මෝදි – කාර්නි නායකයින් අතර දුරකථන සාකච්ඡාවක්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතර පසුගිය (13වැනිදා)විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර වෙළඳ, බලශක්ති, තාක්ෂණ, ආරක්ෂක සහ යුධමය සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, 2030 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණයක් කිරීමේ ඉලක්කයට සහය දක්වමින්, සම්පූර්ණ ආර්ථික සහකාරිත්ව ගිවිසුම සඳහා වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට නායකයින් දෙදෙනාම මෙහිදී නැවතත් ප්‍රතිඥා දුන් බවයි.

මෙම දුරකථන සංවාදයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සමඟ ඉතා සුහදශීලී මෙන්ම ඵලදායී සංවාදයක නිරත වුණු බවයි.

ඉන්දු-කැනඩා සබඳතාවල පවතින යහපත් ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙනයාමටත්, වෙළඳ, බලශක්ති, තාක්ෂණ, ආරක්ෂක සහ ජනතාව අතර පවතින සබඳතා ඇතුළු අපගේ උපායමාර්ගික සහකාරිත්වයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික ප්‍රතිඵල උදෙසා එක්ව කටයුතු කිරීමටත් එහිදී එකඟ වූ බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඉන්දියාව සහ කැනඩාව එක්ව වඩාත් ස්ථාවර සහ සෞභාග්‍යමත් ලෝකයක් උදෙසා දායක වෙමින් සිටින බව ද ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මුදල්, ආරක්ෂක, ජනතා සබඳතා සහ කෘතිම බුද්ධිය  ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පසුගිය වසර තුළ කැනඩාව සහ ඉන්දියාව අතර ඇති වූ වර්ධනය අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ ඇගයීමට ලක් වූ බවයි.

එමෙන්ම මෙම නව ප්‍රගතිය පදනම් කරගනිමින් ඉදිරියට යාමේ පවතින අවස්ථා පිළිබඳව ද නායකයින් දෙපළ මෙහිදී අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …