ලු ……. ඇහුවලු … කිව්වලු …විහිළු කතා

ට්‍රැෆල්ගාර් චතුරස්‍රය

මේක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. අනිවාර්ය යුධ සේවයට බැඳෙන්න අකමැති වෙච්ච එංගලන්තයේ තරුණයෙක්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙ දි තමන්ට ඇස් පෙනීම හොඳ නැති බව අඟවලා බේරෙන්න කල්පනා කළා. ඉතින් සම්මුඛ පරීක්ෂණේ දි එයා ට මේසෙ උඩ තියෙන වාර්තාව කියවන්න කිව්ව ම, “මොන වාර්තාව ද?” කියලා ඇහුවා. පැන්සලක් දික් කරලා වාර්තාව පෙන්නුවහම, “කොසු මිටක් දික් කරන්නෙ ඇයි?” කියලා ඇහුවා. ඔය වගේ කොමිටල් උත්තර දීලා උන්දැ කොහොම හරි සම්මුඛ පරීක්ෂණේ ෆේල් වුණා.

පහුවදා  අර තරුණයා ගියා ෆිල්ම් එකක් බලන්න. ගිහින් සීට් එකක් හොයාගෙන වාඩි වෙලා වටපිට බලද්දි තමයි දැක්කෙ, තමන්ව ඉන්ටවිව් කරපු එක් කෙනෙක් ඉන්නව පිටිපස්සෙ සීට් එකේ. “මළ කෙලියයි. මගෙ වැඩේ මාට්ටු නේ ද?” කියල ටික වෙලාවක් කල්පනා කරපු තරුණයා, එක පාරට ම පිටිපස්සට හැරිලා ඇහුවා, “සර්, මේ බස් එක ට්‍රැෆල්ගාර් චතුරස්‍රයෙ නවත්තනව ද?” කියලා.

සුහද නිවාඩු

ඊශ්‍රායෙල් කාලතුවක්කු හමුදාවට අලුතින් බැඳුනු කොල්ලෙක් ට ගමේ යන්න නිවාඩුවක් ගන්න ඕනෙ වුණා. ඒත් හමුදාවට බැඳුන අලුත නිසාත්, යුද්ධෙත් ගණ සැරට යන නිසාත්, ඌට නිවාඩු ලැබුණෙ නෑ. 

ඔහොම ඉද්දි එක දවසක් මූ උදේ පාන්දර ම යුධ පෙරමුණේ ඉඳන් තමන්ගෙ කඳවුරට ආවා, පලස්තීන යුද්ධ ටැංකියක් අල්ලගෙන.

ඌ කරපු වීර කමට, පදක්කමක් රෙකමන්ඩ් කරලා, මාසයකට නිවාඩුවකුත් ලැබුණා. එදා හවස මෙස් එකේ මූ වෙනුවෙන් පාටියකුත් තිබුණා. 

පාටියෙ දි උගෙ යාලුවෙක් ඇහුවා, “උඹ කොහොම ද බං ඔය ටැංකිය අල්ලගත්තෙ?” කියලා.

මූ කියනව, හොඳට ම වෙරි පිට…

“මෙහෙමයි මචං. මං අපේ ටැංකියක් එලවගෙන යුද්ද පෙරමුණ හරියට ගියා. ඒ හරියට, පලස්තීන ටැංකියකුත් ආව. මං ටැංකියෙන් බැස්සා. අරුත් උගෙ ටැංකියෙන් බැස්සා. මං උගෙන් ඇහුවා, ‘උඹට නිවාඩුවක් ගන්න ආස  නැද්ද?’ කියලා. ඌ ඒකට එකඟ වුණා.

“ඊට පස්සෙ අපි දෙන්නා ටැංකි මාරු කරගෙන ආපිට තම තමන්ගෙ කෑම්ප්වලට ගියා. මයෙ හිතේ දැන් උගෙ කෑම්ප් එකෙත් ඌට මේ වගේ ම පාටියක් දෙනව ඇති.”

කැමති ද?

ප්‍රසන්ன චූටි කාලෙ එක වතාවක්, සෑහෙන්න කල්පනා කරලා කරලා, යාලුවොත් එක්ක කතා කරලා, හිතට හොඳට ගට් එක අරගෙන, ගිහිං කෙල්ලෙක්ගෙන් ඇහුවලු. කරුමෙ කියන්නෙ, මුගෙ කලබලේට මූ අදාළ ප්‍රශ්නෙ ඇහුවෙ පැත්ත මාරු කරල.

ඒ කියන්නෙ? ඒ කියන්නෙ මූ ඇහුවෙ: “මේ… නංගි, ඔයා මට කැමතියි, මං ඒ ගැන මොක ද කියන්නෙ?” කියල.

“මං කොහොම ද දන්නෙ?” කියල කෙල්ලත් ගස්සගෙන යන්ඩ ගියා ලු.

කෝලං

දවසක් මහේෂ් කියල කොල්ලෙක් හෙණ අප්සට් එකේ ගියාලු පොරගෙ යාළුවෙක් ගාවට. ඒ යාලුවට කොල්ලො සෙට් එකේ ම කියන්නෙ, “ලව් ඩොක්ටර්” කියල. එච්චරට ඌට එක්ස්පීරියන්ස්, කෙල්ලො ටෝක් කරන විදිහ ගැන.

“මොක ද බං? උඹ නිකං ගොනා පයිං ගහපු ලන්තෑරුම වගේ?” ලව් ඩොක්ටර් ඇහුවා.

“නෑ බං… මං කෙල්ලෙක්ගෙන් ඇහුවා.”

“හා හා හරි හරි…” අරූ ඉතුරු ටික හිතා ගත්තා. “උඹ ඔව්ව ගණං ගන්ඩෙපා බං. ඔය ඕනෙ ම කෙල්ලෙක් දා ගන්ඩ සිම්පල් ටැක්ටික් ටිකක් තියෙන්නෙ.”

“උඹ නං කියයි. උඹ දන් නෑනෙ ඒකි මට කියපු දේවල්…” මහේෂය අඬනව ඉතිං.

“හරි හරි බං. ඔය කොයි කෙල්ලත් එකපාර ම කැමතියි කියන්නෙ නෑ. එතකොට උන් ගැන කොල්ලො හිතන්නෙ උන් බඩු කියලා. ඉතිං ඔය කොයි කෙල්ලත් ඉස්සෙල්ලා බෑ කියනව. උන්, ‘බෑ’ කියන්නෙ, පස්සෙ ‘හා’ කියන එකට ම තමයි බං.”

“ඉතිං ඒකි බෑ කිව්වෙ නෑනෙ බං.”

“එහෙනං? මොකද්ද කිව්වෙ?”

“ ‘මල කෝලං. පළයං යන්ඩ’ කියලනෙ කිව්වෙ බං…”

ඩ්‍රැකී. ඩ්‍රැකීගේ අඩවිය බ්ලොග් සටහනකින් * අවසර ඇතිව උපුටා ගත්තකි

කැනඩාවේ ප්‍රාදේශීය පුවත්

කැනඩාවේ ඕනෑම ප්‍රදේශයක පසුගිය මාස 3 ඇතුලත හෝ ඉදිරි මාස 3 ඇතුලත පැවැත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික ප්‍රජා කටයුතු සම්බන්ධයෙන් වචන 250 කට නොවැඩි විස්තරයක් සහ සේයාරූ 4 ක් සදහා ඉඩ වෙන් කරන්නට අප සූදානම්. ඔබේ විස්තරය ගූගල් ආදාන මෙවලමෙන් අකුරු කර අපේ විද්‍යුත් ලිපිනය srilancan.news@gmail.com ට එවන්න. සේයාරූ සහ සටහනේ හිමිකාරීත්වය එහි සදහන් කරන්නට අමතක කරන්න එපා. නියමිත මාසයේ 10 වැනිදාට පෙර එවන ඔබේ සටහන් සදහා අපේ ඉඩක් ඔබට ලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *