කොළඹ නගරය ඡලයෙන් යටවෙයි. හදිසි තත්ත්වයන්ට මුහුණදීමට මෙහෙයුම් කණ්ඩායමක්.

හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ‍්, කොළඹ නගරයේ හදිසි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු සහ ඒ සඳහා ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය (07වැනිදා) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට එක්වූ කොළඹ නගර සභාවේ නිලධාරීන් අනාවරණ කළේ, පසුගිය (06 වැනිදා) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පැයක් තුළ මිලිමීටර් 129ක පමණ අධික වර්ෂාපතනයක් ලැබීම බවත්, දැනට පවතින කාණු සහ ජලාපවහන පද්ධතිය සකස් කර ඇත්තේ පැයකට මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවය.

ඒ අනුව මෙවැනි හදිසි තත්ත්වයන්ට කාර්යක්ෂමව සහ කඩිනමින් මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අදාළ ආයතන එක් කරගනිමින් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය.

අවශ්‍යතාව පරිදි කාණු සහ ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, ජලය ක්‍රමානුකූලව බැස යෑමට බාධාවක් වන කාණු පද්ධති සහ ජල මාර්ග කඩිනමින් පිරිසිදු කිරීමටත්, අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

කොළඹ මහ නගර සීමාව තුළ පවතින අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිරවී ඇති බව මෙහිදී අනාවරණය වූ බව සඳහන්ය.

එම අනවසර ඉදිකිරීම් ඉවත් කර, අදාළ පිරිස් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ කසළ විධිමත්ව බැහැර කිරීම සහ ජල මාර්ග පිරිසිදුව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලින් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර, නාගරික කොමසාරිස් ඉංජිනේරු ඒ.ඩී.එස්. රෝහණ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාරනායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති (මේජර් ජෙනරාල් – විශ්‍රාමික) එම්.කේ.ඩී.පී. මාපලගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ  “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අතර අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ පසුගිය (06 වැනිදා) පස්වරුවේ කොළඹට මිලිමීටර 129ක, මතුගමට මිලිමීටර 95ක, බදුරලියට මිලිමීටර් 84ක ආදි ලෙස වර්ෂාපතන වාර්තා විය.මෙම වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක ජල ගැලීම් මෙන්ම කොළඹ ඇතුළු මාර්ග රැසක් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද හටගැනින.

ඒ අනුව කොල්ලුපිටිය සිට ගාලු පාර ප්‍රදේශ මෙන්ම බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් දැඩි ලෙස ඡලයෙන් යටව තිබූ අතර රථවාහන හා ව්‍යාපාරික ස්ථාන රැසකට හානි සිදුවු බවට වාර්ථාවිය. මේ අතර කොළඹ නගරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ධාවනය ද අද පස්වරුවේ ප්‍රමාද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …