සිංහල සාහිත්‍ය ලෝකයට විශ්ව සාහිත්‍ය කෘති රැසක් හඳුන්වා දුන් විශිෂ්ඨ ලේඛකයන් අතර කිරින්ගොඩ ගමගේ කරුණාතිලක හෙවත්කේ . ජී. කරුණාතිලකයන්ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එතුමා සාහිත්‍යකරණයට පිවිසියේ 1953 වසරේ ජීවන මායාව නමැති ස්වතන්ත්‍ර නවකතාව රචනා කරමිනි. ජීවන මායාව, මසුන් මරන්නෝ සහ අජිතා නමින් නවකතා තුනක් පළ කළ අක්මීමන කේ.ජී. කරුණාතිලකයන් විශ්ව සාහිත්‍ය කෘති සිංහල බසට හඳුන්වාදීම ආරම්භ කළේ 1956 සමන් පොතක් ලෙස මුද්‍රණයෙන් එළි දැක්වු බිම්ගෙයි සිරකරුවා කෘතිය සමඟිනි. ඉන්පසු අබිරහස් මන්දිරය, දණ්ඩන කඳවුර, වගුරු බිම, ඔතෙලෝ හෙවත් වැනිසියේ යවනයා, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, රුසියානු කෙටිකතා සාහිත්‍යය, ටාසන් කතා පොත් පෙළ, අයේෂා පොත් පෙළ, පියෙර් සහ ෂෝන් ඇතුළු පරිවර්තන 40කට ආසන්න ප්‍රමාණයක් එළිදැක්වීය. මෙතරම් පොත් රැසක් පළ කොට තිබුණද එතුමන් පිළිබඳ තොරතුරු කිසිවක් අන්තර්ජාලයේ සටහන්වී නොතිබීම කණගාටුවට කරුණකි.
ඔහු තම මුල් කෘතිවල නම සඳහන් කළේ විද්‍යා විශාරද අක්මීමන කේ.ජී. කරුණාතිලක, නැතිනම් කිරින්ගොඩ ගමගේ යනුවෙනි. එමෙන්ම තම පළමු කෘතිය පිදුවේ තම මවටය. තම පළමු කෘතිය මුදුණය කර ගැනීම සඳහා මීමන ප්‍රේමතිලකයන් උපකාර කළ බව ඔහු පවසා තිබේ.
කේ. ජී. කරුණාතිලක මහතා මා හඳුනාගත්තේ අප හිතවත් නැසිගිය ප්‍රවීන චිත්‍රශිල්පි සෝමසිරි හේරත් මහතාගෙනි. ඒ 1987 වැනි කාලයේය. ඔබට සෝමසිරි හේරත් යන නම දැන් අමතකව තිබුණද පෙළ පොතේ සාමා හා අමර අමතක නැතැයි සිතමි. ඔවුන් ඇන්දේ සෝමසිරි හේරත්ය.
එවක සෝමසිරි හා කරුණාතිලක මහතා සේවය කළේ මාලිගාවත්තේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේය. දෙසතිය සඟරාවේ අවශ්‍යතා සඳහා සිතුවම් ඇඳ ගැනීමට මා වරින්වර සෝමසිරි හමුවීමට ගිය අතර දිනෙක ඔහු මට කරුණාතිලක මහතා හඳුන්වා දුන්නේ අර ඉන්නේ කරුණාතිලක මහත්තයා. වගුරුබිම පරිවර්තනය කළේ කියමිනි. හොඳට අසා තිබූ එහෙත් කලින් දැක නොමැති කරුණාතිලක මහතා හමුවීම මට මහත් සතුටක් ගෙන දුන්නේය.
ආ ගිය කතාවලින් පසු අප දෙදෙනාම නුගේගොඩ මිරිහාන ප්‍රෙද්ශයේ බව දැන ගැනීම නිසා අප අතර හිතවත්කම් වැඩි විය. විවේක ඇති අවස්ථාවන්හි එතුමාගේ නිවෙසට ගොස් කතාබහ කිරීමට මම පුරුදු වීමි. එතුමා රජයේ සේවයෙන් ඒ කාලයේම විශ්‍රාම ගැනීම නිසා නිවෙසේ සිටි එතුමා හමුවීමේ වැඩි පහසුවක් ලැබිණි.
විශ්‍රාම සුවයෙන් පසුවුවද එතුමා පරිවර්තන කාර්යය අත්හැරියේ නැත. කලින් ගුණසේන, සමන් වැනි ප්‍රකාශකයන් ලවා තම පොත් මුද්‍රණය කළ එතුමා පසුව නිර්මාණී ප්‍රකාශන නමින් තමාම ප්‍රකාශයට පත් කිරීමේ කාර්යය ආරම්භ කළේය.
පසුකාලයේ යළි දයාවංශ ජයකොඩි මහතා වෙත තම සියලු පරිවර්තන ලබා දීමට පියවර ගත්තේ තම පොත් වෙළෙසැල්වලට ගෙන යාමේ අපහසුව හේතුවෙනි. වැලිකතරක අතරමංව, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, ටාර්සන් වැනි කෘති මුලින් පුකාශයට පත් කළේ එතුමාගේ නිර්මාණි ප්‍රකාශන ආයතනයෙනි.
ඇතැම් දිනෙක සැදෑ යාමයේ මම එතුමාගේ නිවෙසට යන්නෙමි. බොහෝ විට නිවෙසේ සිටියේ එතුමාත් බිරිය වූ මල්ලිකා කරුණාතිලක මහත්මියත් පමණි. රුසියානු සහ ප්‍රංශ සාහිත්‍යය සහ වම් ඉවුරේ නිර්මාණකරුවන් පිළිබඳව අප බොහෝ දේ කතා කළෙමු. බොහෝ නොදන්නා කරුණු මම එතුමාගෙන් උකහා ගතිමි. මල්ලිකා කරුණාතිලක මහත්මියද පුළුල් සාහිත්‍ය දැනුමකින් යුතු කාන්තාවක මෙන්ම ඉතාමත් කාරුණික මාතාවක වූවාය. එම නිවෙසට යන සෑම දිනෙම තේ පැනින් සංග්‍රහ කිරීමට ඇය අමතක කළේ නැත.
එම යුවළ තම දිවියේ අතීත පුවත් මා සමග පැවසීමට තරම් ලෙන්ගතු විය. දිනක් කරුණාතිලක මහත්මිය රහසින් මට මෙලෙස කීවාය. මෙයාට හොඳට වයලීන් ගහන්න පුළුවන්. හැබැයි කවුරුත් ඉන්න කොට ගහන්නේ නැහැ. රෑට තනියම ඉන්න කොට ලස්සනට වාදනය කරනවා.
මම කරුණාතිලක මහතාගෙන්, කරුණාතිලක මහත්තයා අනේ වයලීනය ටිකක් ගහන්නකෝ කියා ඉල්ලා සිටියෙමි. ලජ්ජාවෙන් මෙන් මා දෙස බැලූ ඔහු එහෙම හොඳට ගහන්න මට බැහැ කියා සිනාසුණේය. එහෙත් මගේ දැඩි ඉල්ලීම නිසා ඔහුට වයලීනය වාදනය නොකර සිටින්නට නොහැකි විය. ඔහු ඉතා අපූරුවට දන්නෝ බුදුන්ගේ ගීතය වාදනය කළේය. ඉන්පසු තවත් ගීත කිහිපයක්ම වාදනය කොට දැන් ඇති නේද හුඟ කාලෙකින් වයලින් එක ඇල්ලුවේ යනුවෙන් පැවසීය. මා එදා එතුමාගේ දක්ෂතාව මෙන්ම නිහතමානීකමද වටහා ගත්තෙමි.
ඇතැම් දිනෙක එම නිවෙසට යන විට මගේ කැමරාවද රැගෙන ගියෙමි. මේ සමග පළවන්නේ එවැනි දිනක මා විසින් ගන්නා ලද එතුමාගේ ඡායාරූප කිහිපයකි. මෙම ඡායාරූප මින් පෙර කිසිදු මාධ්‍යයක පළවී නොමැත. එදා මතක සටහනක් ලෙස ගත් මෙම ඡායාරූප අද බෙහෙවින් වටී.
කරුණාතිලක මහතා අප හැර ගොස් කලක් ගත වුවද වර්තමාන පරපුර අතරද එතුමන්ගේ කෘති තවමත් ජනප්‍රියව පැවතීම සතුටට කරුණකි. එතුමාද මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, සිරිල් සී පෙරේරා මෙන්ම තවත් බොහෝ කලක් මෙරට සාහිත්‍යකාමීන්ගේ මතකයේ රැදී සිටිනු ඇත.
එතුමන්ගේ මුල් කෘති සියල්ලේම පාහේ පිටපත් ත්‍යාග ලෙස මට ලබා දී තිබේ. මේ ඉන් කිහිපයකි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා – මුහුණු පොත් පිටුවෙන්