අශෝක රංවල කථානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
පසුගිය සතිය වනවිට දේශපාලන තැටිය රත්වී තිබිණි.ඒ අතරට දේශපාලන කාරණා වගේම ඡනතාවට බලපාන කාරණාද විය.මේ අතර කථානායක අශෝක රංවල මහතා මහතා පසුගිය 13 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්විය.ඔහු ලිපියක් මගින් දන්වා තිබුණේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවයි.
එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු එම ලිපියේ දක්වා තිබේ.ෙනමුත් එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීමට අපහසු බවත් ඔහු සිය ලිපිය මගින් පවසා තිබිණි.
තමා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් ඔහු එමගින් දන්වා තිබේ.කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට නොහැකි බවත් ජනතාව ආණ්ඩුව වෙත තබා ඇති විශ්වාසයෙන් ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි බැවිනුත් තමා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් අශෝක රංවල මහතා සිය ලිපිය මගින් දන්වා තිබිණි.
මේ අතර ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ තබන්නේ නැති බවත්, සිය ආණ්ඩුවේ කුමන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය(13) වැනිදා උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවකදීය.එහිදී ජනාධිපතිවරයා කියා සිටියේෙ“දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා.ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා. ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැති බවකි.
මේ අතර කථානායක අශෝක රන්වලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සමගි ඡන බලවේගය කටයුතු කර තිබුණා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම පසුගිය 13 වැනිදා ආරම්භ කලා.එවැනි පසුබිමකයි අශෝක රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස් වුණේ.
කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ආන්දෝලනය මධ්‍යයේ, ආණ්ඩුවේ තවත් දේශපාලකයන් කිහිපදෙනකුටද අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ චෝදනා එල්ලවී තිබේ.මෙම තත්වය හමුවේ සිය අධ්‍යාපන සුදුසුකම් රටට හෙළිකිරීමට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි පියවර ගෙන තිබිණි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, තමා පාකිස්ථානයේ මුල්තාන් හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇති බවයි.ඔහු තබා ඇති සටහනේ මෙලෙස සටහන් විය.
“නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරමි. එම පසුබිම තුළ, මගේ වෘත්තීය සුදුසුකම් විවෘතව බෙදාගැනීමට මම කැමැත්තෙමි.මම 1986 දී සම්පූර්ණ කරන ලද පාකිස්ථානයේ මුල්තාන් හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත්තෙමි.
මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු වන අතර වසර 38ක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටිමි.මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ රජයේ සේවයෙන් වන අතර, මම පළාත්වල සහ කොළඹ විවිධ රෝහල්වල සේවය කළෙමි. වසර 12ක රාජ්‍ය සේවයෙන් පසු, මම සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙත සංක්‍රමණය වී පුළුල් ධාරිතාවකින් ප්‍රජාවට දිගටම සේවය කළෙමි.මගේ සුදුසුකම් බෙදාගැනීමෙන් මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීම මගේ අරමුණයි.”යන්වෙනි.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යෙදීම තාක්ෂණික දෝෂයක් බව පාර්ලිමේන්තුව කරුණු පැහැදිලි කරමින් සඳහන් කර ඇත.අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යොදා, පසුව එය ඉවත්කළ බවට ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවූ අතර, එම තත්වය ආන්දෝලනයකට තුඩුදී ඇත.මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන පාර්ලිමේන්තුව පවසන්නේ, අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ජීව දත්තවල ‘ආචාර්ය’ යන්න ඇතුළත් කර නොතිබූ අතර, දැන් ගැටළුව නිවැරදි කර ඇති බවයි.මේ හා සමාන දෝෂ වැළැක්වීම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු සමාලෝචනය කරන බව ද පාර්ලිමේන්තුව නිවේදනය කර තිබේ
මේ අතර ජාතික ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පිළිබඳව වාර්තා වේ.නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ජීවන් තොණ්ඩමන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග කියා තිබිණි.
