කැනඩාවේ කවි සිතුවිලි

මැද පෙරදිග ගිය බිරිඳක් 

පාලු ඇස්වල මලානික බව 

මමත් දැක්කා ඒ දවස්වල 

දුර රටක සිට තනි මඟක යන 

ඔබට බර ඇති හිතේ තනිකම

මටත් දැනුණා ඒ හැඟීමම 

ඒක වෙන්නැති මේ යාළුකම 

අහස ගිනියම් වෙන වෙලාවට 

පාරෙ තනිමඟ හුදෙකලාවට 

යද්දි සිහිපත් වේවි මං ගැන 

මාත් ඉන්නම් සිතා ඔබ ගැන 

ඒත් අපගේ දරු සිටින තැන

අපිම මිස වෙන කවුරුදැයි පණ 

මතක ගොන්නක ඔවුන් සතු වුණ  

තැනක් තියෙනවා නොවී අඩපණ  

එපා කිසිවිට දුකක් වෙන්නට 

ඒකමයි මට සිතුණෙ හැමවිට 

සිතුණ හැමවිට සිල් බිඳින්නට

හිතට කිව්වා ඉවසගන්නට

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

පෙමක මහිම 

හිරු සදිසි නුබ           සරසනා

හිමි නිබඳ දිවි            පුබුදනා

තුටු කඳුළු නෙතු      පොපියනා  

මුතු අහුරු මෙනි      දිළිසෙනා  

ගුණ සුවඳ හද          පතුරනා

නැත කෙනෙකු නුඹ    සමවනා

පෙර සසරෙ සිට      ගෙනඑනා

හුරු පුරුදු බව       වැටහෙනා   

රස මුසුව දිවි          කලතනා

ලැබු පිනකි ඔබ        හිමිවුනා

මතු සසරෙ වුව        හමුවනා

සුබ පැතුම හද      තෙරපෙනා  

( උතු චන්දාස – සුරමත්වැල​ විරිත  )

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට

ආයෙමත් පටන්ගෙන පෙර පුරුදු පොරයක්

පිල් බෙදී මඩ ගසයි නැත කිසිම අරුමක්

නිදහසින් පසු ගෙවුණු කලම සත් දශකක්

කවදාද දකින්නේ අපි අලුත් එළියක්

පාට ලකුණුත් සමග ජාති කුල මලයක්

අල්ලගෙන යන්නේම නිමක් නැති වලියක්

නඟන්නට හදන්නට නැත කිසිම දැක්මක්

ඡන්දයෙන් කරන්නේ උන්ගෙ මඩි තරයක්

සුදුසුකම් පලපුරුදු හොයන කොට ජොබ් වලට

කවදාද හොයන්නේ රට කරවන අයට

සැලැස්මක් විනය හා විනිවිදව වගවෙන්ට 

හොයන්නේ නැති පවට වෙන්නේ යළි අහුවෙන්ට

හෝද හෝදා දමන පරණ රෙදි මළුවලට

වෙස් මූණු දාගෙනම එන්නේ අපි අන්දන්ට

තෝර බේරා නොගෙන කතිර ගහනා අයට

සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

මට යන්න දෙන්න..

තනිඋනා ඵක් දිනක්

තරු නැතිව සද අහසේ

නුඹ ගැනත් දුක හිතුනා

නෙත්පුරා දුටු විගසේ

ඇහැරෙන්න හති දැමුවා

නිදි කුමරි මද සුළගේ

තරු නමුත් මට කිවිවා

නුඹේ‍ හාදු හොර රහසේ

ඇයි තවත් ලග ඉනිනේ

මට යන්න දෙනු සුහදේ

නුඹේ‍ ලෝකේ සදකුමරි

නෙතු පියන් ඉමි සුවසේ

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

සෙනෙහෙ සිතක ඉපදුණු පෙම

එක හුස්ම බෙදාගෙන එකට මියැදෙමු කිව්වෙ
එකම බත් පත බෙදන් අඩක් කුසගිනි නිව්වෙ
ආදරේ කුමක්දැයි පාඩම කියා දුන්නෙ
නුඹෙ හදේ දවේෂයයි සෙනෙහෙ දෙව් ගෙල සින්දෙ

නොමියැදුණු මගෙ සෙනේ මසිත දළු ලන වෙලේ
පාවඩද නැතිව නුඹ සුසානෙට විසි කළේ
මුදලටයි රූපෙටයි නොවෙද සිත රැවටුනේ
දරු පැටව් සමඟ අද නුඹම නෙද තනි උනේ

පැදුරෙ ඉඩ තිබුනාට නෙවෙයි මම පැමිණුනේ
බූරු ඇඳ හැමදාම තනි කමට උරුම වේ
කාගෙමුත් දරු පැටව් ලෝකයට අයිති නේ
උන්ගේ සිනහව දැකුම මගෙ එකම පැතුම වේ

නිමල් රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *