සිංහල කෙටිකතාව
පාදඩයා
නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ සිටියේ මගීන් හතර දෙනෙක් පමණි. පළමුවන මගියා සුදු ජාතිකයෙකි. ඔහු ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳ සිටියේය. ඔහුගේ හිම කබාය වටිනා එකකි. නිතරම තම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු බසයක් එන තෙක් බලා සිටිය්ය. මෙවැනි පුද්ගලයකු බස්වල යන්නේ කලාතුරකිනි. මෝටර් රථය කාර්මික දෝෂයකට ලක් වීම නිසා හෝ වාහනය අනතුරකට ලක්වීම නිසා ඔහු බස් නැවතුම් පොලේ තපිනවා විය හැක. දෙවැනි මගියා කළු ජාතිකයෙකි. ඔහු බස් නැවතුම් පොලේ ප්ලාස්ටික් පුටුවක අඩ නින්දේ අලස ලෙස දිගාවී සිටියේය. ඔහුගේ හිම කබාය කලු පැහැති අපිරිසිදු අතර මඩ පැල්ලම් වලින් පිරී පැවතුණි. සුමාන දෙකකින්වත් රැවුල කපා නොසිටි නිසා ඔහු කෙරෙන් දිස් වූයේ සාහසික පෙනුමකි. අවට සිටිවුන් ගැන තැකීමක් නොකළ ඔහු ශබ්ද නගා ඈනුම් යැව්වේය. ඔහු කෙරෙන් හැමූ උෂ්ණය නිසා අවශේෂ මගීහු ඔහුගෙන් තරමක් ඈත් වී සිටියහ.
තෙවැනි මගියා ජටාවක් පැළඳි ඉන්දියන් ජාතිකයෙකි. ඔහු තම බිරිඳ සමග බස් රථයක් එන තෙක් බලා සිටියේය. ශීත කාලයේ පවතින අඳුර නිසා ඔවුන් සිටියේ තරමක් නොසන්සුන්වය. හැකි ඉක්මනින් නිවසට යාම ඔවුන්ගේ අභිලාශය විය.
‘‘තවමත් බස් එකක් නෑ මට බයයි. ’’ කාන්තාව තම සැමියාට කිට්ටුව හින්දි බසින් කීවාය. එසේ කියන ගමන් ඇය නිදි කිරන කළු ජාතික මගියා දෙස බැලුවාය.
‘‘අද නිවාඩු දවසක් නිසා බස් වැඩ කරන්නේ දිනපතා කාල සටහනට නෙවෙයි වගෙයි. ’’ සැමියා පිළිතුරු දුන්නේය.
කළු ජාතිකයා ශබ්ද නගා ඈනුමක් ඇර ඉන්දියානු කාන්තාව දෙස යටසින් බැලුවේය. ඒ බැල්මට ඉන්දියානු කාන්තාව බිය ගත්තාය. ඇය තම සැමියාට වඩාත් ලං වූවාය.
‘‘අර මිනිහා අපි දිහා බලනවා, ’’ බිරිඳ සැමියාට කනට කර කීවාය. ‘‘අපි වැඩි වෙලා මෙතන ඉන්න එක හොද නෑ. ටැක්සියක්වත් ගන්න බලමු. ’’මෙසේ කියන ගමන් කාන්තාව තම අසල තිබූ පෙට්ටි කිහිපය දෙපා අසල තබා ගත්තාය. මෙම තෑගි පෙට්ටි ඇය ගත්තේ ලබන මස කසාද බඳින ඇයගේ නැගණියට තෑගි දීමටය. බ්රැම්ප්ටන් වල වසන නැගණිය වෘත්තියෙන් හෙදියකි. ඇයගේ අත ගන්නා තරුණයා තව නොබෝ දිනකින් බර්නාලා සිට ඒමට නියමිතය.
‘‘අපි ටැක්සියක් ගමුද? ’’ ඇය යළි සැමියාගෙන් ඇසුවාය.
‘‘අපෝ ටැක්සියකට මහ ගාණක් ගනී. තවත් ටිකකින් බස් එකක් එයි. ’’සැමියා කීවේ ස්ථීර හඬකිනි. මදක් කල්පනා කළ ඔහු සුදු ජාතිකයා අසලට ගියේය.
‘‘සුබ සැන්දෑවක් ! සමාවෙන්න කරදර කළාට. රිච්මන්ඞ් හිල්වලට යන බස් එක කීයටද එන්නේ ? ’’
සුදු ජාතිකයා නොරිස්සුම් ලෙස ජටාවක් පැළඳි විදේශිකයා දෙස බැලුවේය. ඇසූ ප‍්‍රශ්නය වැටහුණද විදේශිකයාගේ ඉන්දියානු උච්ඡුාරණය නොතේරුණාක් මෙන් ඔහු ඇඟවූයේය. ඉන්දියානු ජාතිකයා යලිත් වරක් ආචාරශීලීව එම ප‍්‍රශ්නය ඇසීය.
මෙවර සුදු ජාතිකයා පිළිතුරු දුන්නේ තමා ගමනා ගමන මණ්ඩලයේ සේවකයකු නොවන බවත්, බස් කාල සටහන නැවතුම් පොලේ තොරතුරු කාර්යාලයෙන් ලබා ගත හැකි බව කියමිනි. මෙය ඕනෑම කුඩා දරුවෙකු පවා දන්නා කරුණකි. මෙවැනි පිළිතුරක් ඉන්දියානු ජාතිකයා අපේක්ෂා නොකළේය. බස් නැවතුම් පොලේ තොරතුරු කාර්යාලය තරමක් දුරය. බිරිඳ මෙතැන තබා තොරතුරු කාර්යාලයට යාමට ඔහුට සිත් නොදේ. සුදු ජාතිකයාගේ උදාසීන පිළිතුර නිසා තරමක් නොසන්සුන් වූ ඔහු බිරිඳ අසලට ගියේය.
‘‘කීයටද බස් එක එනවා කියන්නේ? ’’ ඇය ඇසුවාය.
‘‘තව පැය බාගයකින් විතරලු. ’’ සැමියා කීවේ ඔරලෝසුව දෙස බලන ගමන්ය.
කළු ජාතිකයා තවත් ඈනුමක් ඇර සිගරට්ටුවක් දල්වා ගත්තේය. මෙතන දුම්බීම තහනම් බව දැක්වෙන දැන්වීමක්ද තිබේ. එහෙත් ඒ පිළිබඳව ඔහුට ගණනක් නැත.
‘‘මේ මිනිහා මෙතන සිගරට් බොනවා හරි ගඳයි, ’’ බිරිඳ සැමියාට කීවාය.‘‘පොලීසියෙන්වත් පේන්න නැහැ. ’’
‘‘කෑගහන්න එපා. ඔයා හින්දි වලින් කීවට පොලීසිය කියන වචනය මිනිහට තේරෙන්න ඇති. මූ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් වගේ. ඔය බොන්නේ කේඑස්ජී එකක්ද කොහේද. ’’ සැමියා කේඑස්ජී ලෙස හැඳින්වූයේ කේරළ ස්පෙෂල් ගංජා යන අරුත දෙන ගංජා සුරුට්ටුවක් හැඳින්වීමටය. ඔහු ගංජා යන වචනය භාවිත නොකළේ එය කළු ජාතිකයාට තේරෙනු ඇතැයි සිතා ගෙනය.
‘‘මුං වගේ එවුන්ව අරගෙන ගිහිල්ලා හිර කරන්න ඕනෑ. මුම්බායි වල පොලීසිය නම් මේ වගේ කාළකණ්නින්ට දෙනවා ඇටකටු කැඩිලා යන්න. කොහේද මෙහේ මානව හිමිකම් අරවා මේවා නිසා මේ වගේ කාලකණ්නීන් වැහි වැහලා. ඉක්මණට බස් එකක් ආවොත් කොච්චර එකක්ද. රෑ වුනොත් මූ අපිට පිහියක්වත් ඇදලා ඉණ ඉහ අතගා ගනී. ’’ ඔහු සිතුවේය.
‘‘අනේ අර බලන්න, ’’ බිරිඳ පිළිකුලෙන් යුතුව කීවාය. ‘‘අර මිනිහා කිඹුහුමක් යවලා නහයෙන් ගලපු හොටු අල්ලෙන් පිස දැම්මා. හරිම ඌරෙක්, මගේ බඩත් දඟලනවා. මට වමනේ යන්න වගේ. ’’ ඇය අල්ලෙන් කට වසා ගත්තාය.
ඉන්දියානු කාන්තාව යලිත් කළු ජාතිකයා දෙස පිළිකුලෙන් බැලූවාය. එය කළු ජාතිකයාගේ අවධානයට අසුවේදැයි බියගත් සැමියා තෑගි පෙට්ටි උසුලා ගෙන වෙනත් අසුනක් වෙත ගියේය. දැන් ඔවුන් සිටිනුයේ කළු ජාතිකයා නොපෙනෙන ස්ථානයකය. මෙම ස්ථානය අසලම දොරටුව ඇති නිසා සීත ගතිය වැඩිපුර දැනේ. නමුත් හිටපු ස්ථානයට වඩා මෙතැන හොඳ බව ඔහු සිතෙන් තර්ක කළේය. වමනය දැමීමට තදින්ම අවශ්‍ය කළ කාන්තාව දෙනෙත් ඇඟිලි වලින් සම්බාහනය කරමින් සැමියා අසළ වාඩි වූවාය.
ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් බස් රථය පැමිණියේය. සැමියා වහාම තෑගි පෙට්ටි අතට ගෙන බිරිඳ සමග බස් රථයට ගොඩවූයේ දෙවියන්ට ස්තූති කරමිනි. සුදු ජාතිකයා සන්සුන් ලෙස බස් රථයට ගොඩවී ඉන්දියානු යුවල වාඩිවූ ස්ථානයට බොහෝ ඈතින් වූ අසුනක වාඩි විය. කළු ජාතිකයා පමණක් බස් නැවතුම් පොලේ වාඩිවී සිටි අයුරින්ම සිටියේය. බස් රථය ගැන ඔහු කිසිම තැකීමක් නොකළේය. ඔහු බස් රථයට ගොඩ නොවීම සියලුම මගීන්ගේ අපේක්ෂාව වූවා සේය.
බස් රථය පිටත් විය. බිරිඳ සැනසුම් සුසුමක් හෙලුවාය. ඇයගේ වමනය ගතියද පහවී ගොසිනි. මහාමාර්ගයේ වාහන අඩු නිසා බස් රථය ගමන් කළේ මදක් වේගයෙනි. එම නිසා ඔවුන්ට වැඩි පමාවක් නොවී තම නිවසට ඒමට හැකිවිය. නිවසට පැමිණි වහාම සැමියා තෑගි පෙට්ටි සාලයේ සෙටිය මත තැබුවේය. උණුසුම් කෝපි කෝප්පයක අවශ්‍යතාවය ඔහුට තදින්ම දැණුනේය. සීත නිසා ඔහුගේ දෙකන් ගල්වී ඇති සේය. බිරිඳ ඇඳුම් මාරුකිරීමට උඩු මහළයට ගියාය. මුලුතැන්ගෙට ගිය සැමියා කෝපි කෝප්පයක් බීම සඳහා විදුලි කේතලය කි‍්‍රයාත්මක කළේය.
උඩු මහළට ගිය බිරිඳ කෑ ගසමින් සැමියා සොයා මුළුතැන්ගෙට දුවගෙන ආවාය. බිරිඳගේ කෑ ගැසීම අසා ඔහුද කළබල විය.
‘‘මොකද? මොකද? ’’ ගොතගසමින් ඔහු ඇසීය.
‘‘මගේ පර්ස් එක නැහැ, ’’ බිරිඳ වැලපුණාය. ‘‘මගේ පාස්පෝට්, ක්‍රෙඩිට් කාඞ් ඔක්කොම ඒකේ. සල්ලිත් ඩොලර් 500 ක් තිබුණා. ’’
‘‘ඔයා කොහෙද පර්ස් එක තිබ්බේ? ’’ සැමියා ඇසුවේ හිස අතගසා ගනිමිනි.
‘‘මට හිතා ගන්න බෑ බස් නැවතුම් පොලේ වැටුණද නැතිනම් බස් එකේ වැටුණද කියල. මට මතකයි මම තෑගි වලට ගෙවන්න ක්‍රෙඩිට් කාඞ් එක ගන්න පර්ස් එක අරිනවා. ’’ බිරිඳ කීවාය.
‘‘හරි, හරි. ඊට පස්සේ? ’’ සැමියා නොඉවසිලිමත්ව ඇයගෙන් විමසුවේය.
‘‘අනේ මගේ ඔලුව වැඩ කරන්නේ නැහැ. මට දැන් මතක නෑ, ’’ බිරිඳ අඩමින් කීවාය. ‘‘අපි බස් නැවතුම් පොලේ කලබලයට තෑගි පෙට්ටි අරගෙන වාඩි වෙලා හිටිතැන් මාරු කරන කොට වැටුණාවත්ද? ’’
සැමියා මොහොතක් කල්පනා කළේය. ඔහු තම මිතුරු හරිනත් සින්ග්ට දුරකථන ඇමතුමක් දුන්නේය. මිතුරාගේ උපදෙස් ඇසූ ඔහු ව්‍යාකූල විය.
‘‘මේක ලොකු ප‍්‍රශ්නයක්, ’’ ඔහු බිරිඳ ඇමතුවේය. ‘‘හරිනාත් සිං කියනවා වහාම බැංකුවට කෝල් කරලා ක්‍රෙඩිට් කාඞ් එක අවලංගු කරන්න කියලා. ඔයාට බැංකුවේ නොම්මරය මතකද? ’’
බිරිඳ බැංකවේ දුරකථන අංකය සෙවීමට ඇයගේ දිනපොත පෙරලුවාය. ඒ අතර වාරයේ නිවසේ දුරකථනය නාද විය. සැමියා දුරකථනයේ රිසීවරය අතට ගත්තේ හරිනාත් සිං විය හැකියැයි සිතමිනි. එහෙත් ඔහුගේ පුදුමයට මෙන් අනෙක් කොනින් කථාකළේ කාන්තාවකි.
‘‘මට දේවි කිරාන් මහත්මියට කතා කරන්න පුලුවන්ද? ’’ ඇය ආචාරශීලිව ඇසුවාය.
‘‘මේ කතා කරන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා, මහේන්ද්‍ර සිං. ’’ ඔහු කීය.
‘‘සර් ඔබගේ බිරිඳගේ පර්ස් එක අපගේ ෆින්ච් බස් නැවතුම් පොලේ කාර්යාලයට බාරදී තිබෙනවා. ඔබ හැඳුනුම්පතක් අරගෙන ආවොත් එය ලබා ගත හැකියි. නමුත් අපි තව පැය දෙකකින් කාර්යාලය වහනවා. අද එන්න අපහසු නම් හෙට උදේ එන්න. ’’ කාන්තාව ඔහුට කීවාය.
‘‘හරි, අපි දැන් එන්නම්, ’’ මහේන්ද්‍ර සින්ග් කාන්තාව දුන් තොරතුරු වහ වහාම ලියා ගත්තේය. ‘‘දේවි, ’’ ඔහු උද්දාමයෙන් බිරිඳට කතා කළේය.‘‘ඔයාගේ පර්ස් එක බස් නැවතුම් පලේ කාර්යාලයේ තියෙනවා, අපි දැන්මම යමු. ’’
ඔවුහු ටැක්සියක නැගී යලි බස් නැවතුම් පොල වෙත ගියහ. ඔවුන් දෙදෙනා පිළිගත් කාන්තාව හැඳුනුම්පත් පරීක්ෂා කොට කිරාන් දේවිට ඇයගේ පසුම්බිය දුන්නාය. එහි ලියකියවිලි සහ මුදල් නොඅඩුව තිබිණි.
‘‘ඔබලා හරිම වාසනාවන්තයි. හොද වෙලාවට වැන්සන්ට මේ පර්ස් එක හමුවූයේ. වෙන කෙනෙකු ඇහුලුවා නම් මේක දකින්නට වත් ලැබෙන්නේ නැහැ. ’’ ඇය සිනා මුසු මුහුණින් කීවාය.
‘‘ කවුද වැන්සන්? ’’ දේවි කිරාන් ඇසුවාය. ‘‘එයාද පර්ස් එක බාර දුන්නේ. මට එයාට ස්තූති කරන්න අවශ්‍යයි. ’’
‘‘අර ඉන්නේ වැන්සන්. ’’ ඇය කාර්යාලයේ වීදුරු දොරටුව ආසන්නයේ පුටුවක වාඩිවී නිදි කිරන පුද්ගලයකු දේවි කිරාන්ට පෙන්වූවාය,
ඔහුව දැකීමෙන් දේවි කිරාන් පමණක් නොව මහේන්ද්‍ර සිං ද විමතියට පත්විය.
‘‘මොනවා, මේ අර බස් නැවතුම් පොලේ සිටි කළු ජාතිකයා නේද? ’’ දේවි කිරාන් සැමියාගෙන් හිංදි බසින් ඇසුවාය.
ඉක්බිතිව ඔවුන් දෙදෙනා වැන්සන් අසලට ගියේය.
‘‘වැන්සන් මහත්මයා, ඔබට ගොඩක් ස්තූතියි මගේ පර්ස් එක බාර දුන්නාට. ’’ දේවි කිරාන් කීවාය.
වැන්සන් ඔවුන් දෙස යටැසින් බැලුවේය.
‘‘වැන්සන් මහත්මයා ඔබට ස්තූති කරන්න මට වචන නැහැ. ’’ මහේන්ද්‍ර සිං ද කීවේය. ඔහු තම පසුම්බිය හැර ඩොලර් 20 නෝට්ටුවක් වැන්සන් අත තැබීය.
‘‘එපා, ’’ වැන්සන් මුදල් ප‍්‍රතික්ෂේප කළේය. ‘‘මේ වගේ දෙයක් කරලා සල්ලි ගන්නේ කවුද? ’’
‘‘මම කළේ මගේ යුතුකම. දැන් සර්රුයි, මැඩමුයි යන්න. රෑ වෙන්නයි යන්නේ. ’’
දේවි කිරාන් වැන්සන් ගේ විශාල ගොරහැඩි දෑත් තම මෘදු දෙඅත් වලින් අල්ලා ගත්තාය. ‘‘මහත්මයා, ඔබ කළ මේ උපකාරයට මිලක් නියම කරනවා නොවේ. ඒ නිසා මේ නෝට්ටුව ගන්න. නැත්නම් අපේ හිතට හරි නැහැ. ’’
වැන්සන් මඳක් සිනා සුනේය.
‘‘හරි, හරි. සල්ලි එපා. පුළුවන් නම් අර ස්ටාර් බක්ස් එකෙන් මට මධ්‍යම ප‍්‍රමාණයේ ඩබල් එකක් (කෝපි කොප්පයක් කිරි සහ සීනි සමඟ) අරගෙන දෙන්න. ’’ ඔහු මදක් නුදුරේ තිබූ ස්ටාර් බක්ස් කෝපි අවන් හලක් පෙන්වීය.
මහේන්ද්‍ර සිං වැන්සන්ගේ කරට අත දැමුවේය.
‘‘වැන්සන් මහත්මයා, මමත් බොහොම පිපාසයේ සිටියේ කෝපි උගුරක් බීමට. අපි ඔක්කොම යමු ස්ටාර් බක්ස් එකට මොනව හරි කාලා කෝපි ටිකක් බොන්න. ’’
ඔවුන් තිදෙනා කෝපි අවන්හල කරා පියමන් කළහ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර
දෙද්දූව නත්තල
ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බැරි තරම්!
ලොකු අම්මලා හිටියේ බෙන්තොට – දෙද්දූව කියන ගමේ. ලොකු අම්මාගේ නම ලව්ලි සෙනෙවිරත්න. මගේ අම්මලාගේ වාසගම උනේ සෙනෙවිරත්න.
ලොකුඅම්මා බැඳලා උන්නේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායකව. ඒ කාලේ ඒ ගෙදරට කිව්වේ පුස්සැල්බොක්ක වලව්ව යනුවෙන්. ඒ ගෙදර නිමවා තිබුනේ ඉදිරි පස ලොකු කුළුණු දාලා පඩි නැගගෙන යන්න. ඉස්සරහම වාහනයක් නවත්වන්න පුළුවන් පල දෙකට නිමවා තිබුනු කාර් පෝච් එකක්. මුළු ගෙදරම තිබුනේ සිංහල උළු. ගේ නිමවා තිබුනේ කබොක් වලින්. මුළු ඉඩම අක්කර 5 කට කිට්ටු වෙන්න තිබුනා. පොල් ඉඩමක් වූ එහි තැනින් තැන කබොක් කැපූ වලවල්!
දෙද්දූව හන්දියෙන් හැරිලා ඇතුලට යන්නයි තිබුනේ. ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්‍රි බාවා මිලදී ගෙන තිබුනේ සිඩ්නි අංකල්ගේ ඉඩමක්. එයාගේ ප්‍රසිද්ධ ලුනු ගඟ ව්‍යාපෘථිය පිහිටුවා ඇත්තේ ඒ ඉඩම් වල. අදටත් ජෙෆ්‍රි බාවා ගේ ලුනු ගඟ ඉඩමට යන්න අන්තිමට හැරෙන්න තියෙන තැනින් දකුණට නොහැරී කෙලින්ම ගියෝතින් මම මේ කියන නිවස තිබුනු තැන බලන්නට පුළුවන්.
ඒ කෙලින්ම යන කොට ජෙෆ්‍රි බාවාගේ නිවසේ කොටස් දෙකක් යාකල පාලමක් හමුවේ. ඊට යටින් ගමන් ගන්නා මාර්ගය අවසන් වෙන්නේ මම මේ කියන කථාවට පාදක වන නිවෙසිනි.
ඒ ගෙදර තිබුනා එකම වර්ගයේ පොත් මිටියක්. ඒ Genealogy of Dias Bandaranaike කියන පොත් පිංච. ඒ පොතේ අනුර බණ්ඩාරනායකගේ නම තිබුනේ නෑ. මම හිතන්නේ ඒ පොත පල කරණ කාලේ අනුර ඉපදිලා නොහිටින්න ඇති. ඒත් සිඩ්නි අංකල්ගේ නම තිබුනි.
සිඩ්නි අංකල් ඉස්කෝලේ ගිහිං තිබුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. එයා ඒ කාලේ වතු අධිකාරී වරයෙක්ලු. එයා අන්තිමට වැඩ කරලා තියෙන්නේ මීරිගම පැත්තේ වත්තක කියලයි මම අහලා තියෙන්නේ. මම දන්න කාලෙත් එයා බොහොම වයසැති; කුඩා ලමයින්ට වාගේම එයාගේ අසල් වැසියන් සහ ගෙදර සේවය කල අයට ඉතා කරුණාවන්තව සහ කුළුපගව ගතකල කෙනෙක්.
ඒයාගේ කටේ හැම මොහොතකම නැවුනු පයිප්පයක් තිබුනා. ඒ නිසාදෝ මන්දා එයා ලඟින් දුම්කොල ගඳක් හැම තිස්සේම. මුල් කාලේ මොන විදියේ දුම්කොල භාවිතා කලත් ඒ කාලේදී එයා සිහින් වෙන්න කපාගත් දුම්කොල වගයක් තමයි භාවිතා කලේ. එයාට රැලේ බයිසිකලයක් තිබුනා. සමහර දවසට සයිකලය පැදගෙන අළුත්ගමට ගිහින් ආවා. ඒ පදින කොට කලිසම උඩට කොට හිරවෙන්නට Cycling Trouser Clips දෙකක් භාවිතා කලා.
මා දකින විටත් ඔහු වයස අවුරුදු 60ක පමණ අයෙක්. අඩි 6 කට වඩා උස් උස නිසාම තරමක් ඉදිරියට නැවුණු කෙසඟ සිරුර වුවත්වවත් එයා හරිම ශක්තිමත් කෙනෙක්!
ඒ ගෙදර අරුමෝසම් හා අරුම පුදුම බඩු භාන්ඩ පිරිලා.
ගෙට ඇතුළු වෙන තැනම පුරවපු ගෝනෙකුගේ හිසක් බිත්තියේ සවිකොට තිබුනු අතර පලකයේ; යටි කෙළවරේ; එහි හැඩයට සවිකොට තිබුනු පිත්තල පටියක එකදාස් නමසිය හතලිස් පනස් ගනන්වල දිනයක් හා Nilavely Trincomalee යනුවෙන් යටට ගිල්වා කළු පැහැති තීන්ත පුරවා ලියා තිබුනි.
ගේ පසු පස මොණරුන්ට ආහාර දුන් සිමෙන්ති බේසමක්!
එයා දෙවෙනි මහා ලොක යුද්ධය කාලේ හමුදාවේ ඉහල නිළයක් දරා තිබෙනවා. සමහර විට ස්වෙච්ඡා හමුදා කණ්ඩයක වෙන්නත් ඇති. එයා යුධ හමුදාවේදී පරිහරණය කල බොහෝ දේ බහාලු ලී පෙට්ටියක්; ගෙදර කෑම කන කොටසේ තිබුනා. මගේ මතකයේ විදියට ඒක අඩි දෙකක් විතර උස අඩි තුන හමාරක් විතර දිග අඩි දෙකක් විතර පලල එකක්. ඒ පෙට්ටිය නිමවා තිබුනේ වෙනත් රටක.
සම්පත් දූපත පොත ආරම්බයේදී විස්තර කෙරෙන; නාවිකයාගේ පෙට්ටගම පිළිබඳ කියැවෙන විට මාහට සිතෙහි ඇතිවූ චිත්ත රූපය එම පෙට්ටියයි. සම්පත් දූපත නවකථාව; මීට වසර ගනනාවකට පෙර; ලේක් හවුස් “සතුට” පත්තරයේ ගුණපාල හේමචන්ද්‍රගේ චිත්‍රවලින් යුතුව චිත්‍ර කථාවක් සේ එළි දැක්විනි. එහි ඇඳ තිබුනු පෙට්ටගමට එය හැඩයෙන් ගැලපීම මෙයට සෘජු හේතුව වන්නට ඉඩ ඇත.
එය විවෘථ කිරීමට කිසියම් සරළ උපක්‍රමයක් සකසා තිබුනා. ඒ තුල සමින් සකස් කල අත් වැසුම්, පිත්තල ප්‍රිස්ම දෙනෙතියක් හෙවත් බයිනෝවක්, බොක්ස් කැමරාවක් වගේ අමුතු අමුතු අංගෝපාංග රාශියක් තිබුනා. මගේ හිත ගත්තේ ඒ තුල තිබුනු ගෝන අං මිටක් සහිත විශාල දඩයම් පිහියට. එයට ලෝහමය කවරයක්ද තිබුනා. එය ලොකු බරක් සහිතව ඝනකම්ව සකසා තිබුනු එකක්. එහි තලය අඩියක පමණ දිගකින් යුතු උනා. මිට කෙළවර මිටෙහි තරමටම ඉලිප්සාකාර ලෝහ තහඩුවක් තිබුනා. මා සිතන්නේ තලය මිට හා පසුපස තහඩුව එක් කොටසක් ලෙස සකසා ගෝන අං පලු දෙකක් එහි දෙපසට සවිකොට තිබෙන්නට ඇති.
අල්මාරියක් තිබුනා යතුර කරකවන විට සීනුවක් නාද වන! ඇත් දලින් නිමැවූ බීරළු (බීරළු රේන්ද ගෙතී මට ගන්නා) 32ක් තිබුනා! මා ජීවිතයේ පලමුවෙන්ම චෙස් පුවරුවක් දැක්කේ එහේදී. එම චෙස් පුවරුව තිබුනේ කනප්පුවක් ලෙසට! එම කනප්පුව මත චෙස් පුවරුවේ කොටු ඇඳ තිබුනු අතර එයට යටින් පිහිටා තිබුනු කුඩා ලාච්චු වල ඉත්තන් දමා තිබුනා. සුදු ඉත්තන් නිමවා තිබුනේ ඇත් දලින්. කලු ඉත්තන් තරමක බරකින් යුතු වූවා. ඒවා නිමවා තීබුනේ කුමකින්දැයි මාගේ මතකයට නො ඒ!
යතුර අස්ථාන ගතවූ ලොකු යකඩ සේප්පුවක් ජොන්සන් පිඟන් රවුම් මේස ඔය වගේ නානාප්‍රකාර බඩු පිරිලා.
මුළු ඉඩම පුරාවට පොල් ගස් පිරුණු අතර එය සමතලාව විහිදී තිබුනි. තැනින් තැන බෝවිටියා, දම් හා ගොඩපර ගස්. ඉඩමේ කෙළවරට ගිය විට පහලින් නිසොල්මන්ව පිහිටා තිබුනු බෙන්තොට ගඟ දක්නට ලැබුනි. සමහර දිනවල එහි මාළු ඇල්ලීමේ යෙදුනු කුඩා ඔරුවක් හෝ දෙකක් ඈතින් දිස් විය. පැහැදිලි රාත්‍රීන්වලදී මුහුදේ හෝ හෝව ඉඩමේ පහල කෙළවරදී සවන් දිය හැකිවිය. ඈතින් මුහුදු බඩ දුම්රියේ හඬද හොඳින් සවන් යොමු කිරීමෙන් ඇසිය හැක. ඉඩමේ කෙළව්වර සීග්‍ර බෑවුමකි. බෑවුමේ පහළ කුඩා කුඹුරු ලියදි කිහිපයකි. ඒ අසල කුඩා ලිඳක් විය. නිවසේ ජල ප්‍රශ්ණය එකල විසඳුනේ එමගිනි.
බෑවුමේ පසෙක මිණිරන් හෑරීමට සකස් කල ලිඳක් තිබුනි. එයි විෂ්කම්භය අඩි 8 ක් පමණ වන්නට ඇටි. එය වටා කිසිදු ආරක්ෂක උපක්‍රමයක් නොවීය. අප එය අසලට ගොස් ලොකු ගලක් ගෙන එය තුලට දැමූ විට සැළකිය යුතු; අදහා නොගත හැකි කාලයක් ගතවී හඬ නින්නාද විය!
නිවස වටා වෙනත් කිසිදු නිවෙසක් පෙනෙන්නට නොටිබුනි. නිවසේ ඉදිරිපස කුඩා වන රොදක්ය. ප්‍රධාන නිවසට එපිටින් තවත් ගරා වැටුනු එවන්ම නිවසක් විය. එය සිඩ්නි අංකල්ගේ නැගනිය වූ අයොනි ආන්ටීට අයත් වූ එකකි.
සිඩ්නි අංකල්ගේ පවුලේ සමාජිකයින් තිදෙනෙකි. අනෙක් සාමාජිකාවන් දෙදෙනා අයොනි ආන්ටී සහ නීඩ්‍රා ආන්ටි විය. අයොනි සාමකාමී අයෙක් වූ අතර නීඩ්‍රා ඊට ඉඳුරාම වෙනස්වූ චරිතයකි. නීඩ්‍රාගේ 16 වෙනි උපන්දිනයට ඔවුන්ගෙ පියා තෑගි කොට ඇත්තේ බෝර 16 ඩබල් බැරල් තුවක්කුවක් ය. ඇය වෙඩි තැබීමේ ශූරියකි. පෙර කී ගෝන හිස ඇය විසින් දඩයම් කරණා ලද එකක්යැයි අඳුරු මතකයක් මාහට ඇත. නීඩ්‍රා තනිව බෙන්තොට ගඟේ ඔරු පැද්දේලු. ඒ ස්වකීය ඩබල් බැරලයද අසල තබා ගෙනය. ඇය වරෙක කිඹුලෙකු වෙඩි තබා මරා දැමූ හෝඅ බිලී කොක්කක් යොදා ඇල්ලූ පුවතක් මා අ වෙතින්ම අසා ඇත. වයස් ගතව මිය ගිය ඇයගේ යහන අසල වූ කුඩා කනප්පුව මත ඇය විසින් මරා දැමුනු අඳුන් දිවියෙකු පුරවා සකස් කොට තබා තිබුනි!
සිඩ්නි අංකල්ට අයත් දූපතක් බෙන්තොට ගඟ මැද ඒ අර සීග්‍ර බෑවුමෙන් එපිට! එය මැද විශාල නිවසක නටබුන් තිබුනා. එම නිවසේ පොලවේ යට පවා කාමරයක් හෝ කිහිපයක් තිබුනාලු! ඒවා හැඳිවූවේ රහස් කාමර ලෙසින්.
දූවත් ප්‍රධාන ඉඩමත් අතර ගඟ හැල එකතුවී තරමක් ගොඩවී තිබුනා. හැල යනු පාසි ජලජ පැලෑටි හා වෙනත් දෙයින් සැදුම් ලත් වතුර සහිත මාධ්‍යයක්. ඒ මත දමා තිබුනු ශාක කඳන් මත අප දූවට ගියා ආවා. ඒ දූව වටේට සර්පිලා කාර මාර්ගයක් තුබුනා. ඒවා සියල්ල ලඳු කැලෑවෙන් යටවෙලා තිබුනේ. මගේ මනසේ අදටත් මැවී ඇති “මඩොල් දුව” එයයි! බොහෝ කේතුධර ගස් එහි තැනින් තැන තිබුනා.
සිඩ්නි අංකල්ගේ තාත්තා ගමන් කොට ඇත්තේ අශ්වයා මත හා අශ්ව කරත්තයේ ලු. ඒ නිවසේ පිටු පස වූ ගබඩා කාමරයක අශ්ව කරත්තයට සවි කොට තිබුනු සීනුවේ කොටස් මා දැක තිබුනා.
එය නිමවා තිබුනේ පයින් පෑගූ විට සීනුව නාදවන්නට කියා මා අසා තිබුනා. සිඩ්නි අංකල් ඇදහූවේ ඉංග්‍රීසි සභාව හෙවත් ඇංග්ලිකන්! මේ නිසාම මේ අය කිතුනුවන්. ලොකු අම්මා පංසලටත් පල්ලියටත් දෙකටම යන්නට ඇති. ඒ උනත් ගෙදර අනෙක් අයගෙන් සිඩ්නි අංකල්ගේ පුත්‍රයා වූ රෙජිනල්ඩ්ද පියා අනුව යමින් ඇංග්ලිකන් වූ අතර දියණිය ලිටිෂියා රෝමානු කතෝලික වූවා!
ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බෑ!
මම මේ වගන්තිය නැවතත් ලිව්වේ වැරදීමකින් හෝ අතපසුවීමකින් නම් නොවෙයි. එය දෙතුන් වතාවක් කීවත් නොසෑහෙන බැවින්. අපේ බාල පරම් පරාවේ වැඩිමහල්ලා අපේ අයියා. එයාට අවුරුදු දෙකක් පහලින් අපේ අක්කා. එයාට දෙකක් පහලින් ලොකු අම්මාගේ පුතා . ඊළඟට ඒවාගේම පරතරයකින් එහේ අක්කා. ඊළඟට තවත් අවුරුදු දෙකකින් මම. අපේ බොහෝ නත්තල් නිවාඩු ගත් කෙරුණේ ලොකු අම්මලාගේ ගෙදර.
හැමදා අපේ නත්තල් නිවාඩුව ගෙවුනේ දෙද්දූව! අපි කුඩා අවදියේදී අම්මාත් තාත්තාත් සමගනත්තල කිට්ටුව දෙදදුවට සේන්දු වීම සාමාන්‍ය දෙයක් . ඒ කාලේ තත්තාගේ දෙවෙනි පංතියේ; රජයේ සේවක දුම්රිය බලපත්‍රයෙන් අළුත්ගම දක්වා යන අප එතැන් සිට; දෙද්දූව / හබුරුගල හරහා ඇල්පිටිය බසයක් නැගී එහි ගියෙමු. අපගේ ඇඳුම් සියල්ලම පාහේ ඇසුරූ කොල පැහැති කොටු සහිත “ෆොර්ඩ්” සූට් කේසය අතින් ගන්නේ තාත්තාය.
අලුත්ගම එකල පැවති පොදු වෙළඳපොල හෙවත් “මාකැට්ටුව” සෙනග පිරුණු ස්ථානයකි. එය තුලට ගමන් ගන්නා තැනම පොල් කොල වලි සැකසූ මලු විකිණීමට තිබුනි. එම මල්ල සකසා තිබුනේ; වියන ලද පොල් අත්තක් රවුම් කරගැට ගසා අනතුරුව ඉතිරි පොල් කොල අග්ගිසි සියල්ල එකට කොට එයින්ම ගැටයක් ගසාය! යෝධ හැඹිළියක් සේ සැකසුනු එහි පොල් නාරටියෙන් එල්ලාගෙන එළවලු අදිය ගෙන යා හැක. මස් මාළු ඔතා දෙන්නේ හබරල කොලේය. හබරල කොලේ එතූ ඒවා බොහෝ විට පත්තර පිටුවක හෝ සිමෙන්ති කවර බෑගයක දමා දෙන්නේය!
මාකැට්ටුවේ ඉදිරිපස කරවැල් වල එල්ලූ කුඩා මසුන්ද ඇතුලත මාලු කඩ මස් කඩ එළවළු කඩ ආදියෙන් පිරී පැවතුනි. අම්මා සහ තාත්තා මාකැට්ටුවේ ගතකරණ කාලය මාහට ඉවසුම් නැති කාලයකි. මන්ද මා සිටින්නේ හැකි ඉක්මණින් ලොකු අම්මාගේ නිවසට යන සිහියෙන්ය! සියල්ල එකතු කරගත් පසු ඇල්පිටිය බසයක් නැගී දෙද්දූව හන්දියෙන් බසින්නෙමු. එකල එම මාර්ගයේ දිවුනේ අලුත්ගම ඩිපෝවෙන් දිවුනු බ්‍රිටිෂ් ලේලන්ඩ් බස් රථය. ක්‍රෑෂ් ගියර් පෙට්ටියක් සහිත එම රථගියර් මාරු කලේ දෙවරක් ක්ලච් පාදිකය පාගා ටයිමිං වලටය.
බොහෝ විට අප අලුත්ගමින් බසින්නේ රෑ බෝ වෙන්නට ඉතා ආසන්නයේදීය. එකල බස් වල ප්‍රධාන පහන් මෙන්ම ඇතුලත තිබූ පහන්ද ගෙන ආවේ මන්ද ආලෝකයකි. ඒවා තරමක් හෝ දීප්තිමත් වන්නේ එන්ජිම සැර දමද්දී පමණි. කොන්දොස්තරලා සල්ලි ගනුදෙනු කරණ්නේ වහලයේ ඇති විදුලි බල්බයකට අත ලං කොට ගෙනය. බසයේ බෝඩ් එක හෙවත් නාම පුවරුව කුඩා දිගටි එකකි. එහි වූයේ දෙපැත්තට එතූ රෙදි රෝලක මුද්‍රණය කල ග්‍රාම හා නගර නාමයන් ය! එය උඩටත් පහලටත් එතීමට රියැදුරුගේ හිසට ඉහලින් මැදට වන්නට කුඩා හැඬල දෙකකි! මේ අරුමෝසම් බලමින් මා යන්නේ සිත පුරවා ගත් සතුටකිනි.
ඉලස්ටෝ ආයතනය පසුකොට බසය දෙද්දූව හන්දිය ආසන්න වන විට පාර දිවෙන්නේ දෙපසම පැතිරී ගිය විලක් වන් බෙන්තොට ගඟ හරහාය. එය මාහට මහත්වූ සතුටක් ගෙන දෙන දර්ශණයක් විය. ඒ ඊළඟට ඇති ආසන්න නැවතුමකදී අප බසයෙන් බසිනා බැවිනි.
බසයෙන් බැස්ස පසු තාත්තා තමන්ගේ විදුළි පන්දම කොහේ හෝ තිබී අතට ගනී. එවරෙඩි ලොකු මූණ ටෝර්ච් එකෙන් තරමක එළියක් විහිදේ. තාත්තා එය එක එල්ලේ එල්ල කරගෙන ගමන් කලේ නැත. එය අත පැද්දෙන රටාවටම ඉදිරියටත් පසු පසටත් වැනේ! තාත්තා එක අතක සූට් කේසය රැගෙන අනෙක් පසට නැවී ඉදිරියෙන් ගමන් ගත්තේය. ඊළඟට මමත් අක්කාත් අයියාත් හෝ පැමිණි කිසිවෙකු හෝ ගමන් කලේය. අම්මා පැමිණියේ අන්තිමටය. එළවළු අඩුවැඩිය සහිත පොල්කොල මල්ල ඇය එල්ලාගෙනය!
දෙද්දූව හන්දියේ සිට දිගටම පැවතියේ ගුරු පාරකි. මාර්ගය ආසන්යේම නොම්මර එකේ කන්දකි. වම් පසින් බෝ ගසක් සහ බාගෙට පංසලක් හෝ බුදු මැදුරක් විය. එය පසු කල විට වම් පසින් දෙද්දූව කණිටු පාසැලද දකුණු පසින් බේකරියක් හා සිල්ලර කඩයක් විය.
එකල ගෙදරකට යාමේදී පාන් ගෙඩියක් හෝ දෙකක් ගෙනයාම සිරිතක්ව පැවතුනි! විශේෂයෙන් අපේ තාත්තා ඕනෑම ගෙදරකට යන විට පාන් ගෙඩියක් රැගෙන යෑම සිරිතක්ව පැවතුනි.
බේකරි කඩෙන් පාන් ගෙඩියක් හෝ දෙකක් මිළදී ගන්නා අප නැවත ගමනේ යෙදේ..
තාත්තාගේ විදුළි පන්දම නොමැති වූ විට මේ කඩෙන් ඉටි පන්දමක් මිළදී ගන්නා අතර පොල් කට්ටක් නොමිලේම ලැබේ. එකල එයද ඉතා සාමාන්‍ය දෙයකි. දැව ප්‍රවාහණය කරණා ලොරි වල පසු පස රතු කොඩියක් වෙනුවට පින්න මල් දෙකක්ද, වැස්සට කෙහෙල් කොලයක් හෝ හබරල කොලයක් රැගෙන යන කාලයකි එය.
ඉටි පන්දමට පසු පසින් පොල් කටුව තබාගෙන සුළං මුවා කරගෙන එය තනි අතින් නොනිමෙන්නට ගෙන යන හැටි තාත්තා දනී. මේ එළියෙන් අප හැතැම්මකට ආසන්න දුර ගුරු පාරේ ගමන් කොට ජෙෆ්‍රි බාවාගේ නිවෙසට හැරෙන ගේට්ටුව පසු කරමින් ගමන් කරයි. ඒ අසන්නයේ පාර තරමක් හේදී ගොස් තිබීම මා දන්නා කාලය වන තෙක්ම පැවතුනි. එතැන් සිට ගමන් ගන්නේ දැඩි කරුවලකින් යුතු පරිසර පද්ධතියක් තුලිණි. පට්ට දාවලේ වුවද මෙම මණ්ඩිය දැඩි අඳුරු පෙදෙසකි. ඒ පාර උඩින් ගම්න් කොට ඇති රුක් වියන කරණ කොට ගෙනය.
එතැන් සිට මීටර 25ක් පමණ යද්දී පුස්සැල් බොක්කේ කළාමැදිරි එළි පෙනෙන්නට ගනී. බොහෝ දිනවල; නිවසේ; කෑම කන කොටස ආලෝකමත් කලේ පැට්‍රොමැක්ස් ලාම්පුවකිනි. අනෙක් සියළු තැනම වූයේ නොයෙක් කොටස චිමිණි ලාම්පුය. කුස්සියේ පමනක් කුප්පි ලාම්පුවක් දෙකක් තිබුනි.
අප එහි ගිය සැනින් “මෙන්න හැරියටුයි විල්ෆර්ඩුයි ආවා!” ලොකු අම්මා මහ හයියෙන් සිඩ්නි අංකල්ට දන්වයි. එතැන් පටන් ඔවුන්ගේ කථා බහය! අම්මාගේ; කසාද නොබැඳ සිටි අක්කා හේවත් ග්‍රේස් ලොකු අම්මාද මේ සියල්ලට එකතු වේ. ඇය පාසැල් ගුරුවරියකි. ග්‍රේස් මැටල්ඩා සෙනෙවිරත්න – ඇය මිය යන විට විශ්‍රාමලත් විදුහල්පතිනියක් විය.
ගමන පුරා විඳි ගැහැට, ඒවාට මුහුණ දුන් ආකාරය, දුම්රියේ ආසන අල්ලා ගත් හැටි මේ සියල්ල තාත්තාත් අම්මාත් තොරතොංචියක් නැතිව ලොකු අම්මලාට කියති. ඒ අය ඒවා ඉතා ආසාවෙන් අසා සිටිති.
මා කිට්ටු වන්නේ ලිටිෂියා අක්කාට හා රෙජිනල්ඩ් අයියාටය! එතැණ් පටන් ගෙදර මහත් වූ සැණකෙළියකි. අම්මා ගෙනා කළමණා ලොකු අම්මාට එකින් එක පිළිගන්වයි.
“මෙන්න හරක් මස් රාත්තල් දෙකකුත් ගෙනාවා විල්ෆ්‍රඩ්ට ඕනෑ කිව්වනේ අක්කගේ හරක් මස් එක කන්න!” `අම්මා ඒ ඒ අයිතමය ගෙන ඒමට හේතුවකුත් එක්ක මේසය මත තබයි.
“කවුරුත් කැමතියි මගේ මස් එකට! විල්ෆ්‍රඩ් කවදත් කැමතියි නේ!” ලොකු අම්මා උස් හඬින් කියන්නේ අපේ තාත්තාටත් ඇහෙන්නය.
“අක්කේ; අපි පාන් රාත්තල් දෙකකුත් ගෙනාවා! අල ගෙඩියක් දෙකක් දාලාම මස් හොද්දක් හදන්න!” තාත්තාද ඊට එකතු වන්නේ කථාවට පලිප්පු දමමිනි.
“ආ ඉස්ටුවක්!” හරි මං හදන්නං මට ඕවා සුළු වැඩ ලමයිනේ!” ලොකු අම්මා එසේ කියා කුස්ස්යියට වැදෙයි. බොහෝ විට එහි ඉන්නා සේවිකාව හා අපේ අම්මාද ඊට එකතුවේ. රාත්‍රී කෑම මේසයට; දෙපස අඬු සහිත; සුදු පැහැති කැසරෝල් බඳුනක් පුරා එන්නේ සුපිරි දුම් දමන හරක් මස් ඉස්ටුවකි!
මේ සියල්ල මෙසේ සිදුවන විට මමත් ලිට් අක්කාත් ඇයගේ කාමරයේ සිට කයිවාරුවේය. එයා අලුතින් එක් කරගත් දේ පෙන්වමින් ය. අලුත් කතා කියමින් ය. රෑ කෑමෙන් පසුව අප බොහෝ විට සමිතියක් පැවැත්තුවෙමු. අප සියල්ල වටේට ඉඳගෙන කවි කථා කිව්වෙමු.
සිංදු කිව්වෝය. අම්මාත් ලොකු අම්මලාත් සැමදාම ගැයුවේ “සුල් සල් වනේහි සල් – මායා පුතානා – ප්‍රේම රජානා” ගීතයය! අයියාත් රෙජිනල්ඩ් අයියාත් බොහෝ විට ඉඳගන්නේ සිඩ්නි අංකල්ගේ හමුදා පෙට්ටගම උඩය. බොහෝ විට රෙජිනල්ඩ් අයියා ඊට ගසමින් අපගේ ගීත වලට සංගීතය සැපයු වේය.
එදින කුඩා අප නිදා ගන්නේ කෑම කන තැන බිම එලා ගත් පැදුරු වලය. අප රෑ වෙන තුරු සිනහ වෙමින් සිටියි. පසුදින නත්තලය! නිවසේ කුඩා මුල්ලක ගවලෙනක් හෝ සරුව පිත්තල රැලින් මෝස්තර කල නත්තල් ගසකි.
නත්තල් කේක්, තැඹිළි වයින්, දුම් දමන කෑම සෙනෙහෙ බර නෑ සියන් සමග නත්තල සැමරීම පටන් ගැනේ. වැඩිහිටියන් අපව අමතක කොට දමාය! අප නිදහසේ ගේ තුලත්, විසල් පොල් වත්තේත් දූවේත් කරක් ගසති. බඩ ගිනි වූ විට යමින් එමින් කෑම් මේසය උඩ ඇති රස කැවිල්ලක් හෝ කෙසෙල් ගෙඩියක් අතුරුදහන් කරයි. දිනය පුරා ගේ පුරාත් වත්ත පිටිය පුරාත් පැතිරී ගිය ආශ්චර්‍යයන් බලමින් ගෙවති.
මංජුල ශ්‍රීනාත් පෙරේරා
තට්ටයාගේ කොලම බ්ලොග් අඩවිය https://thattayagekolama.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව
අලුත ගෙනා මනාලිය
යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට වුවමනාය. ඇතැම්විට එය මට සහනයක් ගෙන දෙනු ඇත. කාරණාව වන්නේ මා තවමත් අවිවාහකව පසුවීමත්, ඒ සම්බන්ධයෙන් මා දැඩි ලෙස සංවේදී වීමත්ය.
වර්මා මහතාගේ බංගලාව පිහිටා ඇත්තේ අපගේ පෝටිකෝවේ හිඳගෙන සිටින විට එහි සිදුවන සියල්ලක්ම පාහේ පෙනෙන ආකාරයෙනි. නිවෙස් දෙක අතර ඇති වැට වසර කිහිපයකට උඩදී කැඩී බිඳී ගියද එය කිසිදා අලුත්වැඩියා නොකෙරිණි. අපගේ පවුල් දෙක කෙතරම් මිතුරු වීද යත් ඉන් එක් පවුලක්වත් වැට අලුත්වැඩියාකිරීම ගැන කරදර වූයේ නැත. අනෙක, කැඩුණු වැට නිවෙස් දෙක අතර පහසුවෙන් එහා මෙහා යෑමට උපකාරී වූයේය.
සියල්ල සූදානම් බවත් මංගල පෙරහර ඇරඹීමට ආසන්න බවත් මට පෙනෙයි. දූවිල්ල මැකෙන්නට මිනිස්සු දෙදෙනෙක් හම් බාල්දිවලින් රතු බොරලු පොළොව මත ජලය ඉසිති. නෑදෑයෝ සහ මිතුරෝ සෑහෙන විශාල පිරිසක් එහි රැස්ව සිටින්නෝය. එහෙත් ඔහුගේ විවාහ මංගල්‍යයට නොයෑමට මා තීරණය කර ඇත. අම්මා ඒ ගැන අසතුටට පත්වූවද මගේ තීරණය එසේමය. වර්මා මහත්මියගේ මරණයෙන් මාස දෙකක් ඇතුළත යළි විවාහවීම මොනතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද !
මා අපේක්ෂා කළ පරිදිම මා තවමත් පෝටිකෝවේ හිඳගෙන සිටීම ගැන අම්මා සතුටට පත් වූයේ නැත. ‘දෙවියනේ ! ඔයාට මඟුල් ගෙදරට වෙලාවට යන්න ඕනකමක් නැද්ද ? මඟුල් පෙරහැර පිටත්වෙන්නත් ලෑස්තියි. ඔයා තවමත් පොතක් අතේ තියාගෙන මෙතැන වාඩිවෙලා ඉන්නවා ! ඔයා මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ !’
‘අම්මේ, මං යන්නෙ නෑ. අම්මා යන්න. මං එනකම් බලාගෙන ඉන්න එපා.’
‘ඒ මොකද ? ඒ මිනිස්සු අපේ අසල්වැසියෝ. ඔයා නොගියොත් අමනාප වෙයි. මං ඒ අයට මොකක්ද කියන්නෙ ? ’
‘ඕනැ දෙයක් කියන්න. මං යන්නෙ නෑ.’
‘අඩුම ගානෙ මටවත් කියන්නකො ඇයි කියලා. මං රෑට ඉවුවෙත් නෑ. ඔයාට බඩගින්නෙ ඉන්නයි වෙන්නේ.’
‘මට බඩගිනි නෑ. අම්මේ, මට නම් අම්මා ගැනත් පුදුමයි. අම්මා වර්මා නෝනාට කොච්චර කැමතිද ? ඒත් එයා මැරුණා විතරයි, හොඳට ඇඳගෙන මිස්ටර් වර්මාගේ මඟුල් ගෙදර යනවා !’ මට තවදුරටත් කතා කරගැනීමට නොහැකි විය. අම්මා මා අසලින් හිඳගත්තාය.
‘කාටවත් බෑ ඉරණම වෙනස් කරන්න දරුවෝ. මගේ සහෝදරියන්ටත් වැඩිය මං කම්ලාට ආදරේ කළා !’ ඇගේ කටහඬෙහි වූයේ ශෝකී බවකි.
‘මට දරාගන්න බැරි අම්මෙ මිස්ටර් වර්මා මෙච්චර ඉක්මනට ආපහු කසාද බඳින එකයි……’
‘එයාට බනින්න එපා දරුවෝ. එයත් ඒ ගැන එච්චර සතුටු නෑ කියලා මට විශ්වාසයි. කම්ලා අසනීප වෙලා ඉන්න කොට ඒ මනුස්සයා එයාව බලාගත්ත විදිය ඔයා දැක්කනෙ ! එයා බඳින්නෙ ළමයි නිසා.’
‘ළමයි නිසා ! ඒක බොරු හේතුවක් අම්මේ. කුඩම්මා කෙනෙක් ගේන එක ළමයින්ට සතුටක් නෙවෙයි. මිස්ටර් වර්මාට හොඳට සල්ලි තියෙනවා. ඇයි එයා කාවහරි- මං කියන්නෙ, ළමයි බලාගන්න ගෑනු කෙනෙක් පඩියට තියාගන්නෙ නැත්තෙ? ’
‘ළමයි බලාගන්න ගෑනු කෙනෙක් කවදාවත් අම්මා කෙනෙක් වගේ වෙන්නේ නෑ. මේවා තේරුම් ගන්න තරම් ඔයා ලාබාල වැඩියි. ඇයි ඔයා කියන්නෙ අලුත් නෝනා ළමයින්ට ආදරේ වෙන එකක් නෑ කියලා? එයා කුඩම්මා කෙනෙක් නිසාද? හැමකෙනෙක්ම ඒ වගේ නෑ. ඔයා ඉන්නෙ තරහෙන්. එච්චරයි. වර්මාට වැඩ තියෙනවා. ළමයින්ව බලාගන්න එයාට වෙලාවක් නෑ! ගෙදර පවුලක් ඉන්නවා නම් එයාට ළමයි ගැන හිතේ කරදරයක් නෑ. ’
‘අලුත් නෝනා එයාගෙ ළමයින්ට ආදරේ වුණේ නැත්නම් ? ’
‘එහෙම වුණොත් ඒක ඒ ළමයින්ගේ ඉරණම. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අම්මා මැරෙන්නෙ නැතිව ඉන්න තිබුණා. දුවේ, මං කසාද බඳිනකොට මට ඔයාගේ ආතම්මා මඟුල් තෑග්ග විදියට දුන්නේ ඔයාගෙ ලොකු අයියව. ඒ දරුවට එතකොට වයස මාස දහඅටයි. අහලා බලන්න එයාගෙන් එයාට අම්මා නැති අඩුව කවදාවත් දැනුණද කියලා. ඔයගොල්ලො ඔක්කොමටත් වඩා මම තවමත් වැඩියෙන් ආදරේ එයාටයි ! ’
අම්මා කියූ දේ සත්‍යයක් විය. කෙසේවෙතත් ඇය සමග තර්ක කරන විට මම සැමවිටම පරාජය වෙමි ! ඇය මඟුල් ගෙදර ගියාය. මංගල පෙරහර ආරම්භ වී තිබිණි. මම තවමත් මෙතැන හිඳගෙන විවාහ මංගලෝත්සවය වෙනුවෙන් වාදනය වන ඝෝෂාකාරී පොප් සංගීතයට සවන් දෙමින් සිටිමි. නවදිල්ලිය වැනි විශාල නගරවල මංගලෝත්සවවලදී මෙවැනි පටිගත කරන ලද සංගීතය වාදනය කිරීම යල්පැන ගිය මෝස්තරයක් බව මම අසා ඇත්තෙමි. එහෙත් මීරත් නගරය එවන් දියුණු නගරයක් නොවේ. අනෙක් මිනිසුන්ගේ සාමයට සහ නින්දට බාධා කරන අයගෙන් බලධාරීන් බද්දක් අය නොකරන්නේ මන්දැයි මම කල්පනා කරමි. මගේ හිස කකියයි.
අද සවස්වරුවේ මනාලිය පැමිණියාය. අලුත උපන් බිළිඳුන් සහ මනාලියන් මගේ විශාලතම දුර්වලකමයි. ඔවුන් දෙස එබී නොබලා සිටින්නට මට බැරිය. මගේ තරහ මඳකට අමතක කළ මම ඇය බලන්නට ගියෙමි. සාමාන්‍යයෙන්, අලුත ගෙනා මනාලියක් ගෙදර සිටින සියලුම ගැහැනුන් විසින් වටකරගනු ලැබ සිටින්නීය. එහෙත් වර්මා මහත්මිය හුදෙකලාවම පාහේ මුල්ලක වාඩිවී සිටියාය. රතු කපු සාරියක් හැඳ සිටි ඈ අපහසුවෙන් පසුවන බවක් පෙනිණි. ඇයගේ මංගල වේලය නාසයේ කෙලවර දක්වාම පහත් වී තිබුණේය. මම එය ඔසවා ඇයගේ මුහුණ දෙස බැලීමි. ඇයට යාන්තම් වයස දහහතක් හෝ දහඅටක් වන්නට ඇත ! දිගටම හැඬීමෙන් ඉදිමී ගිය රත් පැහැ දෙනෙතින් යුක්ත වූ ඇය සිය පයෙහි ඇඟිලි දෙස බලාගෙන සිටියාය. ඉතාමත් නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න ඡවි වර්ණයක් ඇය සතු විය.
වර්මා පවුලේ ඥාතීන් ඇය කෙරෙහි කිසි උනන්දුවක් නොදැක්වූ බව මම දුටිමි. ඒ පළමු කොටම ඇය ‘දෙවැනි’ බිරියක හෙයිනි. අනෙක, ඇය අයත් වූයේ දුගී පවුලකට බැවිනි. දායාදය වශයෙන් ඇය රැගෙන විත් තිබුණේ වැඩි වශයෙන්ම කපු සාරි ය. සියලු දෙනාම ආහාර බුදිමින් විහිලු තහලු කරමින් සිටියෝය. ඇය කෙරෙහි කුතුහලයෙන් බැලූයේ වර්මා මහතාගේ දරුවන් සය දෙනා පමණි. එකිනෙකා මාරුවෙන් මාරුවට පැමිණි ඔවුහු සිය නව මව දෙස බිය මුසු ගෞරවයකින් යුතුව බැලූහ. කුඩම්මා කෙනෙකු හා ජීවත් වන්නට ඔවුන් සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින බව ඒ බිය මුසු ගෞරවය මට පැහැදිලි කර දුන්නේය.
මම කෝපයෙන් පුපුරමින් යළි නිවෙස කරා ගියෙමි. මා ඒ කේන්තිය පිට කළේ අම්මා මතිනි.
‘දැක්කනෙ අම්මේ, අම්මා අසරණ මිස්ටර් වර්මා ගැන හරියට අනුකම්පා කළානේ ! ඒ වගේ ගෑනු ළමයෙක්ව බඳින්න එයාට තියෙන අයිතියි මොකක්ද ? ’
‘ඇයි මොකද වෙලා තියෙන්නේ ? ’
‘වළ පල්ලට යන්න ඔන්න මෙන්න ඉන්න මිනිහා බැඳලා තියෙන්නේ මටත් වඩා බාල ගෑනු ළමයෙක්ව ! ’
‘කට, කට ගීතා ! ඔහොම කතා කරන්න එපා. ඒ මනුස්සයට තාම හතළිහයි ! ’
‘දෙගුණයක්- හරියටම දෙගුණෙකටත් වඩා එයා වයසයි ! මේක හරිම අසාධාරණයි අම්මේ ! ඒ ළමයා තවම පොඩි කෙනෙක්. ඒ වුණාට ළමයි හය දෙනෙක් බලාගන්න වෙලා. එයා හරියට ඒ ළමයින්ගේ අම්මා නෙවෙයි ලොකු අක්කා වගේ ! මට හරි කනගාටුයි. මට ඒක දරාගන්න බෑ. කියන්න- කනවැන්දුම් මිනිහෙක්ව බඳින එක මහ කරුමයක් නෙවෙයිද? ’
මම දිව සපා ගතිමි. ඒත් ඊට ප්‍රමාද වැඩිය. අම්මා කිසිවක් නොකීවාය. ලැජ්ජාවට පත්ව සහ කුමක් කරන්නදැයි නොදැන මා එතැන සිටගෙන සිටින අතරතුර කඩා හැලෙන කඳුළු ඇය අනමින් සිටි පිටිගුලිය මත නොවැටෙනු පිණිස අම්මා සිය දෑස නිහඬව පිස දැමුවාය.
විස්තර විචාරයක්ද සමගින් අලුත්ම පුවත් ගෙන එන සම්ප්‍රේක්ෂකයක් වර්මා මහතාගේ සහ අපේ නිවෙස් අතර ක්‍රියාත්මක වෙයි. එම සජීවී පුවත් සම්ප්‍රේක්ෂකය වනුයේ අපේ නිවාස දෙකම පිරිසිදු කරන, අපේ මෙහෙකාරිය වන ජුග්නිය. ඇය විසින් අප වෙත ගෙන එනු ලැබූ පළමු විස්තර විචාරය මෙබඳු විය: ‘අලුත් මනමාලි ඇත්තටම පහළ පන්තියක එක්කෙනෙක්. ඒ නෝනට ලැජ්ජාවක්වත් ගෞරවයක්වත් නෑ. පහුවෙනිදම මූණ වහන වේල් එක ගලවලා පිරිමියෙක් වගේ මුළු ගෙදර පුරාම එහෙ මෙහෙ ඇවිදිනවා. පහුගිය මාස ගාණක් තිස්සේ ගෙදර ඉඳපු වර්මා මහත්තයාගේ නැන්දලාවත් නෝනා ආපහු ඒ ගොල්ලන්ගෙ ගම්වලට යවනවා. ’
මම විස්මයට පත්වීමි. මගේ විස්මය දිගටම කතා කරන්නට ඇය උනන්දු කරවීය.
‘පුදුම වෙන්න එපා ගීතා නෝනා. ගෙදර ස්වාමි දූ හැටියට තමන් කරන්න ඕනැ මොකක්ද කියලා ඒ නෝනට තෙරුමක් නෑ. මං හිතන්නේ එයා ගමක එක්කෙනෙක්. වැඩකරලා, කාලා, නිදියලා තියෙන්නෙ ගමේ විතරයි. මට හිතෙන හැටියට නෝනා සුමානයක් ඇතුළත කෝකියාවත් ආපහු ගෙදර යවයි. ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි. දැන් පළවැනි වර්මා නෝනගෙ කාලෙ වගේ නෙවෙයි ! ’
මමද කනස්සල්ලට පත්වීමි. මා විශේෂයෙන්ම කනස්සල්ලට පත්වූයේ මා දැඩි ලෙස ආදරය කරන කුඩා පින්ටූ ගැනය. එවැනි කුඩා ළදැරියකට අලුත් වර්මා මහත්මිය අකාරුණික වනු ඇති දැයි මම කල්පනා කළෙමි. ඒ ගැන කිසිවක් කරන්නට නොහැකි වීම සම්බන්ධයෙන් මම කනගාටු වීමි. එහෙත් ඒ සම්බන්ධයෙන් මට වූයේ කවර අයිතියක්ද?
වර්මා මහතා සුදුමැලි පෙනුමකින් යුතුව උසාවියට ගිය බව අපට සවස් වරුවේදී ආරංචි විය. සියලුම අමුත්තන් පිටවී යමින් සිටි අතර ‘මනාලිය’ මුළු නිවෙසම මනා ලෙස පවිත්‍ර කරවමින් සිටියාය ! වැඩිමහලුම පිරිමි ළමයා අල්ලා ගත් මම, ‘බිනූ, කොහොමද ඔයාලගෙ අම්මා ? ඔයාලා එයාට කැමතිද? ’ යි ඇසීමි.
‘මං දන්නෙ නෑ !’යි කියූ ඔහු පැන දිව්වේය.
මා සාමාන්‍යයෙන් උදෑසන අවදි වන්නේ බොහෝ ප්‍රමාද වීය. පසුවදා අවදි වූ විට මම යාබද නිවෙස දෙස නෙත් හෙලීමි. එය ඉතා නිශ්ශබ්ද විය. ළමයින් පෙනෙන්නට සිටියේ නැත. වෙනත් දිනවල නම් ඔවුන් දවස පුරාම සෙල්ලම් කරමින් දබර කරගනිමින් සිටිනවා මට පෙනෙයි.
පාතරසය ගෙන එළියට ආ මම දුටු දෙයින් විස්මයට පත් වීමි. ඉතා පිරිසිදුව, පිළිවෙළට සිටින බව පෙනුණු පිරිමි ළමයි පස් දෙනාම එක පෙළට හිඳගෙන සිටියෝය. අපේ පාසැලේ ගුරුවරයා වන ශාස්ත්‍රී මහතා ඔවුන් දෙස බලාගෙන සිටියේය. මා එදෙස බලා සිටින විට, ව්‍යාකූලබවට පත්ව සිටි ජුග්නි එළියට පැමිණ මගේ කනට කෙඳිරුවාය. ‘ මොකක්ද මං කිව්වේ. කෝකියා අද උදේ ගියා. දැන් ඉස්කෝලෙ මහත්තයා ඇවිත්. දැන් ළමයින්ට නිවාඩු කාලෙ ඉතිරි ටිකවත් නිදහසේ ගත කරන්න නෑ! ’
සවස දෙකට පමණ, අම්මාගෙන් මහන මැසිම ඉල්ලාගෙන යන්නට බිනූ පැමිණියේය. අම්මා විස්මයට පත්වූවාය.
‘මහන මැසිම ! ඔයාට මොකටද ඒක,බිනූ? ’
‘නැන්දේ…. අම්මයි කිව්වේ මැසිම ඉල්ලගෙන යන්න කියලා. අම්ම පින්ටූටයි, මිකීටයි යට ඇඳුම් මහන්නයි යන්නේ. ’
‘මේ ගිනි ගහන වෙලාවේ? එළියෙ හරිම රස්නෙයි. මේක ඇඳුම් මහන්න හොඳ වෙලාවක් නෙවෙයි. මෙච්චර රස්නෙ නැති උදේ වරුවෙ අම්මා මොකද කළේ ?’
‘අම්මා ඉව්වා නැන්දේ. කෝකියා ගියානේ.’
‘ආ, මට අමතක වුණා. ’
අම්මා කනස්සල්ලට පත් බවක් පෙනිණි. ඇය තනියම කතා කරන්නට විය.
‘ටක්කෙටම මොකක් හරි අවුලක් තියෙනවා. මං මේ වගේ මනමාලියෙක් මීට ඉස්සරවෙලා දැකලවත් ඒ වගේ කෙනෙක් ගැන අහලවත් නෑ…… ’
දවස් දෙකකට පමණ පසු පින්ටූ මගේ උකුළ මත හිඳගෙන සිටියාය. මම එදා උදේ පැමිණි සඟරාවක් කියවමින් සිටියෙමි. ‘පින්ටූ, ඔයාලගේ අම්මා මොනවද කරන්නේ ? ’ අම්මා ඇසුවාය.
‘ආ, නැන්දෙ මට කියන්න අමතක වුණා. අම්මා කාමරේ ලස්සණ දේවාලයක් හැදුවා. මේං මෙච්චර විතර උස කෘෂ්ණ දෙවියන්ගෙ පිළිමෙකුත් තියෙනවා. අම්මා ඒ කාමරේ උදේ දෙවියන් වැඳලා රෑට ඒ කාමරේම නිදියනවා. මාත් නිදියන්නෙ අම්මා එක්ක. අම්මා කියනවා මං දේවාල කාමරේ නිදා ගත්තොත් මට නපුරු හීන පේන්නෙ නෑ කියලා….. ’
මිනිත්තු කිහිපයක් තූෂ්ණිම්භූතව හිඳගෙන සිටි මගේ මව හදිසියේම නැගිට තණපිටිය හරහා යාබද නිවෙසට ගියාය.
මම දිගටම කියවන්නට වීමි. පින්ටූ මගේ උකුළ මතම නින්දට වැටුණාය. ඇය උකුළ මත තබාගෙන සිටීම අපහසු වූ හෙයින් ඇය ගෙදර රැගෙන ගොස් ඇගේ ඇඳේ තබන්නට මම තීරණය කළෙමි. ඇය ඇඳ මත තබත්ම මගේ සාරියෙහි කෙළවර අල්ලා ගත් ඕ එය අත නොහැරියාය. මේ ඇගේ පරණ සූත්තරයකි. ඇය හොඳින් නින්දට වැටෙන තුරුම ඇගේ පසෙක සිටිමින් මම ඇගේ සිරුරට සෙමින් තට්ටු කරන්නට වීමි. කාමරයේ ජනේලය විවෘතව තිබූ බැවින් යාබද කාමරයේ අම්මා සහ වර්මා මහත්මිය කතා කරන සැටි මට ඇසිණි. ‘ඔයා තමන්ව හොඳට රැක බලාගන්න ඕනෑ දරුවෝ. මෙහෙම ගියොත් ලෙඩ වේවි. ’ අම්මා කියමින් සිටියාය.
‘නැන්දේ, මට කිසිම ප්‍රශ්නයක් නෑ. මා ගැන කරදර වෙන්න එපා ! ’ අම්මා එතරම් ඉක්මනින් කෙනෙකුගේ ‘නෑදෑයෙක්’ වෙයි ! ඇගේ ත්‍යාගශීලීබව සහ ආදරය නිමා නොවන දෙයක් ලෙස පෙනිණි.
‘නෑ, මං හිතන්නේ නෑ ඔයාට ප්‍රශ්නයක් නෑයි කියලා ! ඇයි ඔයා කෝකියව ගෙදර යැවුවේ? දැන් ඔයාම කෑම උයන්න එපායැ.’
‘කොහොමටත් නැන්දෙ මං මුකුත් නොකර ඉඳිද්දි ගෙදර මිනිස්සු වැඩකාරයෙක් උයන කෑම කන එක හරියි කියලා මට පෙනුණෙ නෑ. අනෙක, ළමයින්ට ගුරුවරයෙක් ගෙදරට ගෙනල්ලා උගන්නන්නත් මට ඕනෑ වුණා. ’
‘ඉතින් තාම ඉස්කොලෙ පටන් අරගෙනත් නෑනෙ. ’
‘මං දන්නවා. ඒත් මං ගෙදර පිරිසිදු කරන කොට දැක්කා ඒගොල්ලන්ගේ ඔක්කොම පොත් ඉරිලා සවුත්තු වෙලා තියෙනවා. ඉතින් මං කල්පනා කළා ඒ ගොල්ලන්ව ඉස්කෝලෙට සූදානම් කරවන්න ඕනෑ කියලා…… ’
‘එතකොට මේ දේවාලෙ හදන එක කල්පනා කළේ කොයි වෙලාවෙද? මං හිතන්නෙ නෑ ඔයා අලුත ගෙනා මනාලියක් වගේ පේනවා කියලා. අතේ කරේ කිසිම ආභරණයක් නෑ. ඒ මදිවට මේ සාරියත් සවුත්තුයි ! ’
‘ඒක මට ගාණක් නෑ නැන්දෙ ! ’ එය අම්මාට ඇසුණේ නැත. ඇය දිගටම කියවන්නට විය. ‘මට ආරංචි වුණා ඔයා නිදියන්නෙත් මේ කාමරේමයි කියලා! ’ අම්මාට තව දුරටත් ඉවසාගෙන සිටිය නොහැකි සෙයකි.
එයට පිළිතුරක් නොවීය.
‘මිස්ටර් වර්මා නිදියන්නේ කොහේද? ’
‘එයාගෙ කාමරේ. ’
‘කන්තෝරු කාමරේ? ’
‘ඔව් ! ’
‘ඒ මොන වැඩක්ද! ඔයා ළමයි එක්ක නිදියනවා. මහත්තයා එයාගෙ කාමරේ නිදියනවා ! ඕගොල්ලො බැඳලා කොච්චර කාලයක්ද ? තවම දවස් හතරයි ! මේ අහන්න දුවේ. කියන්න මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා…..මං ඔයාගෙ අම්මා වෙන්න තරම් වයසයි. ඔයා හරිම තරුණයි…..කියන්න මට මොනව හරි උදව්වක් කරන්න පුළුවන්ද කියලා….. ’
සිරකරගත් ඉකිබිඳුමක හඬ මට ඇසිණි. මනාලිය සැනසවීමට අම්මා වෑයම් කරමින් සිටියාය. ටික වේලාවක් යනතුරු කතා වෙන්නේ මොනවාදැයි මට ඇසුණේ නැත. සියල්ල හැඬුම්වල ගීලි තිබිණි. ඉන්පසුව වර්මා මහත්මිය මෙසේ කියනු මට ඇසුණේය: ‘……අපේ මඟුල් දවසෙ රෑ එයා කිව්වා, “ මගේ ළමයින්ව හොඳට බලාගන්න. ඒ අය දැන් ඔයාගෙත් ළමයි. දෙවියො දැනටමත් මට ළමයි හය දෙනෙක් දීලා තියෙනවා. මම කටයුතු සූදානම් කළා….ඔව්……දවස් කීපෙකට කලින්, තවත් දරුවො නොහැදෙන්න මං ඔපරේෂන් එකක් කරගත්තා…” කියලා. ’
‘මොකක් ! ඔපරේෂන් කරලා ! ’
‘ඔව් නැන්දෙ. ඒත් මං එයාට හරියට කෘතඥ වෙනවා ඒ කතාව මට කියපු එක ගැන. එයා ඒ කතාව කිව්වෙ නැත්තම් ළමයි නෑ කියලා මට මැරෙන්නයි වෙන්නෙ! දැන් මට සතුටුයි. මං මගේ ජීවිතේ කෘෂ්ණ දෙවියන්ට කැප කරලයි තියෙන්නේ! ’
‘මොකක්ද ඒ කතාවෙ තේරුම? ’
‘නැන්දෙ, මම බොහොම ගොඩේ, නූගත් කෙල්ලක්. මං කියවලා තියෙන්නේ ආගමික පොත් කීපයක් විතරයි. ඒ හැම පොතකම තියෙනවා මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි සම්බන්ධකම් තියෙන්න ඕනෑ අපේ ශුද්ධ වූ වගකීම වෙච්ච දරුවන් හැදීම සඳහාමයි කියලා. එහෙම නැතිව පවතින සම්බන්ධකම් වැරදියි. ඒක රාගය…. මං කිව්වා මම එයාගෙ ළමයි හොඳට බලාගන්නම් එයාට කිසිම කරදරයක් නොවෙන්න, ඒත් මගේ ඇඟට අතක්වත් තියන්න බෑ කියලා…’
හදවතක් බිඳෙන හඬක් වැනි ඉකිබිඳුමක් මට ඇසිණි. මගේ හදවත පාරවන හඬකින් ඈ මෙසේ පවසන්නට විය. ‘මගේ ඒ සහෝදරියට, ඒ කියන්නෙ එයාගෙ පළවැනි නෝනට එයා දරුවො හය දෙනෙක් දුන්නා. ඒත් නැන්දෙ එයාට බෑ මට එක ළමයෙක් දෙන්න ! මගේ ජීවිතේ නිකම් අපරාදෙ නාස්ති වෙලා යන එක වලක්වන්න එකම එක දරුවෙක් දෙන්න… ’
තවදුරටත් ඊට සවන් දෙන්නට තරම් ධෛර්යයක් මා තුළ නොවීය. මා රැගෙන යන්නට තරම් සවිමත් නොවූ දණහිස්වලින් යුතුව මම පොළොවට ඇලී ගත් වනම එතැන හිඳගෙන සිටියෙමි.
සුනීතා ජෛන්, Sunita Jain (1941–2017)
නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.