ආණ්ඩුවේ තරම පෙන්වූ පාර්ලිමේන්තුවේ පළමු දින 30
කෙසේ වෙතත් අර්බුද මැද්දේ ආධුනික ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිය පළමු දින තුන ඉහටත් උඩින් ගොඩ දා ගත්තේය. රටේ ආහාර මිල, ආහාර හිඟය, තෙල් මිල, බලශක්ති ප්‍රතිපත්ති අවුල, උද්ඝෝෂණ (සංවර්ධන නිලධාරි/කොරියා රැකියා) මර්ධනය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, පොහොර සහනාධාරය නොගෙවීම, සැප්තෑම්බර් විශ්‍රාම වැටුප් රු. 3000 නොගෙවීම, කතානායක අධ්‍යාපන සහතික, විදුලි – ඉන්ධන මිල, ගංවතුර සහන ඇතුළු රටේ මිනිස්සුන්ට දැනෙන ගැටළු 21 ක් නිර්මාණය වී තිබූ පරිසරයක ඒ කිසිවක් පාර්ලිමේන්තුවේ ප්රමුඛ විවාදය නොවන තැනට ආණ්ඩුවේ ආධුනිකයෝ මෙහෙයවා ගත්තෝය. .
සියළු අවාසි තමන්ගේ පැත්තේ තිබිය දී ආණ්ඩුව, නවක මන්ත්‍රීවරුන් 159 ක් සමඟ දින තුනක් පාර්ලිමේන්තුවේ තම ආධිපත්‍ය පැතිරවීම, මාධ්‍ය අවකාශය පිරවීම, ප්රචාරක යුද්ධය ජය ගැනීම හා තම පොරොන්දු එකක්වත් කරලියට එන්නට නොදී යටපත් කර ගැනීමට සමත්වීම ආණ්ඩුව පැත්තෙන් ගත් කළ විශිෂ්ඨ කලමනාකරණයකි.
පළමු දින දෙකේම, කතානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගේ ආධුනික බව සජීවි විකාශනය තුල පෙනෙන්නට තිබුණි. විශේෂයෙන්ම කතානායකවරයාට තමන්ගේ භුමිකාව ගැනවත්, විෂය දැනුමවත්, ක්ෂණික මැදිහත්වීම් සඳහා අවශ්‍ය පරිචය හෝ බුද්ධිය නොපෙන්වීය. විපක්ෂය පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ කතානායකගේ අඩු දැනුම උලුප්පා දක්වමින් ‘පොඩි ලල්‘ එකක් ගන්නා බව පෙනෙන්නට තිබුණා.
ආණ්ඩුව විසින් තමන්ට සකස් කර තිබූ පිටිය ගැන විපක්ෂ නායකවරයාට, ප්‍රධාන සංවිධායක හෝ පක්ෂ නායකයින්ට අවබෝධයක් නොතිබූ බව පැහැදිලියි. විපක්ෂයට පූර්ව සූදානමක්, උපක්‍රම තෝරාගැනීමක් පළමු දින තුනේ නම් නොවීය.
ජජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට පැමිණ තිබුණේ හොඳ සුදානම් සහිතවයි.
ඔවුන් විපක්ෂයට සෙල්ලම් කරන්න කුඹුරක් වගේ පිට්ටනියක් හදලා තිබුණා. හරියට අපේ පිට්ටනිවල ක්‍රිකට් ගහනකොට පිටිය සකසන්නෝ ගාල්ලේ – දඹුල්ලේ පිච් එක හදනවා වාගේය.
ඒ පිච් එක ජාතිවාදය එපා, විපක්ෂය ජාතිවාදය වපුරනවා , බාර් පර්මිට් කියන සරළ ගුග්ලි තුන මත හැදිලා තිබිණි.
ජජබට හිතවත් සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම එයට යොදාගත්ත අඩුම – කුඩුම විය.
පලපුරුදු විපක්ෂය තම ලස්සන පාර්ලිමේන්තු ඇඳුමෙන් කුඹුරට පැන්නා. විපක්ෂයේ ඉදිරි පෙළ වාඩිවෙලා ඉන්න කතාකළ හැමෝම මේ කුඹුරේ නෑවා.
පළමු දින දෙකේ විපක්ෂයේ කථිකයින් කිව්වේ අපි ජාතිවාදී නෑ, ආණ්ඩුව ආධුනිකයි, අයි.එම්.එෆ්., ආණ්ඩුවට උපදෙස් දීම
අඩුම ගානේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් තියෙන ආණ්ඩුවට විපක්ෂයේ උපදෙස් මොකට ද කියලා වත් ඒ අයට වැටහීමක් තිබුණේ නෑ. කතානායක ට සභා සේවකයා උපදෙස් දීම බලාගෙන ගන්න ආශ්වාදයෙන් ප්‍රඥාව වැහිලා තිබුණා.
කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්රශ්නය ඔහුගේ පත්වීම සිදු වූ දිනයේ දීම එළියට පැමිණියා. විපක්ෂය තමන්ට මන්ත්‍රී වැටුප ගෙවන ‘සංවරණ හා තුලන‘ කාර්යය ඉටු කරනවා නම්, අවම වශයෙන් මේ ප්රශ්නය කතානායකවරයා වෙත යොමු කිරීමේ අත්හල නොහැකි වගකීමක් තිබුණා. ඒ අවම වගකීම හෝ විපක්ෂයෙන් ඉටු වූවේ නෑ.
කතානායකවරයා සමාජ මාධ්‍ය හෝ පත්තරේන් හෝ දැනගෙන හෝ ආනන්ද තිස්ස ද අල්විස්, අනුර බණ්ඩාරනායක, මහින්ද යාපා අනුව යමින් ‘සිල්ක් එක‘ (විග් එක) ගලවලා පුටුවේ හරි බරි ගැහිලා ලස්සනට වාඩි වුණා. සිවිල් සංවිධාන තොරතුරු පනත යටතේ කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලනකොට, සමාජ මාධ්‍ය පෝස්ට් යනකොට ආණ්ඩුවේ බාර් ලයිෂන් ලිස්ට් එක දවස අන්තිමේ එළියට දැම්මා. රටේම අවධානය, සමාජ මාධ්‍ය අවකාශය බාර් ලැයිස්තුවට යොමු වුණා.
කොහොම නමුත්, විපක්ෂයේ දක්ෂතම කථිකයෝ සේරම ආණ්ඩුවේ ‘ජාතිවාදී ලේබලයට උත්තර දෙන්න ගිහින් අපි ජාතිවාදී නෑ. ජාතිවාදී නෑ කියනවා ඇරෙන්න රටේ මිනිස්සුන් ලක්ෂයකට වඩා සෘජුව දැනෙන, සම්බන්ධ ප්‍රශ්න 21 ක ලිස්සලා ඇරියා. තැන තැන කිව්ව මුස්ලිම් කැබිනට් ඇමති කෙනෙක් නැති කම, මුස්ලිම් ප්‍රධාන ලේකම්, දිසාපති කෙනෙක් නැතිකම වත් මතු කරන්න විපක්ෂයට බැරි වුණා. තමන්ට ඡන්දය දුන්න ප්‍රධාන ජනවර්ග දෙකම පැත්තකින් තිබ්බා.
කොළඹ තානාපති කාර්යාල, යුරෝපා සංගමය, ජිනීවා, වොෂින්ටන් විතරක් නෙවෙයි, නවදිල්ලිය හා තමිල්නාඩුව ලංකාව ගැන කතා කරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අදානි ගිවිසුමට වත් විපක්ෂයේ ප්‍රමුඛතාව ලැබුණේ නෑ. ශානක්‍යන් ගේ ‘පලාත් සභා ගුග්ලිය‘ උතුරේ පක්ෂවලට ලැබුණු ජනපති රැස්වීමේන් ආණ්ඩුව ලකුණු හයක් කර ගත්තා.
ආණ්ඩුව තමන්ට තියෙන සියළු අවාසිදායක තත්වයන් එකා පිටුපස එකා බැගින් සාමුහිකව තර්ක කරලා විපක්ෂය මතු කරන්න හදපු තර්කය සුක්ෂමව බිඳ දැම්මා.
ආණ්ඩුව සම්බන්ධයෙන් සලකන විට මේ ගෙවී යන්නේ සංක්‍රාන්ති සමයකි. ජනාධිපතිත් අලුත්ය. ආණ්ඩුවත් අලුත්ය. පාර්ලිමේන්තුවේ මුල් දින කිහිපය මේ අලුත් ආණ්ඩුවේ අලුත් මන්ත්රිලාට හොඳම අත්දැකීමක් වන්නට ඇති බව නම් සහතිකය. අලුත් මන්ත්‍රීවරුන් ලබා ගත් දින තුනේ පුහුණුවට වඩා සැබෑ අත්දැකීම් ලැබීම පන්නරය ලබා ගැනීමට හොඳ අත්වැලකි. ඉදිරි කාලයේදි මුහුණදීමට සිදුවන තත්වය ගැන අවබෝධයක් මේ දින තුනේදී ඔවුන්ට ලැබෙන්න ඇත. සද්දෙ දාලා කතා කරලා ඒ අවබෝධය මේ තරම් ඉක්මනින් ලබාදුන් දයාසිරි, චමින්ද විජේසිරි වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ ගැන ඉදිරියේදී සතුටුවනු ඇද්ද නැතහොත් දුක් වනු ඇද්ද කියා බලාගත හැකිවනු ඇත.
එහෙත් මෙහිදී මෙතෙක් තිබූ පාර්ලිමේන්තුවලට වඩා ලොකු වෙනසක් මේ පාර්ලිමේන්තුවේ තිබේ. ආණ්ඩු බලයට ඔවුන් ආධුනික වුණාට උගත් කමින් මෙයට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ බොහෝමයක් මන්ත්රිවන්ට වඩා ඔවුන් ඉන්නේ ඉහළ මට්ටමකිනි. මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් 140ක්ම උපාධිධාරීන් බව සඳහන්ය. ඒ අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුද වෙති. මේ නිසා කලින්ට වඩා විනය ගරුක බවක් මෙන්ම රටට බලපාන වාද විවාද හරවත් සහ රසවත් වනු ඇති බවටද අදහසක්ද ජනතාව තුළ පවතී.
මේ ආණ්ඩුව ආරම්භයේදීම මුහුණ දුන් ප්‍රධාන ගැටලු තුනක් තිබිණි. එයින් පළමුවැන්න වූයේ දිගින් දිගටම පවතින සහල් හිඟය සහ මිල ඉහළ යාමය. ඊළඟට බරපතළ ගංවතුරකට මුහුණ දීමට සිදුවීමය. අනෙක පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍යාංශය වට කර ගෙන සිදු වූ උද්ඝෝෂණයයි.
සහල් හිඟය සහ මිල ඉහළ යාම අන් සියල්ලටම වඩා කැපී පෙනෙයි. මේ සම්බන්ධයෙන් අවසානයේ ආණ්ඩුවට ඇත්තේ පිටරටින් සහල් ගෙන් වීම පමණක් වන තැනටම තත්වය බරපතළ වී තිබේ. මෙතෙක් බලයට පත් සියලු ආණ්ඩු මෙරට සිටින සහල් මෝල් හිමි ඉතා ධනවත් බලවත් ව්‍යාපාරිකයන් සමඟ හවුලේ කටයුතු කළ බව පැහැදිලිය. මේ නිසා මෙරට සහල් වෙළෙඳ පොළ මුළුමනින්ම පාලනය වෙන්නේ ඔවුන් අතිනි. සෙසු මධ්‍යම සහ කුඩා පරිමාණ සහල් මෝල් ක්‍රමානුකූලව වැසී යාමත් සමග ඒ තත්වය වඩාත් සංකීර්ණ විය. මේ නිසා ආණ්ඩුවට සහල් මෝල් හිමියන්ගේ සහාය නැති බැරි විය. අනුර කුමාර ජනපතිගේ ආණ්ඩුව පැමිණීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ සහල් වෙළෙඳ පොළ පාලනය වනු ඇති බවකි. නමුත් සිදු වූයේ එය තවත් බරපතළ තත්වයකට පත්වීම පමණි. දැන් මිල වැඩි වී තිබෙනවා. පමණක් නොව සහල් හිඟයක්ද පවතී. මෝල් හිමියන් සහ ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක්දැයි ජනතාව දැන ගත්තේ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ පවසන කරුණුවලින් පමණි. මෝල් හිමියෝ දැඩි නිහඬ බවක ගිලී සිටිති. පිටරටින් සහල් ගෙන්වීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට නැති බව මතුපිටින් පෙනෙන තත්වයයි.
ඒ සමඟ ඇති වූ මහවැසි සහ ගංවතුර හේතුවෙන් රටේ ලක්ෂ 04 ක පමණ ජනකායක් විපතට පත්වූ අතර ගොවීන්ගේ කුඹුරු අක්කර ලක්ෂ 03ක් පමණ විනාශ වී ගියේය. එදා ආපදා කළමනාකරණයට රුපියල් බිලියන ගණනක් වෙන් කිරීමට සිදුවන අතර විශේෂයෙන් හානියට පත් කුඹුරු යථා තත්ත්වයට පත්කර ගැනීමට ද විශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. මෙම වගා හානිය වී අස් වැන්නටද බරපතළ ලෙස බලපානු ඇත.
ඒ සමග කිසිවකුත් නොසිතූ ලෙස හදිසියේම බත්තරමුල්ලේ ඉසුරුපාය අසල දී කළමනාකාර සේවයේ උපාධිධාරීන් පිරිසක් තමන් ගුරුවරුන් වශයෙන් බඳවා ගන්නයි කරන ලද උද්ඝෝෂණයක් ද කාගේත් අවධානයට යොමු විය. එම පිරිස 500ක් පමණ වුවද ඔවුන් මුළු මාර්ගයම වසාගෙන අවසර සිදු කීරීමත් අගමැතිනියට අභියෝග කිරීමත් එසේම පොලිසිය සමග ඇති කරගත් ගැටුමක් ආණ්ඩුව සුළුවෙන් ගන්නට නැත. එසේම එහිදී පොලිස් නිලධාරීන් තිදෙකුට කැපුම් තුවාල සිදුවීමද ආරක්ෂක අංශවල අවධානයට ලක්ව තිබෙන බවද සඳහන් ය.
මේ ජරමර අස්සේ පොල් ගෙඩියක මිල ඉහළ යාමද සමග ද ජනතාව දැඩිලෙස අසහනයට පත්කර තිබෙන බවද පැහැදිලිය. නමුත් මේ සිදුවීම් සියල්ල පසුගිය ආණ්ඩුවලින් මේ ආණ්ඩුවට ලැබුණු දෑවැදි බව නොරහසකි. සහල් මාෆියාවක් හැදුවේ පසුගිය ආණ්ඩු ගණනාවක් මගිනි. පොල් මිල නැග්ගේ පොල් ගස්වලට පොහොර නොයෙදීමත් එම අස්වැන්න කාලයක් තිස්සේ නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසාත් බව පැහැදිලිය. එසේම පාරිසරික විසමතා සහ සතුන්ගෙන් වගාවට සිදුව ඇති හානි ද එයට බලපෑම් කර තිබේ. කළමනාකරණ සේවය ගුරු වෘත්තියට ඇතුළු කර ගැනීම කාලයක් තිස්සේ නොවිසඳී තිබෙන ගැටලුවකි. ඔවුන් තුළ ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණු ද ආණ්ඩුව බලයට පත්වී පළමු පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමටත් පෙර අගමැතිනියට අභියෝග කරන තරමට ප්‍රශ්නයක් ඇති කිරීමද ගැටලු සහගත බව බැලූ බැල්මට පෙනෙයි.
බාර් ලයිසන්
ගෙවීගිය සතියේ පාර්ලිමේන්තු විවාදයන්හිදී එළිදරවු වූ සුවිශේෂ කරුණක් වූයේ බාර් ලයිසන්ය. පසුගිය මැතිවරණ සමයේදී මෙසේ බාර් ලයිසන් 361ක් ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේදී කලඑළියට ආවේය. ඒ කාලයේ මුදල් ඇමැති රනිල්ය. හේ එදා ජනාධිපතිය. ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක්ද විය. මෙසේ බාර් ලයිසන් ලබාදීම මැතිවරණ අල්ලසක් යැයි කියමන දිග හැරෙමින් තිබේ. එසේ වන්නේ නම් අල්ලස් හා දූෂණ කොමිසම මේ ගැන සොයා බැලිය යුතුය. නැතහොත් මැතිවරණ කොමිසම විපරම් කළ යුතුය. මෙසේ බාර් ලයිසන් ලබාගත් 361 දෙනා කවරේදැයි අපේ සභා නායක බිමල් රත්නායක සහෝදරයා පාර්ලිමේන්තුවේ සභාගත කෙළේය. දැන් එය හැන්සාඩ් ගතවෙලාය. දැන් ඉතිරි වූ තවත් කරුණකි. එනම් මෙම බාර් ලයිසන් ලබාගැනීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කෙළේ කවුරුන්දැයි කියාය.
මේ දිනවල රටේත්, දේශපාලන ක්ෂේත්රයේත් කතා කරන්නට පටන්ගෙන තිබෙන්නේ පොල් ගෙඩියේ මිල අහස උසට නැඟ තිබීමත්, බාර් ලයිෂන් 361ක් දීමත් ගැනය. ආණ්ඩු පක්ෂය කියන්නේ බාර් ලයිසන් දීම ඡන්ද පගාවක් බවය. පොල් ගැන වෙළෙඳ ඇමැති කියන්නේ පොල් මිල ඉහළ යෑම මාෆියාවක් බවය.
රටේ මෙවැනි කතා ප්‍රචාරය වෙද්දී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැති විශේෂ හමුවකදී නීතිඥවරයකු මෙහෙම ප්‍රශ්නයක් ඇසුවේය.
“හාල්, පොල් නැතුව මිනිස්සු දුක්විඳින එක බාර් ලයිසන් ටිකකින් වහන්න පුළුවන්ද?” නීතිඥවරයාගේ ප්රශ්නය විය. ඔහුගේ ප්රශ්නය ලොකු කතාවකට මුල පිරීමක් විය.
නීතිඥවරයා කීවේ ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභාගත කළ මත්පැන් බලපත්‍ර 361ක ලේඛනය ගැනය.
“මේකෙ චෝදනාව එල්ල කරලා තියෙන්නෙ සර්ට” වජිර කීවේ රනිල් දෙස බලමිනි.
“ඔව්! ඉතින් කන්න බොන්න නැතිව ඇඳිවත නැතුව පෝලිම්වල දුක්විඳපු රටවැසියෝ බේරගත්තා කියලත් මට තව ටික දවසකින් චෝදනා කරාවි. ඔය බාර් ලැයිසන් මම නිකන් දුන්නෙ නෑ. මිලියන 10 – 15 – 20 බැගින් මුදල්වලට විකුණුවා. එයින් රාජ්‍ය ආදායමට ලොකු ගාණක් එකතු කර ගත්තා. මේවා ඍජු බදු නැතිව ආදායම් එකතු කර ගන්න මාර්ග. මේ බාර් ලයිසන් ටිකෙන් බිලියන හතරක් පහක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඇති. රනිල් කාරණය පැහැදිලි කරන්නට මුල පිරුවේ එලෙසිනි.
ඒ වුණාට මේ අය කියන්නේ සර් අල්ලස් විදිහට මේ බාර් ලයිසන් දුන්නා කියලා. රුවන් එසේ කීවේ බිමල් පාර්ලිමේන්තුවේදී කී කතාව මතක් කර දීමටය.
නිකන් දුන්නෙ නෑ
හිටපු ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් පක්ෂ මාරු කිරීමට අල්ලස් වශයෙන් මේ බලපත්‍ර දී ඇති බවට බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සඳහන් කර ඇතැයි රුවන් කීවේය.
මං මොකටද කාටවත් අල්ලස් දෙන්නේ. මේ එකක්වත් නොමිලේ දුන්නේ නෑ. ඕන කෙනෙක් සල්ලි දුන්න නම් ලයිසන් එක දුන්නා. සමහර මන්ත්‍රිවරුනුත් ලයිසන් එක ගන්න සමහරු එව්වා. ඒත් මම එක්කෙනකුටවත් නිකම් දුන්නේ නෑ. ඒ නිසා කාටවත් පෞද්ගලිකව මුදල් උපයාගන්න ලැබුණේ නෑ. රටේ බාර් එක්දහස් ගණනක් තියෙනවා. ලබන වසරේ තුන්සීයකට බාර් ලයිසන් දෙන්න හිටියේ. මේවායින් මිලියන 15 බැගින් එකතු කළා නම් රාජ්‍ය ආදායමට කොච්චර මුදල්ද? රනිල් බාර් බිස්නස් එක ගැන තොරතුරු එසේ අනාවරණය කරද්දී එහි සිටි අය හිස වනා අනුමත කළහ.
“සුරාබදු කියන්නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක්. මේවා හංගගෙන බොරු සුචරිතවාද පෙන්නගෙන ඉන්න අවශ්‍ය නෑ.” කංචන කීවේ කතාවට හවුල් වෙමිනි.
මේ බාර් ලයිසන් හොර රහසේ දීපුවා නෙවෙයි. මගෙන් ඉල්ලුවා නම් මීටත් කලින් මේ ලැයිස්තුව දෙනවනේ. රනිල් කීවේ ඇඟට පතට නොදැනීය.
උතුරේ මන්ත්‍රීවරු ඡනපති සමග සාකඡ්චාවක.
බලය බෙදීම ගැන උතුරේ දේශපාලන පක්ෂ නිරන්තරයෙන් ප්‍රකාශ නිකුත් කළත්, පසුගිය 04 වැනිදා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති හමුවූ කළ සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනාධිපතිවරයා කිසිවක් සඳහන් නොකළ බව එම පක්ෂයේ මන්ත්‍රි සිවඥානම් ශ්‍රී ධරන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබිණි.
බලය බෙදීමට අදාළව දෙමළ මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති සමඟ සාකච්ඡාවක් කරද්දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේදී ජනවාර්ගික ගැටලුව වෙනුවෙන් පෙඩරල් ක්රමයේ විසඳුමක් පිළිබඳව සලකා බැලිය හැකි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයත් ලබන වසර අවසානයේදී පවත්වන්නට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ. ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ අධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවය.
අතුරුදන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් කඩිනම් තීරණයක් ගැනීමට ආණ්ඩුවට මේ අවස්ථාවේ හැකියාවක් නැති බව මේ හමුවේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පියවරෙන් පියවර ඒ පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළැයි ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා කියයි. මේ ප්රශ්නයේදී නීතිපතිවරයාගේ මතය විමසා කටයුතු කරන බව ජනාධිපති ප්‍රකාශ කළැයි රාසමානික්කම් ශානක්‍යන් මන්ත්‍රිවරයා සඳහන් කරයි. දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය ගැනද මෙහිදී ජනාධිපති කරුණු දැක්වූ බවද එම මන්ත්‍රිවරයා කීය.