කැනේඩියානු අධ්‍යාපන ක්‍රමය

මගේ අවසාන ලිපියෙන් මම කැනඩාවේ වත්මන් සංක්‍රමණික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා.

අද ලිපියෙන් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කැනේඩියානු අධ්‍යාපන ක්‍රමය පිලිබදවයි. 

ඊට පෙර, අපි කැනඩාවේ වත්මන් ආගමන යාවත්කාලීන සලකා බලමු.

  • අගමැති Justin Trudeau ගේ ඉල්ලා අස්වීමෙන් පසුව කැනඩාව දේශපාලන හා සමාජ සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. බොහෝ අය මේ සම්බන්ධව කනස්සල්ලෙන් පසු වුවත්, කැනඩාවේ ආගමන සරණාගත පුරවැසිභාවය(Immigration, Refugees and Citizenship Canada) පිළිබද රජයේ දෙපාර්තමේන්තුව ස්වාධීනව ක්‍රියා කරන ෆෙඩරල් රජයේ ආයතනයක් හේතුවෙන් ඔහුගේ ඉල්ලා අස්වීම ආගමන ක්‍රියාවලියට සෘජුවම බලපාන්නේ නැහැ. නමුත් දිගුකාලීන Trudeauගේ ඉල්ලා අස්වීම කැනේඩියානු සංක්‍රමණ ප්‍රතිපත්තියේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරාවි. දිගු කාලීනව සංක්‍රමණිකයින්, ජාත්‍යන්තර සිසුන්, සරණාගතයින් ඇතුළු විදේශිකයින් පිළිගන්නා ජාතියක් ලෙස ගෝලීය කීර්තියට පරසිදු කැනඩාවට, අගමැතිතුමාගේ ඉල්ලා අස්වීම හේතු සාධක කරගෙන ඒ කීර්ති නමට යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්.
  • Trudeau ගේ නායකත්වය යටතේ, කැනඩාව මෑත වසරවලදී වාර්ෂිකව 450,000ක් නවකයන් සාදරයෙන් පිළිගත් ජාතියක් ලෙසට සංක්‍රමණ ඉලක්ක තබා තිබෙනවා. 2024 ජනමත විමසුමකින් හෙළි වූයේ සංක්‍රමණ සංඛ්‍යා ඉහල යෑම සම්බන්ධව  කැනේඩියානු පුරවැසියන්ගේ සහයෝගය අඩුවීමට හේතුවන්නේ ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ සමතුලනය කරන අතරම නිවාස පිරිවැය දැරිය නොහැකි වනසේ ඉහල යාම, සෞඛ්‍ය පද්ධතිය මත පැවරෙනා අධික බර වැනි ගැටළු වලට මුහුණ දීමට සිදු වන බැවින් බවයි.
  • Trudeau ගේ ඉල්ලා අස්වීම පළමු පරම්පරාවෙන් ඔබ්බට පැවත එන පුරවැසිභාවය දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති Lost Canadian Bill පත්‍රයට බලපෑමක්ද විය හැකිය.                                                                                                       https://www.canada.ca/en/immigration-refugees-citizenship/news/2024/05/bill-c-71-an-act-to-amend-the-citizenship-act-2024.html
  • ඔහුගේ ඉල්ලා අස්වීම, අකාර්යක්ෂමතාව සඳහා විවේචනයට ලක් වූ භාරකාර වැඩසටහනට(The caregiver program) බලපෑ හැකිය. Trudeau රජය එහි සංශෝධන සඳහා සූදානම් වෙමින් සිටි අතර ඔහුගේ හැරයාමෙන් මෙම ක්‍රියාවලිය ප්‍රමාදවීමට බොහෝ ඉඩකඩ ඇත.
  • Trudeauගේ කාලය තුළ පශ්චාත් උපාධි වැඩ වැඩසටහන ක්‍රියාත්මක කල PGWP(Post-Graduate Work Program) සහ කාලත්‍රයන් සඳහා ක්‍රියාත්මක කල විවෘත වැඩ බලපත්‍ර(open work permits for spouses of candidates) ඇතුළුව තාවකාලික නේවාසික වැඩසටහන් පුළුල් උනා. කෙසේ වෙතත්, මෙම වැඩසටහන් කරගෙන යාමේදී සිදුවූ වංචා පිළිබඳ වාර්තාවීම හේතුවෙන් ඒවා විශාල ලෙස කතාබහට රට තුල කතා බහට ලක් වුවා. Trudeauගේ ඉල්ලා අස්වීමත් සමඟ, මෙම “විවෘත දොර (open work permits)” ප්‍රතිපත්ති වසා දැමීමට ඇති ඉඩකඩ වැඩි අතර, විශේෂයෙන් තාවකාලික සේවකයින් සහ ජාත්‍යන්තර සිසුන් සඳහා නීති දැඩි කිරීම්, පුලුල්ව පැතිරුණු අපයෝජනයට තුඩු දුන් සමහර මතභේදාත්මක වැඩසටහන් වල අවසානයක්ද සිදුවිය හැකියි. හේතුව මීළඟ නායකයා වීමට බොහෝ ඉඩකඩ ඇති Pierre Poilivre සංක්‍රමණ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් ගැනීමට අපේක්ෂා කිරීමයි.
  • අස්ථාවර දේශපාලන භූ දර්ශනය සමඟ වුවද කැනඩාවේ PR ලබා ගැනීම සඳහා පැහැදිලි මාර්ග තිබෙනවා. ඔබේ අවස්ථාවන් වැඩි දියුණු කර ගැනීමට ඇති එක් සරල ක්‍රමයක් තමයි සෞඛ්‍ය සේවා(Healthcare) සහ පුහුණු ශ්‍රමය Skilled-Worker) වැනි ඉහළ ශ්‍රම ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම. මීට අමතරව, ප්‍රංශ භාෂාවෙන් ප්‍රවීණතාවය ලබා ගැනීමෙන් Quebec සහ අනෙකුත් පළාත්වල PR ලබා ගැනීමේ සම්භාවිතාව වැඩි කළ හැකිය.
  • AIP(Atlantic Immigration Proram)-මේ දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ වූවත් අත්ලාන්තික් කැනඩාවේ New Brunswick, Newfoundland & Labrador, Nova Scotia & Prince Edward Island යන පළාත් හතරට පුහුණු ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති අත්ලාන්තික් සංක්‍රමණ වැඩසටහනට රජය සැලකිල්ලක් දක්වනවා. එම AIP වැඩසටහනින් අයැදුම්කරුවන්ට පහත සඳහන් ප්‍රතිලාභ ලැබීම අමතර වාසියක්:
    •  විදේශීය පුහුණු ශ්‍රමිකයින්ට ඉතාමත් ඉක්මනින් PR ලබාගත හැක 
    •  රැකියා බලපත්‍ර(work permits) ශ්‍රම වෙළඳපොල බලපෑම් තක්සේරු(LMIA) ක්‍රමයෙන් නිදහස් කර ඇත
    •  PR සැකසීමේදී අපේක්ෂකයින්ට නීත්‍යානුකූලව වැඩ කළ හැක
    •  පුද්ගල settlement සදහා අවශ්‍ය සේවා සහ උපකාර ලබාගත හැක 

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/atlantic-immigration.html

   කැනේඩියානු අධ්‍යාපන ක්‍රමය

දැන් අපි කැනඩාවේ අධ්‍යාපනය පිළිබදව අවධානය යොමු කරමු.

  • අධ්‍යාපනය සම්බන්ධව කතාබහ කරන විට, හේතු කිහිපයක්ම නිසා, කැනඩාවට හිමිවෙන්නෙ අද්විතීය ස්ථානයක්.
  • 2022 ඇමෙරිකන් ප්‍රවෘත්ති වාර්ථාවකට අනුව, ලෝකයේ හොඳම අධ්‍යාපනය ඇති රටවල් අතින් කැනඩාවට 4 වැනි ස්ථානය හිමි වෙනවා.
  • 2016 සිටම ලෝකයේ හොඳම අධ්‍යාපනය ඇති රටවල් 5 අතරෙත් කැනඩාව සිටිනවා. 
  • රටේ ජනගහනයෙන් 60%ක් පමණ උසස් අධ්‍යාපනය ලැබීම හේතුවෙන්, ලෝකයේ වඩාත්ම උගතුන් සිටිනා රට වෙන්නෙත් කැනඩාව. 
  • මේ හේතුවෙන් කැනඩාව ලොව විශාලතම අධ්‍යාපන මධ්‍යස්ථානය කියලා ලෝකයේ හරිම ප්‍රසිද්ධයි. මොකද, කැනේඩියානු රජය, Community colleges, language schools , තාක්ෂණික ආයතන, Summer කෑම්ප්, විශ්ව විද්‍යාල සහ Colleges ඇතුළු රජයේ පාසල් රට පුරාම පිහිටුවා තියෙන්නෙ. මොන බාධක තිබුනත්, අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න කැනඩාව, සෑම දරුවෙකුටම සමාන අවස්ථාවන් දීලා තියෙනවා. තමන්ගේම ක්‍රමයක් ඇති Quebec ප්‍රාන්තයේ හැරුනාම අනික් සෑම ප්‍රාන්තයකම අධ්‍යාපන ක්‍රමයන් හුඟාක් සමානයි.
  • කැනඩාවේ College සහ University වල අධ්‍යාපනය නොමිලේ නැති උනත්, කිසිම දරුවෙකුට ආර්ථික ප්‍රශ්න ඉගෙනීමට බලපාන්නෙ නෑ. අඩු ආදායම් පවුල්වල සිසුන්ට, නොමිලේ ඉගෙන ගන්න පුලුවන්. සාමාන්‍ය ආදායම් ඇති අයට, රජය සහනදායී ණය ලබාදෙනවා. ඒ වගේම දක්ෂතා පදනම යටතේත් කැනේඩියානු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා.
  • කැනඩාවේ අවුරුදු 6 සිට 18 දක්වා, පාසැල් අධ්‍යාපනය අනිවාර්යයයි. වයස අවුරුදු 4 දී ප්‍රාථමික අධ්‍යාපනය පටන් ගන්නා කැනේඩියානු දරුවන්, නවවන වසරේදී high School එකට ඇතුල්වෙනවා. High School එකේ අවුරුදු 4ක් ඉන්නා මේ දරුවන්ව, උසස් අධ්‍යාපනයට සුදානම් කිරීම  සඳහා පාසැල මගින් විෂය මාලාව ප්‍රවේශමෙන් සහ කල්පනාකාරීව සැලසුම් කරනවා. ලංකාවෙ වගේ අධි තරඟකාරී O/L, A/L වගේ විභාග නැත්තේ එමගින් සමහර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි නිසයි. උදාහරණයක් ලෙස High School සිසුන්ව ඇගයීමකට ලක් කරන්නෙ එයාලගෙ අවසාන වසර කිහිපයේදී. 
  • සිසුන් High School අවසානයේ, විශ්ව විද්‍යාල හෝ College තෝරා ගන්නවා. College සහතික හෝ ඩිප්ලෝමා පාඨමාලාවලදී,  සිසුන් ඔවුන් කැමති රැකියාවන් සඳහා ප්‍රායෝගික, තාක්ෂණික කුසලතා පුහුණු ලබා ගන්නවා. මේ Colleges, රැකියාවන්ට ගැලපෙනසේ නවතම විෂය මාලාව නිර්මානය කරන විට, නිතරම විවිධ සේවා ස්ථාන සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. 
  • විශ්ව විද්‍යාලයේදී, සිසුන් බොහෝ විට ගුරුවරුන් සඳහා අධ්‍යාපනවේදී උපාධි, ව්‍යාපාර කලමනාකරණය, ආර්ථික විද්‍යාව, වෛද්‍ය, නීති සහ ඉංජිනේරු වගේ ගැඹුරු තාක්ෂනික සහ න්‍යායික විෂයයන් තමයි අධ්‍යයනය කරන්නෙ. ලංකාවෙ වගේ නෙවෙයි, වෛද්‍ය සහ නීති විද්‍යාලවලට සුදුසුකම් ලැබීමට නම් අනිවාර්යයෙන්ම උපාධියක් තියෙන්න ඕන.

රජයේ අරමුදලින් නඩත්තු වෙන කැනඩාවේ අධ්‍යාපනය උසස් තැනක තිබීමට හේතු කිහිපයක් තියෙනවා. 

1. කැනඩාව, අධ්‍යාපනය සඳහා එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට වඩා වැය කරනවා.

2. සෑම පලාතකම ඇති පාසැල් අතර ගුණාත්මකභාවයේ වෙනසක් නෑ. ඒකෙන් පෙන්වන්නේ සමානත්මතාවය.

3. පාසැලට ඇතුල්වූ මුල් දිනම පටන්, දරුවන්ගේ සබකෝලය නැති කිරීම සදහා විවිධ වැඩසටහන් පවත්වාගෙන් යනවා. උදාහරණයක් ලෙස, පහල පන්තිවලදී Show and Tell නම්වූ ඉතා ප්‍රායෝගික වැඩසටහනක් පවත්වනවා. පන්තියේ යාලුවන් ඉදිරියේ සිටගෙන තමන් කැමති සෙල්ලම් බඩුවක් ගැන ආසාවෙන් කතා කිරීමෙන් දරුවන්ගේ  සබකෝලය නිකම්ම මඟහැරී යනවා.

4. පන්තිවලදී, විෂයන්ට දුර්වල දරුවන්ට ඇවැසි සෑම උපකාරයක් සදහාම වෙනම ගුරුවරු ඉන්නවා. ඒක නිසා, සිසුන්ට ටියුෂන් යෑමේ අවශ්‍යතාවයක් නැහැ. මොන තත්වයේ සිටියත්, සෑම දරුවෙකුටම අධ්‍යාපනය දීම කැනඩාවේ අරමුණ නිසා, ඉගෙනීමේ හෝ, බුද්ධිමය හෝ ශාරීරික ආබාධ ඇති දරුවන්ට අධ්‍යාපන ලබා දීමට විශේෂ ගුරුවරු පාසැල්වල ඉන්නවා. ඒ දරුවන්ට ස්වාධීනව වැඩ කරගෙන යාමටත් පාසැල පුරුදු පුහුණු කිරීම දෙමාපියන්ට විශාල සහනයක් ලබා දෙන සේවාවක්. 

5. ඒ වගේම ප්‍රශ්නයක් හෝ ගැටළුවක් ඇති ඕනෑම දරුවෙකුට ඉත සිතින් උපකාර කර විසඳීමක් ලබාදීමට කැපවු මනෝ උපදේශකවරුන් සෑම පාසැලකම සිටිනවා. 

6. සෑම සිසුවෙකුම තමාගේ නිවසට ආසන්නම පාසැලටයි යන්නෙ. රජය උත්සාහ කරනවා, සෑම නිවසකම සිට පාසැලට තියෙනා දුර ප්‍රමාණය සැතැප්ම 3/4 ට වඩා අඩුවෙන් තබා ගැනීමට. දරුවාට පයින් යාමට ඒ පාසැල දුර වැඩි නම්, නොමිලේ පාසල් බස් රථ මගින් සිසුන් ප්‍රවාහනය කරනවා. රජයේ මේ අනුග්‍රහය දෙමාපියන්ගේ කර මත ඇති විශාල බරක් ඉවත් කිරීම දෙමාපියන්ට විශාල සහනයක්. 

7. ඒ වගේම, සිසුන්ට ආරම්භයේ සිට 12 වැනි වසර දක්වා, පැසැල් පොත් රජය මගින් නොමිලේ ලබා දෙනවා. උදෑසන ආහාරය නොමැතිව දරුවෙක් පැමිණේ නම් පාසැල සෞඛ්‍යය සම්පන්න උදෑසන ආහාරයක් ඒ දරුවාට සපයනවා. 

8. කැනඩාවේ ඉතාමත්ම ගෞරවනීය වෘත්තියක් වන ගුරු වෘත්තියට අවම වශයෙන් උපාධියක් සහ වසරක ප්‍රායෝගික පුහුණුවක් අත්‍යාවශ්‍යයි. බොහෝ ගුරුවරුන්ට ශාස්ත්‍රපති, උපාධි, සහතික තියෙනවා. රජය දිරි දීමනා ලබා දීමෙන් ගුරුවරුන්ගේ දැණුම අඛණ්ඩව වැඩි දියුණු කරගෙන යාම සඳහා අදාළ අධ්‍යාපනය ලබා ගැනීමට ගුරු ජීවිතය පුරාම ඔවුන්ව උනන්දු කරනවා. පන්ති කාමරයේදී, ගුරුවරුන් ලමයින් සමඟ ඉතාමත් සමීපව ගනුදෙනු කිරීම, කැනේඩියන් අධ්‍යාපනයේ සාර්ථකත්වයට තවත් ප්‍රබලම හේතුවක්. 

9. කැනඩාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිටම න්‍යායික වගේම ප්‍රායෝගික අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීම හේතුවෙන්, ගුරුවරුන් දරුවන්ට දැනුම දීම වගේම ගවේෂනයට සහ පර්යේෂනවලට යොමු කිරීමද අනිවාර්යයෙන්ම සිදු වෙනවා.

10. ලෝකයේ උසස්ම මට්ටමේ ඇති කැනේඩියානු Colleges සහ විශ්ව විද්‍යාල , අධ්‍යාපනයට අමතරව, ගෝලීය වශයෙන් කීර්තිමත් පර්යේෂණ විද්‍යාගාර වලින් පරිපූර්ණයි. ලෝකයේ ඉතාමත් කීර්තිමත් නාමයන් දිනා ඇති මහචාර්යවරු සමඟ පර්යේෂන කිරීමට සිසුන්ට මෙහිදී අවස්ථාව ලැබෙනවා.

11. අධ්‍යාපනඥයින් කැනේඩියානු දරුවන්ගේ විෂය ධාරාවට අමතරව, ජීවන දක්ෂතා, ලෝකය ගැන දැනුම, තමාගේ සෞඛ්‍යය වර්ධනය සහ රුචිකත්වයට සරිලන විෂයන්ද විෂය මාලාවට ඇතුලත් කරනවා. 

12. ඉහල සියලුම දේට අමතරව ප්‍රායෝගිකව පරිසරයට, මිනිසුන්ට, සතුන්ට ආදරය කිරීම, කාරුනික බව, අවංක බව, පරිසරය ආරක්ෂා කිරීම වැනි සාරධර්ම පාසැල්වලින් දරුවන්ට කියලා දෙනවා. බොරුකීම සහ වංචාව තදින්ම පිටු දකිනවා. මේ හේතුවෙන්, නිවසේදී  දෙමාපියෙක්ටවත්, ඒ ලමයින් ලව්වා බොරුවක්, වංචාවක් කරවන්න බැහැ. සෑම පුද්ගලයෙකුටම ගරු කිරීම, කිසි විටකදී කෙනෙක්ට අතක් නො එසවීම, හිරිහැර නොකිරීම වැනිදේ දරුවන්ට පාසලින් ඉතාමත්ම අවධාරණය කරනවා. 

මේ ලිපිය හා බැදුණු මාගේ යූ ටියුබ් වැඩසටහන සදහා පහත දිගුවෙන් ඔබට පිවිසෙන්නට පුළුවන්.

Canadian Education System

https://www.youtube.com/channel/UCfb9JrxlyrgtYK7COgLjqLA

මගේ මීළඟ ලිපියෙන් කැනේඩියානු මානව හිමිකම් සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. 

මෙම විද්‍යුත් පුවත්පත් කිසිදු කැනඩා රජයේ නියෝජිත ආයතනයකට හෝ ආගමන නීතිවේදීන්ට සම්බන්ධයක් නැත. මෙම ලිපියේ තොරතුරුවලට පදනම් වී ඇත්තේ විවිධ Online වෙබ් අඩවිවලින් ලබාගත් තොරතුරුයි. එබැවින් ඔබේ විශේෂිත සංචාරක අවශ්‍යතා සඳහා විශේෂඥ ආගමන  නීතීඥවරයෙකු හෝ උපදේශකවරයෙකු මුණ ගැසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *