
2022 වසරේදී රට මුහුණ දුන් දැඩි ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසු සිදු වූ ශීඝ්‍ර සාධනීය වෙනසත් සමඟ, ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය නැවතත් අර්බුදයට පෙර පැවැති මට්ටමට ආසන්න වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සහභාගී වූ විශේෂ හමුවකදී අදහස් දක්වමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය මුල්‍ය තත්ත්වය ශක්තිමත් වීම, මුල්‍ය සමතුලිතතාවය සහ ණය ස්ථාවරත්වය වෙනුවෙන් ලැබූ ප්‍රගතිය මෙම ආර්ථික ආපසු හැරවීමේ ප්‍රධාන පදනම වී ඇති බවයි.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් අර්බුදයට පෙර තිබූ මට්ටමට ආසන්න වී තිබෙනවා. මෙය ඉතා කෙටි කාලයක් තුළ වාර්තා වූ ප්‍රබල නැගී සිටීමක්,” යනුවෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදයේ ස්වභාවය සහ ඉන් අනතුරුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගත් වේගය ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන බවත්, මුහුණ දුන් අර්බුදයේ තරමට සාපේක්ෂව වේගවත්ම ආර්ථික පුනරුදයක් ලබාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම නැගී සිටීමේ ප්‍රධාන ශක්තිය වී ඇත්තේ රාජ්‍ය මුල්‍ය ක්ෂේත්රයේ සිදුවූ විශාල ප්‍රගතියයි. මහ බැංකු අධිපතිවරයාට අනුව, වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට දැක්වූ අනුපාතය (Revenue-to-GDP ratio) 100%කින් පමණ ඉහළ ගොස් ඇත. අතීතයේදී රාජ්‍ය ආදායම අතිශයින් පහළ බැසීම නිසා ඇතිවූ රාජ්‍ය මුල්‍ය අසමතුලිතතාවය මෙයින් යථා තත්ත්වයට පත්ව තිබේ.
මෙම ප්‍රගතිය “විශිෂ්ට ජයග්‍රහණයක්” ලෙස හැඳින්වූ ඔහු, රාජ්‍ය ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීම, රාජ්‍ය වියදම් පාලනය සහ මුල්‍ය සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම හරහා රජයට මෙම මුල්‍ය හික්මීම පවත්වා ගැනීමට හැකිවූ බව පෙන්වා දුන්නේය. 2022 වසරේදී රාජ්‍ය ආදායම අඩුවීම, විශාල අයවැය පරතරය, විදේශ විනිමය සංචිත හිස්වීම සහ දරාගත නොහැකි ණය බර හේතුවෙන් රට විදේශීය ණය ගෙවීම අත්හිටුවීමට (Default) තීරණය කළ අතර, ඉන් පසුව සිදුකළ මෙම රාජ්‍ය මුල්‍ය ප්‍රතිසංස්කරණ ආර්ථිකය ස්ථාවර කිරීමට අත්‍යවශ්‍ය විය.
ඒ අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට මූලික ස්ථාවර කිරීමේ අදියර පසුකර ඉදිරියට ගමන් කරමින් සිටින නමුත්, එම ජයග්‍රහණ පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම පවතින රාජ්‍ය මුල්‍ය හික්මීම සහ ප්‍රතිසංස්කරණවල පදනම වැදගත් වන බව බලධාරීන් පෙන්වා දෙයි.


