
පෙබරවාරි 17 වැනිදා ජනාධිපති අනුර දිසානායකගේ මාලිමා රජයේ මංගල අයවැය ඉදිරිපත් කෙරුණා. මෙවර අයවැය පිළිබඳව රටත් ජනතාවත් මහත් බලාපොරොත්තු තබාගෙන සිටියේ විඳින ජීවන බරින් යම් හෝ සැහැල්ලුවක් ඡනතාවට ලැබේවි යන විශ්වාසය ඇතිවයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු පොරොන්දු ගණනාවක් අයවැයෙන් යෝඡනා වී තිබුණා.
නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ වසරේ සියයට පහක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළ නැංවීමටත්, රුපියල් 15,750ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් ඉහළ නැංවීමටත් අයවැයෙන් යෝජනා කර තිබුණා.මේ අතර මේ වසරේ මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර හිමි නොවන බවත් රජයේ සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට යෝජනා කරන බවත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.අයවැය සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා කලේ එය රනිල් වික්‍රමසිංහ රඡයේ දිගුවක් බවටයි.
මේ අතර පසුගිය 17වැනිදා ඉදිරිපත් වූ අය – වැයෙන් මේ වසරේ සමස්ත අය – වැය හිඟය රු. බිලියන 2,200ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා..මේ අනුව ගිය වසරේ (2024) රු. බිලියන 2,040ක් වූ අය – වැය හිඟය මේ වසරේදී රු. බිලියන 2,200ක් දක්වා රු. බිලියන 160කින් (රු. කෝටි 1,600කින්) ඉහළ ගොස් තිබෙනවා.මේ සමස්ත අය – වැය හිඟයට අදාළ මේ වර්ෂයේ මුළු ඇස්තමේන්තුගත ආදායම රු. බිලියන 4,990ක් හා ඇස්තමේන්තුගත මුළු වියදම රු. බිලියන 7,190ක් බවයි අයවැය ඉදිරිපත් කරමින් ඡනාධිපතිවරයා ප්‍රකාශ කලේ..මෙම මුළු අය – වැය හිඟය රු. බිලියන 2,125ක දේශීය ණය ගැනීම් සහ රු. බිලියන 75ක ශුද්ධ විදේශ ණය ගැනීම්වලින් ද පියවා ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.
මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වැනිදා පස්වරු 6 .00ට පැවැත්වෙන අතර විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 21 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතයි.ඊට අදාළ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ .
මේ අතර ගෙවුණු සතියේ වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාව බවට පත්වුණේ වඳුරෙකු නිසා පසුගිය 09 වැනිදා රටම අඳුරේ තැබීමට සිදුවීමයි. පානදුර විදුලිඋප පොළක වඳුරක ගැටීමෙන් ඇතිවු තාක්ෂණික දෝශයක් හේතුවෙන් රටපුරා විදුලිය ඇන හිටීමක් සිදු වූ බවට විදුලිබල අමාත්‍යවරයා පළමුව ප්‍රකාශ කළද විදුලි ඉංජිනේරු සංගමය පසුව ප්‍රකාශ කළේ පද්ධතිය තුල ඇති වූ අසමතුලිතතාවය නිසා රට පුරා විදුලිය බිද වැටුණු බවයි.කෙසේ වෙතත් මෙම විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ මුළුමනින්ම අක්‍රිය වීමත් සමග එය යථා තත්ත්වයට පත්වනතුරු දින කිහිපයක් කාණ්ඩ කීපයක් යටතේ දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමටද විදුලිබල මණ්ඩලයට සිදුවිය.
මේ අතර දිවයින පුරා විදුලිය ඇණහිටීමට පානදුර ප්‍රදේශයේ වඳුරෙකු බලපෑ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විශේෂ පුවත් පළවී තිබිණී. මෙය අසාමාන්‍ය හා හාස්‍යජනක සිදුවීමක් ලෙස එම වාර්තා බොහොමයක විස්තර කර තිබේ.
ප්‍රධාන ධාරාවේ ඒඑෆ්පී පුවත් සේවය මෙම පුවත සංසරණය කිරීම හේතුවෙන් ලොව පුරා විවිධ පුවත්පත්වල සිරස්තල අතරට ශ්‍රී ලංකාවේ වඳුරා විදුලිය ඇණහිට්ටවීම ගැන මාතෘකාව එකතු විය.
ඉන්පසුව ඉන්දීය නිවුස්18, පිලිපීන ඩෙිලි ට්‍රිබියුන්, ඉන්දීය ෆ්‍රීප්‍රෙස් ජර්නල්, නයිජීරියානු ඩේලි ට්‍රස්ට් ඇතුළු පුවත්පත් ගණනාවක් මෙම පුවත වාර්තා කර තිබිණි.
ඡනපතිගේ ඩුබායි සංචාරයෙන් රටට වාසි රැසක්- ආයෝජකයන්ටත් ආරාධනා
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 13 දා පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළේදී සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. විදේශ සංචාරයකට ගොස් පැමිණි මෙරට ප්‍රමුඛපෙළේ සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිසද ජනාධිපතිවරයා හමුවට පැමිණ කතාබස් කිරීමට අමතක නොකළහ.
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරය සඳහා එක් විය.
මේ සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව වර්ධනය කර ගැනීමට හැකි විය.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වීය. ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ආරක්ෂණ සහ ප්‍රවර්ධන ගිවිසුමකටද අත්සන් තැබිණි. මේ සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්විය.
ලෝක රාජ්‍ය නායක සමුළුව 2025ට සහභාගි වීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමිව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළඹීමද සිදු විය. මේ ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් බින් හාඩි අල් හුසේනි සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහත්වරුන් විසින් අත්සන් තබනු ලැබීය. මේ ද්විපාර්ශ්වික ගිවිසුම මඟින් ගෝලීය වෙළෙඳපොළවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි.
ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා වූද ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය කරන්නා වූද පුළුල් ආයෝජන ආරක්ෂණ, ආරවුල් විසඳීමේ යන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණයි. මේ ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත.
පක්ෂ-විපක්ෂ රැසක් එක් වූ අවස්ථාවක්
පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලනඥයන් රැසක් අහඹු ලෙස ඒකරාශි කළ අවස්ථාවක් දැකගත හැකි විය. ඒ අවස්ථාව උදා වූයේ කැලණිය මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදීය. උත්සවය එහි උපකුලපති බෝදාගම චන්දිම නාහිමියන්ගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවති අතර, උන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ දෙකක් එළිදැක්වීමද මෙහිදී සිදු විය. අස්ගිරි මල්වතු විහාරවල අනුනායක හිමියන් වහන්සේද, රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහනාහිමියන් වහන්සේද මේ උත්සවයට වැඩම කර සිටියහ.
උත්සවයට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් චන්දන ක්‍රිෂාන්ත ඇමැතිවරයා සහභාගි වූ අතර කරු ජයසූරිය, මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, අනුර යාපා, චම්පික රණවක, සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා ඇතුළු දේශපාලනඥයෝ සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ හා මහාචාර්ය අසංග තිලකරත්න මෙහිදී දේශන පැවැත්වූහ.
ඉහත කී දේශපාලනඥයන්ට එකට සහභාගි වී කතා කරන්නට මේ උත්සවය කදිම අවස්ථාවක් විය. සියල්ලන්ම එක්ව කතාබහ කළේ මේ දැන් සිදු වෙමින් පවතින සිද්ධි පිළිබඳවය.
සජිත්ගෙන් වැඩමුළුවක්
ගෙවී ගිය සතියේදී සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකයන්ට පැවති වැඩමුළුවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි විය. 2025 අයවැය කේන්ද්‍ර කරගෙන පැවති මේ සාකච්ඡාවට සමගි ජන බලවේගයේ නායකයෝ සහ පක්ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීම සදහා සමගි ජන බලවේගය සතු දස වැදෑරුම් මතවාදය පැහැදිලි කර සිටියේය.
රටක දියුණුවට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදයයි, පුළුල් මානුෂීය ධනවාදි ක්‍රමය තුළ සීමාසහිත රාජ්‍ය මැදිහත් වීමක් හරහා අසමතුලිතතා නිවැරදි කළ හැකි වීම, සුභ සාධන රාජ්‍ය රැකගනිමින් විකල්ප අවස්ථා සදහා යොමු වීම, ප්‍රතිඵල කේන්ද්‍රීය කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමු වීම, රටේ පළාත් 9ම සමබර ආර්ථික වර්ධනයක් ඇති කිරීම, නව තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කෘෂිකර්මාන්තයක් ඇති කිරීම, වෙනස්කමකින් තොරව සෑම සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස සවිබල ගැන්වීම, ප්‍රජාතන්ත්‍රවාදී සවිබල ගැන්වීම, තිරසර සංවර්ධනය, රටට අගයක් එකතු කරන විදේශ සම්බන්ධතා ඇති කරගැනීම පිළිබඳ මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු පැහිදිලි කළේය.
මැතිසබයට එන ලෙස රනිල්ට ආරාධනාවක්
රනිල් දින දහයකට ආසන්න කාලයක් ලංකාවේ සිටියේ නැත. රනිල් ලන්ඩන් සංචාරය නිමවා ලංකාවට පැමිණියේ අඟහරුවාදා දහවල්ය. ඊට පසුදා හෙවත් පොහෝදා හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පෙරහර මංගල්‍යය ඇරඹීමේ උත්සවය සඳහා රනිල්ට ආරාධනා කර තිබිණි. හිටපු ජනපති මෛත්‍රීත්, විපක්ෂ නායක සජිතුත්, බුද්ධ ශාසන ඇමැති හිනිදුම සුනිල් සෙනෙවිත් එහි පැමිණ සිටියහ. බුද්ධ ශාසන ඇමැති හිනිදුම සුනිල් සෙනෙවිට මංගල හස්තියා මත සධාතුක කරඬුව තැබීමේ කටයුත්ත පැවරීමට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම තීරණය කර තිබිණි.
පෙරහර ඇරඹීමේ උත්සවයේදී රනිල් අපූරු කතාවක් කළේ ආණ්ඩුවටද යම් පාඩමක් කියා දෙමිනි. “බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ඇතුළු සියලු ආගම් අතර සහ සම්බන්ධතාව අපි ආරක්ෂා කරගන්න ඕනෑ. දේශපාලන මත කුමක් වුවත් රටේ අනන්‍යතාව ආරක්‍ෂා කළ යුතුයි” රනිල් කීවේ එහෙමය.
මේ අතර ඉකුත් ජනාවාරි 30 දා පැවති දේශපාලන නායකයන්ගේ හමුවේ තවත් දිගුවක් බ්‍රහස්පතින්දා සවස රනිල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී පැවැත්විණි. හිටපු ජනපති මෛත්‍රී, අනුර ප්‍රියදර්ශන, ගම්මන්පිල, අසංක නවරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, දුමින්ද දිසානායක, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකිම්, දිලිත් ජයවීර, මහින්ද යාපා, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල, විජියමුනි සොයිසා, සුසිල් ප්‍රේමජයන්ත, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ.
රටේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් මේ විශේෂ හමුව කැඳවා තිබුණු අතර, මෙම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම වඩාත් ප්‍රායෝගික බව විපක්ෂ කණ්ඩායමේ අදහස විය
පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කංචන විජේසේකර හා රංජිත් සියඹලාපිටිය ඇතුළු පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීන් පිරිසක් සාකච්ඡාවක් පවත්වා තිබේ. සාකච්ඡාව රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැත්වී තිබේ.
එහිදී මේ පිරිස රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළේය. එනම්: ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස, විපක්ෂයේ කටයුතු මෙහෙයවන ලෙසයි. රනිල් පවසා ඇත්තේ තමා මින් ඉදිරියටද දේශපාලනයේ නිරත වන නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි. ජාතික ජනබලවේග රජය ඉදිරියේදී බලවත් අර්බුදයකට යෑම අනිවාර්ය බවත්, එවැනි තත්ත්වයකදී රට ඉදිරියට ගෙනයෑම සඳහා නායකයකු අවශ්‍ය බව මෙහිදී රනිල් වික්‍රමසිංහ පිරිසට පවසා තිබේ.
රනිල්-සජිත් හමුවක් සිදු වේවිද?
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් කඩිනමින් කළ යුතු බව දිවයින පුරා සිටින දෙපාර්ශ්වයේම හිටපු මහජන නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ. එසේ නොවුණ හොත් පක්ෂ දෙකේම ප්‍රධාන කාර්යාල වටලා උද්ඝෝෂණය කිරීමට ඔවුන් සූදානම් වන බව වාර්තා වෙයි.
මේ ආණ්ඩුව පත්වී දැනට මාස දෙකහමාරක් පමණය. පත්වූ මොහොතේ සිට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූයේ අප්‍රමාණ ප්‍රශ්න කන්දරාවකටය. එහෙන් රිළා ප්‍රශ්නය, මෙහෙන් පොල් ප්‍රශ්නය, තවත් පැත්තකින් වරායේ ප්‍රශ්නයක්. තවත් පැත්තකින් පාර්ලිමේන්තුවේ කෑම ප්‍රශ්නය. තවත් පැත්තකින් හාල් ප්‍රශ්නයකි. කෙසේ වෙතත් හාල් ප්‍රශ්නය නම් දුරදිග යන ප්‍රශ්නයක් විය. මන්ද ජනතාවගේ බඩ ගින්දර අන් සෑම ගින්නකටම වඩා ඇවිළෙන සුළු දෙයකි. ඉතිං ආණ්ඩුවට මේ ගින්න නිවන්නට ක්‍රමයක් හොයන්නම සිදුවිය.
අනතුරුව වී අලෙවි මණ්ඩලය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සතොස වෙළෙඳ අමාත්‍යාංශය කැඳවා ප්‍රශ්නය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. කෙසේ වෙතත් අවසානයේදී තීරණය වූයේ සහල් ප්‍රශ්නයට තාවකාලික විසඳුම වන්නේ ආනයනය කිරීම බවයි. ඒ අනුව සහල් මෙ.ටො. හැත්තෑදහසක් ගෙන්වීමට තීරණ විය. මේ සඳහා ව්‍යාපාරිකයන්ට ආනයන සීමා ලිහිල් කිරීමේ කැබිනට් තීරණයක්ද ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය. මේ අතර වී පිළිබඳව නිවැරදි දත්තයන් සොයන ලෙසටද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ප්‍රශ්නය එතැනින් විසඳෙන්නේ නැත. ඉන් අනතුරුව දීර්ඝ කාලීන විසඳුම සඳහා ආණ්ඩුව සූදානම් විය. ආණ්ඩුව සතු වී ගබඩා පිළිසකර කිරීම ආරම්භ කෙරිණි. ඒ සඳහා මාලිමාවේ සාමාජිකයෝද ත්‍රිවිධ හමුදා නිලධාරීහුද ඇතැම් රජයේ ආයතනවල නිලධාරීහුද සම්බන්ධ විය. මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිල දී ගැනීමට ‘ඔඩපන’ ණය දීමටද ආණ්ඩුව කැබිනට් තීරණයක් ගත්තේය. ආනයනික සහල් රට තුළට එනවාත් සමගම සහල් ප්‍රශ්නය විසඳෙන්නට පටන් ගත්තද ආනයනික සහල් බෙදාහැරීමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දුෂ්කරතා නිසා එය යම් කාලයක් ගත් පිළිතුරක් විය. කෙසේ වෙතත් රතු කැකුළු සහල් ප්‍රශ්නයක්ද මතු වූ අතර වී අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමඟ ප්‍රශ්නය යම් තාක් දුරකට සමනය විය.
නලින්ද ජයතිස්සගෙන් විශේෂ හෙළිදරවුවක්
පසුගිය අරගලයේදී නිවාස ඇතුළු දේපළ විනාශ වූ බව සඳහන් කරමින් පසුගිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 42 රුපියල් කෝටි 122ක වන්දි මුදලක් ලබාගෙන ඇති බව නම් සහිත ලැයිස්තුවකින් ඇමැති නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. මෙම හෙළිදරවුව කිරීම දෙබරයට ගල් ගැසුවාක් මෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන්නට විය.
මෙම ආරංචිය සමඟම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයට පැමිණ තිබේ. “මාර වැඩක් තමයි! 2022 අපේ මන්ත්‍රීවරුන් 72කගේ ගෙවල් ගිනි තියලා, වාහන ගිනි තියලා ලොකු විනාශයක් කරපු බව මුළු රටම දන්නවා. ඒවා ගිනි තියන්න උසිගන්නපු කට්ටියම දැන් ලිස්ට් එළියට දාලා අපිට මඩ ගහන එකනේ පුදුම වැඩේ!” යනුවෙන් එම මන්ත්‍රී පිරිස කතාබස් කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ මේ හෙළිදරවුවෙන් පසු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී, අරගලය වෙලාවේදී සජිත් අගමැතිකම භාර නොගැනීම ගැන ප්‍රශංසා කොට තිබේ.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පස් සැරයක් කතා කරලත් ඔබතුමා එදා අගමැතිකම භාර නොගත් එක හොඳයි කියලා අද හොඳට වැටහුණා,” මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සජිත්ට එසේ ප්‍රකාශ කර තිබිණි.
“ඒ මොකද?” සජිත් තරමක් උනන්දුවෙන් විමසා ඇත. “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පස් සැරයක් කතා කරලත් ඔබතුමා එදා අගමැතිකම භාර නොගත් එක හොඳයි කියලා අද හොඳට වැටහුණා,” මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සජිත්ට එසේ ප්‍රකාශ කර තිබිණි.
“ඒ මොකද?” සජිත් තරමක් උනන්දුවෙන් විමසා ඇත.
“අද නලින්ද ඇමැතිතුමා එළියට දැම්මානේ පසුගිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම වෙනුවෙන් ගෙවපු වන්දි මුදල් ලිස්ට් එක. ඔබතුමාට එදා අගමැතිකම භාරදුන්නා නම් මේ අපවාදයටත් කරගහන්න වෙනවා. දැන් මේක ගිහිල්ලා තිබෙන්නේ රනිල් මහත්තයගෙ පිටින්,” යනුවෙන් ඒ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. “යහපාලන ආණ්ඩුව වෙලාවෙත් එතකොට හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැත්තෑ එක් වතාවක් ඔබතුමාට අගමැතිකම බාරගන්න කිව්වත් රනිල් මහත්තයට ද්‍රෝහී වෙන්න බැරි නිසා ඔබතුමා ඒක භාරගත්තේ නැහැ නේද?” යනුවෙන් මන්ත්‍රීවරයකු මෙහිදී විමසූ අතර, සජිත් ප්‍රේමදාස සිනාවකින් ඊට ප්‍රතිචාර දැක්වීය.