මෙසී ඡාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි.

ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී ඡාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම සමඟ ඔහු ගත කළ වසර 21ක විශිෂ්ට ජාත්‍යයන්තර ක්‍රීඩා දිවියට අවසන් තිත තැබෙනු ඇත.

39 හැවිරිදි මෙසී සඳුදා සමාජ මාධ්‍ය  ඔස්සේ සිය තීරණය නිවේදනය කරමින් සඳහන් කර ඇත්තේ මෙම තීරණය තමන්ට වේදනාකාරී එකක් වූ නමුත්, ජාතික කණ්ඩායමෙන් ඉවත්වීමට කාලය පැමිණ ඇති බව තමන් අවබෝධ කරගත් බවයි.

2005 වසරේදී ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමට එක්වූ මෙසී, ජාත්‍යන්තර තරග 207කට ක්‍රීඩා කරමින් ගෝල 125ක් රැස්කර ඇති අතර, එරට වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ සහ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙස සිය වෘත්තීය දිවිය අවසන් කරයි.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස 2022 කටාර් ලෝක කුසලාන ශූරතාවය සැලකෙන අතර, එහිදී ඔහු ආර්ජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය.

මෙසීගේ නායකත්වය යටතේ ආර්ජන්ටිනාව 2021 සහ 2024 වසරවලදී Copa America ශූරතාද දිනාගත්තේය. ඊට පෙර 2014 ලෝක කුසලාන අවසන් තරගයේදී සහ අඛණ්ඩ Copa America අවසන් තරග දෙකකදී පරාජයට පත්වීම හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර දිවිය දැඩි පසුබෑම්වලටද මුහුණ දී තිබුණි.

ආර්ජන්ටිනාව වෙනුවෙන් මෙසීගේ අවසන් තරගය වූයේ 2026 FIFA ලෝක කුසලාන අවසන් තරගයයි. එහිදී වත්මන් ශූරයන් වූ ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය හමුවේ ගෝල 1-0ක පරාජයක් ලැබීය.

ජාතික කණ්ඩායමෙන් සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසී සඳහන් කර ඇත්තේ තමන් සහ කණ්ඩායම් සගයන් අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව ආඩම්බරයෙන් සමුගන්නා බවයි. නව පරපුරේ ආර්ජන්ටිනා ක්‍රීඩකයන් ඉදිරියට පැමිණීමද තම තීරණයට බලපෑ බව ඔහු පෙන්වා දී තිබේ.

අට වතාවක් Ballon d’Or සම්මානය දිනා ඇති මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්තද, ඔහුගේ ක්‍රීඩා දිවිය තවදුරටත් අමෙරිකාවේ Inter Miami කණ්ඩායම සමඟ ඉදිරියට ගෙන යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today