ට්‍රම්ප්ගේ වෙළෙඳ යුද්ධයට විරාමයක්.කැනඩාව සහ මෙක්සිකෝව දේශසීමා ආරක්ෂාව තර කරයි.

කැනඩාව සහ මෙක්සිකෝව සඳහා දින 30 ක තීරුබදු අත්හිටුවීමට එක්සත් ජනපදය තීරණය කර ඇත.දේශසීමා ආරක්ෂක පියවරයන් දැඩි කිරීමට දෙරටේ නායකයින් ප්‍රතිඥා දීමත් සමඟ, මෙක්සිකෝව සහ කැනඩාව සඳහා තීරු බදු පැනවීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Donald Trump එකඟ වී තිබේ

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ලේඛනගත නොකළ සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා දේශසීමාවට පොලිස් නිලධාරීන් 10,000ක් යැවීමට මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් Claudia Sheinbaum සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ Justin Trudeau යන දෙදෙනාම එකඟ වි ඇත .

ඩොනල්ඩ් ට්‍රම්ප් බර අවි යොදා ගන්නේ නැතිව අලුත් යුද්ධයක් අරඹා තිබුණි. ඒ අවි වෙනුවට බදුවලින් පහර දෙමිනි. දැන් ඒ සදහා සාම ගිවිසුමකට එලබ ඇත. ට්‍රම්ප් මෙම ගින්න ඇවිළුවේ ඇමරිකානු දින දර්ශනය අනුව ඉකුත් සෙනසුරාදාය.ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම බදු ප්‍රහාර එල්ල කර ඇත්තේ කැනඩාව, මෙක්සිකෝව සහ චීනය යන රටවල් තුනටය.

ට්‍රම්ප්ගේ නියෝගය අනුව මෙක්සිකෝවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ මත 25%ක තීරු බද්දක් එකතු වෙයි. ඇමරිකාවට එවන බොහෝ කැනෙඩියානු නිෂ්පාදන සඳහාද 25%ක තීරු බද්දකි. කැනඩාවෙන් ලබා ගන්නා බලශක්තිය සඳහා 19%ක තීරු බද්දකි. එහෙත් මෙක්සිකෝවේ බලශක්තිය සම්පූර්ණයෙන්ම 25% වැඩි කළ බද්ද අය කරනු ලැබෙයි. චීනයෙන් ඇමරිකාවට එවන භාණ්ඩ සඳහා 10%ක බද්දකි. මෙම බදු, තීරු බදු පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක විය.

ට්‍රම්ප්ගේ මෙම තීරු බදු පැනවීමේ අරමුණ මෙම රටවල්වලින් ඇමරිකාවට ගලා එන්නාවූ ෆෙන්ටනයිල් පාලනය කිරීමයි. ෆෙන්ටනයිල් fentanyl යනු කංසා හෝ අබිං (Opium) වලට සමාන කෘත්‍රිමව සාදනු ලබන මත් භාවය ඇති කරන පුද්ගලයකුගේ මොළේ සෛලවලට අහිතකර ලෙස බලපාන්නාවූ රසායනික වර්ගයකි. මෙම රසායනිකය කංසාවලින් සාදනු ලබන වේදනා නාශකයක් ලෙස යොදා ගන්නා මෝර්ෆීන් (Morphine) වලට වඩා සිය ගුණයකින් ප්‍රබල බව කියැවේ. ඒවා ඔෟෂධයක් ලෙසින් ශල්‍යකර්මවලදී සහ ශල්‍යකර්මයකින් පසුව වේදනාව නැති කිරීමට යොදාගනී.

එහෙත් විශාල වශයෙන් ඇබ්බැහිකාරක ගුණයෙන් යුතු කෘත්‍රිම ෆෙන්ටනයිල් විශාල වශයෙන් ඇබ්බැහිකාරයක්ද වෙයි. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් භාවිත කරන මෙම ෆෙන්ටනයිල් ඇමරිකාවට එන්නේ කැනඩාව, මෙක්සිකෝව සහ චීනය යන රටවල් තුනෙන් බව ට්‍රම්ප්ගේ විශ්වාසයයි. ට්‍රම්ප් එම රටවල් ඇමරිකාවට එවන භාණ්ඩ මත විශාල වශයෙන් තීරු බදු පනවන්නේ එම රටවලින් ඉහත කී ෆෙන්ටනයිල් ඇමරිකාවට ගලා ඒම වැළැක්වීමට ඔවුන් ලවා වැට බඳවා ගැනීමේ අරමුණෙනි. ඒ අතරම ට්‍රම්ප් මෙම රටවලට තීරු බදු පනවමින් බල කල තවත් කාරණයක් වන්නේ විශේෂයෙන්ම කැනඩාව සහ මෙක්සිකෝවෙන් ඇමරිකාවට ඇදෙන නීති විරෝධී සංක්‍රමණිකයන් නැවැත්වීමය.

ඉකුත් 2023 වසරේ දත්ත අනුව ඇමරිකාවට යාබද රටවන කැනඩාවේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 75%ක් යන්නේ ඇමරිකාවටයි. ඇමරිකාව සහ කැනඩාව යන රටවල් මෙන්ම එම රටවල ජනතාවද අන්යෝන්ය වශයෙන් දැඩි සබඳතා පවත්වා ගනිමින් සිටිති. මෑත කාලීනව කැනඩාවේ ඇති වී ඇති ආර්ථික ප්‍රශ්න හමුවේ කැනේඩියානුවන් සහ කැනඩාවේ පදිංචිව සිටින සංක්‍රමණිකයන් ඇමරිකාව වෙත ඇදෙන තත්ත්වයක් උදා වී ඇති අතර මෙය ඇමරිකාවට හිසරදයක් වී තිබේ. මෙම කරදරයෙන් බේරීමට කැනඩාව 51 වැනි ප්‍රාන්තය ලෙස ඇමරිකාවට අෑඳා ගැනීමේ අදහසක්ද ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇත.  

මෙක්සිකෝවද ඇමරිකාව සමඟ දේශසීමාව බෙදාගන්නා යාබද රටකි. ඉකුත් 2023 වසරේ සංඛ්‍යාලේඛන අනුව මෙක්සිකෝවේ සමස්ත අපනයනවලින් 75%ක් යන්නේ ඇමරිකාවටයි. වාහන, යන්ත්‍ර, විදුලි උපකරණ සහ කෘෂි නිෂ්පාදන මෙක්සිකොවෙන් ඇමරිකාවට අපනයන කරන දෑ අතර වෙයි. එහෙත් විශේෂයෙන්ම මෙක්සිකොවේ සිට ඇමරිකාව කරා මත්ද්‍රව්‍ය ගලා ඒමද නීති විරෝධී සංක්‍රමණිකයන් විශාල වශයෙන් එම දේශසීමාව හරහා ඇමරිකාවට පැමිණීමද ප්‍රශ්නයක් වි තිබේ.

චීනය ගත් කල ඉකුත් 2023 වසරේ චීන අපනයනවලින් ඇමරිකාවට අපනයනය කරනු ලබන්නේ 18%කි. එහෙත් ඇමරිකාවේ විශාලතම ව්‍යාපාරික සහකරුවා වන්නේ චීනයයි. චීන භාණ්ඩවලට ඇමරිකානු වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පවතී. චීනයෙන් ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර, රෙදි පිළි සහ පාරිභෝගික භාණ්ඩද වෙයි.

ඇමරිකාවට සිදුකරන සිය අපනයනය මත මෙලෙස බදු පැටවීම හේතුවෙන් කැනඩාව, මෙක්සිකෝව සහ චීනය යන රටවල් තුනම ඇමරිකාව කෙරෙහි අප්‍රසාදය මෙන්ම කනස්සල්ල පළකල අතර ඇමරිකාවට එකට එක කිරීමේ ප්‍රවණතාවක්ද එම රටවල් තුළින් මතුවෙමින් පැවතීනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ කැනඩාව සහ මෙක්සිකෝව ඇමරිකාව සිය රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු වැඩි කිරීමට එරෙහිව එකට එක කරන බව කියා සිටියහ. චීනය ඇමරිකාවේ මෙම දැඩි තීරු බදු පැනවීමට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානය වෙත යන බවත් ඇමරිකාවට පිළිතුරු දිය හැකි අනෙකුත් ක්‍රමවේදයන් කරා යොමුවන බවත් ප්‍රකාශ කර තිබිණි.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ට්‍රම්ප්ගේ නියෝගයට ප්‍රතිචාර දක්වමින් කැනඩාවට එවන ඇ.ඩො. බිලියන  155ක් වටිනා ඇමරිකානු භාණ්ඩ මත 25%ක තීරු බද්දක් පැනවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ. මෙලෙස කැනඩාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ අතර බියර්, වයින්, දැව සහ නොයෙකුත් උපකරණ වෙයි. ඇමරිකානු භාණ්ඩ මත මෙසේ කැනඩාව තීරු බදු පැනවීමද අඟහරුවාදා සිට ඇරඹිණි. කැනඩාව මෙම තීරු බදු අය කර ගැනීම කොටස් දෙකකින් කරයි. ඇ.ඩො.බිලියන 30ක් දක්වා තීරු බදු පැනවීම අඟහරුවාදා සිට ක්‍රියාත්මක කෙරෙන අතර අනෙක් ඇ.ඩො. බිලියන 125ක් වටිනා භාණ්ඩ මත තීරු බද්ද ක්‍රියාත්මක කිරීම දින 21කට පසු ඇරැඹීමට නියමිතව තිබිණි.

එසේම ඔවුන්ගේ පාරිභෝගික භාණ්ඩ සහ ඉන්ධන මිල අධික වන්නේත්, රථවාහන එකලස් කිරීමේ සමාගම් වැසී යෑමේ ඉඩකඩක් ඇති වන්නේත් නිකල්, පොටෑසියම්, යුරේනියම්, වානේ සහ ඇලුමිනියම් ආදියෙහි හිඟතාවක් ඇතිවනු ඇත්තේත් ට්‍රම්ප්ගේ තීරු බදු හේතුවෙන් බවට ඇමරිකානු වැසියනට කල්තබා අනතුරු හැඟවීමටද කැනේඩියානු අගමැතිවරයා අමතක නොකළේය. එසේම ඇමරිකාවට යෑමට සැලසුම් කර ඇති සංචාරයන් නවතා දමන ලෙසද ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන ලෙසද ඔහු කැනේඩියානුවන්ගෙන් ඉල්ලා තිබිණි.

මේ අතර මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඇමරිකාවට ප්‍රතිචාර දක්වන තීරු බදු පනවන්නැයි තම ආර්ථික කටයුතු ඇමැතිවරයාට උපදෙස් දුන් බව සඳහන් කර තිබිණි. එහෙත් එම තීරු බදු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එහි සඳහන් වුාය් නැත.ඇමරිකාවේ දේශසීමාව හවුලේ බෙදා ගන්නා කැනඩාව සහ මෙක්සිකෝව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදුවලට එක්ව මුහුණදෙන බවක් පෙනෙන්නට තිබිණි.කෙසේ වුවද චීනය ඇමරිකානු තීරු බදුවලට එරෙහිව තීරු බදු පැනවීමක් සම්බන්ධයෙන් විශේෂයෙන් යමක් සඳහන් කර නැත. ඒ වෙනුවට චීනය, ඇමරිකානු සහ චීන ආණ්ඩු අතර සාකච්ඡාවකට ‍ෙදාර හැර තිබේ.

“ඇමරිකාව තම ෆෙන්ටනයිල් ප්‍රශ්නය සහ අනෙකුත් ප්‍රශ්නගත කාරණා දෙස බලා ඒවා විෂයය මූලික සහ තාර්කික ලෙස කළමනාකරණය කරගනු ඇතැයි චීනය බලාපොරොත්තු වෙනවා. අවංක ලෙස සාකච්ඡාවට යොමු වීම සහයෝගිතාවය ශක්තිමත් කරනු ඇති අතර විරෝධතාවන් පාලනය කරයි” යනුවෙන් චීනය සිදුකළ ප්‍රකාශයේ අන්තර්ගත වෙයි.    

කෙසේ නමුත් ධවල මන්දිරයේ න්‍යාය පත්‍රයන් අනුව අර්බුදය අවසන් වන තෙක් තීරු බදු පවතිනු ඇත. එනමුත් මෙම තීරු බදු බාධකය ජය ගැනීම සඳහා කැනඩාව, මෙක්සිකෝව සහ චීනය යන රටවල් තුන කළ යුතු දේ ගැන සවිස්තරාත්මක ක්‍රියාමාර්ගයන්ද ධවල මන්දිරය විසින් නිකුත් කර නොතිබීමද ගැටලුවක් විය.

ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව වන්නේ ඔහු විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු                  ‘ෆෙන්ටනයිල් මත සහ සංක්‍රමණික ප්‍රශ්නය මත ප්‍රකාශයට පත්කර ඇති ජාතික හදිසි තත්ත්වය ‘ සමනය වන තුරු සිය රාජකාරිය ඉටු කිරීම බව පෙනී යන්නේ යැයි බොහෝ දෙනා විශ්වාසය කලහ.

 කෙසේ නමුත් ට්‍රම්ප් විසින් වැඩි කරන්නට යෙදුණු තීරු බදු හේතුවෙන් ලෝක වෙළෙඳපොළට විශාල බලපෑමක් ඇති වේ යැයි අවධානමක් පැවතින. කැනඩාවේ බලශක්ති නිෂ්පාදන මත 10%ක තීරු බද්දක් පමණක් පැනවීමට ට්‍රම්ප් පියවර ගත්තේ මධ්‍යම බටහිර රටවලින් සහ ඛනිජ තෙල් පිරිපහදු කරන්නන් විසින් සිදුකළ මැදිහත් වීම නිසා බව කියැවෙයි. එක් කාර්තුවකට පමණක් 2023දී දළ වශයෙන් ඇමරිකාව කැනඩාවෙන් ඇ.ඩො. බිලියන 100ක ඛනිජ තෙල් ගෙන්වා තිබේ.

පනවන ලද නව තීරු බදු හේතුවෙන් මෝටර් රථ එකලස් කිරීමේ යෙදී සිටින්නන්ට මහත් දුෂ්කරතාවකට මුහුණදීමට සිදුවිනි. කලාපීය වශයෙන් විශාල සැපයුම් දාමයන් සමඟ බැඳී සිටින මෝටර් වාහන එකලස්කරුවන්ට මෝටර් රථවල අවසන් එකලස් කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය උපාංග දේශ සීමා හරහා කිහිපවරක් එහාට මෙහාට යැවීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. මෙය ගෝලීය රථ වාහන වෙළෙඳපොළේ මිල ඉහළ නැංවීමට හේතුවනු ඇත. එසේම ලොව පුරා අනෙකුත් නිෂ්පාදනයන්ගේ මිල ඉහළ යෑමටද බලපානු ඇති බවට පැවතියේ අවිනිශ්චිතතාවයකි.

ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයන් ට්‍රම්ප් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටින කාලයේදීම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වෙළෙඳ යුද්ධයක් ඇති විය හැකි බවටද ඇමරිකානු වෙළෙඳ හවුල්කරුවන් ඇමරිකාව අතහැර යනු ඇති බවටද අනතුරු හඟවා තිබිණි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *