කැනඩාවේ කවි සිතුවිලි

මේ ආදරයයි 

පරණ මතක ටික සුළං වේගයෙන්

හිස් බවකින් හිත ඇතුලට එනවා

වෙනස් නොවෙන ආදරයේ මිහිරක්

සෙවූ අතීතය රජවෙනවා

ඒ කාලේ අපි දොඩමළු වූ හැටි

රණ්ඩු කරපු හැටි සිහිවෙනවා

දැන් ඒ සියල්ල වෙනස් වෙලා අපි

නොදන්න උන් සේ ඔහේ ඉන්නවා

අපටම වෙන් වුණු හදේ කොතැන හෝ

ආදරයක් තිබුණා අතීතෙක

අප වෙන් වී නැහැ – එක්වීලත් නැහැ

මේ ආදරයයි සුසුම් හෙළනවා

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

සිනාසී දිව එන්න දෝණි ……

සරසවිය ළග ළගයි        දෝණි 

සැරසෙන්න එහි යන්න    දෝණි 

වැටකඩුළු නිමක් නැහැ  දෝණි 

නොබියවම ජයගන්න     දෝණි 

දිරි එඩිය වැඩි වැඩිය       ඕනි 

ඉවසන්න හුරුවෙන්න      වේවි 

බර දරන්නත් ඔබට         වේවි 

සැකක් නැහැ ඔබ දිනයි  දෝණි 

රට දැයට සම්පතක්       දෝණි 

අපට නුඹ මහමෙරක්     දෝණි

සිනාසී දිව එන්න           දෝණි 

සුබපැතුම්,  සුබගමන්    දෝණි 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

ලොවම නිදි..

ලංවෙන්න තව ටිකක්..

නිදින නෙතු මටම දි..

වෙන් වෙන්න නැ හිතක්..

හුස්ම ලග රස්නෙදි..

පායන්න හෙට ඇවිත්..

මගේ සෙනෙහෙ ගගුලෙදි..

ඇයි තවත් නිහඩවම..

නෙතු පියන් මිලිනවි..

සමුදෙන්න තව රැයක්..

හෙට ලංව සිහිනෙදි..

නිහඩ මා සනසන්න..

ලොවම නිදි වරුවෙදි..

ශ්‍යාමලී ගමගේ.

Brampton – Canada

 යුග දිවියට සු’පැතුම්  

පතිනිය ලෙස අතිනත ගෙන මුව හසරැලි             පාලා

දියණිය ඔහු හා යන අප නිවසට සමු                   දීලා

ගතවන සැම මොහොතම සෙනෙහස් ගඟුලෙනි    නාලා

වැජබෙනු මැන සතුටින පළදා පෙම් ලොව           මාලා

පණ මෙනි නුඹ රැක්කේ ජීවිත කාලය               තිස්සේ

සිත සතුටකි වින්දේ රැජිනකි හදවත                අස්සේ

දිවි මතු ජය වෙන්නේ නොතෙමෙනු දුක්ගිණි     වැස්සේ

නුබ දිළි තරුවක් සේ ඔහු හා සැනසෙනු           රිස්සේ

පියවර නගනා මඟ පාවඩ,  මල්                  ඇතිරේවා

කඳුළැලි වියැළී දිවි ගඟ සතුටින්                  ඉතිරේවා

දරුකැල මතු සම්පත රන් තරු මෙන්             සුදිලේවා

කොතැනක කෙලෙසින් සිටියත් නිදුකින්         වැජබේවා

( තෙතෙන්  ඡන්දස –  සෝදෑමිනි විරිත ඇසුරෙන්   ) 

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

නුඹ තරහද කුමාරියේ 

අකලට පාවෙන සීතල

මේකුළු හා මුවා වෙලා

සඟවාගෙන හැඩ රූ සිරි

ඇයි තරහින් කුමාරියේ

මද නල හොර හොරෙන් ගෙනා

ලිය කිඳුරන්ගේ නාදය

ලවන් සැලූ මිහිරි තෙපුල්

නොඇසෙනු ඇයි කුමාරියේ

පෙරුම් පුරා ගම ආ දා

දුහුල් වලා ඇඟ දවටා

වහන් වුනේ මන්ද කියන්

ආඩම්බර කුමාරියේ

සින්දූප වළලු මතින්

රුසිරු නුඹට පිටුපාලා

මා ආ දුර වැඩිද කියන්

හිත ඔබෙ ළඟ කුමාරියේ

සුදු හිම කැට බිම දමලා 

මග දිග පියවර අතුරා

මේ සීතල නුඹෙම තමා

ඇතිපොල කුළ කුමාරියේ

දොන් සුසිල් ප්‍රේමරත්න 

Ottawa – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *