මහඡන දේපල සොරාගත් පුද්ගලන් කොහේ හිටි­යත් අල්ල­නවා – ඡනපති කියයි.

කොළඹ මාලි­ගා­වල හෝ කාර්යා­ල­වල එකතු වී කුම­න්ත්‍රණ කර මේ ආණ්ඩුව පෙර­ළී­මට හිතන්න එපා යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කළේය.‘අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි’ ජන­රැලි මාලාවේ නික­වැ­ර­ටිය හා ඉබ්බා­ග­මුව ජන රැලි අම­ත­මින් පසුගිය(11)වැනිදා ජනා­ධි­ප­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඇතැම් අය මාධ්‍ය සාකච්ඡා පව­ත්ව­මින් ආණ්ඩුව එළ­වන්න, පෙර­ළන්න ඕනේ කියමින් මාධ්‍ය සාකච්ඡා තබමින් අඬන බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා, අපේ ශක්තිය තියෙන්නේ ජන­තාව ළඟ බැවින් ආණ්ඩුව එළ­වීම පහසු නැති බවත් කියා සිටි­යේය.

මහ­ජන දේපොළ සොර­ක­ම් කර ලොව කොතැන සැඟව සිටි­යත් මෙර­ටට ගෙන එන බවත් සෑම පළා­ත­ක­ටම අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ස­මක් ස්ථාපිත කරන බව කී ජනා­ධි­ප­ති­ව­රයා, නීතිය සැමට ක්‍රියා­ත්මක වන විට ඊට එරෙහි වන්නේ මෙතෙක් නීති­යට යටත් නොවූ අය බවත් පැව­සු­වේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ ශාඛා 23ක් රට­පුරා ස්ථාපිත කිරී­මට අය-වැයෙන් මුදල් වෙන්ක­රන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පව­සයි.මහ­ජන දේපොළ නාස්ති කර­මින් රටක් හදන්න බැරි බව පව­සන ජනා­ධි­ප­ති­ව­රයා වංච­නි­ක­යන්ට සහ දූෂි­ත­යන්ට දඬු­වම් ලබා­දිය යුතු බව අව­ධා­ර­ණය කරයි.

හොර­කම් කිරී­මේදී සීමා­වක් නොති­බුණා මෙන්ම හොරු අල්ලන එකෙත් සීමා­වක් නොමැති බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දෙයි.ඉතිරි අවු­රුදු තුනේ මෙන්ම ඊළඟ වාර­යෙත් හොරු අල්ලන බව සඳ­හන් කරන ජනා­ධි­ප­ති­ව­රයා, සොර­කම් කර ලෝකේ කොහේ හැංගිලා සිටි­යත් ඒ අය අල්ලා­ගෙන එන බවද අව­ධා­ර­ණය කළේය.

වංචා­වෙන්, දූෂ­ණ­යෙන්, නාස්ති­යෙන් තොර රටක් සෑදීම අවශ්‍ය බව පෙන්වා දෙන ජනා­ධි­ප­ති­ව­රයා වත්මන් ආණ්ඩුව රටේ ජන­තා­වගේ මුදල් සත­ය­ක්වත් නාස්ති නොක­රන බව­ටත් චංචා නොක­රන බව­ටත් සහ­තික වන බවද සඳ­හන් කරයි.ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි ජන රැලි මාලාවේ නික­වැ­ර­ටිය මහා ජන­රැ­ලිය අම­ත­මිනි..

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා,

“අපි ආණ්ඩුව හදලා අවු­රුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩු හැදුවේ මේ රටේ ජන­තාව. මීට කලින් හැම­දාම ආණ්ඩුව හැදුවේ ජන­තා­වගේ ඡන්ද­යෙන් වුණත් ඒ ඡන්දය දුන්නේ එක්කෝ මාධ්‍ය විසින් පුම්බා විශාල ප්‍රචා­ර­යක් හදපු නාය­ක­යන්ට, පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට ආපු නාය­ක­ය­න්ගෙන්, මැරයෝ දාලා ජන­තාව බය කළ නාය­ක­ය­න්ගෙන්, සල්ලි බෙදලා වැඩිම සල්ලි බෙදපු අය­ගෙන් තමයි ආණ්ඩු හදලා තියෙන්නේ. ලංකා ඉති­හා­සයේ පළමු වතා­වට තමයි මැර­බ­ලය, පවුල් බලය, මුදල් බලය හෝ මාධ්‍ය බලය, නැතුව ජන­තාව එකතු වෙලා ආණ්ඩු­වක් හැදුවේ. ඒ තමයි ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව.

දැන් අපි රට හද­නවා. එහිදී පළ­මු­වෙන්ම ආර්ථික ස්ථාව­ර­ත්වය ඇති කර ගත යුතුයි. ගොඩ­නැ­ඟිල්ල ශක්ති­මත් වෙන්න නම් අත්ති­වා­රම ශක්ති­මත්ව ගොඩ­නැ­ඟිය යුතුයි. අපේ රටේ අත්ති­වා­රම දිරලා තිබුණේ. මේ ගොඩ­නැ­ඟිල්ල ශක්ති­මත් කුලුනු හත­රක් මත රැඳී තිබෙන්නේ. එක කුලු­නක් තමයි නීතිය විධා­නයේ ආධි­ප­ත්‍යය. දෙක තමයි වංචාව, දූෂ­ණය, නාස්ති­යෙන් තොර රාජ්‍ය සේව­යක් සහ පාල­න­යක් ඇති කිරීම. තුන්වැන්න ශක්ති­මත් විදේශ සබ­ඳතා. හතර තමයි, නැවත යුද්ධ ඇති නොවන ජාති­වා­ද­යෙන් තොර රටක් ගොඩ­නැ­ඟීම.

අපි එන­කොට මේ කරුණු සියල්ල බිඳ වැටිලා තිබුණේ. ඒ නිසා අපිට මේ සියල්ල ශක්ති­මත් ලෙස ගොඩ­න­ඟන්න අවශ්‍ය වුණා. නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය බිඳ වැටිලා තිබුණා. අපි ඒක නැවත ශක්ති­මත් කරන්න විශාල විය­ද­මක් දරලා තියෙ­නවා. පොලී­සිය හදන්න ඕන. ඒ සඳහා නිල­ධා­රීන් බඳවා ගන්නවා. අවශ්‍ය උප­ක­රණ ලබා දෙනවා. ගොඩ­නැ­ඟිලි හද­නවා. ඒ වෙනු­වෙන් ශක්ති­මත් නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වක් අව­ශ්‍යයි. සුදුසු නිල­ධා­රීන් බඳ­වා­ගත යුතුයි. අවශ්‍ය පහ­සු­කම් ලබා­දිය යුතුයි. නඩු දාලා විත­රක් හරි­යන්නෙ නැහැ. ඒ සඳහා හොඳ අධි­ක­රණ පද්ධ­ති­යක් අව­ශ්‍යයි. විනි­සු­රු­ව­රුන්ට හොඳ වැටු­පක් ගෙවන්න ඕනේ. කාර්ය මණ්ඩ­ලය ශක්ති­මත් කරන්න ඕන. වැර­දි­ක­රු­වන් වුණාම, ඔවුන් යොමු කරන්න, පුන­රු­ත්ථා­ප­නය කරන්න බන්ධ­නා­ගාර අව­ශ්‍යයි. ඒ වෙනු­වෙන් අපිට විශාල වැය බරක් දරන්න සිදු­වෙ­නවා. ඒ ඇයි? ඒ තර­ම­ටම නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය වැද­ගත් නිසා. තම තමන්ට හිතු­ම­නා­පෙට නීතිය ක්‍රියා­ත්මක කරන්න අවශ්‍ය නම්, ඒකට පොලී­සි­යක්, නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වක්, අධි­ක­ර­ණ­යක් අවශ්‍ය වන්නේ නෑ. රටේ අනා­ග­තය වෙනු­වෙන් නීතිය තහ­වුරු වූ රටක් ගොඩ­නැ­ඟිය යුතුයි.

ඉස්සර ගම්වල හිටියා නීතියේ විධා­න­යට යටත් නොවන කෙනෙක්. එයා වැලි­ගොඩ දානවා, කසිප්පු පෙර­නවා, ගස් කප­නවා, නීති­යට පට­හැ­ණිව කට­යුතු කර­නවා. පොලී­සිය එයාට අත­වත් තියන්නෙ නෑ. අපි හදන්නේ ඕනම කෙනෙක් නීති­යට යටත් වෙන රටක්. පළාත් පාලන ආය­ත­න­යක සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී, ජනා­ධි­පති, ජනා­ධි­ප­තිගේ නෝනා, මේ තන­තුරු හොර­ක­මට ලැබෙන ලයි­සන් එකක් නෙවෙයි. ජනා­ධි­ප­තිගේ පුතා කියන්නේ හොර­ක­මට ලයි­සන් එකක් නෙවෙයි.

රටේ මහා පරි­මාණ හොර­කම් සිද්ධ වෙනවා. හැබැයි පොල්ගෙඩි අටක් හොර­කම් කරපු දරුවා හිරේ යනවා. ඇයි? නීතිය සුවි­ශේ­ෂව කට­යුතු කර­නවා. එක කණ්ඩා­ය­ම­කට නීති­යෙන් රැක­ව­ර­ණය ලැබෙ­නවා. අනිත් අයට නීති­යෙන් දඬු­වම් ලැබෙ­නවා. එත­කොට මොකද වෙන්නේ? එහෙම නීති­යක් ස්ථාපිත වෙච්ච රට­කට ඉස්ස­ර­හට යන්න බෑ. ඒ නිසා අපේ ප්‍රධා­නම අභි­යෝ­ගය මොකක්ද? අපේ ප්‍රධා­නම අභි­යෝ­ගය තරා­ති­රම නොබලා සෑම දෙනා­ටම සමාන ලෙස නීතිය ක්‍රියා­ත්මක කිරීම තමයි ජාතික ජන බල­වේ­ගය ස්ථාපිත කිරීමේ අර­මුණ.

අපේ අර­මුණ සැම කෙනා­ටම නීතිය එක ලෙස ක්‍රියා­ත්මක වෙන රටක් නිර්මා­ණය කිරී­මයි. නීතිය නවලා වැඩ කරන්න බැහැ. නීතිය සැමට සමා­නව ක්‍රියා­ත්මක වන රටක් හදන එක ලේසි නැහැ. නීතිය සාධා­ර­ණව ක්‍රියා­ත්මක කරන්න හද­න­කොට පැරණි නීති­යෙන් රැක­ව­ර­ණය ලබපු අය, එයින් ආර­ක්ෂාව ලබපු අය පාරට බහි­නවා, ආණ්ඩුව එළ­වන්න ඕන කිය­නවා. එයා­ලට නීතිය සමා­නව ක්‍රියා­ත්මක රටක ජීවත් වෙලා පුරුදු නැහැ. නීතිය සැමට සමා­නව ක්‍රියා­ත්මක කර­න­කොට ඒකට විරුද්ධ වෙන්නේ නීතිය නොස­ලකා වැඩ කරපු අය, නීතිය නොස­ලකා වංචා දූෂ­ණය කරපු අය, අප­රාධ කරපු අය. සම­හර අය හිතා­ගෙන හිටියා නීතිය ඒගොල්ලෝ ගාවට ළං වෙන්නේ නෑ කියලා. නීතිය වනාහි මකුළු දැලක්, ඒකට අහු­වෙන්නෙ පොඩි පොඩි කෘමි සත්තු විත­රයි. ලොකු ලොකු සත්තු මකුළු දැල කඩා­ගෙන යනවා. එහෙම තමයි ඒ අය හිතා­ගෙන හිටියේ. එහෙම තමයි මේ රට තිබුණේ. ඒත් අද අපි ඔප්පු කර තිබෙ­නවා ඒ හැමෝ­ටම නීතිය අදා­ළයි කියලා. නීති­යට ළඟා වෙන්න බැරි තැනක් නැහැ, බැරි පුද්ග­ල­යෙක් නැහැ කියලා. ඒ නිසා අද බන්ධ­නා­ගාර ප්‍රවෘත්ති කියලා වෙනම ප්‍රවෘත්ති ශීර්ෂ­යක් හදන්න වෙලා තියෙ­නවා. ඒ තර­ම­ටම නීතිය ක්‍රියා­ත්මක වෙනවා.

ඊළ­ඟට අපිට වංචා­වෙන්, දූෂ­ණ­යෙන්, නාස්ති­යෙන් තොර රටක් හදන්න අව­ශ්‍යයි. අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් මේ රටේ ජන­තා­වගේ මුදල් සත­ය­ක්වත් නාස්ති කර­න්නෙත් නැහැ, වංචා කර­න්නෙත් නෑ කියලා මං ඔබට සහ­තික වෙනවා. පළමු වතා­වට තමයි එහෙම ආණ්ඩු­වක් පත් වෙන්නේ. ඉස්සර ඒගොල්ලො දෙපැත්තෙ ඉඳ­ගෙන හොර­කම් කළා. දෙගොල්ල ෂේප් එකේ හොර­කම් කර­ගෙන ගියා. ඒක හොරා පොලිස් සෙල්ලම වගේ. දැන් ඒ සෙල්ලම ඉව­රයි. දැන් ඇත්ත­ටම පොලී­සිය ඇවිල්ලා. ඒ නිසා දැන් හොරු, අප­රා­ධ­කා­රයෝ, දූෂි­තයෝ අහු­වෙ­නවා. මම මීට අවු­රුදු හය හත­කට කලි­නුත් කිව්වා කව­දා­වත් දූෂි­ත­යෙක් දූෂි­ත­ය­කුට දඬු­වම් දෙන්නෙ නෑ කියලා. දූෂි­ත­ය­කුට දඬු­වම් දෙන්න නම් අදූ­ෂි­ත­යෙක් එන්නම ඕන. ඒ තමයි ජාතික ජන බල­වේ­ගය. අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම දැන් තියෙන්නේ කොළඹ විත­රයි. අපි දැන් බජට් එකෙන් සල්ලි වෙන් කර­නවා, රට පුරා අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාවේ ශාඛා විසි­තු­නක් පටන් ගන්න. මහ­ජන දේපොළ නාස්ති කර­මින් රටක් හදන්න බැහැ. ඒක නතර කර­න්නම ඕනේ. වංච­නි­ක­යන්ට, දූෂි­ත­යන්ට දඬු­වම් දෙන්නම ඕන. අපි ඇවිල්ලා අවු­රු­ද්දක් විතර යන­කල් කෝ ෆයිල් කියලා ඇහුවා. දැන් කිය­නවා හොරු අල්ලන එකේ සීමා­වක් තියා ගන්නලු. හොර­කම් කර­න­කොට සීමා­වක් තිබ්බේ නෑ. ඒ නිසා අල්ලන එකෙත් සීමා­වක් නෑ. අපි සීමා­වක් නැතුව අල්ල­නවා. තව අවු­රුදු තුනක් තියෙ­නවා. අවු­රුදු තුනේ­මත් අල්ල­නවා. ඊළඟ වාරෙත් අල්ල­නවා. කාට­වත් හොර­කම් කරලා ලෝකෙ කොහෙ­වත් හැංගිලා ඉන්න බෑ. අපි ඒගො­ල්ල­න්වත් අල්ල­ගෙන එනවා එන­වා­මයි.

තුන්වැනි කාර­ණාව තමයි ශක්ති­මත් විදේශ සබ­ඳතා. රට­කට ශක්ති­මත් විදේශ සබ­ඳතා අව­ශ්‍යයි. අපි යුද තාක්ෂ­ණ­­යෙන් පිමි පැනපු රටක් නෙවෙයි. ඒ නිසා අපිට වෙන රට­වල යුද ගැටු­ම්ව­ලට සම්බන්ධ වෙන්න බැහැ. යුද ගැටු­ම්ව­ලට සම්බන්ධ නොවන නොබැඳි පිළි­වෙ­ත­කයි අපි කට­යුතු කරන්නේ. දැන් අ‍ෙම­රි­කාව හා ඉරා­නය අතර යුද ගැටු­මක් තිබෙ­නවා. අපිට මේකට මැදි­හත් වෙන්න බැහැ. අ‍ෙම­රි­කාව යුද ගුවන් යානා ගණ­නා­වක් ලංකාවේ ගොඩ බාන්න ඇහු­වම අපි බෑ කිව්වා. ඉරා­නයේ යුද නැව් ලංකා­වට එන්න ඇහු­ව­මත් අපි බෑ කිව්වා. ඒ වගේම මානු­ෂී­යව සහය දිය යුතු අව­ස්ථා­වල අපි ඒ සහය ලබා­දෙ­නවා. ඉරාන නැව පිළි­බඳ ප්‍රශ්න­යේදී ජාත්‍ය­න්තර වශ­යෙන් ප්‍රශං­සා­වට ලක්වෙන තීර­ණ­යක් ගන්න අපි සමත් වුණා. ඒ වගේම තමයි අපි අපේ ගුවන අපේ ගොඩ­බිම අපේ මුහුද කිසි­සේත්ම අපේ අස­ල්වැ­සියා වන ඉන්දි­යා­වට තර්ජ­න­යක් වන ආකා­ර­යට භාවිත කරන්න දෙන්නෙත් නැහැ. අපි ඉන්දි­යාව සමඟ හොඳ විදෙස් සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන යනවා. ඉන්දි­යානු මධ්‍යම ආණ්ඩුව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ පිළි­අ­රන් ති‍ෙය­නවා කච්ච­තිව් දූපත අයිති ලංකා­වට කියලා. මේ විදි­හට ලෝකයේ බොහෝ රට­වල් සමඟ මිත්‍ර­ශීලී සහ නොබැඳි ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කර­මින් අපි කට­යුතු කර­නවා. එය මේ රට හැදීමේ තුන්වැනි පිය­ව­රයි.

ඒ වගේම අපිට ජාතික සම­ගිය අව­ශ්‍යයි. යුද්ධය නිසා දකුණේ වගේම උතු­රේත් වටිනා තරුණ ජීවිත, දේපොළ අහිමි වුණා. යුද්ධ තියෙන රට­වල් ලෝකයේ ඉස්ස­ර­හට යන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනා මේ රටේ ඉප­දෙන, ජීව­ත්වන සහ පස්වන අපේ සහෝ­දර ජන­තාව. දශක ගණ­නක් අපේ රටේ දේශ­පා­ල­නය වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා එකි­නෙ­කාට එරෙ­හිව උසි­ග­න්වලා ඡන්දය අරන් පාර්ලි­මේ­න්තු­වට ඇවිත් එකතු වෙලා හොර­කම් කරපු එක. ජාතික ජන බල­වේ­ගයේ අවු­රුදු දෙක ඇතු­ළත ජාති­වාදී හෝ ආග­ම්වාදී කිසිදු ගැටු­මක් වාර්තා වුණේ නැහැ. යළි කිසි­සේත්ම ජාති­වා­ද­යට ඉඩ නොදෙන ආණ්ඩු­වක් අපි නිර්මා­ණය කර තිබෙ­නවා.

රටේ සංව­ර්ධන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන්න ශක්ති­මත් රාජ්‍ය සේව­යක් අව­ශ්‍යයි. ලෝකයේ දියුණු වූ සෑම රට­කම රාජ්‍ය සේවය විශාල වැඩ­කො­ට­සක් කර තිබෙ­නවා. 2026 අය-වැයෙන් කුඩා වැව් සහ ඇළ­වේලි සෑදී­මට මිලි­යන 35,000ක් වෙන් කර තිබෙ­නවා. ලංකා ඉති­හා­සයේ පළමු වතා­වට ණය ගන්නේ නැතුව, රජයේ බදු මුද­ල්ව­ලින්ම එක­වර අධි­වේගී මාර්ග 3ක වැඩ ආරම්භ කර­නවා. ගල­ගෙ­දර සිට රඹු­ක්කන දක්වා, කුරු­ණෑ­ගල, ගලේ­වෙල හරහා දඹුල්ල දක්වා අධි­වේගී මාර්ගයේ වැඩ මේ නොවැ­ම්බර් මාස­යේදී ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා. ඒ වගේම කහ­තු­ඩුවේ සිට ඉංගි­රිය දක්වා අධි­වේගී මාර්ගය ඉදි කර­නවා. මේවා ඉදි­ක­රන්නේ දේශීය අර­මු­ද­ල්ව­ලින්. එදා එක අධි­වේගී මාර්ග­ය­ක්වත් හැදුවේ නැහැ ණය ගන්නේ නැතිව. මේවා සැල­සුම් කරන්න ඕන සහ මෙහෙ­ය­වන්න ඕන රාජ්‍ය නිල­ධා­රීන්. ඒ නිසා අපි රාජ්‍ය නිල­ධාරී යන්ත්‍ර­ණය ශක්ති­මත් කළ යුතුයි.

අපේ පළමු අය-වැය ලේඛ­න­යෙන්ම රාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් වැඩි කළා. 2027 ජන­වාරි මාස­යේ­දීත් වැටුප් වැඩි වෙනවා. ගුරු­ව­ර­ය­කුගේ වැටුප රු. 65,000 දක්වාත්, ආර­ම්භක වෛද්‍ය­ව­ර­ය­කුගේ වැටුප රු. 94,000 දක්වාත් ඉහළ යනවා.

දේශ­පා­ලන පත්වීම් වෙනු­වට විභාග සහ සම්මුඛ පරී­ක්ෂණ මඟින් ග්‍රාම නිල­ධා­රීන්, ගුරු­ව­රුන්, පොලිස් නිල­ධා­රීන් ඇතුළු එක් ලක්ෂ විසි එක්ද­හ­සක් අලු­තින් රාජ්‍ය සේව­යට බඳවා ගන්නවා. ග්‍රාම නිල­ධාරී දීමනා, පිරි­වෙන් දීමනා සහ ගුරු විද්‍යාල අභ්‍යා­ස­ලාභී දීමනා වැඩි කර­නවා.

අපි ලබන ජන­වාරි සිට නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ආරම්භ කර­නවා. සෑම ද්විතී­යික පාස­ල­ක­ටම ස්මාර්ට් පන්ති කාමර සහ පරි­ග­ණක පහ­සු­කම් සඳහා වසර 3කට බිලි­යන 96ක් වෙන් කර­නවා. දරු­වන්ට වද­යක් නොවෙන, මවුපි­යන්ට බරක් නොවෙන අධ්‍යා­ප­න­යක් හද­නවා.

පවුල් 10,000කට එක සුවතා මධ්‍ය­ස්ථා­නය බැගින් ස්ථාපිත කර­නවා. දිය­වැ­ඩි­යාව, ප්‍රෙෂර්, කොලෙ­ස්ට­රෝල් වැනි බෝනො­වන රෝග පාල­න­යට විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් හද­නවා. රජයේ රෝහ­ල­කට ගිහින් හෘද සැත්ක­මක් කර ගන්න මාස 07,08ක් ඉන්න ඕන. හෘද රෝගය හඳු­නා­ගෙන මාස­යක් තුළ සැත්කම කළ හැකි අන්ද­මින් අවශ්‍ය උප­ක­රණ අපි ලබා දෙනවා. අවශ්‍ය ඇම්බි­යු­ලන්ස් රථ සහ කැත් ලැබ් පහ­සු­කම් ලබා දෙනවා. මේ අන්ද­මින් අපි දියුණු සෞඛ්‍ය සේවා­වක් රට තුළ ස්ථාපිත කර­නවා.

අපේ ආණ්ඩුව බල­යට ඇවිත් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩ­ස­ට­හන ආරම්භ කළා. අපි මේ වසර දෙකට හෙරො­යින් කිලෝ 3,511ක්, අයිස් කිලෝ 6,206ක්, කොකේන් කිලෝ 308ක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. මේ ව්‍යස­නය නතර කරන්නේ ජාතික ජන බල­වේ­ගය ආණ්ඩුව පම­ණයි. අපි පාතා­ලය මර්ද­නය වෙනු­වෙන් විශාල වැඩ­කො­ට­සක් දියත් කර තිබෙ­නවා. අපි ටී-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 139ක්, රිවෝ­ලර් 104ක් අත්අ­ඩං­ගු­වට ගෙන තියෙ­නවා. පාතා­ල­යට සහ කුඩු ජාවා­ර­මට තිබුණු දේශ­පා­ලන හා රාජ්‍ය රැක­ව­ර­ණය සම්පූ­ර්ණ­යෙන්ම අහෝසි කළා. කුඩු සල්ලි­ව­ලින් මාධ්‍ය, යූටි­යුබ් චැනල්, වෙබ්ස­යිට් සහ උද්ඝෝ­ෂ­ණ­ව­ලට සල්ලි පොම්ප කර­මින් ආණ්ඩු­වට ගහන්න හැදු­වත්, අපේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන් මේ ව්‍යස­නය මුළු­ම­නින්ම තුරන් කර­නවා.

කඩා­වැ­ටුණු, ලෝක­යෙන් කොන්වූ, ණය වූ රට අද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, සාමය, සංචා­රක කර්මා­න්තය සහ දූෂ­ණය අවම කිරීම අතින් ලෝකයේ ඉදි­රි­යෙන්ම තියෙන සුබ­වාදී රටක් බවට පත්වෙලා තියෙ­නවා.

කොළඹ මාලි­ගා­වල හෝ කාර්යා­ල­වල එකතු වෙලා කුම­න්ත්‍රණ කරලා මේ ආණ්ඩුව පෙර­ළන්න හිත­න්න­වත් එපා. අපේ ශක්තිය තියෙන්නේ ජන­තාව ළඟ. නොවැ­ම්බර් 12 වැනිදා ඉදි­රි­පත් කරන අය-වැය ලේඛ­න­යෙන් රට හදන ඉදිරි සංව­ර්ධන උපා­ය­මා­ර්ගය ඉදි­රි­පත් කර­නවා.

අපේ ස්වාමී­න්ව­හ­න්සේලා, මවු­ල­වි­තු­මන්ලා, පිය­තු­මන්ලා, අම්මලා, තාත්තලා, සහෝ­දර සහෝ­ද­රි­යන් සියලු දෙනා­ටම එකතු වෙලා මේ රට ලෝකයේ සංව­ර්ධි­තම රට බවට පරි­ව­ර්ත­නය කරමු.”

මෙම අව­ස්ථා­වේදී නායක හිමි­ව­රු, මැති ඇමැ­ති­ව­රු ද අද­හස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …