
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් මහතා බේරා ගැනීම සඳහා රජය, විපක්ෂය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වන විට පුළුල් සහ ක්‍රියාකාරී පියවර රැසක් ගෙන තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය (22)වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව තහවුරු කළේය.රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීම: සිදුවීම වාර්තා වූ දින සිටම විදේශීය දූත මණ්ඩල සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා අවශ්‍ය මැදිහත් වීම් සිදු කර ඇත.
අනෝජන්ට සමාව ලබාදීම සහ දඬුවම ලිහිල් කරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞදි රජු වෙත විශේෂ ඉල්ලුම් ලිපියක් යැවීමට නියමිතය.අදාළ ලිපිය සෞදි රජු වෙත භාරදීම සඳහා නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සෞදි අරාබිය වෙත යැවීමට රජය අපේක්ෂා කරයි.
මෙම නඩු කටයුතු සඳහා මෙතෙක් වැය වූ මුදල් සම්පූර්ණයෙන්ම ප්‍රතිපූර්ණය කිරීමටත්, ඉදිරියේදී වැය වන සියලු මුදල් රජය මඟින් දැරීමටත් තීරණය කර ඇත.මේ සඳහා ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරුම සහ ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් තම පෞද්ගලික වියදමින් නොමිලේ නීතිමය සහය ලබා දීමට ඉදිරිපත් වී සිටිති.
මීට අමතරව පසුගිය (21)වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ තරුණයාගේ දෙමාපියන් හමුවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡා පවත්වමින් ගෙන ඇති නිල පියවර පිළිබඳව ඔවුන්ව දැනුවත් කළේය.
මේ අතර, සෞදි අරාබියේ සිරගතව සිටින සිවරාසා අනෝජන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් පසුගිය(21)වැනිදා පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවිය.අනෝජන්ට සමාව ලබාගැනීමේ අරමුණින් සෞදි රාජ්‍යයෙන් සිදුකරන ඉල්ලීම් සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන ලෙස එහිදී ඥාතීන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියහ.මෙම හමුව සිදුවන අවස්ථාවේදී එරට බලධාරීන් විසින් අනෝජන්ට තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගැනීමට ලබාදී තිබූ වේලාව තුළ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද අනෝජන් සිවරාසා සමඟ දුරකථනයෙන් කතා කිරීමට අවස්ථාව හිමිවිය.
ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා මේ වන විට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද එක්ව එකම අරමුණක් වෙනුවෙන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී.


