මහ මැතිවරණයට ඇත්තේ දින විසිපහකටත් වඩා අඩු කාලයක් වුවත් තවමත් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද ප්‍රබල අවධානයක් යොමු කර ඇතැයි කිව නොහැක. විශේෂයෙන් ඉකුත් ජනාධිපතිවරණ සමයෙහි තිබුණු උද්යොගය හා උණුසුම තවමත් අපට දැකගත නොහැක. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එළැඹෙන මහ මැතිවරණයේ බලය ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂවලට පැහැදිලි ඉලක්කයක් නොමැතිවීමත් විශේෂයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ඇති වූ දේශපාලන පසුබෑමත් විය යුතුය. ඇත්ත වශයෙන්ම මෙම මහ මැතිවරණයෙන් දැනට තිබෙන ජා.ජ.බ. ආණ්ඩුව පරාජය කළ නොහැකි බව විපක්ෂ කණ්ඩායම්වල දේශපාලන කියැවීම බව ඔවුන් විසින් බොහෝ අවස්ථාවල කරන ලද ප්‍රකාශවලින් ද තහවුරු වී ඇත. එපමණක් නොව, මෙරටේ ප්‍රබල මෙන්ම සම්මත දේශපාලන අධිකාරය බිඳ දැමීමට මෙරටේ බහුතර ජනතාවක් තුළ තිබුණු අධිෂ්ඨානය කෙබඳු දැයි ජා.ජ.බයේ අනුර කුමාර මෙරටේ ජනාධිපති ධුරයට පත්වීම තුළින් පිළිබිඹු වන බව විපක්ෂයේ ප්රබලයන්ට ද පිළිගැනීමට සිදුවිය.
මාලිමාවේ ඡන්ද සටන එවන් සැලසුම් සහගත සාමකාමී ප්රවේශයකින් රටට දක්නට ලැබුණත් සෙසු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල තත්ත්වය නම් ඒ තරම් සතුටුදායක නොවීය. විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධාන බලවේගය වූ සමගි ජන බලවේගයේ දේශපාලන අභ්‍යන්තරය තුළ විවිධ ගැටුම් හැලහැප්පීම් හා අර්බුද නිර්මාණය වී තිබුණේ නාමයෝජනා ලබාදීමේ ගැටලු නිසාය.
නාමයෝජනා ලැයිස්තු ගැටලුව නිසා සමගි ජන බලවේගයෙන් මුලින්ම ඉවත්ව ගිය කණ්ඩායම ලෙස කැපී පෙනුනේ පාඨලී චම්පික රණවකගේ දේශපාලන කණ්ඩායමයි. නාමයෝජනා ගැටලුවලදී තම පක්ෂය සමග ජන සන්ධානයක් හා ඇති කරගෙන තිබූ එකඟතාව කඩ කළේ යැයි කියමින් චම්පික සිය කණ්ඩායමත් සමග ඉවත්ව ගියේය. ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් බලන විට චම්පිකගේ ඉවත්වීම සුළු කොට තැකිය නොහැකිය. තවත් එක් සිදුවීමක් වාර්ථා වූයේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි. සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීමයි.
“මම විශේෂයෙන්ම කියනවා සමගි ජනබලවේගය සමඟ තවදුරටත් කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චි කරන්න එපා කියලා. මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩි ලෙස කලකිරිලා කතා කරන්නේ. මම නාමයෝජනා අත්සන් කරලා පැය 24 ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩ කරපු පුද්ගලයකුට මට හොරෙන් ලබා දීලා.” මාන්නප්පෙරුම මාධ්‍ය හමුවක් කැදවමින් කියා තිබ්ණි.
නාමයෝජනා නොලැබීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින්නට උත්සහ කළ දමිතා අබේරත්න කලාකාරිනිය ද යම් ගැටලුවක සිටියේය. ඇය පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය උපයෝගී කරගෙන දැඩි විරෝධතාවක සිටියේ ඇයට සුපුරුදු විවේචනාත්මක ප්රහාරයන් පවා එල්ල කරමිනි.
ඇයට එරෙහිව එම පියවර ගෙන තිබුණේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණත් පක්ෂ නායකයෝ ඔහුට කිසිදු ගැටලුවක් ඇති කළේ නැත. එහෙත් හේෂාට බැණ වදිමින් දමිතාට පක්ෂයේ වගකිවයුත්තන් අපූරු හේතුවක් දැක්වූහ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේ යම් සන්නිවේදන ගැටලුවක් අඩුපාඩුවක් නිසා ඇයගේ නාමයෝජනාව කැපී ගොස් ඇති බවයි.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක තනතුරින් ඉල්ලා අස්වන්නට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා උත්සාහයක නිරතවිය.ඇය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ ලේකම්වරයාට ලියුමක් දුන්නේය. එහෙත් රංජිත් මද්දුම බණ්ඩාර එම ලියුම භාරගත්තේ නැත. එම අවස්ථාවේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා එහි වාඩි වූ හිරුණිකා ඉල්ලා අස්වීමට හේතු පහදන්නට වූවාය. රංජිත් මද්දුම බණ්ඩාර ද පැමිණ එම පුවත්පත් සාකච්ඡාවේ වාඩිවීම හේතුවෙන් හිරුණිකාට මාධ්‍ය ඉදිරියේ කියන්නට අවශ්‍ය දේ කියා ගත නොහැකි විය.
නවවැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී සිදුවීම්.
ගෙවීගිය නවවැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්ථා විය.නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්, වාර අවසාන කිරීම් 4ක් සහ රැස්වූ දින ගණන 390 ක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව 2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියෙන් විරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිව තිබේ.
ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්ව ඇති අතර මන්ත්‍රීවරුන් 241 ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා කෙරිණි.
අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ මහතා පත් පත් විය.
මේ අයුරින්ම මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් මහතා පත් කෙරිණි.නමුත් පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දු ගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් නොවීය. නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමය.
පසුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තේරී පත්විය. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්ව ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්ව තිබේ.
මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් සිදුකර තිබේ.
මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පවත්වා ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබේ.
ආරුගම්බේට ත්‍රස්ත බියක්
විදේශීය සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශය පිළිබඳව දැඩි කතා බහක් ඇති වූයේ, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට එහි සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කරන ලද සංචාරක මාර්ගෝපදේශයත් සමගයි.මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි.අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි. එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.
එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇත.අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.
එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මඟින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණි.ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර ඇත.
මේ අතර ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට පසුගියදා දැනුම් දුන්නේය.ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මඟින් ඔවුන්ට දැනුම් දී තිබුණි.මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.
ගම්මන්පිලගේ පාස්කු බෝම්බය.
මේ අතර පසුගිය සතියේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල දේශපාලන කරළියට අලුත් බෝම්බයක් පත්තු කර දැම්මේ නැති ප්‍රශ්න ගණනාවක් ඉස්මතු කරමිනි.පාස්කු දා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටු දෙකම වාර්තා භාර දුන්නත්, හිටපු ජනාධිපතිවරයා ඒවා ප්‍රසිද්ධ කළේ නැත. කතෝලික පල්ලිය මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා හිටපු ජනාධිපතිගෙන් වගේම දැන් ඉන්න ජනාධිපතිගෙනුත් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය. පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ජනාධිපති කටුවාපිටිය පල්ලියට ගියවිට ගම්මන්පිල හිතුවේ ඒ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න පල්ලියට ගියා කියලාය. එහෙත්, පුදුමයට වගේ ජනාධිපතිවරයා මේ වාර්තා ප්‍රසිද්ධ නොකළා පමණක් නොව කාදිනල්තුමා මේ වාර්තා ගැන මතක් කළේවත් නැත. ඒ නිසා පසු දාම මාධ්‍ය හමුවක් පැවැත්වූ ගම්මන්පිල මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළේය. පක්ෂයේ තීරණය අනුව පසුගිය 14 වැනිදා ගම්මන්පිල මාධ්‍ය හමුවක් පවත්වා මේ වාර්තා දෙක දින හතක් ඇතුළත ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළොත් තමන් ප්‍රසිද්ධ කරන බව ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පැවැසුවේ, ගම්ම පිල දින තුනක් ඇතුළත මේ වාර්තා ආණ්ඩුවට භාර දුන්නේ නැති නම් ඔහු බරපතළ වරදක් කරනවා යැයි අනතුරු ඇඟවීමක් ද කළේය.කෙසේ වෙතත් උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනු ඇති බවට ද විවිධ පාර්ශ්ව අනාවැකි පළ කළේය. ඒ, රාජ්‍ය රහස් හෙළි කිරීමේ වරදටය.
“මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නත්, එවකට සී.අයි. ඩී.ය භාර නියෝජ්‍ය පොලිස්පතිත් චූදිතයකු බවට පත් කරලා තියෙනවා. ඒ වගේම තවත් පොලිස් නිලධාරීන් 17 දෙනකුගේ නම් ඒ වාර්තාවේ තියෙනවා. ඔවුන්ටත් නඩු පැවැරිය යුතුයි. අනුර කුමාර ආණ්ඩුව මේ
වාර්තා හැංගුවා. ඒකට හේතුව ජනාධිපතිවරයාගේනොහැකියාව ප්‍රදර්ශනය වීමයි. මේ වාර්තාව හෙළි නොකළා නම් මේ අයට නඩු නොපවරා ඉන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. රවි සෙනෙවිරත්න වහාම තනතුරෙන් පහ නොකළහොත් හෝ සිතාමතාම ජනතාවගේ තොරතුරු දැනගැනීම යටපත් කිරීම ගැන ඉදිරි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්ගෙන එනවා.” උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේදී කීවේය.
උදය ගම්මන්පිල කී දෝෂාභියෝග ඉදිරිපත් කිරීම ගැන මාධ්‍යවේදියෙක් කේ.ඩී. ලාල්කාන්තගෙන් කෙළින්ම විමසා සිටියේය.
“දෝෂාභියෝග ගේන්න ඉස්සෙල්ලාම එයා පාර්ලිමේන්තු එන්න එපැයි. උදය ගම්මන්පිල කියන්නේ අවලංගු කාසියක්. හැමදාම ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ජීවත් වෙන්න හදන කෙනෙක්. එයා කියන ඒවාට දැන් වලංගුභාවයක් නෑ.” ලාල්කාන්ත එසේ කීවේය.
අනුර කුමාර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අර්බුදයකට මුහුණ දී සිටී. ජාතික ජන බලවේගය නිර්මාණය කළ ත්‍රිවිධ හමුදා සාමූහිකය හරහා දේශපාලනයට පිවිසි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හිමි විය. ශානි අබේසේකර යළිත් සක්‍රිය පොලිස් සේවයට බඳවා ගැනුණි. එකී පත්කිරීම් මෙම හෙළිදරව් කිරීම සමග කිසියම් අභියෝගයකට ලක්වීම වැළැක්විය නොහැක.
එම නිසාම ජනාධිපති අනුර කුමාර කටුනායකදී සැර ප්‍රකාශයක් කළේය. “පාස්කු දා ප්‍රහාරයෙන් පස්සෙ අවුරුදු 5ක් ‘කෝමා’ තත්වයෙන් සිටි අය දැන් එක් වරම අවදි වී නොයෙක් වාර්තා ඉල්ලනවා. ඒ, සැබෑ පරීක්ෂණ වෙන අතකට හරවන්න. කෝමා තත්වයෙන් අවදි වී කෑගහන පුද්ගලයාගේ සැබෑ වුවමනාව පාස්කු දා ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් හඳුනාගැනීම නොව සැබෑ වරදකරුවන් සැඟවීමයි.” අනුර කුමාර ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, “ජාතික ජන බලවේගයේ අපි, පෙරළන බාල්දිවලට යට වන්නේ නෑ. ඒ වගේම බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ.” යනුවෙනි.
හිටපු ඡනපතිවරුන් තිදෙනෙක් එකම වේදිකාවේ.
පසුගිය සතියේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වැනි ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීම තරමක සුවිශේෂී සිදුවීමක් විය. මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන අය එක්ව සිටියහ. පෙර නොදුටු අපූරු අවස්ථාවක් මෙහිදී උදා වූයේ ජනාධිපතිවරුන් තිදෙනා එකම වේදිකාවක දී ඔවුන්ට ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමත් සමඟයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ මෙවන් කතාවකි.
“රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නෑ. දෙවැනියා අගමැති. තුන්වැනියා කැබිනට් මණ්ඩලය. එක දෙක තුනම පිරිසුදු වෙන්න ඕනෑ. දූෂණය වංචාවෙන් තොර වෙන්න ඕනෑ. මම කොහෙත්ම කැමති නෑ, මේ පහුගිය 74 ම මේ රට කාපු, රට පාලනය කරපු කියලා කියනවට. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ දේශපාලනඥයන්ට විතරක් බැන්නට වැඩක් නෑ. දේශපාලනඥයනුත් මුල ඉඳලම හැදෙන්න ඕනෑ. අමාත්‍යාංශ ලේකම් ඉඳලා, ජනාධිපති ලේකම් ඉඳලා, පහළට හැදෙන්න ඕනෑ. රටේ පුරවැසියොත් යහපත් වෙන්න ඕනෑ.”
මෙහිදී පිරිස ඉදිරියේ දී, බිහිවන ජනාධිපතිවරයකුට ලබා දෙන උපදෙස් පිළිබඳව විමසා සිටි අවස්ථාවේ හිටපු ජනාධිපතිවරුන් ලබා දුන්නේ අපූරු පිළිතුරුය.
“මේ රටේ හැම කෙනාටම දොරවල් විවෘත වෙන්න ඕනෑ, උගත්, වැදගත් අයට දේශපාලනයට එන්න. මම දැන් වෙලාව වෙන් කරන්නේ දේශපාලනයට නෙවෙයි. අලුත් නායකයන්ව හදන්න”
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙලෙස පවසන විට දේශපාලනය සිදු කරන විවිධ වෘත්තීය කණ්ඩායම් පිළිබඳවත් කතාබහක් නිර්මාණය විය.
වරලත් ගණකාධිකාරීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මෙවන් කතාවකි.
“මේක හැම වෙලේම පාලනය කරන්නේ නීතිඥයෝ. ඔයගොල්ලෝ වැරදි වෘත්තියේ ඉන්නේ”
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වරලත් ගණකාධිකාරිවරයකුට මෙරට ජනාධිපති වීමට හැකි වේවා යැයි ද ප්‍රාර්ථනා කළේය. මේ අතර ඇදුණු තවත් අපූරු මාතෘකාවක් වූයේ දින 52 ආණ්ඩුවේ බල පෙරළිය පිළිබඳ කතාවයි. මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනාම එකම වේදිකාවක සිටියදී නැගුණු මේ පැනයට මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන්නේ තවත් අපූරු පිළිතුරකි.
“මට මේවට උත්තර දෙන්න පුළුවන්. රනිල් මහත්තයා මෙච්චර හොඳට කතා කර කර ඉඳලා තරහ වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඕනෑ කෙනකුට පෞද්ගලිකව මාව හම්බවුණොත් මම කියන්නම්. ඒක මගේ තනි තීන්දුවක් නෙවෙයි. හැබැයි එකේ වගකීම මම ගන්න ඕනෑ. රාජ්‍ය නායකයෙක් වුණාම බොහෝ දේවලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”
ඡොනී රිමාන්ඩ්.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ළඟ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව පැවසෙයි.අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ.
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය (23)වැනිදා නියම කළේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරු කොළඹ කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ විමර්ශන නිලධාරින් කියා සිටියේ ප්‍රශ්නගත BMW මෝටර් රථය සම්බන්ධයෙන් වූ නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගත් බවය.
ප්‍රශ්නගත BMW මෝටර් රථය සොරාගන්නා ලද අංක තහඩුවක් සහිතව භාවිත කර ඇති බවත්, එය නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේය. එසේම අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරින් පැවසීය.වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරින් කියා සිටියේ නීති විරෝධිව මෙරටට ගෙන්වීමෙන් පසු කොටස් දෙකක් එකට පෑස්සීමෙන් මෝටර් රථය එකලස් කිරීමක්ද සිදුවී ඇති බවය.
අනතුරුව සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ප්‍රශ්නගත මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද පැවසුවද, එම සොරකමට සිය සේවාදායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට විරුද්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවය.එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.කොළඹ සුපිරි හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් ඉකුත් ඔක්තෝබර් 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පරීක්ෂාවට ලක්වී තිබුණි.
ඒ පිළිබඳ සිදුකළ පොලිස් විමර්ශනයේදී හෙළි වී තිබුණේ එය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් එකක් බවය.
ලංකාව ගැන IMF සතුටින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව මේ දිනවල ඇමෙරිකාවේ වොෂින්ටන් හිදී පැවැත්වේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ප්රමුඛ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස හමුවිය. මෙම හමුවේදී අයිඑම්එෆ් කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ප්රයත්නයන් සඳහා සිය සහයෝගය ප්‍රකාශ කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ අත්පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කිරීමට රජය දක්වන කැපවීම අගය කර ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනැඟීමට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ කැපවීම ද මේ හමුවේ දී ජෝර්ජියේවා මහත්මිය සහතික කර ඇත.