මිල්ටන්ගෙන් ෆ්ලොරීඩාවට දැඩි බලපෑම්

මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබේ.මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.එසේම ෆ්ලොරිඩාව පුරා විදුලිබලය විසන්ධි වී ඇති බව සදහන් වේ.

කුණාටුව අඩි 15ක් තරම් ඉහළට ළඟා විය හැකි අතර බටහිර ෆ්ලොරිඩා වෙරළ තීරය ප්‍රදේශයේ ජනතාවට උපදෙස් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ලබා දී තිබේ.මිල්ටන් කුණාටුව අත්ලාන්තික් සාගරය දෙසට පිටවන විට ෆ්ලොරිඩාවේ නැගෙනහිර වෙරළ තීරයේ කුණාටු රැල්ල අඩි 5 ක් දක්වා ළඟා විය හැකි බව පැවසේ.

සුළි කුණාටුවේ පෙර සූදාමකින් සිටි ෆ්ලොරීඩා බලධාරීන් දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබුණි.

මේ අතර ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරයේ ශාන්ත ලුසී ප්‍රදේශයෙන් එක් පුද්ගල මරණයක් තහවුරු වී ඇති අතර එහිදී ටොනේඩෝ තත්ත්වයක් හට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර පැයට සැතපුම් 165ක් දක්වා වූ වේගයකින් හමා යන සුළං සහිත දරුණු සුළි කුණාටුවක් සේ සැලකෙන ‘මිල්ටන්’ සුළි කුණාටුව කඩා වැදීමට පෙර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් මිලියන ගණනක් පසුගිය (09)වැනිදා සිය නිවෙස්වලින් ඉවත් කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. පස් වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් සේ සැලකෙන මෙම සුළි කුණාටුවේ බලපෑම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රදේශ 28කට දැනෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. මිල්ටන් සුළි කුණාටුව  ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ‘ටැම්පා බේ’ කලාපයට කඩා වැදීමට නියමිතව තිබූ අතර මෙම සුළි කුණාටුව මගින් ජීවිතයත් මරණයත් අතර සටනක් ඇති විය හැකි නිසා වහාම සිය නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශ වෙත යන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ෆ්ලොරිඩා වැසියනට අනතුරු ඇඟවීමක් කර තිබිණි. මෙසේ ප්‍රාන්තයෙන් මේ සා විශාල ජනකායක් කුණාටුවක් හේතුවෙන් ඉවත් කර ඇත්තේ දශක කිහිපයකට පසු පළමු වරටය.

‘මිල්ටන්’ සුළි කුණාටුව මෙසේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වදිනුයේ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක වැසියන් 225 දෙනකුට මරු කැඳවූ දරුණු ‘හෙලේන්’ සුළි කුණාටුව කඩා වැදීමෙන් සති දෙකකට අඩු කාලයකින් පසුව වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය පවසයි. හෙලේන් සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා, ජෝර්ජියා, ටෙනසි, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා හා වර්ජිනීයා යන ප්‍රාන්තවල වැසියන් එසේ මරණයට පත්ව තිබිණි.

මිල්ටන් සුළි කුණාටුව සමග හමා යන සුළඟ දරුණු බැවින් සිදු විය හැකි මිනිස් ජීවිත අහිමිවීම් හා දේපළ හානිය ඉහළ බව ඇමරිකානු බලධාරීහු පවසති. මෙම සුළි කුණාටුව හේතුවෙන් ගස් මෙන්ම විදුලි රැහැන් ද කඩා වැදීමට ඉඩ ඇති බවත් සුළි කුණාටුවෙන් හානියට පත්වන ප්‍රදේශවල නැවත ජනාවාස ඇති කිරීම සඳහා තවත් සති ගණනක් හෝ මාස ගණනක් ගත වනු ඇති බව ජාතික සාගර වායුගෝල සංගමය පවසයි. ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීන් විසින් මිල්ටන් සුළි කුණාටුවේ ආගමනය හඳුන්වා ඇත්තේ ‘රකුසා පැමිණෙනවා’ යනුවෙන් වන අතර ‘මිල්ටන්’ සියවසේ සුළි කුණාටුව ලෙස ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *