ගිනියම් ලංකාවේදී සිසිලත් , ශීතල කැනඩාවේදී උණුහුමත් බෙදන දේවගැතිවරයා – 2 වන කොටස 

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ පුජක වරයෙක්  එක්ක . අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු ආගමික චරිතය ඔහුයි . ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන,  විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු  පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිත මේ වෙනුවෙන් එක් කරගන්නටයි අපි හැමවිටම උත්සාහ කරන්නේ. මේ ලිපියේ පළමු කොටස මීට පෙර කලාපයේ වෙබ් ගතව තිබෙනවා. 

මෙතැන් සිට අපි බලමු  නිර්මාල් නම්වූ පුජකයානන් සත් සමුදුර තරණය කර කැනඩාවේ ආරම්භ කල ජීවිතය සම්බන්ධව. අසුව දශකයේ සිට කැනඩාවේ පදිංචිව සිටි ඔහුගේ මව සහ සොයුරු සොයුරියන් ඔහුට කැනඩාවට පැමිණෙන ලෙස ඇරයුම් කලත් අම්පාර ප්‍රදේශයේ එතුමා කල සේවයන්ගෙන් බැහැරවීමට අපහසුවීම හේතුවෙන් ඔහු එය ප්‍රතික්ෂේප කළා. නමුත් අවසානයේ 2001 වසරේ අප්‍රේල් මාසයේ අනුෂා සමග කැනඩාවට ඒමට සිත් දුන්නේ එය දෙවියන්ගේ කැමැත්ත නිසා වෙන්නැති කියා නිර්මාල් පියතුමා පැවසුවේ සිහින් හඩින්. 

කැනඩා ආගමනයෙන් පසුව, උතුරු කැනඩාවේ මුල්වාසීන් ජීවත්වූ  Moosonee James Bay ප්‍රදේශයේ පුජක තනතුර හිස්ව තිබූ St. Mark’s Eastmain කියන පල්ලියේ සේවය කිරීමට නිර්මාල්ට මග පෙන්වීමක් කලේ Scarborough Anglican පල්ලියේ පුජකතුමා. සම්මුඛ පරීක්ෂනයෙදී එහි බිෂොප්තුමා  නිර්මාල්ට මුල්වාසීන්ගේ විශ්වාස, භාෂාව, ආගමික ඇදහිලි ගැන කිසිම අවබෝධයක් නැතිබව තේරුම් ගත් හේතුවෙන් ඔහු යෝජනා කළා Kashechewan ප්‍රදේශයේ St. Paul’s පල්ලියේ දේව ගැතිවරයා සමග මාස තුනක් වැඩකර යම් අත්දැකීමක් ලබා ගන්නා ලෙසට. ඒ කාලයේ ඉගෙනගත් Cree භාෂාව පසු කලෙක ඔහු සේවය කල මුල්වාසී ප්‍රදේශවල සේවයේදී අතිශයින් ඔහුට වැදගත් වුවා. විශේෂයෙන්ම Cree භාෂාවෙන් ගීතිකා ගායනා කිරීමට ඔහුට තිබුණු හැකියාව හේතුවෙන් නිර්මාල් ජනප්‍රිය චරිතයක් වුවා පමණක් නෙවෙයි ඔහුට සත්කර්මය කිරීමට සිදු වුයේ  Cree භාෂාව පමණක් දන්නා වැඩිහිටියන් සදහා නිසා එය වටිනා ආභරණයක්ද  උනා.

Cree ජනතාව ආගන්තුකයින් පිළිගැනීමට සෑහෙන කාලයක් ගන්නවා. එයට ප්‍රධානම හේතු වුයේ යටත් විජිතවාදීන් විසින් ඔවුනගේ මුතුන් මිත්තන් ගිවිසුම්වලදී කල රැවටීම්.  නමුත් විශ්වාසනීයත්වය  ගොඩ නගා ගැනීමෙන් අනතුරුව  ඔවුන් දිවි ඇති තෙක් ඒ කල්‍යාණ මිත්‍රත්වය සුරක්ෂිතව තබා ගන්නවා. නිර්මාල් ඔවුන් ගැන මෙහෙම සදහනක් කළා “අද මම ජීවත්වන්නේ නයගරා ප්‍රදේශයේ, ඒත් අදටත් මම සේවය කල ප්‍රදේශ ගණනාවක බොහෝ Cree  මිතුරන් ඉතා ලගින් ඇසුරු කරනවා”. 

Cree ජාතිකයින් සම්බන්ධයෙන් ආගන්තුකයින්ට දැනෙනා තවත් විශේෂත්වයක් තමයි ඔවුන් ප්‍රාණය සම්බන්ධව දක්වන ආකල්පය. ඔවුන් පාරම්පරික දඩයක්කරුවන් නිසා ඒ දඩයම බොහෝ ආගමික දර්ශනයන් අදහන අයට අපහසුතාවයක් වෙන්න පුළුවන්.  නිර්මාල් අපේ කතාවට බොහොම ලස්සන අදහසක් එකතු කළා,  “මම හිතනවා සයිමන් නවගත්තේගම තරම් අපේ සංස්කෘතියේ දඩයකරුවන්ගේ අධ්‍යාත්මය ගැන සදහන් කල වෙනත් ලේඛකයෙක් නැහැ කියලා. මට බොහෝ කලක් ගත උනා ඔවුන් පණට ගරු කරන ගැඹුරු ආධ්‍යාත්මයක් ඇති මිනිසුන් කොට්ඨාශයක් බව හඳුනා ගන්න”.  අද උනත් Cree ජාතිකයින් අවුරුද්දේ ඝෘතු දෙකක,  ඔවුන්ගේ සම්ප්‍රදයික, පාරම්පරික දඩයම් ප්‍රදේශවලට ගොස් කළගුණ සැලකීමක් ලෙස කාලයක් ගත කර එනවා. එත් එක්කම, සතෙක් මරණ මොහොතේ සිට, පරිභෝජනය දක්වා සෑම පියවරකදීම ඒ සතාට ගරු කරන, සතාගේ සිරුරේ කිසිම කොටසක් අපතේ නොයන සංකීර්ණ සහ භක්තිමත් පිළිවෙතක් අනුගමනය කරනවා. සතාගේ කටුවකට කිසිම හානියක් නොවන ලෙස ආහාර පිළියෙළ කිරීමත්, අනුභව කිරීමත් සිදු කරනවා. වැරදීමකින් හෝ තමා දඩයම් කල සතා වෙනත් අයෙකුට අයත් ප්‍රදේශයක මැරී වැටුනොත්, සතා ඒ දඩබිම අයිතිකරුට රැගෙන ගොස් භාර දෙනවා. ඔවුන් මරණයකදී උවත් හැසිරෙන්නේ ඉතා ගැඹුරු අධ්‍යාත්මයකින්. ගමේ ඇති රජයේ සෑම  කාර්යාල සහ ව්‍යාපාර ස්ථාන ඉතා වේලාසනින් වසා දමා මියගිය පුද්ගලයා වෙනුවෙන් බොහෝ සංස්කෘතීන්වල සිදු නොවනා ආකාරයේ විශාල කාලයක් වැය කරනවා. දින තුනක පමණ කාලයක් සෑම දිනකම ප්‍රජා ශාලාවට එක් රොක්වන ඔවුන් මියගිය පුද්ගලයා කැමති ගීත කියමින්, ගුණ ගායනා කරනවා. “Cree ජාතිකයින්ට ඇත්තේ ජීවිතය පිළිබඳව ආදරනීය සහ ගෞරවනීය උදාර ගැඹුරු සංකල්පයක්. ” යැයි කියා නිර්මාල් පියතුමා ඒ අය ගැන ඔහු තුල ඇති භක්තිය තවදුරටත් තහවුරු කළා.  

මීට අමතරව පියතුමාගේ සේවා කාල සීමාවන්හිදී Cree ජනතාවගේ සුවිශේෂ ආගමික සහ පාරම්පරික අවස්ථා දෙකක් වන  Walking Out සහ Sweat Lodge අත්දැකීම් ලබා ගැනීමට ඔහුට හැකි උනා. Walking Out කියන්නේ පියා තම පියවර ඔසවන පිරිමි දරුවා කැටුව කුඩාරමකින් එලියට එන සම්ප්‍රදායික දඩයමක් රග දක්වන චාරිත්‍රයක්. සිගිති පුතා සෙල්ලම් තුවක්කුවක් අතැතිව එන මේ රගපෑම සෑම පිරිමි දරුවෙක්ම අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු පිළිවෙතක්.

කුඩාරමක් මැද සිදුවන Sweat Lodge පිලිවෙතෙදී, එය මෙහෙයවන වැඩිහිටියා විටින්විට යාඥා කරමින් කුඩාරම මැද තබා ඇති ගිනියම් කරන ලද කළු ගල්වලට වතුර ඉසීම හේතුවෙන් නැගෙන විශාල දුමාරය නිසා පැය පහ හයක් වැනි කාලයක් කුඩාරමේ සිටිනා අයට දහඩිය උතුරා යාමක් සිදුවෙනවා. මුල්වාසීන් තරයේ විශ්වාස කරනවා ඊට සහභාගී වුවන්ගේ ශරීර සෞඛ්‍යය සහ ආධ්‍යාත්මික දැක්ම සම්පූර්ණයෙන්ම මේ පිළිවෙතින් වෙනස්වන බව. 

පියතුමාගේ පුතා නිම්න පියවර ඔසවන්න පටන් ගත්තෙත් මේ කාලයේ නිසා Walking Out චාරිත්‍රය ඉටු කරන්නැයි ඉතා ගෞරවනීයව මුල්වාසීන් නිර්මාල්ගෙන් ඉල්ලා සිටියා. තුවක්කුව කියන ආකල්පය නිර්මාල්ට ගෙන දුන්නේ ඇග හිරිගඩු පිපෙනා අත්දැකීමක්. හමුදාකරනීය වූ ප්‍රදේශයකින් පැමිණියද, ගිණි අවියක් නොතිබූ එකම නිවස මෙන්ම ගිණි අවියක් අතැතිව ඇතුළුවීමට නොහැකිවූ එකම නිවසද ඔහුගේ නිවහනයි. එමනිසා මේ චාරිත්‍රය සදහා තුවක්කුවක් අතැති පුතා සමග කුඩාරමෙන් එලියට එනවා කියන හැගීම ඔහුව ඉතාමත් අපහසුතාවයකට පත්කලා. ආදරණීය මිනිසුන්ගේ අහක නොදැමිය හැකි මේ ඉල්ලීමට තීරණයක් ගැනීම සදහා නිර්මාල් කාරුණිකව ඔවුන්ගෙන් යම් කාල සීමාවක් ඉල්ලා සිටියා. අනුෂා සහ නිර්මාල් කල දීර්ඝ කතාබහින් පසුව තමා ජීවත්වූ ගම්බිමේ තුවක්කුව කියන සංකල්පයත් Cree සංස්කෘතියේ තුවක්කුව කියන සංකල්පයත් හාත්පසින්ම වෙනස් බව පසක් කරගත් ඔවුන් ඒ ඉල්ලීමට එකගවීමට තීරණය කළා. හිමිදිරි උදෑසන සිදුවූ ඒ චාරිත්‍රයට Ontario Cree ගුවන් විදුලි මගිනුත් විශාල ප්‍රචාරයක් ලබාදීම හේතුවෙන් අවට සියළුම ගම්වාසී වැසියන්ද ඊට සහභාගීවී විශාල සංදර්ශනයක්වීම නිර්මාල්ට විමතියක් උනා. සන්ධ්‍යා භාගයේ ඉතා විශාල රාත්‍රී භෝජනයක් සමග ඒ අවස්තාව ඔවුන් ඉහලින්ම සමරුවේ ගමේ ප්‍රජා ශාලාවේ. Cree සංස්කෘතියේ ඉතාමත්ම සුවිශේෂ අවස්ථාවකට ඔහුන්ගේ පවුල කොටස්කරුවෙකු කරගැනීමේ ගෞරවය නිර්මාල් පවුලට ජීවිත කාලයටම අමතක කල නොහැකි ඉතා සුවිශේෂ අවස්තාවක් වූ නිසා නිම්නට ඇන්දවූ ඇඳුම, ආයිත්තම්, කුඩා තුවක්කුව අදටත් ඔවුන්ගේ නිවසේ කෞතුක වස්තුවක්. 

නිර්මාල් පියතුමාගේ පුජක ජීවිතයේ අභියෝගාත්මක වාගේම වෙහෙසකර කාලයක් වුයේ Moosonee ප්‍රදේශයේ Moose Factory පල්ලියේ වැඩ කල 2009-2012 අතරතුර කාලය. 

සියදිවි හානි කරගැනීම් ගැන කිසිදු අතීත ප්‍රවනතාවයක් නොතිබුණු ඒ ප්‍රදේශය ක්ෂණිකව මතුවූ මේ අවාසනාවන්ත තත්වය හේතුවෙන් භීතියට හා විමතියට පත්වයි තිබුනෙ. අවුරුදු 2ක් තුල 25කට අධික සංඛ්‍යාවක් මේ විපතට ගොදුරු වූ අතර, ඉන් බොහෝ දෙනා අවුරුදු 16 ත් 20ත් අතර දරුවන්. සාම්ප්‍රදායික නොවන අලුත් පල්ලි සියදිවි හානි කරගත් අයට දේව මෙහෙයන් පැවැත්වීම ප්‍රතික්ෂේප කල හේතුවෙන් ඒ අවමංගල්‍යන් සිදුකිරීමේ කර්තව්‍ය භාර උනෙත් නිර්මාල් පියතුමාට. විරෝධතා, විවේචන මැද දේව මෙහෙයන් පැවැත්වු ඔහු තරයේ විශ්වාස කළා මෙය සංවේදීව සහ සානුකම්පිතව බැලිය යුතු සහ ආධ්‍යායාත්මික උපකාර සැපයිය යුතු සාමාජික ලෞකික ප්‍රශ්නයක් ලෙසට. වරක සියදිවි හානි කරගත් තම මුනුබුරා වෙනුවෙන් දේව මෙහෙයක් කරදෙන ලෙසට වෙනත් පල්ලියක පුජකවරයෙක් පැමිණ ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ පල්ලියේ එය සිදු කිරීමට ඔහුට වරම් නැති නිසයි. ඔහු ඒ ඉල්ලීම ඉතා ආදරයෙන් භාර ගත්තා. දෙවියන්ට කැපවීමට පුරුදු පුහුණු වුවත්, ලංකාවේදී, යුධ පිටියක මරණය සමග පොර බැදු මිනිසුන්ට ශක්තියත් දුන්නත්, මේ දේව මෙහෙයන්  පැවැත්වීම, මියගිය තරුණ පුද්ගලයාගේ සහෘදයින්ට කතාකිරීම වැනි ඉතාමත් හද කම්පනය කරන කරුණු කාරනාවලින් නිර්මාල් පියතුමාගේ හද සසල උනේ ලෝගුවට යටින් ඇති සංවේදී මිනිසාගේ හදවතේ තෙතමනය ඉස්මතු කරමින්. විඳ ගැනීමට අපහසුම කාරනාව වුයේ මේ සියදිවි නසා ගැනීම්වලට හේතුව අභිරහසක් වීම. පසුකාලීනව විශේෂඥයින් මෙහෙයවූ වැඩමුළුවලින්, උපදේශණ අවස්ථාවලින් හෙළි උනේ ඉතිහාසයේ යටත් විජිත යුගයේ මුල් වාසී දරුවන් ඔවුන්ගේ සංස්කෘතියෙන් වෙන්කිරීමේ හේතුවෙන් මේ සමාජයට සිදුවූ හානිය පරම්පරා ගණනකට පසුව ඉස්මතු වන්නේ මෙවැනි ආකාරයට බවයි. කැනේඩියානු රජය මැදිහත්ව මේ ප්‍රශ්නයට යතාර්ථවාදී විසදුමක් සෙවීමට ගන්නා අවංක උත්සාහය හේතුවෙන් අද ආදීවාසීන් සහ රජය අතර පවතින සාකච්ඡා  පෙරට වඩා යහපත් බවට නිර්මාල් පියතුමාට හැගෙන බවයි ඔහු මට පැවසුවේ. මේ බරපතල ප්‍රශ්නයට විසදුමක් සෙවීමට ඔහුද හැකි පමණින් සෑම උත්සාහයක්ම ගත්තා.

නිර්මාල් පියතුමාගේ ඊලග ජීවිත සන්ධිස්ථානය සිදු වුයේ ඔහුගේ දුව නාමලීව ගැබ්ගෙන සිටි අනුෂාට දරු ප්‍රසුතිය සදහා දකුණු Ontario රෝහලකට යාමට සිදුවීම හේතුවෙන්. 2013 දරු උපතට පසුව, ඉතාමත්ම කනස්ලෙන් වුවද දකුණු Ontarioව තම නිවහන කර ගැනීමට ඔහු තීරණය කලේ ආදරණීය Cree ප්‍රදේශයේ පාසල්වල ඉහල පන්තිවල අධ්‍යාපනය දකුණේ ඉහල පන්තිවල අධ්‍යාපනය තරම් ගුණාත්මක නොවන නිසයි.

“මගේ  Mooseney ප්‍රදේශයේ කල සේවාව අගය කිරීමක් ලෙසට 2011 දීත්,  2013 සිට නයගරා ප්‍රදේශයට කරනා සේවාවට 2024 දීත් ඇංග්ලිකන් නිකායෙ “කැනන්” නමින් හදුන්වන උපහාර පදවිය දෙවරක් ලැබීම ගෞරවයක් උනත්, මේ සේවාවන් ගෙන් මා ලද ආත්ම තෘප්තිය ඒ පදවිවලට වඩා මට මහමෙරක් යැයි ඔහු පැවසුවේ ඉතාමත් නිහතමානීව. ඉහත උපහාරයන් හේතුවෙන් ඔහුව දැනට හදුන්වන්නේ Reverend Canon නිර්මාල් මෙන්ඩිස් ලෙසටයි.

දීර්ඝ කාලයක් ඔහුගේ හඩට ඇහුම්කන් දුන් මගේ හැගීම් සමුදාය හරියට Roller coaster යකට සම වුවා යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ. තම දිවි නොතකා මේ සමාජ පරිවර්තකයා කල ශ්‍රේෂ්ඨ කාර්යන් ඇසීමේදී මා තුල ඇතිවූ භක්තියත්, ඔහු LTTE ත්‍රස්තවාදීන්ට හසුවූ අවස්ථාවේදී මසිතට දැනුනු  ත්‍රාසයත්, ඔහුගේ මානව දයාව හමුවේ මහද පිරුනාවූ ආදරණීය බවත් එයට හේතු උනා. ඒ මගේ ව්‍යාකුල මනසට නැගුනු මුල්ම ප්‍රශ්නයට මම සාධාරනීයත්වක් ඉටුකළේ මෙහෙමයි, “සම්ප්‍රදායික ක්‍රිස්තියානි පුජකවරයෙක් නොවී ඇයි ඔබ දිවි පරදුවට තබා මෙවැනි අභිනිෂ්ක්‍රරමනයන්  කිරීමට පෙළඹුනේ?” 

ඔහු කටහඩ අවදි කළා, “මගේ ආරම්භක තරුණ අතීතය ආවර්ජනය කළහොත්, මම පිලිමතලාවට ගියේ පුජකවරයෙක්වීමට සිතේ තුබූ ගැඹුරු ආසාවට මිසක කිතුණු ධර්මයේ දේව රාජ්‍යය යනු හුදු ලෝකෝත්තර සංකල්පයක් නොවන බව දැනගෙන නොවේ. මගේ පෙරළිකාර චින්තනයේ ආරම්භය සිදුවුයේ ශාස්ත්‍රාල අධ්‍යනයන්ගෙන්. මා උගත් බයිබලයේ පරණ ගිවිසුමේ “සාමය හෙවත් Shalom” කියන වචනයේ සැබෑ අර්ථකථනය වුයේ “මිනිසුන්ට යුක්තිය සාධාරණය ආදරය පිරුණු එකෙනෙකාට ස්වශක්තියෙන් නැගී සිටිය හැකි වාතාවරණයක්”. මේ Shalom නංවූ ප්‍රබල වචනයට ලෞකික අර්ථ දැක්වීමේදී සාධාරණයක් වුවාදැයි මට සැකයි. යේසුස් වහන්සේ ධර්මශාලාවල සහ දේව මාලිගාවේ දහම් දෙසුවත් යථාර්ථවාදී දේශනා සිදු වුයේ කඳු මුදුන්, මුහුදු වෙරළවල වැනි දුප්පතුන් පීඩිතයන් ගැවසෙන තැන්වල. මා අනුකරණය කිරීමට උත්සාහ කලේ එතුමාගේ මහපොළොවේ ධර්මය. ඒකයි මට අවශ්‍ය උනේ පල්ලියේ දේශනාවන් වගේම, මිනිසුන්ට තම ගොවිතැනින් බඩවියත රැකගත හැකි, සාමයෙන් තම ගෙපැලේ සිටිය හැකි තෝතැන්නක් සාදා දීමට”.

නමුත් ඔහුගේ කැනේඩියානු ආගමනය මාව කුතුහලයට පත්කලා, “ඔබේ කැනේඩියානු ආගමනය ගැන අද ඔබට දැනෙන්නේ කොහොමද”. ඔහු සෙමින් හඩ අවදිකලා, “මම ආදරණීය පවුලක සුව වින්දත්, මගේ ආගමනය සම්බන්ධව මට ඇත්තේ මිශ්‍ර හැගීමක්. පුජකවරයෙක් ලෙස ශ්‍රී ලාංකික දිළිදු සමාජයට කල සමාජ මෙහෙවර මග හැරීම හේතුවෙන් මට වේදනාවක් දැනෙනවා”. අවංකවම එය තමයි මා බලාපොරොත්තු වූ පිළිතුර.

මගේ ඊලග ප්‍රශ්නය වුයේ “ඔබ කැනේඩියානු සමාජයට වැදගත් ඇයි” කියනා එක. ඔහුගේ පිළිතුර වුයේ, “මම හිතනවා කැනඩාවේ දකුණේ ජීවත්වන සංක්‍රමණිකයින් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් තුල කැනඩාවේ මුල්වාසීන් ගැන ඇත්තේ stereotype ආකල්පයක් කියලා. මගේ මුල්වාසීන් සමඟ සබඳතාවය දැනගත් ඔවුන් විමසුවේ ඒ මිනිසුන් ඉතාමත් අපිරිසිදු සහ මතට ඇබ්බැහි වූ ජන කොට්ඨාශයක් නේද කියනා ඉතාමත් සාවධ්‍යවූ මතයන්. මුල්වාසීන් සහ ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධව මා තුල ඇති මනා අවබෝධය හේතුවෙන් මා කැනේඩියානු සමාජයට වැදගත් යැයි මා සිතනවා”.

ඔහු වඩාත්ම තෘප්තියක් ලබන සේවාව ගැන ඔහු සංවේදී වුයේ මෙලෙසයි, “දරුවන්ගෙන් සහ මිතුරන්ගෙන් දුරස්ථව ඉතාමත් හුදකලාවී දිවි ගෙවන වැඩිහිටියන් හමුව ඔවුන්ට මානසික සුවයක් දීමයි මගේ ප්‍රියතම සේවාව”.

ඔහු ලැබූ ආත්මීය ජයග්‍රහණ සම්බන්ධව ඔහුගේ ජීවිත කතාව අස්සෙන් කියවුණත් මට එය ඔහුගෙන් කටින්ම දැනගන්න ඕන උනා. ඔහු බිදක් නොරිස්සුමෙන් පිළිතුරු දුන්නා, “මම ඒ ප්‍රශ්නයට වැඩි කැමැත්තක් නැහැ. මොකද ජයග්‍රහණ ගැන මට වැඩි විශ්වාසයක් නැහැ. ගැඹුරු පණිවිඩයක් මෙලොවට දුන් කිතුනුවෙකුගේ ප්‍රතිමුර්තිය වන යේසුස් වහන්සේ පීඩිතයින්ට විශාල සේවයක් කළා. නමුත් එතුමාගේ මරණය සිදු වුයේ ඉතාමත් නින්දිත විදියට. මරණයෙන් සියල්ල නිමා නොවෙනවා කියන ගැඹුරු ධර්මය අදහන මම, ජයග්‍රහණය ලෙස විශ්වාස කරන්නේ පරාජය, දුක වේදනාව නිවැරදිව අවබෝධ කර ගැනීම”.

මට හිතුනා සමාජ මෙහෙවරයෙක් ලෙසට මාර්ගෝපදේශකයෙක් ලෙසට ඔහුගේ පවුල් ජීවිතයත්, සමාජ ජීවිතයත් දෙක ඔහු සමබර කරගන්නා ආකාරය දැනගන්න. ඔහු ඉතා පහසුවෙන් මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරුදී මා නිරුත්තර කළා, “පුජක ජීවිතයත් පවුල් ජීවිතයත් දෙකටම පාදක වන එකම සාධකය ආදරය. එයට කැපවීම අත්‍යාවශ්‍යයි. පුජකයෙකුගේ ජීවිතයේ තේමාව ආදරය නම් මේ දෙක අතර ගැටුමක් තිබිය හැකිද?”. 

පුජකයෙකුට පෘථග්ජන අපිට මෙන් කලාත්මක හැගීම් තිබිය හැකිදැයි මසිත තිබු කුතුහලය වැමෑරීමෙන් අනතුරුව, ඔහුගේ පිළිතුර වුයේ , “මම පල්ලියේ එදිනෙදා Cree ගීතිකා ගායනය කල කෙනෙක්. පුංච් කාලයේ සිටම හාමෝනිකාව වාදනය කළා වගේම මම ගිටාර් වාදනයද තරමක් දන්නවා. මම ලියු සහ තනු සකස්කළ ගීත කිහිපයක් දැනටත් කිතුණු සභාවල භාවිතා කරනවා. මම පිළිමතලාව දේවධර්ම ශාස්ත්‍රාලයේ සිටියදී ඇමෙරිකාවෙන් පැමිණි ශිෂ්‍යයෙකු කලාව, නාට්‍යය සහ අභිනය භාවිතා කර ක්‍රිස්තුස්වහන්සේගේ සුභ ආරංචි පොත් සහ පැරණ ගිවිසුමේ පසුබිමින් නාට්‍යක් කරනා ලෙසට සයිමන් නවගත්තේගමගෙන් ඉල්ලීමක් කළා. “තුංමංහන්දිය” ලෙසයි නවගත්තේගම දුටු යේසුස් වහන්සේ කලඑළි දැක්කේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රග දක්වූ එහි යේසුස් වහන්සේගේ චරිතය රග පෑවේ මම” කියා ඔහු පවසද්දී මම සැබෑවටම මවිත වුයේ පුජකවරුන් රංගනයේ යෙදෙනවා මා අසා නොතිබු නිසයි. 

පියතුමාගේ අනාගත සිහින සම්බන්ධව මා ඇසු අවසාන ප්‍රශ්නයට ඔහු ඉතා බිදුණු හඩින් පිළිතුරු දුන්නා, “කැනඩාවේ හැටියට මේ වසරේ මම Senior citizen කෙනෙක්. දරුවන් ගැන සිතනා විට මට කිසිදා ලංකාවේ ස්ථිර පදිංචියට යා හැකියයි නොසිතිය හැකි නිසා අඩුම ගානේ වසරකට මාස තුනක්වත් ලංකාවට ගොස් මා දන්නා දුගී දුප්පත් අයට සේවාවක් කිරීමේ සිහිනයක් මට තියෙනවා. අනික අවුරුදු 20 දී තරුණ කිතුනුවකු ලෙස ඇරඹුණු මගේ සමාජ ජීවිතයේ මුලික අරමුණ වුයේ පීඩිතයින් ගලවා ගත හැකි සමාජ විපර්යාසයක කොටස්කරුවකුවීම. ඒ සදහා පුර්ණ කාලීනව මා අතීත දිවිය කැපකලත්, සමස්තයක් ලෙස ඒ කර්තව්‍ය කිරීමට අපි අදටත් අසමත්ව තියෙනවා. කිසිවෙකුට පෞද්ගලිකව සාක්ෂාත් කරගත නොහැකි මේ සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනය ඉටුකිරීම අපි සාමුහිකව කල යුත්තක්. සත්‍ය වශයෙන්ම අද ලංකා පොලොවේ එයට අවශ්‍ය පසුබිම සකස්වෙමින් තියෙනවා. ඉතිං ලබන වසරේ මා ලංකාවට යනවිට ඒ අභිමානවත් අළුත් දේශයක ආරම්භයක්  සියැසින් දැකීම මගේ දෙවෙනි සිහිනයයි. එය ලගාකර ගැනීම සදහා මගේ ශක්තියෙන් කළහැකි සෑම දෙයක්ම ඉටු කිරීමට මා අධිෂ්ඨාන කරගෙන සිටිනවා”

ඉතාමත් ගැඹුරු ආධ්‍යාත්මික කරුණු ඇතුලත් මේ දීර්ඝ සාකච්චාව මා අවසන් කලේ, යේසුස් වහන්සේ ගිය ඉතාමත් අසීරු වූ “පටු මග” අනුකරණය කරමින් සාධාරණ ලොවක් පතනා  නිර්මාල් මෙන්ඩිස් නම් වූ මේ ප්‍රගතශීලී මානව හිතවාදියාට ඒ මඟ යාමට ධෛර්‍යය සහ ශක්තිය ලැබේවා මෙන්ම ඔහුගේ අනාගත සිහින සැබෑවේවා කියන ප්‍රාර්ථනාවත් සමග!  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *