පෙබරවාරි පළමුවැනිදා ටොරොන්ටෝවේ දී රාණි චිත්‍රපටය බලන්න කලින් හඳගම ලියූ මේ සටහන් කියවන්න. 2 වන කොටස

45% of the Tickets sold out. Limited Reserved Tickets available…
February 01st 2025 4.00 PM. Reserved seating 30/- Regular Seating 20/-

රාණි ෆිල්ම් හෝල් වලට එන ආරංචියත් එක්ක ද කොහෙද රිචඩ් ගැන, මනෝරානි ගැන නොයෙක් කතා අපිට අහන්න ලැබෙනවා. මං කලින් කිව්ව වගේ සිද්ධියක් සිද්ධවෙලා ඉවර වුණාට පස්සේ ඒ ගැන ඉතුරුවෙන්නේ කතාන්දර ගොඩක් තමයි. ඒවා ඔක්කොම ඇත්ත සිදුවීම් වටා ගෙතුණු ප්‍රබන්ධ කතා. ඒ එකක්වත් බොරුත් නෙවෙයි. සම්පූර්ණ ඇත්තත් නෙවෙයි.

ඉතින් ඒ දහසකුත් කතා අතර මේත් එක කතාවක්.

*******************************************************************************************************

‘තුන් දෙනෙක්’ චිත්‍රපටියේ ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සමග මම ද චිත්‍රපටි කණ්ඩයක් කළා. ඒ ‘අනෙකා’ (The Other). ඊට අමතරව මං විසින් නිර්මාණය කළ එකම කෙටි චිත්‍රපටය වන Talking About Love( ආදරය ගැන දෙබසක් ) කෙටි චිත්‍රපටියට රංගනයෙන් දායක වුණු මයුර කාංචන රංගන ශිල්පියා තුළ මම සුවිශේෂී ගුණයක් හඳුනා ගත්තා. ඉතා සියුම් ස්වාත්වික අභිනයන් තුළින් ඇඟට නොදැනෙන රංගනයක් හරහා තමා නිරූපණය කරන චරිතය දැක්වීමේ ගුණයයි ඒ. බොහෝ වෙලාවට පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඔහේ ඉන්න එක, බොහෝ රංගන ශිල්පීන් තුළ දුලබ, ඔහුගේ කැපී පෙනෙන ලක්ෂණයක්.

ඔහුව මං මුලින්ම දුටුවේ චමිල ප්‍රියංක අධ්‍යක්ෂණය කළ ‘මෙය තුවක්කුවක් නොවේ’ වේදිකා නාට්‍යයේ. ඉන් පසු වේදිකා නාට්‍ය කිහිපයකම ඔහුගේ රංගන හැකියාවන් දුටුවා. චිත්‍රපටියක මයුරට ගැලපෙන චරිතයක් තිබීම ඒ චිත්‍රපටියට වටිනාකමක් එකතු කරනවා. විශාකේස චන්ද්‍රසේකරම් ගේ පාංශු චිත්‍රපටියේ ඔහු අගනා චරිත නිරූපණයක් කළා.

ඇත්ත කතාවක් වුණත් වෘත්තාන්තමය ස්වරූපයෙන් ගොඩනැගීමේ දී ප්‍රබන්ධමය චරිත යොදාගන්න වෙනවා.

රාණි චිත්‍රපටියේ ඔහුගේ භූමිකාව කුමක්දැයි දැම්ම පවසන්න ඉක්මන් විය යුතු නැහැ. මේ තිස් වැනි දා එළිදැක්වෙන රාණි චිත්‍රපටියෙන් මයුරගේ රංගනය දැකබලා ගන්න.

රිචඩ් ට ඕන තරම් පෙම්වතියන් ඉන්න ඇති. ඒ වගේම පෙම්වතුනුත් ඉන්න ඇති. දැන හෝ නොදැන. ඔහු මාධ්‍ය කරුවෙක්. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදකයෙක් සහ නළුවෙක්. ඒ නිසා ඔහුට මනසින් පෙම් කරන්නන්, පෙම් කරන්නියන් අනන්තවත් ඉන්න ඇති. එහෙම එක් පෙම්වතියකගේ චරිතය තමයි රිතිකා කොඩිතුවක්කු රඟපාන්නේ. ඊට වැඩිය යමක් මේ වෙලාවේ මං කියන්න යන්නේ නැහැ. සිනමා පටය බලනකොට ඈ ඔබට හමුවෙයි.

ඒ උනාට රිතිකා කියන චරිතාංග නිරූපිකාව ගැන යමක් කියන්න ඕනේ.

රිතිකා ඉස්සරලාම මට හම්බවෙන්නේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ චරිතයට නිළි වරණය කරද්දී. මේ චරිතය සඳහා ලොකු තිරයේ ඇස නොගැටුණු රූපයක් මට වුවමනා කලා. ඒ එහි ප්‍රධාන භූමිකාව වන මහාචාර්යවරයා ගේ ෆැන්ටසි ස්ත්‍රිය සඳහා. එය නවක නිළියෙකුට අභියෝගාත්මක චරිතයක්. තමන්ගේ පළවෙනි සිනමා රංගනය, ඉන්දියානු රංගන ශිල්පී ද්රිතිමන් චැටර්ජි සහ මහාචාර්ය බිරිඳ ලෙස රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි කියන පල පුරුදු නළු නිලි යුවළගේ දෛව ස්ත්‍රියගේ භූමිකාව ලෙස ඇය නොබියව රඟපෑවා. ඒ 2014.

ඉන් පසු ‘ඇල්බොරාදා’ චිත්‍රපටියේ පැබ්ලෝ නෙරුදා ගේ මනස කලම්බන සක්කිලි තරුණියගේ භූමිකාවත් ඔබට මතක ඇති. ඇයත් පැබ්ලෝගේ එක්තරා විදිහක ෆැන්ටසියක්.

ඇය චරිත තෝරා බේරාගෙන රඟන්නියක්. ඒ වගේම සිනමාව පමණක්ම තම රංගන සීමාව ලෙස තෝරා ගත් තැනැත්තියක්. හැමදාම හැම තැනම දකින්න නැහැ. ඒ නිසාම ඇගේ රූපණය චරිතයට අපූර්ව බවක් එක් කරනවා.

රාණි චිත්‍රපටයේ රිචඩ් ගේ නාඳුනන පෙම්වතියක් ලෙස ඇය ඔබට හමුවෙයි.

සෞම්‍ය ලියනගේ බොහෝ වෙලාවට මගේ සිනමා ගමනේ මාත් සමගම ගමන් ගත් ගමන් සගයෙක්.

ඔහු ‘මේ මගේ සඳයි’ චිත්‍රපටියේ නමක් නැති තරුණ සොල්දාදුවාගේ භූමිකාවට පණ දුන්නා. ඊට පස්සේ ‘අක්ෂරය’ චිත්‍රපටියේ කෞතුකාගාර මුරකරුගේ චරිතය රඟපෑවා. ඉන් අවුරුදු ගානකට පස්සේ එහිම දිගුවක් වූ ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍යයේ ඒ භූමිකාවේම තරමක් වයසක, ඇන්ටික් කඩයේ හිමිකරු ලෙස පෙනී හිටියා.

මගේ පළමු සිනමා පටයේ පටන්ම ‘ලියනගේ’ පවුල අඩු වැඩි වශයෙන් මගේ නිර්මාණ ජීවිතය හා බැඳී පවතිනවා. ‘චන්ද කින්නරී’ චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි භූමිකාව නිරූපණය කළේ සෞම්‍ය ගේ තාත්තා. හේමසිරි ලියනගේ. එවකට නවකයෙකු මෙන්ම සිනමාවට පිවිසෙන තරුණ සිනමාකරුවෙකු වූ මගේ සිනමා කෘතියකට සම්බන්ධ වීමට ඔහු ගත්ත තීරණයම මට ධෛර්යයක් වුණා. ඉන් පසු ඔහු ‘දිය කැට පහන’, ‘සින්තටික් සිහින’ යන ටෙලි නාට්‍යවලත් සහ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටියේත් රඟපෑවා.

කොරෝනා ලොක්ඩවුන් සමයේ zoom තාක්ෂණයෙන් නිර්මාණය කළ ‘Beer Without Alcohol’ කෙටි චිත්‍රපටයට ඉන්ද්‍රචාපා චාපා ලියනගේ රංගනයෙන් සහ සංගීතයෙන් දායක වුණා.

සෞම්‍ය මට මුලින්ම මුණ ගැහෙන්නේ ‘චන්ද කින්නරී’ දර්ශන තලයකදී. ඒ උඩප්පුව වැලි කඳු අතර. ඊට පෙර දර්ශනයක් රූපගත කිරීමක දී හේමසිරිගේ කකුල ආබාධයකට ලක් වීම නිසා ඇවිදින්නට බැරි වූ හේමසිරිව උස්සාගෙන තැනින් තැනට ගෙන යෑමේ වගකීම පැවරුණේ තරුණ සෞම්‍ය ට.

හේමසිරි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ පුත්‍රයා වූ සෞම්‍ය හේමසිරි ව අතික්‍රමණය කළ කෙනෙක්.

ඔහු රඟපෑ මගේ හැම චිත්‍රපටයක ම ප්‍රධාන භූමිකාවට පණ දුන් සෞම්‍ය රාණි චිත්‍රපටයට සම්බන්ධ වන්නේ ඉතා කුඩා චරිතයක් රඟපාමින්. චරිතය කෙතරම් පුංචි වුනත් ඔහු ඒ රඟපෑම කළේ ඉතා උනන්දුවෙන් සහ උවමනාවෙන්. මනෝරාණි ගේ අසල්වැසි යුවළකගේ ස්වාමිපුරුෂයාගේ භූමිකාවට තමයි සෞම්‍ය පණ පොවන්නේ.

රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට වඩාත්ම සියුම් ප්‍රකාශන ඉන්ද්‍රිය වන්නේ ඇස් දෙක බව මගේ හැඟීමයි. හිතට ඇතිවන දුකක්, සතුටක්, බියක් දෙනෙතේ පිළිබිඹු වන බව අප හොඳින් දන්නා දෙයක්. ප්‍රකාශනශීලී දෙනෙතක් කියන්නෙ නළුවෙකුට, නිළියකට අගනා සම්පතක්. කතක්, කතකලි, මනිපුරි, භාරත නාට්‍යම් ආදී ඉන්දීය නැටුම් සම්ප්‍රදායන්හි නර්තන ශිල්පීන්ගේ ඇස් නලියන හැටි බලන්න. දෙනෙත් මතුකර දැක්වීම සඳහා ඔවුන් විශේෂ අංග රචනා ශෛලින් ද යොදාගන්නවා.

අනසුයා සුබසිංහ ප්‍රකාශනශීලී දෙනෙතක් හිමි රංගන ශිල්පිනියක්.

ඇය ප්‍රථම වරට අපිට (මට) දැකගන්න ලැබෙන්නේ ඉන්දික ෆරඩිනන්ඩෝ ගේ ‘හෝ ගාන පොකුණ’ ළමා චිත්‍රපටයේ. දුෂ්කර පාසලකට සංගීත ගුරුවරියක් ලෙස පත්වීමක් ලබා යන නාගරික තරුණියකගේ රංගනය ඔබට මතක ඇති. එය මතක හිටින රංගනයක්.

My Sweet Rotten’ Heritance විවෘත වේදිකාවේ කරපු ඇගේ අගනා නාට්‍ය පර්යේෂණයක්. අපේ පැරණි ජන නාට්‍ය සම්ප්‍රදායේ එන නාට්‍යාංග වල සංකලනයක් ඇසුරෙන් කළ නාට්‍ය නිෂ්පාදනයක්.

රාණි චිත්‍රපටයේ මනෝරාණි ගේ අසල්වැසි සෞම්‍ය ගේ බිරිඳ ලෙස ඇය රඟපානවා

මේ ලිපියේ පළමු කොටස සදහා දිගුව

https://srilancan.ca/2025/01/12/%e0%b6%bb%e0%b7%8f%e0%b6%ab%e0%b7%92-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%b4%e0%b6%a7%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *