තමන්ගේම ගීත එකතුවකින් විප්‍රවාසී ජීවිතය ගයන ටොරොන්ටෝවේ ශ්‍රීලාල්

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව විප්‍රවාසී ශ්‍රී ලාංකික ප්‍රජාවටම තමන්ගේ ගීත නිර්මාණ තුලින් සමාජ සත්කාරයක් කල චරිතයක් එක්ක . ඔහුගේ සුවිශේෂී තාවය වන්නේ ටොරොන්ටෝවේ වෙසෙන වැඩිම ස්වතන්ත්‍ර ගීත එකතුවක් තිබෙන ගායකයා ඔහු නිසයි . ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.

කටහඬ කියන්නෙ  ප්‍රකාශනය සඳහා යොදාගත හැකි ඉතා බලවත් මෙවලමක්. තමාට උරුමවූ   හඬ පෞරුෂය භාවිතා කරමින් ගීත නිර්මාණය කිරීමට හැකි වීම කෙනෙකුට ලබා ගත හැකි අතිවිශාල ආශීර්වාදයක් මෙන්ම ජයග්‍රහණයක්. ඒ නිසා තමයි ගායකයන් ලෝකයේ වඩාත්ම ආදරයට පාත්‍ර වන කලාකරුවන් අතරින් එක් පිරිසක් වන්නේ. ගායනය, ගීත රස විඳින්නාගේ කෝණයෙන් බැලුවොත්, ගායකයා වචනවලට එක් කරනා මියුරු කටහඬ රසිකයින්ට ලබා දෙන්නෙ  අසීමිත ආස්වාදයක්, සැනසීමක්. එමෙන්ම මියුරු ගීතය විටක දුක වේදනා නසනා ඖෂධයක්ද වන බව අපි අත්දැකීමෙන් දන්නවා. නමුත්, එම කලාකරුවා, උපතින් ලැබූ මිහිරි කටහඬ සරුකර ගැනීම සඳහා ඉතාමත් අසීරු දුෂ්කර ගමනක් යායුතුයි. ඒ ගැන ස්ථීර වශයෙන්ම දැනගැනීමට නම් එම කටහඬේ උරුමක්කාරයාගෙන්ම  ඒ ගැන අසා දැන ගත යුතුයි. අහම්බෙන් ඒ අහඹු අවස්තාව මට උදා උනේ මා සිහිනෙකින්වත් නොසිතූ මොහොතක.

ඔන්ටේරියෝහි ඉතා සුන්දර ප්‍රදේශයක් වන පැරිස් හි තම බිරිඳ, දරුවන් දෙදෙනා සහ කුඩා මුනුබුරු මිනිබිරියන් තිදෙනෙක් සමඟ ජීවත්වන ශ්‍රීලාල් ෆොන්සේකා නම්වු ප්‍රතිභාව කලාකරුවායි අප විද්‍යුත් පුවත්පත වූ “srilancan”හි අගෝස්තු මස චරිතාපදානයට ප්‍රස්තුතය වනුයේ.

පුවත්පත් වෙනුවෙන් දුරකථනය හරහා එතුමා සම්බන්ධ කරගත් මම ඔහු උත්පත්තිය ලැබූ ගම සහ පවුල සම්බන්ධව විවරණයක් කරමින් කතාව අරඹන ලෙසටයි මුලින්ම ආරාධනා කලේ, “මම ඉපදුනේ නාත්තන්ඩියට ආසන්නව ඇති වලහපිටිය නම්වූ ඉතාමත් සුන්දර ගම්මානයේ. අපේ ගම හරිම ප්‍රසිද්ධයි පොල්වගාවට, රා, පොල් පැණි වගේ ලංකාවට ආවේනික නිෂ්පාදනවලට. මගේ දෙමාපියන් හැරුණු කොට, පස් දෙනෙකුගෙන් සමන්විත අප පවුලේ මම තමයි දෙවෙනියා. මට අයියා කෙනෙකුයි නංගිලා තුන් දෙනෙකුයි සිටිනවා. අප පියාණන් වියෝ වනවිට මම සිටියේ පහළොස් වියේ. ඒ නිසා, මගේ ලොකු අය්යාට අපේ පවුලේ පියාගේ වගකීම භාර ගන්න සිදු උනා. එදා තාත්තාගේ වියෝවෙන් මට දැනුනෙ මගේ මුළු ලෝකෙම මට අහිමි වුවා වැනි  හැගීමක්. එම වියෝව දරා ගැනීම මට ඉතා අපහසු උනා. නමුත් මගේ සමීප හිත මිතුරන්ගේ අස්වැසීම හිත හදා ගැනීමට මට විශාල පිළිසරණක් උනා”, ඔහුගේ හඬ ඉතාමත් හැඟුම්බරයි. 

අප පාඨකයින් වෙනුවෙන් ඔබගේ අධ්‍යාපන තොරතුරු ගැන සඳහනක් කරන්න පුලුවන්ද? 

මම ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තෙ වලහපිටිය මහා විද්‍යාලයෙන්. ඉන්පසුව නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහලින් තමයි ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ. ඉන්පසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයෙයි මම අධ්‍යාපනය ලැබුවේ”.

ඔබ කලා පවුලකින් පැවත එන්නෙක්ද, ඔබට කටහඬ උරුම වුවාද?

ඔහු කතාව ඇරඹුවේ ඉතාමත් සංවේදී තැනකින්, “මගේ පවුලෙ කිසිම කෙනෙක් සංගීතයට සම්බන්ධ නැහැ. මම අවුරුදු 8, 9  කාලෙ ඉඳලම, ගුවන් විදුලියේ ගීත කටපාඩමින් ඉතා උස් හඬින් කියන්න පුරුදුවෙලා හිටියා. අප අසල්වාසීන් ඒ හඬ ඇහුණාම දන්නවා, ලාල් තමයි මේ සිංදු කියන්නෙ කියලා. තාත්තා මගේ ගී ගායන හැකියාව හඳුනාගෙන හිටපු නිසා, මාව අපේ ගම් පළාතේ තිබු ගීත ප්‍රසංගවලට එක්කරගෙන ගියා. තාත්තම තමයි, ගී පොත්වලින් ඒ ගීත තෝරලා දෙන්නෙ. මමත් කිසිම චකිතයක් නැතිව වාදකයින්ගේ සංගීතයට ගීත ගායනා කළා. කුඩා උනත් සංගීතය සම්බන්ධව මා තුල තිබු බලවත් ආසාව නිසා, මම සංගීත පන්තියකට යවන්න කියලා වගේම, වයලීනයක් අරන් දෙන්න කියලා තාත්තාගෙන් කිහිප වරක්ම ඉල්ලුවා. නමුත් ඔහු ඒ ගැන කිසිම තැකීමක් කලේ නැහැ. ඒත් ඔහු ඉතා උනන්දුවෙන් මාව ඉංග්‍රීසි පන්තියකට යැව්වා. අද ජීවිතය දෙස ආපසු හැරී බලනකොට මා පියාගේ නිහඬතාවය පතුලේ තිබුනාවූ හැගීම් සහ අභිමතාර්ථය මට හොඳට තේරුම් ගන්න පුළුවන්. අතීත ලංකාවේ සංස්කෘතියට අනුව ඔහුට ඕන උනේ මා වෛද්‍යවරයෙක් කරන්න. කලාවට වටිනාකමක් නොතිබූ එදවස, කළා කරුවන් ආර්ථික වශයෙන් ඉතා අඩු මට්ටමක හිටියෙ. ඉතිං තාත්තා බය වෙන්න ඇති සංගීතය පස්සෙ දුවලා මම ජීවිතය අසාර්ථක කර ගනීවී කියලා. මගේ පියාත් එම සංස්කෘතියට අමුත්තෙක් නොවෙයි. ගී ගැයීමේ හැකියාව හඳුනාගෙන තිබුනත් එය ඉදිරියට ගෙන යාමට මට ගෙදරින්වත්, පසැලෙන්වත් කිසිම දිරි ගැන්වීමක් හෝ මඟ පෙන්වීමක් ලබාදීමට කිසිවෙක් සිටියේ නැහැ. කොටින්ම, ගුවන්විදුලි සංස්ථාව තියෙන්නෙ කොහෙද කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ”, ඔහු එක හුස්මට කියාගෙන ගියේ කලකිරීමෙන්.

සංගීත දිවියේ ආරම්භයක් ලබාදුන් සරසවි දිවිය ගැන ඔහු කතා කලේ ප්‍රමෝදයෙන්, ”ඒ 1979 -1984 කාලය, එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ තිබුනේ ඉතාමත් කලබලකාරී පරිසරයක්. එසේ වුවත්, සරසවි දිවිය මගේ ජීවිතයේ විශාල පෙරලියක ආරම්භයක් උනා. මම විද්‍යා පීඨයේ සිටියත්, මගේ කාලය වැඩිපුරම ගෙවුනේ කළා පීඨයේ. පෙරදිග සංගීත සංගමයේ සාමාජිකයෙක් වීමේ අවස්ථාවත් මට ලැබුනා. එම සංගමය මගින් නිපදවූ ‘ශිල්ප සතර’ කැසට් පටයේ ගීතයක් ගායනා කිරීමට ලැබීම, සත්‍ය වශයෙන්ම මගේ සංගීත ජීවිතයේ කඩඉමක්. එහිදී, මම ගායනා කලේ එන් . පී. ප්‍රේමචන්ද්‍ර නම්වූ මගේ සමකාලීන මිතුරා විසින් ලියන ලද “පියාණනී” නම්වූ ගීතය. එය තමයි මගේ මුල්ම ගීතය. පියා පිළිබඳව මා හද තුල කිඳා බැස තිබු පීතෘ ප්‍රේමය  කියාපාන ගීතයක් ගැයීමට මට තිබු තදබල ආශාව එලි දැක්වුයේ එලෙසයි. ඒ අවස්තාව උදා කල, අද දිවිසැරිය නිම කල මගේ මිතුරු එන් . පී. ප්‍රේමචන්ද්‍රට මගේ හෘදයාංගම කෘතඥතාවය මා පුද කරනවා.  එය තමයි, එවකට ලංකාවේ සරසවියකින් බිහිවූ මුල්ම කැසට් පටය. වෙසක් භක්ති ගීත වැඩ සටහන්, සහ තමාෂා ඇතුළු අනෙකුත් විවිධ සංගීත වැඩ සටහන්වල ගී ගැයීම හේතුවෙන්, සරසවිය තුල බොහෝ දෙනා මම දැන හඳුනාගෙනයි සිටියෙ. වාර්ෂිකව පැවැත්වූ තමාෂා නම්වූ ගීත, නාට්‍ය සහ කළා වැඩසටහනෙත් මට ගීත ගායනා කිරීමේ අවස්ථාව ලැබුනා. ප්‍රවීණ ගායිකා සහ සංගීතඥ මායා දමයන්ති වැඩ කලේ අපේ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශ පුස්තකාලයේ. විශ්ව විද්‍යාලයේදී මා ගැයූ ගී ගායනා සම්බන්ධව පැහැදුණු ඇය මා සමඟ කුළුපග වුවා පමණක් නෙවෙයි, ඇයගේ සංගීත ගුරුවරයා වූ වික්ටර් පෙරේරා ලඟට මාව කැඳවාගෙන ගියා. නමුත්, අවාසනාවකට ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මට එම අවස්ථාව මඟ හැරුනා. මායා දමයන්ති අදටත් මා සමඟ සමීප සබඳතාවයක් පවත්වනවා”, අතීත මතකය මතක් කරමින් ඔහු පැවසුවා.

ශ්‍රීලාල් සරසවි සිසුවා 1982-1983 වකවානුවේ, සරසවියේ සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ ජේෂ්ඨ සිසුන්ගේ ඉල්ලීමක් මත ඔවුනගේ විමුක්ති ගී වලට සම්බන්ධ වුයේ එම සිසුන්ගේ මතවාදය ගැන ඔහුට තිබු අවබෝධයට වඩා ගීත ගායනා කිරීමේ සහ ඔවුනගේ වැඩ පිළිවෙලට තිබු තදබල කැමැත්ත හේතුවෙන්. කොහොම නමුත්, ඔහු මුල සිටම සමාජවාදී දේශපාලනයට විශේෂ කැමැත්තක් තිබු බවයි මා සමඟ පැවසුවේ. ඉන්පසුව, එම විමුක්ති ගී කණ්ඩායමත් සමඟ දකුණු පළාතේ සති දෙකක ගීත සංචාරයක් කලේ සරසවියේ පන්තිත් මඟ හරවා ගනිමින්. මෙම සිසුන්, විමුක්ති ගී ප්‍රසංග 20 ක් පමණ දිවා සහ රාත්‍රී කාලවලදී සිදු කළා. එම ප්‍රසංගයේ ඔහුටම වෙන්කළ “දෑතේ වීරියෙන් මා පදිනා මේ පාරුවෙන්” ගීතය ගැයීම ශ්‍රීලාල් තරුණයා සැලකුවේ ගෞරවයක් ලෙසට. එම විමුක්ති ගී වල අවසාන ප්‍රසංගය සිදු කලේ වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා ශාලාවේ. 

මගේ ආරාධනාවෙන්, ඔහු සරසවියෙන් පසු දිවිය පිලිබඳව කෙටි විස්තරයක් අප සමඟ බෙදා ගත්තේ මෙලෙසයි, “සරසවි දිවිය අවසානයේ, මට ගුවන් ගමන් පාලකයෙක් (Air Traffic Controller) ලෙස රැකියාවක් ලැබෙනවා. එවකට ලංකාවේම, මේ තනතුරේ හිටියෙ 60 කට ආසන්න පිරිසක් පමණයි. අවුරුද්දක පුහුණුවකින් පසුවයි මම රැකියාව ආරම්භ කලේ. මගේ විවාහයත් සිදු වුයේ කටුනායක ගුවන් තොටුපලේම සේවය කල රෝහිනී වීරක්කොඩි සමඟ එම කාලයේමයි. ‘ගුවන් ගමන් පාලනය’ සම්බන්ධව සිංගප්පුරුව, තායිලන්තය යන රටවල් දෙකෙත් පුහුණුවීම් ලබා ගැනීමට මට අවස්ථාව ලැබුනා. ඒත් එක්කම Radar පුහුණුව සඳහා පකිස්තානයේ Civil Aviation Tranining Institute එකටත් යන්න ලැබීම විශේෂ අවස්තාවක්. නමුත් විවාහය, දරුවන්, රැකියාව වැනි යුතුකම් අතරේ සරසවි දිවියේදී ස්පර්ශවූ කලා පරිසරය මගෙන් ඈත් වුයේ මටත් නොදැනුවත්වම. ඉන්පසු 1998 දී, අපි තීරණය කළා කැනඩාවට එන්න” ඔහු එක හුස්මට කියාගෙන ගියා.

ඒත් එක්කම, මගේ ඊළඟ ප්‍රශ්නයට ක්ෂණිකවම මම මඟ පාද ගත්තා.

ඇයි ඔබ කැනඩාවට එන්න තීරණය කලේ? ඔහුට ක්ෂණිකවම එයට පිළිතුරක් තිබුනා, “ගුවන් ගමන් පාලකයෙක් ලෙසට අපිට සාධාරණ වැටුපක් ලැබුනෙ නැහැ. ඒ සම්බන්ධව විවිධ සාකච්චාවන් පැවතුනත්, එයට විසඳුමක් ලැබුනේ නැහැ. ඒ කලකිරීමත් සමඟම, මගේ ජේෂ්ඨ නිලධාරියෙක් කැනඩාවට ආවා. ඒකත් එක හේතුවක් උනා මට රට අතහැර යාමට. 

කැනඩාවට පැමිණි පසු, රැකියාව වෙනස් කිරීමට සිදුවූ නිසා, පරිඝනක අංශයට යොමු වීමට ඔහු තීරණය කළා. අවුරුද්දක පුහුණුවකට පසුව, Software Developer කෙනෙක් ලෙසට වෘත්තීය ජීවිතය ඇරඹීමට හැකි වුවත්, ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් අඩුවක් තියෙනා බව ඔහුගේ හදවත ඔහුට කොඳුරා කියන්න පටන් ගත්තා. වාසානාවකට, ඒ වකවානුවේදීම, කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයේ ජීවත්වන සුනිමල් බාලසුරිය මිතුරා විසින් ටොරොන්ටෝවෙන් විසුරුවා හරින “සවන” ගුවන් විදුලියට” හඳුන්වා දෙනු ලැබුවා. “සවන” කියන්නෙ වසන්ත ලංකාතිලක සහන චම්පා ගොඩකන්ද ආරච්චි පවත්වා ගෙන යන සමාජ මාධ්‍ය රේඩියෝවක්. වරක් සුනිමල් බාලසුරිය කලාකරුවා කල වැඩසටහනකින් ඔහුව කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයට හඳුන්වා දීමක් කළා.  ඒත් එක්කම, “සවන” ගුවන් විදුලිය මගින් ඔහු ගැයූ ගීත ප්‍රචාරය කිරීමද කරනු ලැබුවා. ඉන්පසුව, අප ගායන ශිල්පී ශ්‍රීලාල්ට තදබල ආශාවක් ඇති උනා ඔහුගේ සංගීත දිවිය තව තවත් ඉදිරියට ගෙන යාමට. කැනඩාව කියන්නෙ අවස්ථාවන්ගේ දේශයක් (Land of Opportunities). හැකියාවක්, උවමනාවක් තිබෙනා කිසිම දරුවෙකුට හෝ පුද්ගලයෙකුට තමාගේ සිහිනය සැබෑ කරගන්න කැණඩා රජය සහ කැනේඩියානු සමස්ථ පරිසරයම සෑම උපකාරයක්ම කරනවා. ඒ අවස්තාව ගැන දැනුමක් තිබූ ශ්‍රීලාල් කලාකරුවාට, ලංකාවේදී, කිසිදා සංගීත අධ්‍යාපනයක් නොලැබූවත් ඒ පසුපස හඹා යෑමේ ප්‍රබල කැමැත්තක් ඇති උනා. එම ගමනේදී ඔහුට මුණ ගැහෙනවා මිසිසාගා නගරයේ ජීවත්වන උතුරු ඉන්දියානු සංගීත ගුරුවරියක් වන Anju Chaudhury. ඇය ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ වඩාත්ම බහුකාර්ය සහ ප්‍රශංසිත පසුබිම් ගායකයෙකු, ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතඥයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු, වන Manna Dey ගේ ගෝලයෙක්. ඇයගෙන් රාගධාරී සංගීතය, හාමෝනියම වාදනය කිරීම අවුරුද්දක් පමණ අධ්‍යයනය කල පසුව ඔහුට, ඔහුගේම ගීත කිහිපයක් කිරීමේ ආශාවක් ඇති උනා. ඒ අරමුණ සඵල කර ගැනීමට, කැනඩාවේදී ඔහු කල මුල්ම ගීත දෙකටම පද ගැට ගැසුවේ සුනිමල් බාලසුරිය. ඒවාට  සංගීතය සැපයුවේ සුනිමල් බාලසුරිය මහතා හඳුන්වා දුන් සංගීතඥ රෝහණ ධර්මකීර්ති. “අම්මා” නම්වූ එක් ගීතයට කැනඩාවේ සලකුණක් වූ නයගරාවද සම්බන්ධයි.  පියාණන් පිලිබඳ දෙවන ගීතයද ලියන ලද්දේ සුනිමල් බාලසුරිය කලාකරුවා විසින්. දැනට ගීත 40 ක් පමණකට හිමිකරුවන අප ශ්‍රීලාල් කලාකරුවා ඒ පිළිබඳව මා සමග තොරතුරු බෙදා ගත්තෙ මහත් ප්‍රමෝදයකින්. සුනිමල් බාලසුරිය, චන්ද්‍රරත්න බණ්ඩාර, චම්පා ගොඩකන්ද ආරච්චි, ආචාර්ය සරත් චන්ද්‍රසේකර, බන්දුල කුරුවිට ආරච්චි, අනුරුද්ධ වැලිගමගේ, ආචාර්ය ප්‍රියන්ත කුලසේකර යන මහත්ම මහත්මීන් තමයි ඔහුට ගීත ලියා දී තිබෙන්නේ. ඒ වගේම රඹුකන සිද්ධාර්ථ හිමිගේ එක ගීතයක්, රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමාගේ ගීත හතරක්, කුමාර ලියනගේ කලාකරුවාගේ ගීතයක්, ශාමිලා හුසේන්ගේ ගීත 3ක්, ඔමන්දි   විජේගුනවර්දන, අතුල කල්දිමුල්ල,  සුගත් සෝමවීර, ආචාර්ය නන්දසිරි කීඹීයාහෙට්ටි, ආචාර්ය විකුම් පෙරේරා, විහඟ ප්‍රසාද් සිරිවර්ධන, ආනන්ද පද්මසිරි, චන්ද්‍රදාස ප්‍රනාන්දු, විමල් වීරක්කොඩි, ධම්මික බණ්ඩාර වැනි අයගේ ගීතද ඔහුගේ ගීත ගොනුවට ඇතුලත් වෙනවා.  එම ගීතවලට සංගීතය සැපයු සංගීතඥයින් අතර ආචාර්‍ය රෝහණ වීරසිංහ, විශාරද රෝහණ ධර්මකීර්ති,  විශාරද දර්ශන වික්‍රමතුංග, ආනන්ද වෛද්‍යසේකරයන්ද සිටිනවා. අනුරුද්ධ වැලිගමගේ කොවිඩ් කාලයේ ලියා දුන් ගීතයට සංගීතය ලබා දුන් Matrix ගිටාර් වාදක සුමුදු ෆොන්සේකා තමයි කැනඩාවේදී ඔහුට සංගීතය සපයා දුන් එකම සංගීතඥයා.

ඔහුගේ කැනේඩියානු ගී චාරිකාව සම්බන්ධව ඔහු නැවතත් විශාල උනන්දුවකින් කතා කළා, “විශේෂයෙන්ම කියයුතු දෙයක් තමයි, මම කුඩා කල සිටම ගීතවලට කැමැත්තක් දැක්වූ ඉන්ද්‍රානි බෝගොඩ සමඟ යුග ගීතයක් ගැයීමට ලැබීම මගේ සංගීත ජීවිතයට ආභරණයක් වූ බව. ඒ වගේම, විශාරද නෙලුම් අධිකාරී, විශාරද ශානිකා සුමනසේකර, සංගීත් නිපුන් පවරී අමරසා, දේවිකා චතුරානි, යන ලාංකික ගායිකාවන් සහ කැනේඩියානු නිලුපමා බාලසුරිය, රිසේන්දි කරුණාරත්න සමඟත් මම ගීත ගායනා කර තිබෙනවා. මගේ ගීත ගායනාවට කැනඩාවේ ජීවත්වන මා හිත මිතුරන්ගෙන් ලැබූ සහය අප්‍රමානයි. එමනිසා 2014 දී, මම තීරණය කළා, මගේ ගීත සමුදායත් සමඟම ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමට. “ගී අරුන්දතී” නම්වූ එම ප්‍රසංගයේ නම යෝජනා කලේ සම්මානලාභී ගත් කතු චන්ද්‍රරත්න බණ්ඩාර. එහිදී, යුග ගී ගායනාවලට සම්බන්ධ වුයේ අනුෂා ජයසුන්දර නම්වූ ඉතා මියුරුවට ගී ගායනා කරනා ගායිකාවක්. අවාසනාවකට, ඇය දැන් ගී ගායනයෙන් ඈත්වෙලා. නැවත, 2016 දී, ගී අරුන්දතී 2 සඳහා කැනඩාවේ වෙසෙන දක්ෂ ශ්‍රී ලාංකික ගායිකාවන් සම්බන්ධ කර ගත්තා. 2018 දී නැවතත්, අරුන්දතී 3 ප්‍රසංගය  කරනු ලැබුවේ ඒක පුද්ගල ප්‍රසංගයක් ලෙසට. “ගී අරුන්දතී” ප්‍රසංගවල වේදිකා පසුතල නිර්මාණ සඳහා අගනා දායකත්වය ලබාදුන් සහෝදර කලාකරුවන් පිළිබඳවත් ඔහු ඉතාමත් කෘතඥශීලීව සඳහන් කලා. ඒ අය නම් වශයෙන් සඳහන් කලොත්, 2014 දී පොල්වත්ත ගෙදර නන්දසිරි, 2016/2018 වසරවලදී, බන්දුල කුරුවිට ආරච්චි. රන්ජිත් හා දර්ශී තිලකරත්න, ජයලත් හා ලලිතා සමරක්කොඩි යන අයගේ මූලිකත්වයෙන් බොහෝ කී නොකී පිරිසක් මේ ප්‍රසංග සඳහා දායකත්වය ලබා දුන්නා.

ඔහුගේ ගී අතරේ කැනඩාවටම ආවේනික වූ ගීත කිහිපයක් තියෙනවා. ආචාර්ය සරත් චන්ද්‍රසේකරගේ ජීවිත අත්දැකීමක් මත ලියැවුනු, “Nunawat ප්‍රදේශය” ගැන ලියවුනු ගීතය ඉතා වෙනස් ආරක ගීතයක්. එතුමා අතින් ශ්‍රීලාල් කලාකරුවාට “ටියුලිප් මංගල්‍යය” ගැන ලියැවුනු තවත් ගීතයක් තිබෙනවා. ඒ වගේම අප “srilancan” පුවත්පතේ සංස්කාරක, අනුරුද්ධ වැලිගමගේ අකුරු කල අළුත් අවුරුද්ද ගැන ලියැවුනු “CN කුළුනේ” ගීතය සහ සුනිමල් බාලසුරිය රචනා කල “නයඟරාවේ යෝධ ජල කඳ” වැනි ගී ගැන විශේෂයෙන් ඔහු මා සමඟ සඳහන් කළා. එක් වසරක, කැනඩාවේ ඔටාවා නුවර පැවැත්වූ ශ්‍රී ලංකා දිනයට ඔහුට “CN කුළුනේ” ගීතය ගැයීමට ආරාධනාවක් ලැබීමක් භාග්‍යයක් ලෙසටයි මේ කලාකරුවා සලකන්නෙ. 

ශ්‍රීලාල් කලාකරුවා ඔහුගේ කලා දිවියට අත හිත දෙන අය සම්බන්ධවත් මා සමඟ ඉතා කෘතඥශීලීව කතා කළා. එහි මුලින්ම සිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ රෝහිනී. “සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක් සිටී” නම්වූ වටනා කියමන සනාථ කරමින්, ඇය, ඔහුගේ ගායනා සහ සංගීත දිවිය හෙළිපෙහෙළි කරගැනීමට විශාල ශක්තියක් වුවා. දරුවන්ගේ සියළු වැඩ, ගෙදොර වැඩපල වැනි දහසකුත් කරදර මධ්‍යයේත්, ඇයගෙන් එදා පටන් අද දක්වා ලැබෙන සහය ඔහුට මහමෙරක්  වුවා. “මම අද යම් දෙයක් සාක්ෂාත් කරගෙන ඇත්නම්, එහි ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවිය යුත්තේ මගේ බිරිඳට” යැයි ඔහු ඉතා සංවේදීව පැවසුවා. රූපණ මාධ්‍ය ජාලය සම්බන්ධවද මා සමග කතා කිරීමට ඔහු අමතක කලේ නැහැ. ඔහුගේ පලවෙනි “ගී අරුන්දතී” ප්‍රසංගය කාලයේම තමයි, රූපණ මාධ්‍ය ජාලය ඇරඹුණෙත්. එයට බන්දුල කුරුවිට ආරච්චි කලාකරුවා රචනා කරන ලද ගීතයේ කටහඬ සහ රූප යන මාධ්‍ය දෙකම පටිගත කර ඇත්තේ, අප කථානායකගේ නිවසේ තිබුනාවූ  ස්ටුඩියෝ එකේමයි. රූපණ වෙනුවෙන් එම ගීතය නිෂ්පාදනය කිරීමට ඔහු සෑම සහයෝගයක්ම දුන් බව මා සමඟ ඉතා සතුටින් පැවසුවා. ඒ වගේම, රූපණ මාධ්‍ය ජාලය ඔහුගේ සෑම ප්‍රසංගයක්ම වීඩියෝ ගත කිරීමෙන් මෙන්ම ඒවා ප්‍රචාරය කිරීමෙන්ද විශාල අනුග්‍රහයක් ලබා දෙන බව සඳහන් කලේ ඉතාමත ස්තුති පුර්වකව. කැනඩා කලා දිවියේ තවත් අමතක නොකල හැකි මෙන්ම පුර්ණ සහයෝගය දුන් මාධ්‍ය අතර යාත්‍රා (චන්ද්‍රරත්න බණ්ඩාර), දසත (චමරී සහ ගාමිණී අබේසිංහ), කළා කවය, රූපවාහිනිය (ශාන්ති පෙරේරා සහ පුෂ්පකුමාර රාජගුරු බණ්ඩාර) ද ඇතුලත් වෙනවා. ඒ වගේම මට ඉදිරියට ඒමට අත දුන් සමාජ මාධ්‍යයටත් මම අතිශයින්ම කෘතඥ වෙනවා

ඔබට අද වෙනතුරු මග හරුනු සිහිනත් තියෙනවාද යන්නයි මගේ ඊළඟ ප්‍රශ්නය,                                                 සුළු නිහඬතාවයකින් ඔහු කටහඬ අවදි කළා, “ඇත්තටම ලංකාවෙදි මට රජයේ කලා විශ්ව විද්‍යාලයට යාමට අවස්තාව ලැබුනා නම්, මම අද වෙන තලයක ඉන්න තිබුනා. මම “සිහිනයකි රෑ”, “මා නොවන මම” වැනි වැඩ සටහන් වලට ඉල්ලුම් පත් කිහිපයක් දැම්මත් කිසිම තැනකින් එවැනි අවස්ථාවක් මා හට ලබා දුන්නෙ නැහැ. මම විශ්වාස කරනවා, ලංකාවේ යමක් කිරීමට දක්ෂතාවයක් ඇති කෙනෙකුට තමා දන්නා හඳුනන කෙනෙක් නැත්නම් එම පුද්ගලයාගේ දක්ෂතාවය ඔහුගේ සිරුරත් සමඟම වැළලෙන බව. අපේ රටට කලාවට ක්‍රීඩාවට හෝ වෙනයම් අංශයකට දක්ෂතාවයන් ඇති දරුවන් හඳුනා ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් අත්‍යාවශ්‍යයි. නමුත් සමහර TV නාලිකා තමාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් හෝ කරන තරඟ වැඩ සටහන් වලින් බොහෝ දක්ෂ දරුවන් සමාජයට අද එලි දැක්වෙනවා” ඔහු කතාව අවසන් කලේ තරමක් ආවේගයකින්. 

අද ඔබ ලබා ඇති ජයග්‍රහණ සම්බන්ධව ඔබ සැහීමකට පත් වෙනවද?                                             “ඇත්තටම ඔව්, කොළඹ සරසවියේ නිපදවූ කැසට් පටයට ගීතයක් ගායනා කිරීමට ලැබීම මම ලබාගත් විශාල ජයග්‍රහණයක් ලෙසයි මම සලකන්නෙ. ලංකාවේදී ටීවී, රේඩියෝ, රුපවාහිනී වැනි මාධ්‍යවලට යාමට මට අවස්ථාව නැති උනත්, මටම ආවේණික, මගේම කියලා මාධ්‍යයක් මම අද හදාගෙන තිබෙනවා. අප අවට ඉන්නා කැනේඩියානු ශ්‍රී ලාංකික කලාකරුවන් සමඟ කලා මං පෙත හරහා පැමිණි දිගු ගමන ගැන මට ආඩම්බරයක් දැනෙනවා. ඒත් එක්කම කිව යුතු දෙයක් තමයි, සිංහල භාෂාවෙන් ඔබ්බට ගොස් මම ගායනා කරන හින්දි සහ ඉංග්‍රීසි ගීත සම්බන්ධව බොහෝ දෙනාගෙන්  ලැබෙන ප්‍රශංසා මම ඉතා අගය කරන බව” එතුමා කතා කලේ ඉතාමත් නිහාතමානීව.

මම අහලා තිබෙනවා ඔබගේ අනෙකුත් පොදු සමාජ මෙහෙවරන් පිලිබඳවත්. ඒ ගැන යමක් කිව හැකිද? “හැකි සෑම අවස්ථාවකම, තමාගේ හැකියාවන් සමඟ ඉදිරියට යාමට කැමති ඕනෑම කෙනෙකුට මම උදව් කරන්න කැමතියි. මම කුඩා කාලයේ සිටම, චිත්‍ර ඇඳීමටත් දක්ෂයි. ඒ වගේම වෙනත් කළා නිර්මාණ කිරීමටත් මට හැකියාව තිබුනා. නමුත්, මම අද බොහෝ කළා නිර්මාණ කරන්නෙ තාක්ෂනය හරහා, Graphic නිර්මාණ වැනිදේ. එවැනි නිර්මාණ හරහා මම බොහෝ අයට උපකාර කර තියෙනවා කිසිම අය කිරීමකින් තොරව, අතදීමක් ලෙසින්. කිසියම් කෙනෙකුට මගේ ගායනය හරගා උපකාරයක් කර හැකිනම්, එවැන්නක් කිරීමට මම දෙවරක් හිතන්නෙ නැහැ. එවැනි දේ මම ඒමට කර තිබෙනවා,” ඔහු පැවසුවේ තෘප්තිමත්ව.

අතීතයට ගොස් ඔබට මඟ හැරුණු යමක් කිරීමේ ස්වර්ණමය අවස්තාව ඔබට ලැබුනොත්, එය කුමක්දැයි, අප පුවත් පතේ පාඨකයින් වෙනුවෙන් මම දැනගන්න කැමතියි, “කෙසේ හෝ මා ආදරය කරනා සංගීත ගමනට මුළු ශ්‍රමයම යොදා මඟ පාදා ගන්නවා” ඔහුගේ කටහඬ ස්තීරසාරයි,                                        

අප බොහෝ නිර්මාණකරුවන්, කළා කරුවන් තමාගේ මංපෙත පාදා ගනු ලබන්නේ, කුඩා කාලයේ සිටම, බොහෝ විට තම දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්ගේ ආශීර්වාදයෙන්. එහෙමත් නැත්නම් කලාවෙන් පෝෂනයවූ පවුලකින්. නමුත් උපතින්ම විශාල හඬ පෞරුෂයකට හිමිකම් කිවුවත්, ඉන් තමාටත් ලොවටත් යමක් කල හැකි වූ ඔහුගේ ස්වර්ණමය යුගය උදා වුයේ ඔහුගේ මැදිවියේදියි, අන් අයට මෙන් තරුණ අවදියේ නොවේ. කොටින්ම කියනවා නම්, ඔහු සරසවියගේ බැල්මට හසුවූයේ මැදි වියේදී. ඒ මාවතේ සාර්ථකව ඇවිද අද ජීවිතයේ විශ්‍රාම සුවයේ සිටීම හේතුවෙන්, කළා නිපුණත්වය තව දුරටත් දියුණු කරගැනීමේ  අවස්ථාව ඔහුට හිමිව තිබෙනවා. සංගීත සුවයට අමතරව, මුණුබුරු මිනිබිරියන් තිදෙනෙකුගේද සුරතල් බැලීමට ලැබීමත් ඔහුගේ තවත් වාසනාවක්. 

කැනඩාවේ ඔන්ටෙරියෝවේ වෙසෙන, මියුරු ලෙස ගී ගයනා ශ්‍රීලාල් ෆොන්සේකා නම්වූ අප ගායකයාට ඔහුගේ අන්‍යනතාවය තහවුරු කර ගැනීම සඳහා බොහෝ කාලයක් වේදනාවෙන් බලා සිටීමට සිදු වුවත්, අද ඔහු ඒ මියුරු කටහඬ හරහා කැනේඩියානු ශ්‍රි ලාංකික අපිට ලබා දෙන්නෙ ආදරණීය මෙන්ම ගීතමය ආස්වාදයක්. මෙම ගායකයා සතුව ඔහුගේම ගීත 40 තිබීමෙන් අපට පසක් වන්නේ ඔහුගේම සලකුණකින් මේ ශේෂ්ත්‍රය තුල සනිටුවන් වීමට ඔහු තුල තිබෙනා විප්ලවීය ආසක්තයයි. මව් රටේ වියෝවෙන්,  අප හදවත් තුල සැඟව තිබෙනා වේදනාත්මක හුදෙකලාව මඟ  හරවා ගැනීමට ඔහුගේ කටහඬ තුලින් අපට ලබාදෙන සේවාවට, අප හදවත් තුල මෙම කලාකරුවා පිළිබඳව ඇත්තේ විශාල ගෞරවයක්.   

තෘප්තිමත්, සැනසිලි විශ්‍රාමික දිවියේදීත් තම සිහිනය පසුපස හඹා යන ශ්‍රීලාල් ෆොන්සේකා නම්වූ අප සහෘදයාට, නීරෝගීමත් දිවියක් පතන අතරේ, හෙට දිනයේත් ඔහුගේ අරමුණු ඉෂ්ට වේවා යැයි අප “srilancan” පුවත්පත වෙනුවෙන් ඔහුට සුභ පතමින් හෝරාවකටත් වඩා කාලයක් ගෙවූ දුරකථන සංවාදය මා මින් අවසන් කරමි.

රූපණ ලබැදි වැඩසටහන් දිගුව

ඔහුගේ ගී එකතු සදහා යු ටියුබ් දිගු

සංවාද සටහන – අසෝකා ජයලත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today