ශ්‍රී ලංකාවේ දහවන පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමට ඇත්තේ දින 50කටත් වඩා අඩු කාලයකි. ඊට අදාළ නාම යෝජනා භාර ගැනීම පසුගිය හතරවෙනිදායින් ආරම්භ විය.මේ විට පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමග ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීමේ දැඩි අර්බුදයකට ලක්ව සිටින්නේ විපක්ෂයයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව සන්ධානගතව තරග කරනවාද නැත්නම් වෙන වෙනම තරග කරනවාද යන්න තීරණය කිරීම සඳහා පසුගිය දින කිහිපයම සාකච්ඡා පැවැත්විණි. දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බවත් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවත් දැනුම් දී ඇත. එහෙත් රටත් ජනතාවත් අසීරුතාවයට පත්වන ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බවට රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බවයි පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ.
මේ අතර ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ස.ජ.බ.හා එ.ජා.ප සන්ධානගතව තරග කිරීමට විවිධ මට්ටමේ සාකච්ඡාව පැවැත්වුණද ඒවා බිඳවැටීමේ වැඩි ඉඩක් පැවතිණ. ඊට හේතුවී තිබුණේ ස.ජ.බය පැත්තෙන් ඉදිරිපත් වූ කොන්දේසි හේතුවෙනි. එ.ඡා.ප නායකත්වය රුවන් විජයවර්ධනයට ලබා දිය යුතු බවටත්, ඉදිරි මහ මැතිවරණයට දුරකථනය ලකුණ යටතේ තරග කළ යුතු බවටත්, මහ මැතිවරණයේ සන්ධානයේ අගමැති අපේක්ෂකයා හා විපක්ෂ නායක ධුරය තමන්ට හිමිය යුතු බවටත් සජිත්ගේ පැත්තෙන් බරපතල කොන්දේසි කිහිපයක් ඉදිරිපත්ව තිබිණි. ඒවා අතරින් කිහිපයක් විවාද සම්පන්න වූ අතර නායකත්වය සම්බන්ධයෙන් ස.ජ.බයට කොන්දේසි පැනවීමට නොහැකි බවටත් වෙනත් පක්ෂයක අභ්‍යන්තර තීන්දුවට ස.ජ.බයට ඇගිලි ගැසිය නොහැකි බවටත් එජාපය පැත්තෙන් කියවිණී. මේ අතර තමන් කිසි විටෙකත් එජාප නායකත්වයෙන් ඉවත් නොවන බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ස.ජ.බ හා එ.ජා.ප සන්ධාන සාකච්ඡා පැවැතියේ වැට උඩය. කෙසේ වෙතත් පසුගිය තුන්වෙනිදා වන විට එ.ජා.ප හා ස.ජ.බ සාකච්ඡා බිඳ වැටී තිබිණි.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ පාර්ශව ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරග කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබිණි. හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්රමුඛ පොහොට්ටුවෙන් ආ පිරිස හා නිමල් ලන්සා සහ අනුර යාපා ඇතුළු නව සන්ධානයේ පිරිසත්, උතුරේ හා නැගෙනහිර සහාය දැක්වූ දේශපාලන නියෝජිතයන් මෙලෙස සන්ධානගතවීමට සැරසෙන බවට වාර්තාවේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය මෙම සන්ධානය යටතේ තරග කරන්නේද, නැද්ද යන්න අවසන් තීරණයක් ගෙන නොතිබිණි. කෙසේ වෙතත් එ.ජා.ප ස.ජ.බ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව රනිල් ප්රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇත.
ස.ජ.බ සූදානම.
මේ අතර සමගි ජන බලවේගය ද ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ පාර්ශ්ව එක් කර ගනිමින් මහ මැතිවරණයට තරග කිරීමට වැඩි ඉඩක් පැවතිණි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වූ මනෝ,තිගම්බරන්,හකීම්, සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබිණි.
පොහොට්ටුවේ සූදානම.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද පසුගිය ජනාධිපතිවරණයෙන් ලද දැවැන්ත පසුබෑම හමුවේ ඉදිරි මහ මැතිවරණය සඳහා මුහුණ දීමේ දී ගැටළු රැසකට මුහුණ දී ඇත. පක්ෂයේ සිටි ජනප්‍රිය පුද්ගලයන් රැසක් පක්ෂය හැර යාමත් සමඟ ඔවුන් නැවත පක්ෂයට එක්කරගන්නේද නැද්ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇත. මේ අතරේ පොහොට්ටුවේ නාමයෝජනා ලැයිස්තුවෙන් වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන්ට ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා පසුගියදා තීරණය කර තිබිණි. කෙසේ වෙතත් අවසානයේ පොහොට්ටුව තීරණය කර ඇත්තේ පක්ෂය හැර ගිය අයට නාමයෝජනා නොදීමටය.
ජාතික ජන බලවේගයේ සූදානම.
මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය වෙහෙසෙමින් ඇත.ඡනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණයත් සමඟ රැල්ල තවදුරටත් තමන් වෙත නතු කර ගැනීමට ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේග කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් ඇත. ඉදිරි මහ මැතිවරණයේදී විවිධ වෘත්තිකයන් ඇතුළු නවක සහ තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය දැනටමත් කටයුතු සම්පාදනය කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව මත ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රී ධූර 100 ක්110 අතර ප්‍රමාණයක් දිනාගත හැකි බවට පුරෝකථනය කර ඇත. ඒ අනුව එය කෙසේ හෝ තුනෙන් දෙකක් හෙවත් මන්ත්‍රී ධූර 150ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දිනාගත හැකි තරමේ ඡන්ද ප්‍රමාණයක් එකතු කර ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කරමින් ඇත. ඒ සඳහා උතුරු හා නැගෙනහිර මෙන්ම වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්දය දිනා ගැනීමේ වැඩපිළිවෙලක් ජාතික ජන බලවේගය පැත්තෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. ඒ සඳහා පසුගිය රජයේ ක්‍රියාත්මක දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කිරීම හා විවිධ ආකර්ශනීය ක්‍රියාමාර්ග මගින් ජනතා ආකර්ෂණය තවදුරටත් වැඩි කර ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කරමින් ඇත.
ඉදිරි මහ මැතිවරණයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බොහොමයකට ජයග්‍රහණය කිරීමට නොහැකිවනු ඇති බවට මත පළවෙමින් ඇත. එනිසාම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත. හිටපු කතානායක මහින්දා යාපා අබේවර්ධන හිටපු අමාත්‍ය අලි සබ්ර යන මහත්වරුන් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.
මැතිවරණ කොමිසමේ සූදානම.
එළඹෙන මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම වෙනුවෙන් ජනාධිපතිවරයා දැනටමත් කටයුතු කරමින් ඇති බවයි. මේ වන විටත් මහ මැතිවරණයට අදාළ මූලික කටයුතු රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර ඇත.
ජනාධිපතිවරණය.
සුභ නැකතට රට අනුරට හිමි වුණේ පසුගිය ජනාධිපතිවරණයෙන් ලද ජයත් සමඟය. ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පසුගිය සැප්තැම්බර් 21 වැනි දා පැවැත්විණි. ඒ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඉදිරියෙන් පසුවිය.ලංකා ඉතිහාසය වැඩිම ජනාධිපති අපේක්ෂකවරුන් ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබූ අතර එම සංඛ්‍යාව තිස් නවයකි. මැතිවරණ ව්‍යාපාරය අතරතුර එක් අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඒ අනුව ජනපති සටන සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් ගණන තිස් අට දෙනකු විය. මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි ඡන්දදායකයන් 171,403,54 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන දහතුන් දහස් හාරසිය විසි එකකදී ඡන්ද විමසීම සිදු කෙරිණි. ඡන්දයේ රාජකාරී කටයුතු සඳහා ලක්ෂ දෙකකට අධික රාජ්‍ය සේවකයන් පිරිසක් යොදවා සිටි අතර ඊට ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් හැටතුන් දහසක් ද ඇතුළත්ය.
ජනාධිපතිවරණ ඡන්ද විමසේම ඉතා සාමකාමීව පැවැති අතර කිසිදු ආකාරයේ බරපතළ ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොතිබිණි. මෙවර ජනාධිපතිවරණය සැලකෙන්නේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රකාශිත ඡන්ද වලින් සියයට පනහ ඉක්මවා තරග කළ කිසිදු අපේක්ෂකයෙකුට ලබාගැනීමට නොහැකිවූ මැතිවරණයක් ලෙසය. ඒ අනුව ජයග්‍රාහකයා තෝරා ගැනීම වෙනුවෙන් දෙවන හා තෙවන මනාපය ගණනය කිරීමට ද සිදුවිය. ජනාධිපතිවරණයේ පළමු ගණනය කිරීමට අනුව මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් පහළොවක් ජයගත් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 56,34,915ලබා ගනිමින් 42.31% ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් විය.එහිදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාගත හැකි වුයේ ඡන්ද 43,63,035ක්වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 32.76%විය. ඡන්ද 22,99,769ක් ලබා ගත් රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වූ ප්‍රතිශතය 17.27%කි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කළ නාමල් රාජපක්ෂ මහතාට සමස්ත දිවයිනෙන්ම ලබාගත හැකි වූයේ ඡන්ද 342,781 කී එය 2.57%ප්‍රතිශතයක් විය. මෙහිදී කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම මත දෙවන මනාපය ගණනයට ගිය අතර එහිදී අනුර දිසානායක මහතාට මනාපඡන්ද 105,267ක් හිමි වූ අතර එහිදී ඔහුට හිමි වූ සමස්ත ඡන්ද ප්‍රමාණය 57,40,179ක්විය. මනාප ගණනයේදී ඡන්ද 167,867ක් හිමිකර ගනිමින් සමස්ත ඡන්ද 45,30,902ක් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි විය. ඒ අනුව වැඩි ඡන්ද දොළොස් ලක්ෂයකින් පමණ 2024 ජනාධිපතිවරණය ජයගැනීමට අනුර කුමාර දිසානායක මහතාට හැකි විය.
මෙවර ජනාධිතපතිවරණයේ විශේෂතා.
මෙවර ජනාධිපතිවරණයේදී විශේෂී සිදුවීම් කිහිපයක් වාර්තා විය. ඒ අනුව ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ලක්ෂ තිස්පහක් පමණ මෙවර ඡන්දය ප්‍රකාශ කර නොතිබූ අතර ලක්ෂ තුනක පමණ පිරිසකගේ ඡන්දය ප්‍රතික්ෂේප වී තිබිණි. ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රතිඵල නිකුත්කළ දින සන්ධ්‍යාවේ මැතිවරණ කොමිසම නිල උත්සවයක් සංවිධාන කර තිබූ අතර, ඊට අනුර, සජිත් හා නාමල් ද සහභාගි විය. නමුත් රනිල් වෙනුවට පැමිණ තිබුණේ ආශුය. එහිදී දීර්ඝ වේලාවක් ගෙන ස්තුති කතාව කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු කළේ අනුරට සුභ පතමිණි. සජිත් ද අනුරට සුබ පතා කථාවක් කළ අතර, අනුර කියා සිටියේ ජයග්‍රහණයේ තරම ගැන තමන්ට වැටහීමක් ඇති බවත් සමස්ත ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බවකි.
අනුරගේ ජයග්‍රහණයත් සමඟ මල් පාරේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රතිඵල නරඹමින් සිටි ජනාධිපති රනිල් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ප්‍රතිඵල නිකුත් කරන රාත්‍රියේ රට පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කෙරිණි. ජන මතයට හිස නමා නව ජනාධිපතිවරයාගේ දිව්රුම් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබා දී ජනාධිපති කාර්යාලය කාර්යාලයෙන් නික්ම ගියේ සාමකාමී බල හුවමාරුවකට අවස්ථාව ලබාදෙමිණී. සමු දීමට පෙර විශේෂ ප්‍රකාශයක් කළ රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමේ රැගෙන ආ තම දරුවා වන රට ඉදිරියට ගෙනයාම සඳහා සුරක්ෂිතව අනුර දිසානායක මහතාට ලබා දෙන ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් සාමකාමී බල හුවමාරුවක් වෙනුවෙන් ඡනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර දිසානායක මහතා දිවුරුම් දෙන උත්සවයේදී ජාතික ජාතිය අමතා කළ කතාවේදී ද පැසසුමට ලක් විය.
ඒ අනුව නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී සංවිධානය වූ අතර එය ඉතා චාම් සහ කෙටි වේලාවකින් අවසන් වූ නිල රාජ්‍ය උත්සවයක් විය.එහිදී විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගැනීමට හැකිවිය. ආගමික නායකයන් ඇතුළු සීමිත ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය මිනිත්තු පහළොවකට හෝ විස්සකට සීමාවිය. වියදම් දිවුරුම් දීමෙන් අනතුර ජාතිය ඇමතූ නව ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඉන්ද්‍රජාලිකයකු හෝ මැජික්කරුවකු නොවන බවකි. රට ගොඩනැගීම සඳහා සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටි අනුර දිසානායක මහතා රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට කැපවන බවද සහතික විය. අනතුරුව දළදා සමිඳුන් වැඳ පුදාගත් නව ජනාධිපතිවරයා පසුගියදා තිදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කෙරිණ. හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමත් සමඟ පැවති කැබිනට් මණ්ඩලය විසිර ගිය අතර ඒ අනුව නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමට කටයුතු කළේ ආචාර්ය හරිනි අමරසූරියට අගමැතිකම ලබා දෙමිනි. ඇය ඉතිහාසයෙක් වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ තුන්වන කාන්තා අගමැතිවරිය ලෙසයි. මීට අමතරව විජිත හේරත්ද කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන් අතර අමාත්‍යාංශ ගණනාවක් ඔවුන් තිදෙනා අතරේ බෙදී ගියේය. අනුර ජනපති වීමත් සමඟ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුනාරච්චිගේ නම ගැසට් කෙරිණි. මීට අමතරව ජනාධිපති ලේකම් ආරක්ෂක ලේකම් හා මහජන ආරක්ෂක ලේකම් ඇතුළු අමාත්‍යංශ පහළවක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමටද පියවර ගත් අතර ඊට මීට පෙර එම අමාත්‍යංශවල සිටි ලේකම්වරුන් කිහිප දෙනෙකුද ඇතුළත් විය. මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමට සූදනම් වුව ද ඊට ඉඩ දී නැත.
පාර්ලිමේන්තුව විසුරුවා හරියි
මේ අතර ජනාධිපතිවරයා විසින් ඊට පසුදින එනම් සැප්තැම්බර් මස හතරවන දා මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසඳවා හැරීමට කටයුතු කළ අතර ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙනු ඇති. නව ජනාධිපතිවරයා තෝරාපත් වීමත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් විශාල වශයෙන් සුභපැතුම් ලැබෙමින්ෙපැවතිණි. ප්‍රතිඵල නිකුත් වුදා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කුමසාරිස්වරයා හා චීන තානාපතිවරයා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයට ගොස් අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක් කල අතර ඊට අමතරව ඉන්දිය අගමැතිවරයා මෙන්ම පාකිස්තාන අගමැතිවරයාද සුභපැතුම් එක් කර තිබිණි.මීට අමතරව ඇමෙරිකානු හා මාලදිවයින ජනාධිපතිවරුන්ද සුබපැතුම් එක්කර තිබීම විශේෂත්වයක් විය. මේ අතර ඉන්දීය විදේශ ලේකම්වරයා පසුගියදා දිවයින්ට පැමිණියේ නව ද ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පළමු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ලෙසයි. මේ අතර අයි.එම්.එෆ් දූත පිරිස පසුගිය දිනවල ලංකාවේ සංචාරයක නිරතවු අතර එහිදී ඔවුන් එම වැඩපිළිවෙළේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබිණි. මේ අතර පසුගියදා කණගාටුදායක සිදුවීමක් වාර්තා විය. ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ ප්රතාපවත් දේශපාලන චරිතයක් වූ කුමාර වෙල්ගම මහතාගේ අභාවය පිළිබඳවය. 2022 වසරේ පැවැති ජන අරගලය අතරතුර ප්‍රහාරයකට ලක් වූ වෙල්ගම මහතා කලක් අසනීප තත්වයෙන් පසුවිය. මියයන විට හැත්තෑ හතර වැනි වියේ පසු වෙල්ගම මහතාගේ අවසන් කටයුතු පසුගියදා ඹහු උපන් මතුගමදී සිදු කෙරිණි.