වචන වලින් කැටයම් මවන ගෘහ නිර්මාණ ශිල්පී සම්පත් 

ටොරොන්ටෝව කේන්ද්‍ර කර ගනිමින් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විවිධ මාධ්‍යයන් හරහා සන්නිවේදන කටයුතුවල නිරත වන වැඩිපුර කතා බහට ලක් නොවන පිරිසක් ඉන්නවා . සමහර වෙලාවට සංවිධායක භවතුන්ට ඔවුන් මතක් වෙන්නේ ඔවුන්ගේ වචනවලින් කියන විදිහට ” වැඩේ ඇදගෙන යන්නයි ” . අඩුම තරමින් ඔවුන්ට කන්න බොන්න යමක් ලැබුණාද කියා හොයා බලන්නටවත් ,  ස්තූතියි කියා කියන්නට වචන ගලපා ගන්නටවත් ඔවුනට වැඩසටහන  අවසානයේදී ඉස්පාසුවක් නැහැ . අප මේ ලිපි පෙල හරහා ඔවුන් ගැන ඔබ නොදත් තොරතුරු බෙදාගන්නට හිතුවා. අපේ වැඩේ සාර්ථක වෙන්නෙ ඔවුන්ගේ මහන්සියට ඔබේ පුංචි හිනාවකුත් එක්ක ඔබට දැනුනු අඩුපාඩු පෙන්නා දෙන එකින්. වෘත්තීය සන්නිවේදකයින් නොවන නමුත්  ඔවුන් ඒ ප්‍රතිචාර වලින් ඔබට කරන මෙහෙවර වැඩි දියුණු කරගන්නවාට කිසිම සැකයක් නැහැ.  ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්න අපි හැමවිටම උත්සාහ කරනවා. 

ඔහු  එක් විටෙක ගෘහනිර්මාණ ශිල්පයකි,  විටෙක ගායන ශිල්පියෙකි. තවත් විටෙක ඔහු ටොරොන්ටෝ ප්‍රසංග වේදිකාවේ නිවේදකවරයෙක්, රූපණ අන්තර්ජාල රූපවාහිණියේ පූරකවරයෙක්. ලාංකික ප්‍රජාවේ විවිධ උත්සව වලට දියණියන් කැටුව යන පියෙක්. මොහු කවුද? ඒ ඔබ හොඳින් දන්නා සම්පත්, ඔහුගේ සම්පුර්ණ නම සම්පත් හිරෝෂාන් පෙත්තාවඩු. වෘත්තියෙන් සංනිවේදකයෙකු නොවන ඔහු ටොරොන්ටෝවේ ජනප්‍රිය නිවේදකයෙකු වීමට මඟ පෑදූ ගමන පිළිබඳව ඔහු සමඟ කළ කෙටි සංවාදයක් ඇසුරින් මේ සටහන ලියවෙනවා.

සම්පත් පෙත්තාවඩු නම් වූ ඒ සුන්දර සහෘදයාණන් අපේ කතාව ආරම්භ කලේ ජීවමානව නොසිටියත්  ඔහුගේ දෙමව්පියන්ට කෘතඥතාවය පුද කරමින්. හොඳ නරක හදුනාගෙන ජීවිතය ගෙන යන්න මග පෙන්වූ, ආශිර්වාද දුන් ගලන ගඟක ඒ මහා ඉවුරු දෙක,  යෝධ හෙවනැල්ල වුයේ ඔහුගේ අම්මා සහ තාත්තායි. සම්පත් පීතෘ ගුණ ඇගයුයේ ගීතනාත් කුඩලිගම කවියාගේ ලස්සන නිසැදැසකින්….

    මහ මෙරක් වගේ නොසැලෙමින් සදා

    පෙන්වමින් අපට පිතු සෙනේ දයා. 

    අසිනි  වැසි මැද ඇන්ද සිතුවම්

    මන්ද නොදැනුණු කාරණා…..

එමෙන්ම, ඔහු තම මව අගයන්නත් අමතක කලේ නැහැ. 

      සොඳුරු  ජීවන තාල සාදන

      අහස් මණ්ඩප සිහිනයේ

      කුළුණු ගුණ දිරි දරයි අම්මා

      තරු කඩා මා ළඟ තියා

     අම්මාය  පුරහඳ ආදරේ…

 යමුනා මාලනී කිවිඳියගේ “ඊළග වස්සානය” පබැදුම් වල උපුටාගැනීමකිනි.

මේ අපූරු  පූරකවරයා සෞන්දර්යාත්මක වචන හරඹයක යෙදෙන්නේ ඔහුගේ පියාණන්ගේ ආභාෂයෙනේ බව ඔහු පැවසුවා. වෘත්තීයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙකු ලෙස සේවය කල ඔහුගේ පියා සාහිත්‍ය නිර්මාණ අතර, කවි සමාජයන්හි කැපී පෙනුණු බෞද්ධ චරිතයක් වු අතර ඔහුගේ මව සංගීතයට ලැදිව සිටීම සිංහල භාෂාව  සුන්දරව හැසිරීමටත්, ගායනයට දක්ෂ වීමටත් හේතු වූ බවයි පැවසුවේ.

ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපන ආරම්භ කර පසුව අල්ලපු වැටේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙල සමත්ව තිබෙනවා.මේ අතරතුර අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ ද මාස 3-4ක් ඉගෙනුම ලබනවා. තාත්තාගේ අඩිපාරේ යමින් ඔහු 7 වන හා 8 වන ශ්‍රේණියේ පසුවන විට නිවාස සැලසුම් ඇඳීමෙන් ඔහුගේ ගෘහනිර්මාණ ශිල්පයට අඩිතාලම දැමූ බවයි ඔහු සිහිපත් කලේ. පසුව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට වරම් ලැබුවත් ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමට ඇති දැඩි කැමැත්ත මත ඔහු ඒ අවස්ථාව මඟ හැර ශ්‍රී ලංකා වාස්තු විද්‍යායයන්ගේ ආයතනයට (Sri Lanka Institute of Architects) සම්බන්ධ වීමෙන් ඔහුගේ වර්තමාන නිර්මාණ පරිචය ආරම්භ කිරීමට අඩිතාලම දමා තිබුණා.

ඔහුගේ මව ගෙන් ලැබූ සංගීත වට පිටාවත් තාත්තාගෙන් ලැබුණු වචන රසයත් නිසාවෙන්ම ඔහුට රූපණ මාධ්‍යට සම්බන්ධ වන්නට අවස්ථාව ලැබී තිබුණා. එක්තරා මිතුරු හමුවකදී ලැබුණු ආරාධනයක් මත කැනඩාවේදී ප්‍රථම වරට පැවැති මේරියන්ස් සංගීත ප්‍රසංගයේ පුරකවරයා ලෙස දොරට වඩින්නට වාසනාව ඔහුට ලැබුණා. ඒ ඔහුගේ ගැඹුරු හඩ සුන්දර වචන හරභය නිසායැයි අපට සිතන්නට පුලුවන් . එදා මේරියන්ස්  ප්‍රසංගයේ අනුග්‍රාහකත්වය දැක්වූ ෂර්මන් හා අෂලා ප්‍රානාන්දු දෙපල සිහිපත් කරන්න ඔහු අමතක කළේ නැහැ. ඒ තමයි ඔහුගේ ජීවිතයේ පූරකවරයකු ලෙස මුල්ම සම්ප්‍රාප්තිය ටොරොන්ටෝවේ සඳහන් වූ හැටි. මුලින්ම ටොරොන්ටෝවේ පුරක කටයුතු කථනය ආරම්භ කලේ 2011 වසරේදී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කටහඩ පරීක්ෂණයෙන්  සමත්ව, ශ්‍රේණිගතව ගී ගායනයේ යෙදුනද ඔහු කථනය කර තිබුනේ නැහැ. එතනින් පටන්ගත් ප්‍රසංග වේදිකාවේ පූරක කාර්යයන් රූ සඳ රෑ (2013, 2015), මේරියන්ස් (2011, 2015), භාතිය සන්තුෂ්(2014), වායෝ(2016) ප්‍රසංගයන් දක්වා දිගුවුනා. ඊට අමතරව අමල් පෙරේරා, රනිල් මල්ලවාරච්චි (2011), විශාරද අමරසිරි පීරිස් සහ උරේෂා රවිහාරී, රුවන් හෙට්ටිආරච්චි (2017) ප්‍රසංගයන්හීද, ටොරොන්ටෝ රිදී රැයක් ප්‍රසංගයන්හීද පූරකවරයා වූයේ ඔහුයි.  එබැවින්ම, සොඳුරු සත්සර ප්‍රසංග මාලාව වැනි කැනඩාවේ වෙසෙන විවිධ කලා කරුවන්ගේ වැඩ සටහන්ද මෙහෙය වූ අතරතුර ගීත ගායනයට සහභාගිවීමටද අවස්ථාව ලැබුණු බව ඔහු පැවසුවේ හරිම සතුටින්. ටොරොන්ටෝ වේදිකාව මත විශාරද නන්දා මාලිනි (2013), කාලා ශුරී ලතා වල්පොල l2013), ආචාර්ය වික්ටර් රත්නායක (2014), විශාරද සුනිල් එදිරිසිංහ (2015) ඒක පුද්ගල ප්‍රසංගවල අතවැල් ගායනයෙන් සම්බන්ධ වීමට ලැබීමත් ඔහු ලැබූ මහත් භාග්‍යක් සේ සිතයි.

2016 වසරේ නොවැම්බර් මාසයේදී ඔහුගේ ජීවිතයේ තවත් වැදගත් පිටුවක් පෙරලුනේ රූපණ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා මහත්මයාගේ හමුවීමවීමත් සමඟයි. එම වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රථම වතාවට රූපවාහිණී මාධ්‍යයක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු. ලෙසට ඔහු හඳුන්වා දුන්නේ වීරා ෆොන්සේකා මහතා බවත් රූපණ 13 න් වැනි වැඩ සටහනේ පටන් රූපණ කණ්ඩායම සමඟ අත්වැල් බැඳ රැඳීසිටින බවත් ඔහු පැවසූවේ ස්තුති පූර්වකයි. එපමනක් නොවේ,  ඔහු නිවේදන කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී ඔහුට ඉතා අගනා, සුන්දර අත්දැකීම් ලැබූ බවද ඔහු සිහිපත් කළා. ඒ ලංකාවේ සිට පැමිණෙන කලා කරුවන්  සමඟ විවිධ වැඩ සටහන් ඉදිරිපත් කිරීමට රූපණ තුලින් හැකියාව ලැබීම නිසාත්, සංගීතය පිළිබඳව ඇති ආදරය සහ ආශාව නිසාවෙන්මත් රූපණ සුමියුරු ගී නද වැඩ සටහන් 29 ක් කැනඩාවේ වෙසෙන ශ්‍රීලාංකික ගායක ගායිකාවන් සමඟ ඉදිරිපත් කල බවද ඔහු පැවසුවා. ඊට අමතරව ඔහු වීරා  එකතු වී වාර්තා චිත්‍රපටකරණයට (documentary) සහභාගී වූ බවද පැවසුවා. 

ඔහුට අමතක නොවන සිදුවීම් නැතුවාම නොවේ. 2017 වසරේදී විශාරද නීලා වික්‍රමසිංහ ශිල්පිනිය සමග සම්මුඛ සාකච්ඡාවක් නිමකර නිවස බලා පිටත්වන්නට සැරසෙද්දී අධික හිම පතනය නිසා ලිස්සා ගොස් පාදයේ ඇඟිලි තුනක අස්ථි බිඳීමකට ලක්වු නිසා ඇයගේ ප්‍රසංගය මඟ හැරුනු බව පැවසුවේ ඉතාමත් කණගාටුවෙන්. ඉහවහා ගිය සතුටත් මොහොතකින් දුකකට හැරුණු මොහොතක් බව ඔහු මතක්කලා. සුමියුරු ගී නද තුලිනුත් ශ්‍රීලංකික ප්‍රජාවගේ ගායන කුසලතා ලොවටම බෙදා ගන්නා අතරේ ඔවුන්ටත් හොරා තොරතුරු මතු කරමින් කරන කතා බහ ඉතාමත් සුන්දර, ගැඹුරු අර්ථවත් එකක් බවත් ඒ නිර්මාණ සංකල්පය සකසමින් රූපණ නිර්මාණ අධ්‍යක්ෂක අනුරුද්ධ වැලිගමගේ සොයුරා දුන් වෙනස් ගමන පසු කාලීනව තමන්ම එය නිෂ්පාදනය කරන තරමට වැඩි දීයුණු වූ බව පැවසුවේ මහත් ඇගයුමකින්.

ඔහුගේ වාග් විලාශය තනිකරම සිංහල භාෂාවෙන්ම පෝෂණය වූ එකක්. සම්පත් මිශ්‍ර වචන හෝ ඉංග්‍රීසි වචන අත්‍යාවශ්‍ය විටෙක පමණක් පාවිච්චි කරන්නෙක්. ඒ වගේම එහි රිද්මය හදවත්වලට දැනෙන වචන එකතුවකින් රසිකයා තමා ළග රඳවා ගැනීමට ඔහු හපනෙක්. පූරක චරිතයේදී ඔහු ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කළේ ධර්ම ශ්‍රි වික්‍රමසිංහ සහ අපෙන් වියෝවූ හේම නලින් කරුණාරත්න මහත්වරුන්වයි.

මා ආරම්භයේ සටහන් කල සේම ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ශ්‍රී ලංකාවේදී වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පය හැදෑරූ  ඔහු  වසර 2000 දී කැනඩාවට පැමිණීමෙන් අනතුරුවත් වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබුණා. කැනඩාව තුළ මෙම ක්ෂේත්‍රයේ වසර 21 ක වෘත්තිය පළපුරුද්දක්‌ මෙතෙක් ඔහු ලබා තියෙනවා. ඊට පෙර ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේතන, හෝටල්, පන්සල් සහ තවත් නිවාස නිර්මාණ ඔහුගේ අතින් නිර්මාණ වී තිබුණා.  විශේෂයෙන්ම, කැනඩාවේ සිංහල ප්‍රජාවගේ ප්‍රබල  ප්‍රජා මධ්‍යස්ථානයක් වන  මිසිසාගා වෙස්ට් එන්ඩ්  විහාරස්ථානයේ මේ වන විට ඉදිවෙමින් පවතින සිත් සන්සුන් කරවන ආගමික උද්‍යානය ඔහුගේ සැලසුමක්. ඔහු පෙන්වු රූ සටහන් සැබෑ ලෙසින් දැකගන්නට ඔහූ වගේම මමත් ඉන්නේ මහත් ආශාවකින්.  ඒ ඔහු ලැබූ ලොකුම වාසනාව බවයි පැවසුවේ. එමෙන්ම මීට අවුරුදු 14 කට පෙර මිසසාගා විහාරස්ථානයේ බෞද්ධාගමික අනන්‍යතාව රඳවමින් සඳකඩ පහණ, කොරවක්ගල, වඩිම්බු වැනි අපට ආවේණික  දෑ එකතු කළේද  ඔහුයි. නුදුරු අනාගතයේදී ඔහුගේ පැන්සල් පහර වල් සැබෑ වෙන අයුරු අපට සියැසින් දැක ගන්නට ලැබේවි. මිසසාගා විහාර ආශ්‍රිත මේ වත්මන් නිර්මාණය ඔහුගේ වෘත්තිය පසුබිම තුළ සිදුකළ පස්වන ආගමික නිර්මාණ භාග්‍ය සේ ඔහු සලකයි. වෘත්තීය තුල ලබන සැනසීම වන්නේද ඔහුගේ නිර්මාණමයි. විහාරාධිපති පුජ්‍ය කුළුගම්මන ධම්මාවාස ස්වාමින් වහන්සේ, කීඹිඇල කස්සප ස්වාමින් වහන්සේ, ප්‍රවීන මාධ්‍යවේදී  ඇලෝයි පෙරේරා මහතා මෙහිදී සම්පත් මතක්කළේ කෘතවේදී වයි.  ඔහු තවත් අපුරු නිර්මාණයක්  කළා. ඒ අපේ වැඩසටහන් එළි දක්වන රූපණ පටිගතකිරීමේ මැදිරියයි (Rupane studio). ශ්‍රී ලංකාවේද ඔහුගේ නිර්මාණ දහස්.ගනිණින්  බැතිමතුන්ගේ  වන්දනා මාන ලබන්නට නිමැවීමම  භාග්‍යක් නොවේද? 

ඔහු ගේ ජීවිතයේ ශක්තිය ඔහුගේ ආදරණීය බිරිඳ ලොහානි හා මනුක්ෂි අහිංසා , තරුෂි අරවින්ද්‍යා දූවරුන් දෙපලයි. ඒ ආදරය බැඳීම, සෙනෙහස එක්ක ඔහුගේ ජීවිතයේ ධෛර්ය හා ශක්තිය වන්නේද ඔවුන්මැයි. ඒ දූ වරුන්  දෙදෙනාද  පියාගේ අඩිපාරේ ගොස් සංගීතයෙන් වේදිකාවේ දක්නට ලැබීම සතුටක්.  ඔවුන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පුද කරමු. අවසාන වශයෙන් ඔහු පැවසු දේ ඔහුගේම වචන වලින් මෙසේ සදහන් කරමි.

“ඔබත්, මමත්, අපිත් අතිතයේ යම් දවසක සිනහවෙන් හමුවුනා. තවත් දවසක ජීවිතයෙන් සමුගෙන යාවි. ඒ මතකයන්, හමුවීම් හැමදාමත් සුන්දරව හදවතේ රදවා ගනිමු”.

“සිනහාවෙනු මැන….

වේදනා පිසදා…”

මෙම සටහන සැකසීමේදී, යතුරුකරණයෙන් මට සහය දුන් දයා කුමාරී මාගේ ආදරණීය සොයුරිය ආදරයෙන් සිහිපත් කරමි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *