හර්දීප් සිං ඝාතන සැකකරු අල්ලන්න FBI වෙතින් ඩොලර් මිලියනයක ත්‍යාගයක් – ගෝල්ඩි බ්‍රාර් බිහිසුණුම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට.

2023 වසරේදී බ්‍රිටිෂ් කොලොම්බියාවේදී සිදු වූ සික් ක්‍රියාකාරික හර්දීප් සිං නිජ්ජාර් (Hardeep Singh Nijjar) ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශයේ (FBI) වැඩිපුරම සෙවිය යුතු අපරාධකරුවන්ගේ ලැයිස්තුවට (Top Ten Most Wanted Fugitives) ඇතුළත් කර තිබේ.

ගෝල්ඩි බ්‍රාර් (Goldy Brar) ලෙසද හඳුන්වනු ලබන සතින්දර්ජීත් සිං (Satinderjeet Singh) නැමැති මෙම පුද්ගලයාට, Surrey හි සික් දෙවොලක් ඉදිරිපිටදී මෙම ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් පසුගිය ජූලි මාසයේදී චෝදනා එල්ල විය. ඔහුව අත්අඩංගුවට ගැනීමට උපකාරී වන තොරතුරක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක (ඩොලර් ලක්ෂ 10ක) ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

ඇමෙරිකාවේ සහ කැනඩාවේ දකුණු කැලිෆෝනියා ඇතුළු ප්‍රදේශ රැසක විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වන බවට හඳුනාගෙන ඇති ‘ලෝරන්ස් බිෂ්නෝයි’ (Lawrence Bishnoi) සංවිධානාත්මක අපරාධ කල්ලිය සමඟ සතින්දර්ජීත් සිං සමීප සබඳතා පවත්වන බව FBI ආයතනය පවසයි. මෙම කල්ලිය මගින් ඉලක්කගත ඝාතන, වෙඩි තැබීම්, පැහැරගැනීම්, කප්පම් ගැනීම්, පහරදීම් මෙන්ම මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම් සිදුකරන බවට චෝදනා එල්ල වී ඇත.

දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන බවට සැකකෙරෙන මොහු, කළු පැහැති කොණ්ඩයක් සහ දුඹුරු පැහැති දෑස් සහිත, අඩි 5යි අඟල් 9ක් උසැති, රාත්තල් 220ක පමණ බරකින් යුත් පුද්ගලයෙකි. FBI ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ මොහු දැඩි ලෙස ප්‍රචණ්ඩකාරී, ආයුධ සන්නද්ධ සහ අතිශය භයානක පුද්ගලයෙකු වන බැවින් මොහුගෙන් ආරක්ෂා වන ලෙසයි.

FBI හි ලොස් ඇන්ජලීස් ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ පැට්රික් ග්‍රැන්ඩි (Patrick Grandy) සඳහන් කළේ, “සතින්දර්ජීත් සිං හෙවත් ගෝල්ඩි බ්‍රාර් යනු අතිශය භයානක පුද්ගලයෙක්. ඔහුව අත්අඩංගුවට ගැනීම FBI සහ අපගේ පාර්ශවකරුවන්ගේ ප්‍රමුඛතාවක් වී තිබෙනවා. ඔහුව FBI හි බිහිසුණුම අපරාධකරුවන් 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කර ඩොලර් මිලියනයක ත්‍යාගයක් පිරිනමන්නේ ඒ නිසයි. ඔහු අල්ලා ගන්නා තෙක් මොහුගේ ඡායාරූප සහ තොරතුරු ලොව පුරා ප්‍රචාරය කෙරෙනු ඇත,” යනුවෙනි.

ගෝල්ඩි බ්‍රාර් යනු FBI බිහිසුණුම අපරාධකරුවන් 10 දෙනාගේ ලැයිස්තුවට (10 Most Wanted Fugitives) ඇතුළත් වූ 543 වැනි අපරාධකරුවා වේ.

කැනඩා රජය විසින් 2025 සැප්තැම්බර් මාසයේදී බිෂ්නෝයි කල්ලිය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී. මෙම කල්ලිය විසින් 2023 නොවැම්බර් මාසයේදී වෑන්කූවර් හි ප්‍රකට ඉන්දීය නළුවෙකු සහ ගායකයෙකුගේ නිවසට සිදු වූ වෙඩි තැබීමක වගකීමද භාරගනිමින්, “අපෙන් බේරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත” යනුවෙන් ෆේස්බුක් ඔස්සේ තර්ජනය කර තිබුණි.

මෙම සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් FBI හි නොමිලේ ඇමතුම් අංකය වන 1-800-CALL-FBI (1-800-225-5324) ඔස්සේ දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …