යාත්‍රා සමඟ කැනඩාවේ සිංහල සමාජය යාවත්කාලීන කරන නිරහංකාර සාහිත්‍යවේදියා

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ඉතා විශාල ක්ෂේත්‍ර ගණනාවක තම නිර්මාණ වපසරිය විහිදුවා ලූ චරිතයක් එක්ක . අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු පුවත්පත් කලාවේදියා වගේම සාහිත්‍යධරයාත් ඔහුයි . ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිත මේ වෙනුවෙන් එක් කරගන්නටයි අපි හැමවිටම උත්සාහ කරන්නේ.

අද එහි දෙවන කොටසයි. පළමු කොටස ඔබට මේ දිගුවෙන් කියවන්න පුළුවන්.

https://srilancan.ca/2024/11/22/%e0%b7%83%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%92/

මේ කතුවරයාගේ කැනේඩියානු ආගමනය සම්බන්ධව අප පාඨකයින්ගේ දෘෂ්ටි කෝණයෙන් විවරණයක් කිරීමට උත්සාහයක් ගනිමු. “Time is Money” නම්වූ විරුදාවලියට අර්ථකතනයක් සපයන ආර්ථික සමාජයික පසුබිමක, නිදි වරාගෙන ඩොලර් පසුපස හඹා යන අතිශයෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයින් මෙන් පරිභෝජනවාදයට ගොදුරු නොවී, පොදු අරමුණු වෙනුවෙන් තම ශ්‍රමය යෙදවිය යුතු යැයි කියනා ස්ථාවරයේ සිටීම ඔහුගේ චරිතයේ ඇති විශේෂිත සහ උදාර ලක්ෂණ බව ඔබටත් හැඟෙනවාද? එය ශ්‍රී ලාංකික අප සැමගේ ගෞරවාදරයට ලක්විය යුතු කරුණක්. ඔහුටත් මුදල් උපයා ධනවතෙක් වීමේ අරමුණ තිබුනා නම්, ලොවට මානව හිතවාදි මාර්ගෝපදේශකයෙක්  අහිමි වීමට තිබුනා. කියවීමට ඇබ්බැහි වූ X පරම්පරාවේ කෙනෙක් ලෙස කැනේඩියානු භුමියේ පැලපදියම්වී යාත්‍රා පුවත්පත සහ අනිකුත් නිර්මාන හරහා  මේ සමාජ මෙහෙවරයේ යෙදීම හේතුවෙන් ඔහු ශ්‍රී ලාංකික සමාජයට කල මෙහෙවර සුළුපටුද? නමුත් ඔහුගේ හැකියාවේ පෘථුලත්වය සැලකුවොත් මේ කාර්ය්‍යය ඔහුගේ හැකියාවන්ගෙන් ඉතා බිඳක්.

මෙහිදී වඩාත්ම සැලකිය යුතු කාරණාව වන්නේ, මේ නිර්මාණ කිරීමට ඔහුට සිදු වන්නේ බහුතරයකට තම භාෂාව කියවීමට හෝ ලියැවීමට නොහැකි භාෂාමය හුදෙකලා පරිසරයක, අවම වශයෙන් උඩුගම් බලා යෑමටත් වඩා අසීරු වටපිටාවක. එහි ඇති රික්තකය පිරවීමට තනි ඔහුට දුෂ්කර කාර්යක් වූ හේතුවෙන් වෙන්නැති භෞතිකව මෙහි සිටියත් නැවත තම මව් රට දෙසට හැරීමට ඔහුට බල කෙරුනේ. එමෙන්ම, ඔහුට මේ කැනේඩියානු පොළොවෙන් ඇගයීමක් නොලැබුනත් ඔහුගේ නිර්මාණ අගය කරනා  ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් සම්මාන ලැබීම හේතුවෙන් ඔහු අත් නොහල ඒ ගමනට යම් සාධාරණයක් ඉටු වුවා යැයි කැනඩාවේ සිටිනා ශ්‍රී ලාංකික අපිට මදකට හෝ සිත සනසාගන්න පුළුවන්. 

තුන් වතාවක් NBA ශූරයා වූ Stephen Curry කියලා තිබුනා “ඔබට නිර්මාණය කිරීමට සහ දූරදර්ශී වීමට අවශ්‍ය නම්, ඔබ යම් ආකාරයකින් තාක්‍ෂණය සමඟ වැඩ කල යුතුයි” කියලා. බණ්ඩාරයන් උත්පත්තිය ලැබුවේ කොම්පියුටර් යුගයේ නොවුනත් ඔහු NBA ශූරයාගේ එම කියමනට සැබෑ නිර්වචනයක් දුන්නේ ඔහුගේ  පාඨකයින් සහ රසිකයින් වෙනුවෙන් ඔහුගේ නිර්මාන ඩිජිටල්කරනය කිරීමෙන්.

ශ්‍රී ලාංකික සමාජයීය, දේශපාලන, සහ ආර්ථික පසුබිම ගැන චන්ද්‍රරත්න බණ්ඩාරයන් සෑම විටම ඉව අල්ලා ගෙන සිටි බව යාත්‍රා පත්‍රය, විශේෂයෙන්ම කතුවැකිය, කියවන පාඨකයින් සැවොම දැනුවත්. ඒ නිසා මම ඉතා ඝෘජුවම ඔහුගෙන් විමසුවා මේ පසුගිය සති කිහිපය තුල ලාංකික භුමියේ සිදුවූ දේශපාලන පසුබිම සම්බන්ධව ඔහුට දැනෙනා හැගීම සම්බන්ධව. ඔහුගෙන් ලැබුනෙ අපුරු ප්‍රතිචාරයක්. ඔහු කතාව ආරම්භ කලේ ඉතා තෘප්තිමත් සිනහවකින්. “මම මේ විපර්යාසය දිහා බලන්නේ වෙනමම කෝණයකින්. අරගලය කියන්නේ පසුගිය දශක ගණනාවක් තුල සිදුවූ වැදගත්ම දේශපාලන සංසිද්ධිය. Utopian රාජ්‍යයක් පැතූ පීඩාවට පත් විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ මධ්‍යම පංතිය ඇතුළු සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රර්ථනා, සුසුම් එකට එක්වූ ක්ෂේම භූමියක් ලෙසයි මම “අරගලය” දකින්නේ. එය පන්ති භේද නොතිබුණු 1915 සිදුවූ රුසියානු විප්ලවය සහ ප්‍රංශ විප්ලවවලට සම කල හැකියි. මධ්‍යම පංතිය රනිල් විශ්වාස කර අරගලයෙන් අයින් උනා. නමුත් රනිල්ට ඔවුන්ගේ ප්‍රර්ථනා ඉෂ්ට කිරීමේ හැකියාව තිබුනේ නැහැ. මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ මේ අරගලයෙන් පසු ලිබරල් වාමාංශික පක්ෂයක් උනා කියලා. අවංකවම කියනවා නම් මම කැමති ලිබරල් වාමාංශයට”. ඔහු ඉතාමත් උනන්දුවකින් එක හුස්මට කියවාගෙන ගියා, “1948 න් පස්සේ රට හදනවා කියනා අවංක චේතනාවෙන් ආපු එකම නායකයා අනුර කුමාර දිසානායක. ඒ වගේම එම චේතනා අරමුණු කරගත් එකම පක්ෂය තමයි ජාතික ජන බලවේගය. මේ විපර්යාසය ඓතිහාසිකවීමට ප්‍රධාන හේතුව වන්නේ නායකත්වයේ ප්‍රභූත්වය නැතිවීම. මේ අය අතිනුත් සාමාන්‍ය මිනිසුන් ලෙස කළමනාකරණය කිරීමේදී හෝ වෙනයම් අයුරකින් අනන්ත අප්‍රමාන වැරදි වෙන්න පුළුවන්, නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්, රටේ ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, නමුත් ඔවුන්ට රට ගොඩ ගැනීමට තිබෙනා පිරිසිදු චේතනාව තමයි මම අගය කරන්නේ” 

බණ්ඩාරයන් සංස්කරණය කල  යාත්‍රා පුවත්පත සහ ඔහු රචිත පොත පත් කියවීමට බොහෝ  පාඨකයින් පෙළඹුනේත්  ඔහුගේ වාමාංශික දේශපාලන මති මතාන්තර යැයි යමෙකුට අනුමාන කරන්න පුළුවන්. දශකයකට වැඩි කාලයක් තිස්සේ තාක්ෂණික මෙවලම් තුරුල් කරගත් මේ කැනේඩියානු සමාජයේ “යාත්‍රා” පුවත් පතට ඇති ඉල්ලුම අඩුව ඇති බව ඔහු සක් සුදක්සේ අවබෝධ කරගත්තත්, අදටත් එහි වැඩ කටයුතු භක්තියෙන් කරගෙන යාමෙන් අපට කියාපාන්නේ සමාජයක් ඉහලට එසවීමේ කර්තව්‍යට ඔහුගේ ඇති ඇප කැපවීම නොවෙද? තම ආත්මාර්ථකාමී අරමුණු සදහා පමණක් ගැන නොසිතා ක්‍රියා කරනා මානව හිතවාදය නොවෙද?

ඔහුගේ ලේඛන ආභාෂයේ ආරම්භය ඔහුගේ වචනයෙන්ම කියනවා නම් “මගේ අප්පච්චි රජයේ සේවකයෙක්. ගමක ජීවත් වුවත්, නගරය ගැන ඉතා දැනුමක් තිබු මගේ අප්පච්චි අපිට අධ්‍යාපනයේ වැදගත්කම නිතර මතක් කර දුන්නා. මගේ අම්මා ඔහුගේ අරමුණු සාක්ෂාත් කරගන්න සෑම සහයෝගයක්ම දුන්නා. මම කුඩා දරුවෙක් ලෙසට ගෙදර වෙල් එළියේ අම්මා ඇතුළු ගමේ ගැහැණුන් ගැයූ නෙලුම් කවියේ මිහිරි නාදයට, විහාර තේවා ගැඹුරු හඬ පෞරුෂයට වසඟ වූවෙක්. ඒ වගේම මම ගල්ලැල්ලේ ගල්කුරෙන් ලියු සහ ඉන්පසුව කටු පෑනෙන්, තීන්ත පෑනෙන් කුරුටු ගෑ වදවීගෙන යන පරණ පරම්පරාවට අයිති කෙනෙක්. මගේ දේශපාලන සබුද්ධියට අප්පච්චිගෙන් ලොකු පිටුවහලක් තිබුනත්, කළා ජීවිතයට පරම්පරාවේ කිසිවෙක්ගෙන් මට කිසිම ආභාෂයක් ලැබුනේ නැහැ. ඒකට හේතුව තමයි, මම උපදින විට මගේ ආච්චිලා සීයලා කිසිවෙක් ජීවතුන් අතර නොසිටීම. නමුත් අප්පච්චි අපිට පත්තර, ශෝක ප්‍රකාශ වැනිදේ නිතර ගෙනත් දුන්නා. ඩීමන් ආනන්දගේ ත්‍රාසජනක කතා පොත් පිංචෙන් පටන්ගෙන කරුණාසේන ජයලත්, ගුණදාස අමරසේකරයින්, මාටින් වික්‍රමසිංහ ශූරීන් වැනි මහා ගත්කතුවරුන්ගේ ශ්‍රේෂ්ඨ කෘතීන් දක්වා මගේ ඇස් මානයට හසුවූ හැම පොතක්ම පරිශීලනය කරපු කෙනෙක්. ඒ නිසා මට හිතෙනවා, මගේ ලේඛන කලාවේ පෝෂණයට ඔවුන්ගේ පොතපතින් ලැබූ දැනුම අතිමහත් දායාදයක් වෙන්න ඇති කියලා. ඇත්තටම, මගේ සාහිත්‍ය හෝඩියට කල එලි දැක්වීමක් සිදු උනේ, මා 1970 දශකයේ දිනක, සරසවිය පුවත් පතට ලිවූ පුංචි කවි පේලියක් පළවීමෙන්. එතැන් පටන් මා ලියු ශෝක ප්‍රකාශ, මා සහ අනුන් වෙනුවෙන් ලියු ප්‍රේම හසුන්, වෙළඳ දැන්වීම්, පුවත්පත් තීරු, කාව්‍ය කෘතීන් වැනි සෑම ක්ෂේත්‍රයක්ම අතපත ගා අවසානයේ වෘත්තීය සඟරා සහ පුවත් පත් සංස්කාරකයෙකු ලෙස ආ දිගු ගමන, වරක කටු අකුල්වලින් පිරුණාවූ, වරක මල් යහනාවක ආස්වාදය දැනුනාවූ බොහෝ අත්දැකීම් පිරුනාවූ ඉතාමත්ම තෘප්තිමත් මගක්”.

මට ඉතා තදබල ලෙස උවමනා උනා ඔහුගේ පරමාදර්ශ මොනවාද කියලා දැනගන්න, “පාසල් කාලයේ සිටන්, ඒ කියන්නේ අවුරුදු 40ක්, 45 ක් පමණ තිස්සේ මගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ මම ජයග්‍රහණය කර තිබෙනවා. නමුත් ඊට සමාන්තරව ගිය පොදු ජීවිතයේ දුටු අසාධාරනකම්, දුෂණ, අපරාධ, එදිනෙදා වේල සරිකර ගත නොහැකි දිළිඳුන්ගේ ප්‍රශ්න, උතුරේ ජනතාව සාමාන්‍ය මිනිසුන් ලෙස නොසැලකීම වැනි දේවලට මෙතෙක් තිබුනාවූ දේශපාලන ව්‍යුහයේ කිසිදු විසදුමක් දීමක් තියා ආරම්භයක් දීමටවත් කිසිම නායකයෙකුට අරමුණක්  තිබුනේ නැහැ. ඒත් මේ දශක 4 කට වැඩි කාලයක්, අපි අරගල කරපු දේ, අපි බලාපොරොත්තුවූ දේ, ප්‍රාර්ථනා කල දේ අද ආරම්භ කර තියෙනවා.  ඇත්තටම, මම අද දේශපාලනය කියන මාතෘකාවෙන් අයින් උනත් කිසිම කනගාටුවක් නැහැ. මොකද එය මගේ පරමාදර්ශයක් ඉෂ්ට වීමක්. ඒ ගැන මම තෘප්තිමත්. නමුත් මම එයාලා දිව්‍යලෝක මවාවී කියනා බලාපොරොත්තු මට නැහැ” නිවුනු හඩින් ඔහු පැවසුවා.

ඔහුත් සමඟ ඉතාමත් බරපතල සමාජයීය, කළාව, දේශපාලන කතාබහ අතරතුරේ මට පුංච් ආසාවක් ඇති උනා මේ මුහුකුරා ගිය කලාකරුවාගේ, නිර්මාණකරුවාගේ මතුපිටට නොපෙනෙනා හදවත පතුලේ සැඟවී ඇති බොළද කොලු ගැටයා ගැනත් යමක් දැනගන්න. මම ඉතා සැහැල්ලුවෙන් ඇහුවා “ඔබ ගීත ඇසීමට, ගීත ගායනයට ඇල්මක් නැද්ද”? කියලා. මම බලාපොරොත්තු නොවූ පරිදි, ඔහු හොද හිනාවකුත් එක්ක මට මෙහෙම පිළිතුරක් දුන්නා, “ඔය හුඟක් අය වගේ  මම බාත්රූම් එකේ ඉන්න කොටවත් සිංදුවක් කියලා නැහැ. ඒ වගේම මම එළිපිට ගී ගැයීමට කිසිදිනක උත්සාහ කරලා නැහැ. අමරදේව, නන්දා මාලිනියන් ඇතුළු බොහොමයකගේ ගීතවලට සවන් දෙන්න මම කැමතියි. ඇත්තටම, ගීතවලටත් වඩා මම කැමති සංගීතයට. YouTube හරහා මම බොහෝ විදේශීය සංගීතයන්ටත් ඇහුම්කන් දෙනවා.”

මට හිත ඇතුලේ කැකෑරුණු ඊළඟ ප්‍රශ්නය වුයේ “ඇයි ඔබ කැනඩාවට ආවෙ” කියනා එක. “වැඩිදුර අධ්‍යාපනයක් ලබාගැනීම එක හේතුවක්, අනික් පැත්තෙන් ඒ කාලේ රට යන එක රැල්ලක්. ඒ වගේම මම හරිම ආසයි රට රටවල් ගවේෂණයට. ඔය හේතුන් තමයි මට මෙහේ එන්න හිතුනෙ. කොහොම නමුත් මම අවුරුදු පතා ලංකාවට ගිහින් මාස දෙකක් පමණ ඉඳලයි එන්නේ”.

“ඔබට තියෙනවද මග හැරුණු සිහින?” යනුවෙන් මා ඇසු පැනයට ඔහුගේ පිළිතුර වුයේ “පාසල් යන කාලයේ මට තිබුනා සිනමාවට ඇතුල්වීමේ සිහිනයක්. එහෙම නැත්නම් සිනමා අධ්‍යක්ෂකවරයෙක් වීමට. කළා, සිනමා ලෝකයේ පරමාදර්ශයක් වූ ධර්මසේන පතිරාජ අපේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වෙනුවෙන් අපි පාසලේ සිනමා සංගම් ඇති කිරීම් වැනි බොහෝ දෑ කලත් 80 දශකයේ සිනමාවේ වැටීම හේතුවෙන් ඒ ගමන ගැන අපගේ තිබෙනා විශ්වාසය සහ උනන්දුව තරමක් තුනීවී ගියා. නමුත් ඒ ගැන මා තුල කිසිම පසුතැවිල්ලක් නැහැ. මොකද මම එදා සිට ආදරයෙන් වැළද ගත් මේ සාහිත්‍ය වෘක්ෂයේ ඵල වැල නෙලා ගනිමින් මේ තාක් දුර තෘප්තිමත් ගමනක ඇවිත් තියෙනවා”.

සිහින කියන්නෙ අපි ලෞකික මිනිසුන්ගේ හද ගැබේ සදාතනිකව තිබෙනා ආසාවක්. අප දුරකථන පිළිසදර නිමා කිරීමට ප්‍රථම, මගේ අවසාන ප්‍රශ්නය වුයේ “ඔබට අනාගත සිහින තියෙනවාද” කියායි. ඔහු ඉතා ගැඹුරු කටහඩින් ඉතා සන්සුන්ව වචන ගැට ගැසුවා “මගේ ජීවිතයේ පෞද්ගලික සිහින සැබෑවී තියෙනවා, මගේ දරුමල්ලන් ගැන මම හරිම සතුටුයි, මගේ සාහිත්‍ය කෘතීන්ට සම්මාන ලැබී තියෙනවා. ඒ නිසා මගේ ජීවිතය සම්බන්ධව මම සෑහීමකට පත්වෙනවා. මට දැන් වෙන සිහින ඇත්තෙම නැහැ. මේ ජීවන මංපෙතේ මා ආ දුරට වඩා ඉදිරියට යන මඟ ඉතා කෙටි බව මට ප්‍රත්‍යක්ෂයි. එමනිසා අසීරු දේ සමඟ පොර බැදීමට වඩා මගේ පාඨකයින් මගෙන් බලාපොරොත්තු වන අඩිපාරේ යාමටයි මා බලාපොරොත්තුව. 2022 සම්මානයෙන් පුද ලද ප්‍රේමානිශංස රසිකයින් මා වෙනස් තලයකට යොමු කළා. ඒ නිසා මගේ හදවතට ප්‍රමෝදයක් ගෙන දෙන දෙයක් හැර අනික්වායින් වැළකී සිටීමටයි බලාපොරොත්තුව” යැයි ඔහු ස්ථීර කටහඩින් පවසා සැනසුම් සුසුමක් පිට කළා.

තම මව්බිමෙන් එතෙරව වෙනස් ලොවක ඉතා ගැඹුරට මුල්බැස සිටියත් සමාජ අසාධාරණයන් ලක්බිමෙන් තුරන් කිරීමේ අරමුණින් මහජනයා සබුද්ධික කිරීමේ කර්තව්‍ය උදෙසා ඉතා නිර්භීතව තම තෙළිතුඩ හසුරුවාගත් චන්ද්‍රරත්න බණ්ඩාරයන් සමග ගතකල ඉතා සාරවත් දුරකථන පිලිසඳරට බොහෝ වෙලාවක් ගත වුවද මට එය දැනුනේ නිමේශයක් ලෙසට. මැදිවිය පසුකරමින් සිටිනා ඔහුගේ සිතටත් ගතටත් යම් තරමක හෝ විඩාවක් අද දැනෙනවා වෙන්න පුළුවන්. එහෙත් අවසන ඔහුගේ අභිමතාර්ථය ඉෂ්ඨ වී තිබෙනවා. ඔහු මෙන්ම, මේ ගමනේ කොටස්කරුවන් වන ශ්‍රී ලාංකික කැනේඩියානු අප සැමටද දිවි ඇති තෙක් කිසිදා ඉටු වේයැයි නොසිතු ප්‍රාර්ථනාවක් ඉටුව තිබීමෙන් ලැබෙන සතුට අප්‍රමානයි. බණ්ඩාර සොහොයුරාණෙනි, අප මව්බිම රැකීමට භාර දුන් නියමුවන් ඒ ගමන ඇරඹුවා. එයට මුළු හදවතින්ම අත හිත දුන් නාමයෙන්, මතු යම් දිනක අප සැමගේ සොහොන් කොත් මත රතු රෝස මල් පිපෙනවා පිපෙනවාමයි!

අවසානයේ, අප සහෘද බණ්ඩාරයන්ගේ ‘“ඊළඟට තනා ගත ලෝකය” කෘතියේ පිට කවරයේ ලියූ ඉතාමත් වටිනා  වදන් පෙළක් සදහන් කලොත් “මම මහ පාරේ ඇවිද යන විට මිරිඟු දියට රැවටී ඇත්තෙමි. එහෙත් යලිදු එසේ නොවේ. දියෙන් මිරිඟු දිය වෙන් කර ගැනීමට දැන් මම දනිමි. ඒ නව මිනිසාගේ උදාන වාක්‍යයක් විය යුතුයි”. 

ඔහුට නීරෝගීමත් දිවියක් ඇතුළුව ඔහුගේ පොදු සහ පෞද්ගලික අරමුණු ඉෂ්ට වේවා යැයි පතමින් මගේ චරිතාපදානය මින් අවසන් කරනවා. 

ඔහු ගැන වැඩි විස්තර වගේම යාවත්කාලීන තොරතුරු කියවන්න ඔහුගේ වෙබ් අඩවියට පිවිසෙන්න 

https://chandrarathnabandara.com/

ඔහුගේ නිර්මාණ:

https://chandrarathnabandara.com/creations/

ඉංග්‍රීසියට පරිවර්තනය වූ ඔහුගේ පොත්

ඔහු සංස්කරණය කල පොත් කිහිපයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *