ක්ලීන් ශ්‍රී ලංකා අස්සේ විපක්ෂයත් ඔලුව උස්සයි.

උදාවූ නව වසර ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට ද තීරණාත්මකය. ආණ්ඩුවේ කාර්ය සාධනය සොයා බැලෙන අයවැය තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනතාව මේ මොහොතේ ඉන්නේ තරමක් අසීරු අඩියකය. ඔවුන්ගේ ජීවන වියදම උහුලාගන්නට බැරි මට්ටමකට පැමිණ ඇත. සහල් හිඟය, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යාම, වැටු වැඩි නොවීම කාරණා මත ජනතාව ඉන්නේ තරමක් අසීරුවෙන්ය. එවැනි පසුබිමක විදුලි බිල ද පසුගියදා සියට විස්සකින් අඩුවද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තවමත් තීරණයක් ගෙන නැති පාටය. මේ අතරේ ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරක නිරත වූ අතර, එක්සත් ජාතික පක්ෂය හා සජබය එක්ව නව දේශපාලක සන්ධානයක් බිහි කිරීම පිළිබඳව ද සාකච්ඡා ආරම්භ වී ඇත

ජනපතිගේ චින සංචාරය

ජනාධිපතිගේ චීන ගමන අහවරය. චීන සංචාරයේදී දෙරට අතර සිදුවූ අවබෝධතාවන් මේ වන විටත් ලෝකයට රහසක් නොවේ. ඒ සියල්ල ප්‍රසිද්ධය. ජනපතිගේ චීන ගමනට පෙර ලෝක දේශපාලන අවධානය ඒ දෙසට යොමුව තිබිණි. විශේෂයෙන්ම ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් ජනපති අනුරගේ චීන ගමන දෙස වඩා විචක්ෂණ වූවා නියතය. ඉන්දියාව මෙන්ම චීනයද ලාංකේය දේශපාලනය තුළ ප්‍රධාන සාධකයන්ය. ඒ නිසාම ඉන්දියාව මෙන්ම චීනයේද හොඳ හිත දිනා ගනිමින් මේ මහා බල කණු දෙකම අපට වැඩදායී ලෙස යොදා ගැනීමට අනුර දිසානායක සමත් වූවාද යන්න විමසීමට දැනට කල් වැඩිය. එහෙත් ස්ථිරවම සිදුව ඇත්තේ එය බව අනුමාන කළ හැකිය. දැනට ප්‍රසිද්ධ කර ඇති ගිවිසුම් අනුව ඒවා රටේ යහපතට ඉවහල් වන බව පෙනෙන්ට ඇත.

කොහොම වුණත් චීනයේ ගත කළ දින දෙක තුන තුළ ආයෝජන කිහිපයක් ගැන සාකච්ඡාවන් සිද්ධ වෙලා තියෙනවා. චීනය හම්බන්තොට ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් හදන්න ආයෝජනය කරන්න සූදානම් බව එකඟ වෙලා. අනෙක මෛත්‍රි ජනාධිපති වෙලා ඉන්නකොට ආපු සයිනොපෙක් කියන්නෙ දැනටමත් ලංකාවේ ආයෝජන කරන සමාගමක්. ඉතින් මේ කියන තෙල් පිරිපහදුවේ වැඩෙත් නරක වන එකක් නැහැ. කොහොමත් චීනය පසුවන්නේ හම්බන්තොට වරාය ගැන උනන්දුවෙන්.

කොහොමත් අනුර තවමත් යන්නේ රනිල් පාරේ කියන එකටත් මේ ගිවිසුම් ප්‍රමාණවත්. මොකද මෛත්‍රි කාලේ ආපුවා සක්‍රිය වුණේ වඩා හොඳට පසුගිය කාලේ රනිල් යටතේ. දැන් අනුර ගිහින් කරලා තියෙන්නේ ඒක තව සක්‍රිය කරන එකයි. මෙහෙම බලපුවහම නායකයෝ ගිහින් ගිවිසුම් ගහල ආපු පලියටත් දේවල් වෙන්නේ නැහැ වගේ. ඔය ඉන්දියන් ගිවිසුම් ගැන වුණත් තවම හරියට මේ චීන ගිවිසුම් තරම්වත් පැහැදිලි නැහැනේ. චීන ගිවිසුම් ගැනත් තව ටික දවසක් යනකොට කතාබහක් නැති වෙයි. ඉන්දීය අගමැති එනකම් බලාගෙන ඉඳී. එයා ඇවිත් කියන ඒවා ගැන හිතයි. ඒ ඔක්කොටම වැඩිය ආණ්ඩුවේ අය-වැයත් එක්ක මේ කතා යට යයි. අය-වැය උඩ එයි. කොහොමත් ආණ්ඩුවේ දැක්ම, ගමන හැමදේම තේරුම් ගන්න වෙන්නේ අය-වැයෙන් පස්සේ.ජනපති ඉන්දියාවේ ගිහින් ආපුවහම කොච්චර කතා කළාද? ඒත් එච්චරනේ. චීන ගමන ගිහින් ආපුවහමත් එච්චරයි. ඒ අය එහේ සාකච්ඡා. මෙහේ අය මෙහේ සාකච්ඡා. බැලුවහම කතා විතරයි.

සජබයේ පුළුල් සංවාදයක්

මේ අතර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය බ්‍රහස්පතින්දා  රැස්වුණේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳවයි. පළාත් පාලන මැතිවරණය අය-වැය ලේඛනයත් සමඟම ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන්නේ ආණ්ඩුවේ බිඳවැටීම වේගයෙන් සිදුවන නිසා බව මහලේකම්වරයා  අවධාරණය කළා.  පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීමට පක්ෂය වඩාත් ශක්තිමත්ව කටයුතු කළ යුතු බව මහලේකම්වරයා ප්‍රකාශ කළ විට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් රැසක් ඒ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පක්ෂය ඒ සඳහා විපක්ෂයේ  සියලු දේශපාලන පක්ෂ සමඟ පුළුල් සංවාදයකට යොමු විය යුතු බවයි. පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ මේ ගැන  එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීම වැදගත් වන බවයි. කබීර් හෂීම් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂය වශයෙනුත් බිම් මට්ටමේ සංවිධාන ජාලයක් ඇති පක්ෂය වශයෙනුත් සමගි ජන බලවේගය සිය අනන්‍යතාව රැක ගනිමින් එය සිදු කිරීමට හැකියාව තිබෙන බවයි. එහිදී ගොඩනැඟෙන සන්ධානයක ප්‍රධානතම පක්ෂය වශයෙන් එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට හිමි විය යුතු බවට  විවාදයක් නැති බව කබීර් හෂීම් මන්ත්‍රිවරයා අවධාරණය කළා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලක්ෂ්මන් සෙනවිරත්න හිටපු මන්ත්‍රිවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීම තුළ එම පක්ෂයට සමගි ජන සන්ධානය ශක්තියක් වන බවයි. මන්ද බිම් මට්ටමේ දේශපාලනිකව ශක්තියක් ගොඩනැඟී ඇත්තේ සමගි බලවේගයට නිසායි. මෙම සාකච්ඡා පැවැත්වීම අවංකව සිදු කළ යුතු බවත් විවිධ මාධ්‍ය හා සමාජ ජාලා හරහා එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍යකරුවන් හරහා සමගි ජන බලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය නොකිරීමට කටයුතු කිරීම වැදගත් බවත්  හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය සමඟ මෙන්ම විපක්ෂයේ අනෙකුත්  දේශපාලන පක්ෂ සමඟද සාකච්ඡා කිරීම වැදගත් බව මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත්  සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළා. පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පසුගිය සති  කීපය තුළ දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක පාක්ෂිකයන් හමුවීමද මෙවැනි සංවාදයක් ඇති කිරීම පක්ෂයට ශක්තියක් ගෙන එන බවට  අදහස් පළ වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේ  එක්සත් ජාතික පක්ෂය සමඟ මෙන්ම විපක්ෂය අනෙකුත් පක්ෂ සමඟද සාකච්ඡා කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව පත් කළ කමිටුවට බලය ලබාදීමට අනුමැතිය දෙන බවයි.

රාඡපක්ෂ දඩයම.

ආණ්ඩුව දඩයම පටන් අරගෙන කියලා නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා කෙඳිරි ගානවා. මීට කලින් කෝ හොරු ඇල්ලුවද ගගා ඉන්නකොට ජනාධිපති කිව්වේ හා හා කෙඳිරි ගාන්න එපා අල්ලනකොට නම් රිදෙයි කියලයි. කොහොම වුණත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවල තිබුණු එකත් එක්ක රාජපක්‍ෂලාගේ කෙඳිරිය වැඩි වෙනව වෙන්නත් පුළුවන්.

ගෝඨාභයව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙනත් තිබුණේ අයුතු දේපළ රැස් කිරීමේ චෝදනාවක් යටතේයි. එහෙම බලපුවහම මේ චෝදනාව යටතේ තව ගොඩක් අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගේන්න පුළුවන්.

වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකර දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් දඩයම් කරනවා කියලයි නාමල් කියන්නෙ. එයාට අමතක වුණාට වත්මන් ආණ්ඩුව ජනතාවට ආණ්ඩුව වෙච්ච ලොකුම පොරොන්දුව තමයි හොරු ඇල්ලීම. හොරු අල්ලන්න වෙන්නෙ ඔය විරුද්ධවාදීන් කියලා කියා ගන්න අය අතරෙන්ම තමයි. ඉතින් නාමල්ල ඒ දඩයමෙන් බේරෙන්න නීති ආධාර කාර්යාල එහෙම අරින එක හොඳයි. දඩයමට ලක්වන අය වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට මේ රාජපක්‍ෂලා වෙනුවෙන්ම පෙනී සිටීමක් වෙන්න පුළුවන්.

කොහොම වුණත් වත්මන් ආණ්ඩුවත් ඡන්දෙට කලින් නම් “චෞර වළල්ල” වගේ චිත්‍රපටයක් ගැන කිව්ව මතකයි. ජනතාව පුන පුනා බලාගෙන ඉන්නේ මේ චිත්‍රපටය බලන්නයි. ඒත් බලා ඉන්න වෙලා තියෙන්නේ අද නෙවෙයි හෙට අල්ලනවා නාටකය වීම තමයි වැඩේ. ආණ්ඩුව ජනතාවටත් කියයිද දන්නෙ නැහැ කෙඳිරි නොහා ඉන්න කියලා. එතකොට තමයි ජනතාවටත් කෙඳිරි ගෑවෙන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය.

නව වසරෙ පලමු විදුලි ගාස්තු සංශෝධනය පසුගියදා සිදුවුණා.විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කලා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන වුණේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය (17) වැනිදා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් 20%කින් විදුලි ගාස්තු පහළ දැමීමට තීරණය කලා.

එදින මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දුන්නෙ.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගැනුනා. 

මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කරල.

හෝටල් සඳහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12%කින් අඩුකරනු ලැබුවා.

රාජ්‍ය ආයතන සඳහා 11%කින්ද වීථි ලාම්පු සඳහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබුණා.

ක්ලීන් ශ්‍රී ලංකා

මේ දිනවල දේශපාල ක්ෂේත්‍රයේ වැඩිපුරම ඇසෙන වාක්‍යය බවට පත්ව ඇත්තේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාඨයයි. පාර්ලිමේන්තුවේ දේශපාලන වේදිකාවලදී පමණක් නොව, බොහෝ මාධ්‍යවල මාතෘකාව වී ඇත්තේද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යි.

මේ වැඩසටහන සාර්ථකද? අසාර්ථකද? ප්‍රකාශ කිරීමටත් පෙර මුළු රටම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පිළිබඳ කතා කිරීම හොඳ ප්‍රවණතාවක් බව බොහෝදෙනාගේ මතය වී ඇත.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන වැඩසටහනක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මඟින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමාජයට දෙන පණිවිඩය බොහෝදෙනකුගේ පැසසුමට ලක් වෙමින් පවතී.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවන අතර 18 දෙනකුගෙන් සමන්විත පිරිසක් එයට උපදෙස් දෙති. මේ 18 දෙනාගෙන් 13 දෙනකු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වන අතර ඔවුන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සම්බන්ධවී සිටින්නේ ස්වේච්ඡාවෙනි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව විවිධ ක්ෂේත්‍රවල ඒ ප්‍රවීණයෝ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සම්බන්ධ වී සිටිති.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන වැඩසටහනකි. පළමුව සිදු කරන්නේ: රටේ පොදු මහජනතාව සහ සමාජය දැනුවත් කිරීමයි. දෙවනුව: ‘ක්ලීන් ශ්‍රී ලංකා’ මඟින් සිදු කරනු ලබන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පිළිබඳ අවබෝධයක් ඇති කිරීමයි. ඉන් අනතුරුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පැමිණෙන්නේ නිවෙසටයි. එය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්යාලයට පැමිණෙන අතර, එය හඳුන්වනු ලබන්නේ ‘ක්ලීන් වර්ක්’ යනුවෙනි.

ඉන් පසුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පොදු ස්ථානවලටත්, ඉන් පසුව ‘ක්ලීන් එන්වයර්මන්ට්’ දක්වා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පැමිණීමට නියමිතයි.

එහෙත් ක්ලීන් ශ්‍රී ලංකා මුල් කරගෙන පොලීසිය වාහනවල අමතර කොටස් ගගවන එක ගැන පුලුල් සංවාදයක් ඇතිවෙලා.මේ නිසාම මේ වනවිට ආණ්ඩුව ගැන ඡනතාව අතර යමි අප්‍රසාදයක් ඇතිවෙලා.

මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාස තුනක් යන්නට පෙරම යම් ප්‍රහාරක ස්ථාවරයකට තල්ලු වෙමින්, විවේචන නොතකන බවක් පළ කරමින් තිබේ. එසේ වීමට හේතුව ආණ්ඩුවේම ක්‍රියාකාරකම් හා එහි නායක කාරකාදීන්ම කියන හැටියට “ජනතාව ඉන්නේ අපේ පැත්තෙ. ජනතාව අපි ඉල්ලුවාටත් වඩා බලයක් ලබාදී තියෙනවා. ඒ නිසා ඔය විවේචන අපි තකන්නේ නෑ” යන කතා නිතර අසන්නට ලැබෙමින් පවතී. එය තමන්ට ලබාදුන් බලය පිළිබඳ අධි තක්සේරුවක් හා ඉන් යම් උද්දච්චකමක් පළ කිරීමක්ද විය හැකි බව මේ ගැන කතා කරන බොහෝ දෙනාගේ මතයය.

කෙසේ වෙතත් මාස තුනක් යන්නට පෙරම ආණ්ඩුව ජනප්‍රියත්වයෙන් පහළට බැස ඇති ලකුණු පළ වෙමින් පවතී. එළැඹෙන්නේ පළාත් පාලන ඡන්දයක් හෝ පළාත් සභා ඡන්දයක් විය හැකි මුත් ඊටත් පෙර රට පුරා සමුපකාර ඡන්දවලදී ද මාලිමාව පරාජයට පත්වෙමින් තිබේ. එම පරාජයන් තවත් අතට සුවිශේෂී වන්නේ පරාජයට පත්වූ ප්‍රදේශවල ජනාධිපතිවරණයෙන් හා විශේෂයෙන් මහ මැතිවරණයෙන් ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ගෙන මාලිමාව ජයග්‍රහණය කර තිබෙන වටපිටාවක් තිබියදීය.

සජබත් ක්ලීන් කිරීමට යයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත්දා කොළඹ හෝටලයකදී හමු වූයේ අලුත් අවුරුදු උදාව සැමරීමට පමණක් නොව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව පක්ෂය ක්ලීන් කිරීමේ අරමුණද සහිතවය.

“ඉම්තියාස් අයියා යවපු ලියුමට ලොක්කගෙන් කිසිම රිප්ලයි එකක් නෑ. ලොක්කට පක්ෂය හදන්න කිසිම ඕනෑකමක් නෑ. කොතැනක හරි එයා හිරවෙලා ඉන්නවා” එක් මන්ත්‍රීවරයෙක් කීවේය. “අඩුම ගානේ සාකච්ඡාවකටවත් එන්නේ නැහැ නේ. පාර්ලිමේන්තුවේදී හැමදාම උදේට විනාඩි හතළිස් පහක් කතා කරනවා. අපට කතා කරන්න වෙලාවක් නෑ. අනික ඒ කතා කරන ඒවත් මෙලෝ රහක් නෑ. තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.”

මල් පාරේ කතාබහක්

ආණ්ඩුවට උද්දච්චකම සහ නොදන්නාකම සම්මිශ්‍රණය වූ අමුතු ලෙඩක් වැලඳී ඇතැයිද, ඒ අමුතු අසනීපය විසින් ආණ්ඩුවේ සියලු පාර්ශ්වකරුවන් තෙතබරිත වන තුරුම නාවමින් සිටින්නේ යැයිද යන්න කොළඹ මල් පාරේ ගෑස් සිලින්ඩර් කාර්යාලයට රැස් වූ මන්ත්‍රී කණ්ඩායම කළ කතාබහේ සාරාංශය විය.

“මේ මිනිස්සු ටික මෙච්චර ඉක්මනට නාන්න පටන් ගනීවි කියලා ඇත්තටම අපි හිතුවේ නෑ. ලංකා ඉතිහාසයේ නෙමෙයි ලෝක ඉතිහාසෙවත් මෙච්චර ඉක්මනට නාන්න පටන් ගත්ත නෑඹුල් ආණ්ඩුවක් නැතුව ඇති.” රුවන් එසේ කීවේ බස් සහ ත්‍රිරෝද රථ හිමියන්ගේ ආණ්ඩුවට එරෙහි අනේක විධ අඳෝනා ගැන සිහිපත් කරමිනි.

 “රටේ ආණ්ඩුව පිස්සු කෙළින කොට විපක්ෂය ගැන හිතලා හරි මිනිස්සු හිත හදාගත්තා. දැන් මේ රටේ ආණ්ඩුවකුත් නෑ, විපක්ෂයකුත් නෑ” වජිර කීවේය.

සහල් ප්‍රශ්න, රිළා ප්‍රශ්න පසු කරමින් පැමිණි අලුත් ආණ්ඩුව මුහුණ දී ඇති අලුත්ම ප්‍රශ්නය බස්, ත්‍රිරෝද රථ ප්‍රශ්නයයි. මිනිසුන්ගේ ඒ විරෝධයේ මනෝවිද්‍යාත්මක සත්‍යයක් තිබෙන බව එජාප නායකයන්ගේ මතය විය.

රනිල්ගෙන් විපක්ෂයට චෝදනාවක්

“මේ අය බලයට ආවෙ හිටපු නායකයෝ ඔක්කොම ගැන බිල්ලො මවලා. ඔවුන් බලයට එන්න කියපු කතාම දැන් ඒ අයට පාරා වළල්ලක් වෙලා. මේ ඇති වෙමින් තියෙන ජනතා විරෝධතා එකක්වත් විපක්ෂය විසින් මතු කළ ඒවා නෙමෙයි; ජනතාව තුළින්ම මතු වෙච්ච විරෝධතා. ඇත්තම කිවුවොත් ප්‍රධාන විපක්ෂය දැන් අඩපණ වෙලා. ඔවුන්ට මොකුත්ම කරගන්න හැකියාවක් නෑ…” රනිල් හඬ අවදි කළේ විපක්ෂය පැත්තටත් චෝදනාවක් එල්ල කරමිනි.

අලුත්ම මෙහෙයුම ගැන වජිරගෙන් ඉඟියක්

“සජිත් වගේ කෙනෙක් විපක්ෂ නායකකමේ ඉන්න එක ආණ්ඩුවට වාසියක්. ඒත් අපි රික්තකය දිගටම පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නෑ” වජිර අලුත් කතාවකට මුල පිරුවේය. රනිල් අලුත් සැලසුමක් හෙළිදරව් කළේ ඒ අවසරයෙනි.

“අපි බලන්නේ අලුත් පක්ෂයක් හදන්න. යූඑන්පී නම යටතේ එය කරන්නේ. අපි මේ බංකොලොත් වීම්, අර්බුද ඔක්කොම එන්න කලින් 2020 දී රටට ඇත්ත කිවුවා. කිසි දවසක රටට බොරු කියල නෑ. අපි මෙහෙම පරාජය වෙන්නත් හේතුව ඒකම තමයි. අපි හදන අලුත් බලවේගයේ එ.ජා.පය ඉන්නවා; ඒ වගේම අනෙක් බලවේගත් එකතු කර ගන්නවා. අපි ඡන්දවලට එන්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේ. එතකොට ඕන කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙලා අලියා ලකුණින් තරග කරන්න පුළුවන්. සජබත් එක්ක දැනටමත් බිම් මට්ටමේ සාකච්ඡා යනවා.”

සමගි ජන බලවේග සහ එජාප හවුලක් ඉතා ඉක්මනින් රටට අවශ්‍ය බව දක්ෂිණාංශික විද්වතුන්ගේද පොදු ජනතාවකගේ ද මතය බව රහසක් නොවේ.

රනිල් සජිත් වජිර හමුවක්

ඉකුත් සතියේ ඉරිදාවේ සජිත් රනිල් එකම දවසේ දෙවරක් මුහුණට මුහුණ හමු වී කතාබහ කළෝය. බානගල උපතිස්ස හිමියන්ගේ 75 වැනි උපන්දින පින්කමේදීත් එදිනම සවස වැල්ලවත්ත විහාරස්ථානයක පැවැති පින්කමකදීත් සජිත්-රනිල් හමු වූහ. ඔවුන් ඉතා සුහදශීලීව කතාබස් කළ අයුරින් පිටතට නම් පෙනෙන්නට තිබුණේ පැරණි ප්‍රේමය යළි දලුලා වැඩෙනවා වැනි හැඟීමකි.

8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එජාප සභාපති වජිර අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු සහභාගී වූ ආගමික වැඩසටහනක් වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී පූජ්‍ය වැලිපත ධම්මාරාම හිමියන්ගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැති මෙම උත්සවයට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, වජිර අබේවර්ධන සහ සජිත් අතර පැවැති සුහද සංවාදය මේ අවස්ථාවට සහභාගී වූ සියල්ලගේම පාහේ දැඩි අවධානයට ලක් විය.

තලතාට සජබෙන් කොළ එළියක්

තලතා එජාප මහලේකම් ධුරයට පත් කිරීම ගැන එජාපයෙන් මෙන්ම සජබෙන් ද ප්‍රශංසාත්මක පණිවිඩ ලැබෙමින් තිබිණි. තලතා එජාපයේ 27 වැනි මහලේකම්වරියයි. එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක පළමු කාන්තා මහලේකම්වරිය වීමේ වාර්තාවද තලතාට හිමි වෙයි. සිකුරාදා උදේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තලතා මහලේකම් ධුරයේ වැඩ භාර ගත්තාය. ඇය සජබ එජාප එකතු කරන පාලමක් වනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *