කමලා පරදා ට්‍රම්ප් අමෙරිකාව ජයගනී.

අඛණ්ඩව එල්ලවූ අභියෝග රැසක් ජයගනිමින් අමෙරිකා එක්සත් ජනපද ධවල මන්දිරයට මාවත විවරකරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සමත් විය.ඒ එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙසිනි.සිය ජයග්‍රහණය නිවේදනය කරමින් ඔහු ජනතාව හමුවේ සහතික කළේ තමා යුද්ධ නතර කරන අතර යුද්ධ ආරම්භ නොකරන බවය.අමෙරිකාව යුද බලයෙන් සන්නද්ධ කළ යුතු වුවත් එහි අදහස යුද්ධ කිරීම නොවන බව විජයග්‍රහණය දැනුම්දුන් අවස්ථාවේ ඔහු අවධාරණය කළේය.

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය පසුගිය (05) වැනිදා පැවැත්වුණි.මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා සිටි අමෙරිකානු ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 186කි.මැතිවරණයේ කරටකර සටනක් පැවතියේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් අතරය.ට්‍රම්ප් යුවළ ෆ්ලොරිඩා හි වෙස්ට් පාම් බීච් හි ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කළේය.කමලා හැරිස් මැතිවරණ දිනයට පෙර ඡන්දය භාවිත කර තිබුණේ තැපැල් මාර්ගයෙනි.

අමෙරිකානු මැතිවරණ ක්‍රමවේදයට අනුව එරට ඡන්ද ප්‍රතිඵල නිකුත් වන්නේ ජාතික මට්ටමෙන් නොව ප්‍රාන්ත මට්ටමෙනි.ඒ ප්‍රාන්ත 50ට අදාළව ඡන්ද විද්‍යාල ක්‍රමවේදයක් යටතේය.සෑම ප්‍රාන්තයකටම ජන අනුපාතයට අනුව නිෂ්චිත නියෝජිතයන් සංඛ්‍යාවක් එම ඡන්ද විද්‍යාල සඳහා පත් වන අතර එම ප්‍රාන්තවල වැඩිම ඡන්ද දිනාගන්නා අපේක්ෂකයාට අදාළ ප්‍රාන්තයේ සමස්ත නියෝජිත සංඛ්‍යාව හිමිවේ.ජනපතිවරයා ලෙස පත්වන්නේ මෙලෙස ප්‍රාන්ත සියල්ලෙන්ම වැඩිම නියෝජිතයන් පිරිසක් දිනාගන්නා අපේක්ෂකයාය.ඒ අනුව ජනපද පනහට අදාළ ඉලෙක්ටෝරල් කොලේජස් හෙවත්, ඡන්ද විද්‍යාලවල සමස්ථ ඡන්ද සංඛ්‍යාව වූ 538න් 270ක බහුතරය ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනේ.

මෙහිදී 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉතාමත් තීරණාත්මක ජනපද වන පෙන්සල්වේනියා, ජෝර්ජියා සහ උතුරු කැරොලයිනා ඇතුළු තවත් ජනපද රැසක ජයග්‍රහණය තමන් සතු කරගැනීමට ට්‍රම්ප් සමත්වුණේ ධවල මන්දිරය වෙත යන මාවත යළිත් විවෘත කරගනිමිනි.ඒ අනුව ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී කමලා හැරිස් පරාජය කරමින්, අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා බවට පත්වන්නට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්විය.   දැනට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සිය ජයග්‍රහණය තහවුරු කරමින් ට්‍රම්ප්, ෆ්ලොරිඩා හි පාම් බීච් හි පිහිටි මැතිවරණ මූලස්ථානයේදී සිය ජය නිල වශයෙන් නිවේදනය කළේය.

1946 වසරේ ජූනි 14 වනදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි.1987 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ට්‍රම්ප් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වන්නේ 2016දීය.2020 ජනාධිපතිවරණයෙන් ලද අමිහිරි පරාජයෙන් පසු ඔහුගේ ආධාරකරුවන් අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ සිදුකළ කැරැල්ල සහ ගැටුම් අතරතුර හය දෙනෙකුට දිවි අහිමි වීම ට්‍රම්ප්ගේ දේශපාලන දිවියට එක්වූ විශාලම කළු පැල්ලම විය.පරාජයෙන් පසු ට්‍රම්ප්ට එරෙහිව නඩු කිහිපයක්ම ගොනු කෙරුණු අතර, අපරාධ අධි චෝදනාවට ලක්වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු විය.එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා පෙන්සල්වේනියා හිදී පැවති ප්‍රචාරණ රැලියක් අතරතුර එල්ල වූ මාරක වෙඩි පහරින් ට්‍රම්ප් ජීවිතය ගලවාගත්තේ යන්තමිනි.වසර 120කින් අනතුරුව පරාජිත ජනාධිපතිවරයෙක් නැවතත් අමෙරිකාවේ බලයට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ.මේ අතර කමලා හැරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැලියක්, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වාර්තාවීමත් සමග අවලංගු කෙරුණි.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට අමතරව, ඉදිරි වසර දෙකකට අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ඡන්ද විමසීමත් පසුගිය(05)වැනිදා පැවැත්වුණි.ඊට අමතරව සෙනෙට් සභාවේ ආසන සියයෙන් 33ක් සඳහා නීති සම්පාදකයින් තෝරාගැනීමත් මෙවර මැතිවරණ දිනයේදී සිදුකෙරුණි.පුරෝකථනවලට අනුව සෙනෙට් සභාවේ වැඩි බලයක් තහවුරු කරගෙන ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයයි.එමෙන්ම ප්‍රාන්ත 11ක සහ පුවර්ට රිකෝ සහ අමෙරිකානු සමෝවා යන ස්වයං පාලන කලාප දෙකේ ආණ්ඩුකාරවරුන් තෝරාගැනීම ද මෙහිදී සිදුකෙරුණි.මෙවර මැතිවරණයෙන් තේරීපත්වන ඡන්ද විද්‍යාල නියෝජිතයින් ලබන දෙසැම්බර් මස 17 වනදා රැස්වී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කරනු ඇති.47 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු දිවුරුම්දීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 20 වනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *