
ආසියානු නෙට්බෝල් ශූරතාවලි ඉතිහාසයේ දරුණුතම පසුබැසීම ලද ශ්‍රී ලංකා පිල මෙවර හොංකොංහි පැවති තරගාවලියේදී තෙවැනි ස්ථානයට පත්වූ අතර, මේ හේතුවෙන් ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා නෙට්බෝල් බලාපොරොත්තු සුන්වී ගියේය. ආසියානු ශූරතාව පිට පිට දෙවැනි වතාවට දිනගත් සිංගප්පූරුව හා බොහෝ කලකට පසු අනුශූරතාව හිමිකර ගත් හොංකොං ඉදිරි ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගත්හ. වසර 2009දී මලයාසියාවේ පැවති ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ සිට සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව පිට පිට අවසන් තරගයට පැමිණ දස්කම් දැක්වූ අතර, ශ්‍රී ලංකාවෙන් ආසියානු නෙට්බෝල් අවසන් තරගයක් මෙවර ගිලිහී යෑම කැපී පෙනිණි.
අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුව වෙතින් ශ්‍රී ලංකාව ලකුණු 82 – 54ක දරුණු පරාජයක් ලැබූ අතර, අනෙක් අවසන් පූර්ව වටයේදී හොංකොං වෙතින් ලකුණු 51 – 47කින් මලයාසියාව පරාජයට පත් විය. සිංගප්පූරුව හා හොංකොං අතර අවසන් තරගයෙන් සිංගප්පූරුව ලකුණු 57 – 33ක් ලෙස ශූරතාව දිනාගත් අතර, තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 65 – 60කින් මලයාසියාව පරාජය කළේය.
ආසියානු නෙට්බෝල් ශූරතාවලියට ශ්‍රී ලංකා නෙට්බෝල් පිල පිටත්ව යෑමේදී ක්‍රීඩිකාවන් පිළිබඳ මතභේදයක් පුහුණුකාරිනි සොමිතා ද අල්විස් මහත්මිය හා ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය අතර පැනනැඟී තිබූ අතර, අවසානයේ වෛද්‍ය වාර්තා ගැටලුවකට ක්‍රීඩා අමාත්‍යාංශය ද මැදිහත් විය. තරගාවලියට පෙර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා හමුවී දුක්ගැනවිලි ඉදිරිපත් කළ අවස්ථාද පැවතිණි.
ශ්‍රී ලංකා පිල අවසන් වරට පැවති 2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරුවට පරාජය වී අනුශූරතාව දිනාගත් අතර, 2022 තරගාවලියේදී සිංගප්පූරුව පරදවා ශූරතාව දිනා ගැනීමට සමත් විය. ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ තෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පිල ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.


