභරිත ගිජුලිහණියන් දෙදෙනකු හිරුරැස් නාන සැටි ඔහුට පෙනිණි. ඔහු නැවත සිය කාර්යය ආරම්භ කළේ දිවා ආහාරයට පෙර නැවත වැසි ඇද වැටෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් යුතුවය. සිය එකොළොස් හැවිරිදි පුතුගේ තියුණු කටහඬින් ඔහුගේ අවධානය බිඳී ගියේය.
“තාත්තේ”
“මොකද ? “
” නගරාධිපතිතුමා අහනවා තාත්තට එයාගේ දත ගලවන්න පුළුවන්ද කියලා”
“කියන්න මම නෑ කියලා. “
ඔහු රත්රන් දතක් ඔප දමමින් සිටියේය. අතේ දුරින් එය අල්ලා ගත් හෙතෙම අඩවන් වූ දෑසෙන් එය පරීක්ෂා කර බැලීය. කුඩා අමුත්තන් පිළිගැනීමේ කාමරයේ සිට ඔහුගේ පුතා නැවතත් කෑ ගැසුවේය.
“නගරාධිපතිතුමා කියනවා තාත්තා ඉන්නවලු. තාත්තා කියන දේවල් එයාට ඇහෙනවා”.
දන්ත වෛද්‍යවරයා දිගින් දිගටම දත පරීක්ෂා කරන්නට විය. කාර්යය අවසන් කොට එය මේසය මත තැබීමෙන් අනතුරුව පමණි ඔහු කතා කළේ:
“ඒක වඩාත් හොඳයි. “
ඔහු නැවතත් විදින කටුව ක්‍රියාත්මක කළේය. වැඩ අවසන් නොකළ දත් ඇඳි සහ කොටස් දමා තිබූ කාඩ්බෝඩ් පෙට්ටියකින් දත් ඇඳි කොටසක් ගත් ඔහු එහි වූ රත්රන් කොටස් ඔප දමන්නට විය.
“තාත්තේ”
“මොකද ? “
ඔහුගේ පෙනුම තවමත් වෙනස් වී නොතිබිණි.
“නගරාධිපතිතුමා කියනවා තාත්තා එයාගේ දත ගැලෙව්වෙ නැත්නම් වෙඩි තියනවා කියලා.”
කිසිදු කලබලයකින් තොරව අති ශාන්ත චලනයකින් යුතුව විදින කටුවෙහි පෙඩලය පෑගීම නතර කළ ඔහු මේසයේ පහළම ලාච්චුව විවෘත කළේය. එහි රිවෝල්වරයක් තිබිණි. ” හොඳයි ” ඔහු කීවේය. “කියන්න එයාට ඇවිල්ලා වෙඩි තියන්න කියලා”.
කැරකෙන පුටුව දොරට මුහුණලා සිටින පරිදි ඇදගත් ඔහු ලාච්චුවේ කෙළවර මත සිය අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොර අබියසට පැමිණියේය. ඔහුගේ මුහුණෙහි වම් පැත්තේ රැවුල බා තිබුණු අතර වේදනාවෙන් ඉදිමුණු අනෙක් පැත්තෙහි දින පහක රැවුලක් විය. අපේක්ෂා භංගත්වයෙන් පෙළුණු රාත්‍රී රැසක ලකුණු නගරාධිපතිවරයාගේ දීප්තියෙන් තොර දෑසෙහි දන්ත වෛද්‍යවරයා දුටුවේය. සිය ඇඟිලි තුඩුවලින් සෙමෙන් ලාච්චුව වැසූ ඔහු මෘදු ලෙස කතා කළේය.
“වාඩි වෙන්න. “
“සුබ උදෑසනක්, ” නගරාධිපතිවරයා කීය.
“සුබ උදෑසනක් ” දන්ත වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.
උපකරණ නටන ජලයෙහි තැම්බෙන තුරු නගරාධිපතිවරයා රෝගීන් වාඩි වෙන පුටුවෙහි හිඳගෙන එහි හිස රඳවනයේ හිස තබා ගත්තේය. ඔහුට පහසුවක් දැනිණි. ඔහුගේ සුසුම් දැඩි ශීතලෙන් යුක්ත විය. දන්ත වෛද්‍යවරයාගේ කාමරය දුගී පෙනුමෙන් යුක්ත විය; පැරණි ලී පුටුව, පෙඩලයකින් ක්‍රියාත්මක වන විදින කටුව සහ පිඟන්මැටි බෝතල දැමු වීදුරු කැබිනෙට්ටුව ඒ බව කියා පෑය. පුටුවට ඉදිරිපසින් වූයේ උරැහිස් මට්ටමින් තිරයක් දැමූ ජනේලයකි. දන්ත වෛද්‍යවරයා තමා වෙත ළං වනු දැනුණු නගරාධිපතිවරයා පොළොවේ තදින් පය ගසාගෙන මුව විවෘත කළේය.
අවුරේලියෝ එස්කොබාර් නගරාධිපතිවරයාගේ හිස විදුලි බුබුල දෙසට හැරවීය. නරක් වූ දත පරීක්ෂා කළ හෙතෙම ප්‍රවේසමෙන් ඔහුගේ මුව වැසීය.
“නිර්වින්දන බෙහෙත් නැතුවයි දත ගලවන්න වෙන්නේ” ඔහු කීවේය.
“ඒ ඇයි ? “
” නරක් වෙච්ච දත ඇතුළෙ සැරව ගෙඩියක් තියෙන නිසා. “
නගරාධිපතිවරයා ඔහුගේ දෑස දෙස එක එල්ලේ බැලුවේය. ” කමක් නෑ” යි කී ඔහු සිනාසෙන්නට වෑයම් කළේය. වෛද්‍යවරයා පෙරළා සිනා සුණේ නැත. ජීවානුහරණය කරන ලද උපකරණ සහිත බේසම ගත් ඔහු එය මේසය මත තබා කුඩා අඬුවකින් උපකරණ එකිනෙක එළියට ගත්තේ කිසිදු හදිසියකින් තොරවය. ඉන් අනතුරුව කෙළ ගසන භාජනය සපත්තුවේ තුඩෙන් තල්ලු කළ හෙතෙම දෑත සෝදා ගැනීම පිණිස සෝදන බේසම වෙත ගියේය. ඔහු මේ සියල්ල කළේ නගරාධිපතිවරයා දෙස නොබලමිනි. එහෙත් නගරාධිපතිවරයා ඔහු කෙරෙන් සිය බැල්ම ඉවතට නොගත්තේය.
එය යටි හනුවේ තිබූ ඥාන දතක් විය. සිය දෙප දෙපසට විහිදවූ වෛද්‍යවරයා උණුසුම් අඬුවකින් දත තදින් අල්ලා ගත්තේය. පුටුවේ ඇඳි තද කොට අල්ලා ගත් නගරාධිපතිවරයා සිය දෙපය මුළු වීරිය යොදා පොළොවේ ගසා ගත්තේය. අයිස් බඳු ශීතල හිස්බවක් සිය වකුගඩුවලට දැනුණද ඔහු නොවේ කිසිදු හඬක් නැගුවේ. දන්ත වෛද්‍යවරයා චලනය කළේ සිය මැණික් කටුව පමණි. ද්වේශයෙන් තොරව එහෙත් සැරපරුෂ මෘදුබවකින් යුතුව ඔහු කතා කළේය:
” අපේ මැරිච්ච මිනිස්සු විසි දෙනා වෙනුවෙන් දැන් ඔබතුමා වන්දි ගෙවාවි. “
ජර ජර අනුකරණයෙන් සිය හනුවේ වූ අස්ථි බිඳි යන සැටි නගරාධිපතිවරයාට දැනිණි. ඔහුගේ දෑස කඳුළෙන් පිරී ගියේය. එහෙත් දත ගැලවී එළියට එන තුරුම ඔහු හුස්ම නොගත්තේය. අවසානයේ කඳුළු මැදින් ඔහු දත දුටුවේය. එය ඔහුගේ වේදනාවට කෙතරම් ආගන්තුක වීද යත් පසුගිය දවස් පහ තුළ එය කරණ කොට ගෙන තමන් විසින් විඳින ලද දරුණු වධය වටහා ගැනීමට ඔහු අපොහොසත් විය.
දහදියෙන් පෙඟී, හතිලමින් සිය කමිසයේ බොත්තම් ගැලවූ හෙතෙම කෙළ ගසන භාජනයට උඩින් නැවී කලිසම් සාක්කුවේ වූ ලේන්සුව සොයන්නට විය. දන්ත වෛද්‍යවරයා ඔහුට පිරිසිදු රෙදි කැබැල්ලක් දුන්නේය.
” ඔය කඳුළු පිහ දා ගන්න, ” දන්ත වෛද්‍යවරයා කීවේය.
නගරාධිපතිවරයා එසේ කළේය. ඔහු වෙව්ලමින් සිටියේය. දන්ත වෛද්‍යවරයා සිය දෑත සෝදන අතරතුර ගරාවැටෙන සිවිලිමද මැරුණු කෘමීන් සහ මකුළු බිත්තර රැඳි දූවිලි වැකුණු මකුළු දැලක්ද නගරාධිපතිවරයාට පෙනිණි. සිය දෑත පිසදමමින් වෛද්‍යවරයා පැමිණියේය. “ටිකක් නිදා ගන්න” ඔහු කීවේය. “ලුණු වතුරෙන් කට සෝදන්න. ” නගරාධිපතිවරයා නැගී සිටියේය. සාමාන්‍ය හමුදා ආචාරයකින් වෛද්‍යවරයාට ආචාර කළ හෙතෙම දෙපා දිගහරිමින් දොර දෙසට ඇවිද ගෙන ගියේය. ඔහුගේ කමිසයෙහි තවමත් බොත්තම් දමා නොතිබිණි.
” බිල එවන්න. ” ඔහු කීවේය.
” ඔබතුමාටද නැත්නම් නගරසභා කාර්යාලයටද? “
නගරාධිපතිවරයා ඔහු දෙස නොබැලුවේය. දොර වැසූ ඔහු දොර පැලැල්ල මැදින් කතා කළේය:
” ඔය දෙකම එකයි”
Gabriel Garcia marquez – ගබ්රියෙල් ගාර්ෂියා මාකේස්
පරිවර්තනය – රාජ්‍ය සම්මානලාභී පරිවර්තක නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් https://nilukakadurugamuwa.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .