සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමය හේතුවෙන් දේශපාලන පිටියේ එතරම් උණුසුමක් පසුගිය දින කිහිපය තුළ වාර්තා නොවූ නමුත් එය පැවතියේ අළු යට ගිනි මෙනි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් විදේශ සංචාරවල නිරත වූ අතර තවත් බොහෝ පිරිසක් නුවරඑළිය ඇතුළු විවිධ ප්‍රදේශවල නිවාඩුව ගත කිරීම සඳහා පිටව ගොස් තිබිණි. ආරංචි මාර්ග සඳහන් කළේ නුවරඑළියේ පිහිටි මන්ත්‍රී සංචාරක බංගලාවේ සියළු කාමර මන්ත්‍රීවරුන් විසින් වෙන් කරවා ගෙන තිබූ බවයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අළුත් අවුරුදු කාලසීමාවේ සිටියේ නුවරඑළියේයි. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නුවරඑළියේ මීපිලිමාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ අළුත් අවුරුදු උත්සවයට එක් වූ ජනාධිපතිවරයාගෙන් එම අවුරුදු උත්සවය මෙහෙයවමින් සිටි නිවේදිකාව ඇසුවේ ජනාධිපතිතුමනි, ඔබතුමා ලස්සන වුණේ කෙසේදැයි කියාය. එවිට ජනාධිපතිවරයා දුන් පිළිතුර මයිකොෆෝනය ඔස්සේ ශබ්ද විකාශනය හරහා මුළු ක්‍රීඩාපිටියට ඇසුණු අතර ඔහු දුන් පිළිතුරෙන් සියළුදෙනාට මුවඟට සිනාවක් නැඟී තිබිණි. එම ප්‍රශ්නයට පිළිතුර ලෙස ජනාධිපතිවරයා දී තිබුණේ තමන් UNP යට එක්වුණු නිසා ලස්සන වූ බවකි. මේ අතර එම අවුරුදු උත්සවයේ වේදිකාවට තවත් දේශපාලන චරිතයක් ජනාධිපතිතුමා සමඟ අසුන් ගත්තේ කවුරුත් පුදුම කරමිනි. ඒ වෙන කවුරුත් නොවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන නිමල් පියතිස්ස මන්ත්‍රීවරයායි. නුවරඑළිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතුයායේ සංචාරයක නිරත විය. එහිදී ජනාධිපතිවරයා පිකෝ ට්‍රේල් (Peko Trail) මං පෙත හරහා පා ගමනින් සංචාරයට එක්විය. පිකෝ ට්‍රේල් ලෙස හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300 ක් පමණ කඳු නැඟීමේ මාර්ගයක් වන අතර එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ. මෙම ගමන අතරතුර ඔහු වතුයායේ ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය
මෑතකාලීනව දේශපාලන අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය කාටද යන්න තවමත් හරිහැටි තීරණය වී නැත. පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව එහි හිටපු නායිකාවක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමත් සමඟ පක්ෂයේ බලය මෛත්රීලාගෙන් චන්ද්‍රිකාලාගේ අතට මාරු විය. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන ආණ්ඩුවේ ඇමතිධූර දරන නිදහස් පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඉවත් කිරීමත් සමඟ ආරම්භ වූ මෙම කැරැල්ල තවදුරටත් වර්ධනය වෙමින් ඇත. මෛත්‍රීට දුන් වාරණයත් සමඟ නිමල් සිරිපාල පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත් කරගත් අතර ඔවුන් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල හමුවක් ද කැඳවා තිබුණි. එහිදී වත්මන් ලේකම් සාරතී දුෂ්මන්ත ඉවත්කර එහි වගකීම් දුමින්ද දිසානායකට ද පවරා තිබිණි. සිද්ධිය අතරතුර මෛත්‍රී විදේශ ගත වූ අතර පක්ෂ මූලස්ථානයට ඉබි යතුරු දමා පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි. මෛත්‍රීලාට පක්ෂයේ ලේකම්ධූරයෙන් ඉවත් කළ දයාසිරි ජයසේකරගේ ද සහය හිමිවී තිබීම ද විශේෂත්වයක් විය.
NPP සහ SJB විවාදය
මේ දිනවල කාගේත් අවධානය යොමුව තිබෙන්නේ සමඟි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පවතින විවාදය පිළිබඳවයි. ජාතික ජන බලවේගයේ ආර් ථික කවුන්සලය හා සමඟිජන බලවේගයේ ආර්ථික පර්යේෂණ ඒකකය සමඟ තම ආර් ථික ප්‍රතිපත්ති හා ඉදිරි සැලසුම් ගැන ප්‍රසිද්ධ විවාදයකට සමඟිජන බලවේගය පැත්තෙන් ආරාධනා ගණනාවක් ඉදිරිපත් විය. ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ එවැනි විවාදයකට තමන් සූදානම් බවත් ජනාධිපතිවරණය ආසන්න නිසා එහි ප්‍රධාන අපේක්ෂකයන් වන පක්ෂ දෙකේ නායකයන් වන අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මෙම විවාදය පැවැත්වීම වඩා යෝග්‍ය බවයි. ඒ අනුව එම අභියෝගය අනුර හා සජිත් දෙදෙනාම බාර ගත්තද තවමත් ඒ සඳහා දින වකවානු වෙන් වී නැත. විවාදය සඳහා ජාතික ජන බලවේගයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සම්බන්ධීකරණය සඳහා පත්කර තිබුණද දෙපාර්ශවයම විවාදය පවත්වන ආකාරය පිළිබඳ විවාදයක පැටලී ඇති බවත් මේ වන විට පෙනෙන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද දේශපාලන වශයෙන් ව්‍යාකූල තත්ත්වයකට පැමිණ ඇත්තේ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙනි. බැසිල් ඇතුළු රාජපක්ෂ හිතවාදීන් පිරිසක් ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් ලබාගැනීමේ උත්සාහයක නිරත වුවද එය සාර්ථක වූයේ නැත. පොහොට්ටුවේ දැනට ආණ ඇමතිකම් දරන පිරිස ඊට විරුද්ධ වීම මීට හේතු වී ඇත. එහෙත් බැසිල් ඇතුළු පිරිස තවම උත්සාහය අතහැර ඇති බවක් පෙනෙන්නට නැත. අවුරුද්දෙන් පසු ඔවුන් තවත් වටයකින් මේ සඳහා උත්සාහයක නිරත වීමට සූදානම් බව වාර්තා වේ.
කෙසේ වෙතත් අවුරුදු සමයෙන් පසු දේශපාලන පිටියේ වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට ගොස් ස්වාධීන වීම හා විපක්ෂයේ කොටසක් ආණ්ඩුව සමඟ එක්වීමට ඇති බව ආරංචි පැතිරයමින් ඇත. ඒ කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙකු තරඟ කරන්නේද කියන්නට තවමත් කල් වැඩිය. ආරංචි හැටියට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීමට සූදානම්ය. විමල්, ගම්මන්පිල, ඩලස් හා දයාසිරි සන්ධානයෙන් මඟින් ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇත. මේ සියලු දේශපාලන හැල හැප්පිලි මැද්දේ දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ හිටපු නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත විය. විදුලි සැර වැදීමකින් හිටපු අමාත්‍යවරයා මියගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි. මිය යනවිට තෙවරප්පෙරුම මහතා 64 වන වියේ පසුවිය.