රොනාල්ඩෝගේ තැන ගන්නටඑන සලා

ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ ජාත්‍යන්තර පාපන්දු ක්ෂේත්‍රය හොල්ලාගෙන සිටි පෘතුගාල ජාතික Cristiano Ronaldo ක්‍රිස්ටියානා රොනාල්ඩෝගේ තැන ගන්නට ඔහුට වඩා වසර 7කින් බාල ඊජිප්තු ජාතික Mohamed Salah මොහොමඩ් සලා නම් එංගලන්තයේ ලිවර් පූල් පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයකු කරළියට පැමිණීම කොරෙහි පාපන්දු ක්‍රීඩාවට ළැදි කාගේත් අවධානය යොමු වී ඇත. වයස අවුරුදු 18දී – එනම් 2003 වසරේදී – පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කළ රොනාල්ඩෝ තම ජාත්‍යන්තර දිවියේ පාපන්දු තරග 217කට සහභාගි වී ගෝල 135ක් වාර්තා කර ඇති අතර, වර්තමානයේ ඔහුගේ වාර්තා බිඳිමින් යන මොහොමඩ් සලා ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසෙන්නේ 2011 වසරේදීය. එලෙස අවුරුදු 20න් පහළ ඊජිප්තු කණ්ඩායම නියෝජනය කරන සමයේදීම ජාත්‍යන්තර පිටියට පිවිසෙන සලා තරග 103කදී මේ වන විට ලබා ඇති ගෝල සංඛ්‍යාව 59කි. පෙර පෙළ ක්‍රීඩකයකු ලෙස පෘතුගාල කණ්ඩායම නියෝජනය කරන රොනාල්ඩෝ සමඟ ඊජිප්තු කණ්ඩායමේ විංගර් ක්‍රීඩකයකු ලෙස තරග කරන මොහොමඩ් සලා සංසන්දනය කිරීමේදී පාපන්දු ක්‍රීඩාවේ සමස්ත අංශ තුළ හිමි කරගත හැකි සියලු සම්මාන දිනාගනිමින් රොනාල්ඩෝ ඉදිරියෙන් සිටී.

කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේදී 32 හැවිරිදි සලා පෙන්වමින් සිටින දක්ෂතා දෙස බැලූ විට රොනාල්ඩෝ පාපන්දු පිටියේ පෙන්වූ දස්කම් විස්කම් අබිබවා යන්නට හැකි එකම ක්‍රීඩකයා තමා බවට සලාගේ ක්‍රීඩා විලාශය පෙන්නුම් කර ඇත. මැන්චෙස්ටර් යුනයිටඩ් හා රියල් මැඩ්රීඩ් වැනි ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ලොව ප්‍රමුඛතම පාපන්දු තරගාවලියක් වන එංගලන්ත ප්‍රිමියර්ලීග් තරගාවලියේදී සුපිරි වැඩ පෙන්වූ රොනාල්ඩෝ 2022-23 පාපන්දු තරග සමයේ සිට සවුදි අරාබියේ ප්‍රමුඛ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අල්-නසාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ඒ අනුව දැන් ක්‍රියාත්මක වන 2024-25 තරගවාරයේදී රොනාල්ඩෝ සවුදි ප්‍රෝ ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වෙමින් තරග 12කදී ගෝල 10ක් වාර්තා කර ඇති අතර, 2024-25 පාපන්දු තරග වාරයේදීම එංගලන්ත ලිවර් පූල් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එංගලන්ත ප්‍රිමයර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන මොහොමඩ් සලා තරග 19කදී තම නම ඉදිරියේ ගෝල 18ක්ම සටහන් කරගෙන ඇත. ඊට අමතරව ගොල ආධාරක අවස්ථා 13ක්ද සටහන් කර ඇත. මේ අනුව බැලූ විට හිමි කරගත් ගෝලවලින් පමණක් නොව, ගෝල සහ ආධාරක ගෝල එකතුවෙන්ද (31) වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රමුඛ පාපන්දු ලීග් තරගාවලි 5දී ඉදිරියෙන්ම ඉන්නේ සලාය. තවද, මෙවර පාපන්දු තරග වාරයේදී පැවැත්වෙන ක්‍රීඩා සමාජ තරග අතුරින්ද මේ වන විට රොනාල්ඩෝට වඩා සලා ඉදිරියෙන් සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *